දුර්ලභ මිනිසත් බවක් උරුම වූ අප හට ලැබුණු දුර්ලභ ම දායාදය වනුයේ බුදු සසුනක් මුණගැසීම ය. ලෝකය තුළ කලාතුරකින් සිදු වන ආශ්චර්යවත් සිදුවීම වන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම යි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සීලවන්ත ජීවිත ගත කළ උතුමන්, ධ්‍යාන වඩමින් අෂ්ට සමාපත්ති උපදවාගෙන සමාධිය ප්‍රගුණ කළ උතුමන් ලෝකයේ පහළ වී සිටි බව ධර්මය තුළ සඳහන් වේ. එනමුත් ආර්ය සත්‍යය පිළිබඳ ව දෙව් මිනිසුන් හට අසන්නට ලැබෙන්නේ අති දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක පමණි. තථාගතයන් වහනසේ ගුරු උපදේශ රහිත ව අවබෝධ කර ගෙන දෙව් මිනිසුන් හට දේශනා කරන්නේ අවබෝධ කළ යුතු වූ දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. ප්‍රහාණය කළ යුතු වූ දුකෙහි හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. සාක්ෂාත් කළ යුතු වූ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳ ව ය. ප්‍රගුණ කළ යුතු වූ දුකින් නිදහස් වීමේ මාර්ගය නම් වූ ආර්ය සීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥාවෙන් යුක්ත වූ අරි අටැඟි මග පිළිබඳ ව ය. තථාගතයන් වහන්සේ වදාළ මෙම ආර්ය ධර්මය ශ්‍රවණය කිරීම තුළින් තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව පැහැදීමක්, විශ්වාසයක් තම චිත්ත සන්තානය තුළ ඇති කර ගන්නා ප්‍රඥාවන්ත වූ දෙවියන්ට ද ප්‍රඥාවන්ත වූ මිනිසුන්ට ද සසර දුකින් නිදහස් වීමේ උත්තරීතර වූ ලෝකෝත්තර මාර්ගය විවර කර ගැනීමේ දුර්ලභ වාසනාව හිමි වේ. මෙම දුර්ලභ ලාභය හිමි වනුයේ සියලු දෙවි මිනිසුන් උදෙසා නොව ප්‍රඥාවන්තයන් උදෙසා පමණ ය.

‘පඤ්ඤාවතෝ අයං භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස’ යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළේ ‘මේ ධර්මය ප්‍රඥාව නැති අය උදෙසා නොව, මේ ධර්මය ඇත්තේ ප්‍රඥාවන්තයන් උදෙසා’ බව යි. ධර්මය තුළ ප්‍රඥාවන්තයෙකු වීම යනුවෙන් සඳහන් වනුයේ කුසල් අකුසල් ගැන, පිං පව් ගැන, යහපත අයහපත ගැන, දුකෙහි ඇතිවීම දුකෙහි නැතිවීම ගැන ශ්‍රාවකයෙකු තුළ ඇති අවබෝධය යි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගොස් කුසල් අකුසල් පිළිබඳවත්, යහපත අයහපත පිළිබඳවත්, පින පව පිළිබඳවත් විමසීම තුළින්, ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ප්‍රඥාවන්තයෙකු වීමට හේතු සම්පත් ඇති කර ගත හැකි බව ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක.

ආලවක යක්‍ෂයා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසී ය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ප්‍රඥාව ඇති කර ගන්නේ කොහොම ද?”

ශාස්තෘන් වහන්සේ පිළිතුරු වදාළේ මේ අයුරිනි. “ඒ අරහත් මුනිවරයන් වහන්සේලා වදාළ ධර්මය මනා කොට ශ්‍රවණය කර ඒ ධර්මය ගැන තම සිත පහදවා ගෙන අප්‍රමාදීව ඒ ධර්මයට අනුව නුවණින් විමසීම තුළ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවනි.”

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් පළමුව තම කය වචනය සංවර කර ගැනීම තුළින් සිල්වත් බවට පත් වෙයි. කය වචනය සංවර කර ගත් පමණින් තම සිත තුළ ඇති වන කෙලෙස් දුරු කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැත.

