highlights of the week

යුද්ධයක් කරන්න තියෙනවා. බෑ කිව්වත් නැසෙනවා. පස්සට ගියත් නැසෙනවා. හරියට පුහුණු නො වී ගියත් නැසෙනවා. හැබැයි… ඒ යුද්ධය මඟ හරින්නටත් බෑ. කරන්න ම වෙනවා. මේ යුද්ධය නො කරන එකමත් මහා පරාජයක්.
අයි එස් අයි එස් සටන්කාමීන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයන් ඉලක්ක කර ගත්තේ සිරියාවේත්, ඉරානයේත් ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම. ලෝක ඉතිහාසය තුළ ලෙයින් වැකී ගත්ත රුදුරුතම කාල සීමාවක් සනිටුහන් කරමිනුයි ඔවුන් මේ දක්වා ම ඒ මතය වෙනුවෙන් අන් මිනිසුන් මරා දමන්නේ. කිරිසප්පයන් පවා කපා කොටා මරා දමන හැටි, ගෙල කපා මිනිසුන් මරා දමන හැටි, දෙමව්පියන් හඬා වැළපෙද්දී දරුවන් යුද්ධය පිණිස ගෙන යන හැටි අසමින් දකිමින් ඔබේ ඇස් තෙමී ගිය අවස්ථා මේ අන්තවාදී ප්‍රහාරයන් තුළ තිබෙන්නට ඇති.

ඇත්තටම ඒ කඳුළ අපේ ඇස් තෙත් කළේ ප්‍රත්‍යන්ත දේශයක උපන්නා වූ ඒ අසරණ මිනිසුන් අන්තවාදී ආගමික වටපිටාවක් නිසා බල්ලන්, බළලුන් සේ මඟතොටේ පවා මරා දැමෙන නිසා නේ ද? මෙවැනි කුරිරු බවක ගොදුරු වන්නට ඒ මිනිසුන් කළේ කවර පාපයක් ද කියා සිත සිතා ඔබ දුක් වන්නට ඇති. නොපනත්කම් ලෝකයට ගෙනෙන රුදුරු සිත් ඇති මිනිසුන් කෙරෙහි ඔබ තුළ විශාල අප්‍රසාදයක් ඇති වන්නටත් ඇති.

සිරියාවෙන්, ඉරානයෙන් නො නැවතී දකුණු ආසියාව කරා ද ඉස්ලාමීය අධිරාජ්‍යය පුළුල් කරවන්නට සැලසුම් මේ අන්තවාදී පිරිස් තුළ ඇති බව පසුගිය කාලයේ හෙළිදරව් වුණා. අධර්මයට බොහෝ උපකාර ලැබෙන පරිහානී යුගයක ඔවුන්ට එවැනි ආක්‍රමණයක් සිදු කිරීමට නොයෙක් අවස්ථා විවෘත වීම සාමාන්‍ය දෙයක්. අසාමාන්‍ය දේ වෙන්නේ, යුද්ධය ජය ගන්න කවුරුන් හෝ සතු ව තිබෙන හැකියාව යි.

මේ කිව්වෙ අයි එස් අයි එස් යුද්ධය ගැන නෙමෙයි… ඔය විදිහට ම බෙලි ගැසුම් කාලා, අවි ආයුධවලින් පහර කාලා, ම්ලේච්ඡත්වයේ ගොදුරක් වෙලා අප මීට පෙර කිසි කලෙක මිය නො ගියා නෙවෙයි. ඒකාන්තයෙන් ම අප එසේ මිය ගියා. එය ශාස්තෘන් වහන්සේගේ අවබෝධය. ඔය දකින දුක් සහගත රූප රාමුවක් රූප රාමුවක් පාසා අප දකින්නේ සසරේ යම් කලෙක, යම් තැනක සිටි අපව ම යි. ශ්‍රද්ධාවෙනුත්, ප්‍රඥාවෙනුත් අදහා ගත යුතු මේ කාරණය සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් හෙළිදරව් කරනවා.

“පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවයේ ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.

එම නිසා පින්වත් මහණෙනි, ඔබට දුකට පත් දිළිඳු වූ, විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහෙ දුක් අනුභව කරල තියෙනවා නෙව.’”

(දුග්ගත සූත්‍රය – සං. නි. 2)

සම්බුදුරජාණන් වහන්සේ මෙතැන දේශනා කරන වචනය, “නිට්ඨමෙත්ථ ගන්තබ්බං – නිශ්චයකට පැමිණෙන්න, නිසැක බවට පත් වන්න” යන්නයි. එනම්, මේ දුක අපත් සසරේ විඳි බව ඒකාන්තයි…

ලොවේ දුක දකිනකොට අපට මේ කාරණය ම සිහි කළ හැකි නම්…! සසර බිය සිහි කිරීම අප්‍රමාදයට උපකාරකයි. අප්‍රමාදී වීම නිවනට උපකාරකයි. ඔන්න යුද්ධය දිනන මඟ. කිසි දිනෙක නොපරදින්නට ම දිනන මඟ. එන්න. ඒ මාවත තමයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා මේ ලෝකයට හෙළිදරව් කරන්නේ.

ඉතින්…. නො කර මඟ හරින්නට බැරි මේ යුද්ධයට අපි මනා කොට පුහුණු වෙමු නේ ද?

සටහන – උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published.

x

Check Also

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ ...