යුද්ධයත්, යුද්ධයේ ඛේදජනක බවත් අපට අමුතු, නුහුරු නුපුරුදු දේවල් නො වෙයි. ත්‍රස්තවාදී නැගී සිටීම් හමුවේ අප බොහෝ පීඩා විඳි මෑතකාලීන අතීතය තුළ යුද්ධය යනු ම්ලේච්ඡත්වය ම බව අප තේරුම් ගත්තා. අද යුද උණුසුමකින් අප දැවී නො ගියාට ලෝකයේ රටවල් ගණනාවක් එයින් දැවෙනවා. දේශපාලනය, ආගම, කුල ගෝත්‍ර, දේශසීමා… මේ ආදි සිතෙන් ම නිර්මාණය කර ගත් බොහෝ වෙනස්කම් පදනම් කරගෙන යුද වදින ලෝකයක නයිජීරියාව යනු ඉන් එක් රටක් පමණයි.

නයිජීරියානු ජාතික මවක පසුගිය සැප්තැම්බර් මාසයේ දී පිරිමි දරුවකු ප්‍රසූත කළා. ලෝකයේ පිරිමි දරුවන් ලබන්නේ නයිජීරියානු මවුවරුන් පමණක් නො වෙයි. එහෙම නම් මොකක් ද මේ දරු ප්‍රසූතියේ විශේෂත්වය? ඇත්තට ම ලෝකයට පුවතක් වූයේ මේ බිළිඳා උපත ලද ස්ථානය යි. ඔහු උපන්නේ සරණාගතයන් බේරා ගැනීමේ මෙහෙයුමක යෙදුණ නෞකාවක් තුළ; මධ්‍යධරණී මුහුදේ දී…

දරන්නට නො හැකි තරමේ මිනිස් ජීවිත පිරී ගත්ත කුඩා ඔරුවක නැගී මුහුද තරණය කොට යුරෝපය තුළ ආරක්ෂිත ගොඩබිමක් සොයා යමින් සිටි මේ ගැබිණි මව ඇතුළු පිරිස නෞකාව මගින් බේරාගෙන පැය 24ක් ගත වන්නටත් පෙර මේ දරු උපත සිදු වුණා.

දරුවෙකුට රටක පුරවැසිභාවය ලැබෙන ආකාරය නිර්ණය කෙරෙන නීති පද්ධති ලෝකයේ තිබෙනවා. යම් රටක දී දරු උපතක් සිදු වුණා ම දරුවාට එරට පුරවැසි බව ලැබෙනවා. ජාත්‍යන්තර ව සම්මත කරගෙන තිබෙන නීති පද්ධතීන්ට ඒ ඒ රටවල් එකඟ වී ඇති ආකාරයන් අනුව ගමන් කරමින් තිබෙන ගුවන්යානයක දරු උපතක් සිදු වුවහොත් එම ගුවන් සමාගම අයත් රටේ පුරවැසිභාවය හෝ ගමන් ආරම්භක හා ගමනාන්ත ගුවන් තොටුපළ අතරින් දරුවා උපත ලද අවස්ථාවේ වඩාත් ආසන්න ගුවන් තොටුපළ අයත් රටේ පුරවැසිභාවය හෝ දරුවාගේ දෙමව්පියන්ගේ පුරවැසිභාවය හෝ දරුවාට හිමි වනවා. මුහුදු සීමාවක දරු උපතක් සිදු වුණා ම අදාළ මුහුදු සීමාව අයත් රටේ හෝ අදාළ යාත්‍රාව අයත් රටේ හෝ පුරවැසියෙක් ලෙස දරුවා පිළිගැනෙන්නේ ද ඒ ඒ නීති රාමුන්ට ඇති එකඟතාවය අනුවයි. මේ ආකාරයේ නොයෙක් සම්මුතීන් දරුවෙකුට පුරවැසිභාවය ලැබීම සම්බන්ධයෙන් දක්නට ලැබෙනවා…

මේ දරුවා උපන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ යි…! දැන් ප්‍රශ්නය දරුවා අයිති මොන රටට ද කියන එකයි. නීති විශාරදයන් මේ දරුවාගේ පුරවැසිභාවය පිළිබඳ පුළුල් කථාබහක නියැළෙනවා. මේ ලිපිය සම්පාදනය කරන විට තිබෙන තත්ත්වය යි ඒ.

ඇත්තටම මේ දරුවා අයිති කොතැනට ද???

සෑම වසරක දී ම දහස් ගණනින් ජනයා මධ්‍යධරණී මුහුදු සීමාව තරණය කරමින් ස්වකීය ජීවිත සැපවත් කර ගැනීමේ අරමුණ ඇති ව යුරෝපයට ඇතුළු වන්නට උත්සාහ කරනවා. ඒ ගමනාන්තය දකින්නට පෙර ම අනාරක්ෂිත, අවදානම් සහගත මේ චාරිකාව නිසා බොහෝ දෙනා මරණයට පත්වනවා. එවන් වටපිටාවක් තුළ, මරණයට ඉඩ බොහෝ වූ තැනක මේ දරුවා මිනිස් ලොව සුවපත් උපතක් ලැබීමත් පුදුමයක් නෙවෙයි ද? මහ පොළව වගේ පිරිසක් දුගතියේ උපත කරා යද්දී මේ දරුවා නිය සිළේ පස් ටිකට අයත් වෙලා මනුස්ස ලෝකයේ ඉපදුණේ දෙවියන්, බඹුන් හෝ මිනිසුන් අතර ඉඳල ද?, එහෙමත් නැති නම් කල්ප කාලාන්තරයක් පුරා දුගතියක දුක් විඳිමින් ඉඳල ද? කියලා කවුද දන්නේ… මේ දරුවා තවමත් අයිති පටන් ගත් කෙළවරක් පැනවිය නො හැකි යැයි අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ අනවරාග්‍ර සසරට ම යි නේ ද? මේ දරුවා නිසැක ව ම අයිති ජාති ජරා ව්‍යාධි මරණවලින්, ප්‍රිය දෙයින් වෙන්වීමෙන්, අප්‍රිය දේ හා එක් වීමෙන්, කැමති දේ නොලැබීමෙන් අත් වන ඒකාන්ත දුකට ම යි නේ ද?

දේශ සීමා, මුහුදු සීමා, ගුවන් සීමා හරහා පටු විදිහට නො සිතා ඇත්තට සංවේදී වුණොත් මේ දරුවා පමණක් නො වෙයි; අප අයිතිත් ඔය ටිකට ම විතරයි. වෙනස නම්, ඒ දෙයින් නිදහස් වන්නට ඒ දරුවාට බොහෝ දුර වූ මාවත අපට බොහෝ සමීපයෙන් විවෘත වී තිබීම පමණයි. හැබැයි ප්‍රමාද වුණොත්…… ඒ දරුවාට නම් මුහුදු සීමාව තුළ හෝ මනුෂ්‍ය ජීවිතයකට ඉඩ තිබුණා. අපට??? දුගතිය විවෘත නැතැයි කෙසේ නම් සිතන්න ද? එනිසා, සියල්ලෝ මේ දහම් මඟ තුළ අප්‍රමාදී වෙත්වා!

සටහන – උදුලා පද්මාවතී