සිත තුළ හට ගන්නා ලෝභය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, වෛරය, ගුණමකු බව, මසුරුකම, අන් අයගේ දියුණුව දැක ඇති වන ඊර්ෂ්‍යාවත්, තමන් ශ්‍රද්ධාවෙන් තොරව සීලයෙන් තොරව දහම් දැනුමින් තොරව හුදෙකලා වාසයෙන් තොරව අකුසල් ප්‍රහාණයට කුසල් වැඩීමට පටන් ගත් වීරියෙන් තොරව වාසය කරමින් මුළා වූ සිහිය ඇතිව වාසය කරමින්, අසමාහිතව වාසය කරමින්, ප්‍රඥාව නැතිව වාසය කරමින්, ආශ්‍රව සහිතව වාසය කරමින් එවන් ආකාරයන්ගෙන් යුක්ත කෙනෙකියි කියා ලෝකයා තමන් ගැන දැන ගන්නවාට කැමති වීම නම් වූ පාපී ආශාව ආදි අකුසල් දහම්, ‘නේව කායෙන පහාතබ්බං නො වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහාතබ්බං’ කයින් හෝ වචනයෙන් දුරු කර ගත නො හැකි බවත්, ප්‍රඥාවෙන් දැක දැක මෙම අකුසල් දුරු කර ගත යුතු බවත් ශාස්තෘන් වහන්සේ විසින් පෙන්වා වදාළ සේක. එසේ නම් තම සිත සිල්වත් කර ගත හැකි වනුයේ ප්‍රඥාවන්තයන් හට පමණ ය. මිනිසුන් හට ඇති උත්තරීතර වූ මාණික්‍ය වනුයේ මෙම ප්‍රඥා සම්පත්තිය යි.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුල් බැස ගැනීමත් සමඟ පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමිය තුළට පැමිණීමේ දුර්ලභ වාසනාව හිමි වේ. ඒ සඳහා උපකාර වන්නේ තමන් ශ්‍රවණය කරන ලද ආර්ය ධර්මය ගැන ඇති පැහැදීමත්, අප්‍රමාදී වීම ධර්මයට අනුව නුවණින් විමසීමත් ය.

“ආර්ය ශ්‍රාවකයා අකුසල් ප්‍රහාණය පිණිසත්, කුසල් දහම් ඉපදවීම පිණිසත් අත් නො හරින ලද දැඩි වීරියක් කරයි නම් එය ඔහුගේ වීරිය ඉන්ද්‍රිය යි.

පටන් ගත් වීරියෙන් යුක්තව උතුම් සිහියෙන් හා අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව බොහෝ කලකට පෙර කරන කියන ලද දෑත් සිහි කරයි නම් නැවත නැවත සිහි කරයි නම් එය ඔහු ඔහුගේ සති ඉන්ද්‍රිය යි.

පටන් ගත් වීරිය ඇති, පිහිටුවා ගත් සිහිය ඇති, එකඟ වූ සිත් ඇති සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා ‘අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු සසරේ ආරම්භක කෙළවරක් නො පෙනෙන බවත්, අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳුනු සසරේ ආරම්භක කෙළවරක් නො පෙනෙන බවත්, අවිද්‍යාවේත් තණ්හාවේත් ඉතිරි නැතිව විරාගයත් නිරෝධයත් සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක්, සියලු උපධි බැහැර කිරීමක්, නිවනක් ඇද්ද මෙය ශාන්ත වූ ප්‍රණීත වූ දෙයකි’ යනුවෙන් දැන ගනියි ද මෙය ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය යි.

මෙලෙස ආර්ය ශ්‍රාවකයා ඉතා බලවත් ලෙස වීරිය කර කර මෙසේ සිහි කර කර මෙසේ සිත තැන්පත් කර කර මෙසේ දැන දැන මෙසේ ගැඹුරින් අදහයි. එනම් ‘යම් ධර්මයක් මා කලින් අසන ලදී ද මේ ඒ ධර්මයෝ නොවැ. ඒ ධර්මයන් මම දැන් කයෙන් ද ස්පර්ශ කරමි. ප්‍රඥාවෙන් ද විනිවිද දකිමි යි’ කියා ඔහු තුළ යම් ශ්‍රද්ධාවක් ඇද්ද එය ඔහුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යි.”

(ආපන සූත්‍රය – ස. නි. 05)

මෙම ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ ලෙස පිහිටන්නේ රහතන් වහන්සේලා තුළ යි. ඊටත් මෘදුව අනාගාමී ශ්‍රාවකයන් තුළත්, ඊටත් වඩා මෘදුව සකදාගාමී ශ්‍රාවකයන් තුළත්, ඊටත් වඩා මෘදුව සෝතාපන්න ශ්‍රාවකයන් තුළත්, ඊටත් වඩා මෘදුව සද්ධානුසාරී ශ්‍රාවකයන් තුළත් ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම සිදු වේ.

ඉන්ද්‍රිය ධර්ම පහ අතර ප්‍රධාන වන්නේ, අග්‍ර වන්නේ ප්‍රඥාව බව ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ සේක. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රියේ පිහිටීම තුළින්, බැස ගැනීම තුළින් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි යන අනෙක් ඉන්ද්‍රිය ධර්ම හතර ද ශ්‍රාවකයා තුළ පිහිටන බව, බැස ගන්නා බව ඉන්ද්‍රිය සංයුත්තයෙහි සඳහන් වේ. එය වහලයක පිහිටා ඇති කැණිමඬලෙන් වටේට ඇති අනෙක් පරාල එක් කිරීම වැනි යැයි ශාස්තෘන් වහන්සේ උපමාවක් ඇසුරින් ද ප්‍රඥාවේ ඇති වටිනාකම අපට පෙන්වා වදාළ සේක.

ශ්‍රාවකයෙකු තුළ ආර්ය වූ සම්මා දිට්ඨිය ඇති වීමත් සමඟ ය ආර්ය මාර්ගය තුළට බැස ගැනීම සිදු වන්නේ. ශාස්තෘන් වහන්සේ පිළිබඳ නො සෙල්වෙන පැහැදීමත්, ආර්ය ධර්මය ගැන නො සෙල්වෙන පැහැදීමත්, ආර්ය සංඝයා පිළිබඳ නො සෙල්වෙන පැහැදීමත් ඉන්ද්‍රඛීලයක් සේ නො සෙල්වෙන ලෙස ඔහු තුළ පිහිටයි. ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ගයක් වූ සම්මා දිට්ඨිය ලෙස ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළේ ‘ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් ප්‍රඥාවක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් ඇද්ද සම්මා දිටිඨි මාර්ගාංගයක් ඇද්ද’ එය යි.

දුර්ලභ ව ලද මිනිසත් බව තුළ සම්බුද්ධ ධර්මයේ සැබෑ ම වූ පිළිසරණ රැකවරණය ඇති කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ශ්‍රද්ධාවන්ත ව, සීලවන්ත ව, අප්‍රමාදී ව නුවණ මෙහෙයවමින් තමන් ඉගෙනගත් ධර්මයට අනුව පටිච්ච සමුප්පාදය, ආයතන, පංච උපාදානස්කන්ධය, ධාතු ඔස්සේ ආර්ය සත්‍ය අවබෝධය පිණිස තම වීමංසනය දියුණු කර ගැනීමට වෙර දරනා, ජීවිතයේ ඇති යථාර්ථය නුවණින් දකිනා සැබෑ ම වූ ප්‍රඥාවන්තයන් හට ය.

යමෙක් අසුරු සැණක් ගසන තරම් කාලයක් ජීවිතයේ ඇති යථාර්ථය නම් වූ අනිත්‍ය ධර්මතාවය පිළිබඳ ව සිහි කරයි නම් එය බුදු පාමොක් මහ සඟ රුවන උදෙසා දන් පුදනවාටත් වඩා, සිව් දිගින් වඩිනා මහ සඟ රුවන උදෙසා සෙනසුනක් කරවනවාටත් වඩා, තෙරුවන් සරණ ගොස් සීලවන්ත වීමටත් වඩා, යමක ගඳ සුවඳ සිඹින තරම් කාලයක් මෙත් සිත වඩනවාටත් වඩා මහත් ඵල මහානිශංස ගෙන දෙන බව ශාස්තෘන් වහන්සේ වේලාම සූත්‍රයේ දී වදාළ සේක. එවන් මහත් ඵල මහානිශංස ගෙන දෙන්නා වූ, ලාභයට යට නො වන, අලාභයේ දී කම්පා නො වන, කීර්තිය හඹා නො යන, අපකීර්තිය ඉදිරියේ නො සැලෙන උදාර වූ ප්‍රඥාවන්තයන් බිහිකරවන ආර්ය වූ ධර්මයේ පිහිට පිළිසරණ ලබන්නට අප සැම දෙනාට ම භාග්‍ය උදා වේවා!

(මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)