highlights of the week

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ පින් අනුමෝදන් කිරීම්වල දී. එහෙමත් නැති නම් අද කාලෙ නම් මරණයෙන් පස්සේ දුගති උපතක් ලබලා මේ මිනිස් ලෝකයේ ජීවත් ව සිටින ඥාතීන් හමුවේ විවිධ ආකාරවලින් පෙනී සිටින අය ගැනත් අහන්න ලැබෙනවා.

මරණයක දී අප ව දාලා යන්න එපා කිය කියා සිය දහස්වර මහ හඬින් කිව්වට මරණයෙන් පස්සේ නොමිනිස් ජීවිතයක හිඳ ඒ මළ ගියවුන් අප කරා ආවොත් කවුරුවත් එයට කැමති වන්නේ නැහැ. බොහෝ විට ඒ සිරුර මිහිදන් කළ තැනින් හෝ දැවූ තැනින් ගමන් කරන්නටවත් බොහෝ අය අකැමැති වෙනවා. එහෙම එකේ මිහිදන් කළ සිරුරක් ගොඩට අරන් මළවුන්ට සත්කාර කළ යුතුයි කියලා කාට හරි හිතෙනවා නම්… “පිස්සු වැඩක්” කියලා බොහෝ දෙනෙකුට නිතැතින් ම කියැවේවි. ඒ ‘පිස්සු වැඬේ’ කරන රටක් තමයි ඉන්දුනීසියාව. ඔන්න අපට වැඩි ඈතකත් නෙමෙයි…

දූපත් ගණනාවකින් සැදුම්ලත් ඉන්දුනීසියාවේ සුලාවේසී දූපතේ වාසය කරන ට්‍රෝජන් නම් ජන කණ්ඩායම තමයි මේ කටයුත්තේ යෙදෙන්නේ. පුරාණ චාරිත්‍රානුකූල ව අවුරුදු තුනකට වතාවක් ඔවුන් ස්වකීය මළගිය ඤාතීන්ගේ සිරුරු ගොඩ ගෙන අලුත් ඇඳුම් අන්දවලා, පෙරහැරක ගෙන ගොස්, අලුත්වැඩියා කරන ලද මිනී පෙට්ටියේ තැන්පත් කොට වළට දානවා. තම ඤාතීන් වෙනුවෙන් ආදරය, ගෞරවය දැක්වීමේ ක්‍රමයක් ලෙසින් එය පිළිගැනෙනවා.

මරණයෙන් පසු මිහිදන් කිරීම වෙනුවෙන් මුළුමහත් ජීවිත කාලයක් පුරා උපයපු ධන සම්භාරය ම වැය කරන පිරිසක් තමයි ඔවුන්. අලුත් ජීවිතය වළ තුළ ගෙවෙන බව ඔවුන් සිතනවා විය හැකියි. ‘ගෝත්‍රික අදහස්’ කියලා ඔබට සිතුණ ද? ඔව්. ගෝත්‍රික අදහස් නම් තමයි. හැබැයි…. ඔය ගෝත්‍රික අදහස් ම ඇති ව කවදා හරි අපි ඉපදෙන්නත් ඉඩ නැත්තෙත් නෙමෙයි. දැහැමි ව සිව් දිශා පාලනය කරමින් අපමණ පින්දහම් රැස් කළ සක්විති රජවරුන් පවා දිව්‍ය සැප කෙළවර කුරා කුහුඹුවන් ව දුගතියේ ඉපදුණා නම්…. අප දිනෙක මළමිනී ගොඩ ගනිමින් අලුත් ඇඳුම් අන්දවන්නවුන් වීමට ඇති ඉඩ ගැන කවර කථා ද? එක අතකින් ඒ ඉඩ දුර්ලභ වන්නටත් පුළුවන්. හේතුව, යළි යළිත් සුගතියේ ඉපදීම ද ඉතා දුර්ලභ වීම යි.

මළවුන්ට සත්කාර කොට සැනසීම සොයන මිනිසුන් වගේ ම මළවුන්ට ජීවිතය දී සැනසීම සොයන මිනිසුන් ද ලෝකයේ සිටියා. අදටත් සිටිනවා. තම එක ම පුතු මරණයට පත් වුණ වෙලාවේ ඒ සිරුර ඔසවාගෙන පුතුට පණ දිය හැකි වෙදැදුරෙක් සොයමින් පාරක් පාරක් ගානේ දිව ගිය කිසාගෝතමිය එයින් එක් අයෙක් පමණයි.

කිසාගෝතමී අම්මා දරුවාගේ මළ සිරුර තුරුලු කරගෙන සම්බුදුරජාණන් වහන්සේ හමුවේ හිඳිමින් අසා සිටියේ “බේරා ගන්නට පුළුවනි ද?” කියලයි. අසාධාරණ ඤාණ දරා වැඩ සිටින සම්බුදුරජාණන් වහන්සේ දුටුවා ඇය ව බේරා ගත හැකි බව. උන්වහන්සේ වදාළා “නැගණිය, බේරා ගත හැකියි.” කියා… ඇය බේරුනා. දරුවාගෙනුත්, ගිහිගෙයිනුත්, කෙළවරක් නො පෙනෙන සසරිනුත් ඇය බේරුනා… ආයේ සසරේ කිසි ම දිනයක කිසාගෝතමිය දරු දුකින් වැළපෙන්නේ නැහැ. ආයේ සසරේ කිසි ම දිනයක දරුවෙකුගේ සිරුර ඔසවාගෙන සැනසීම සොයමින් ඇය දිව යන්නේ නැහැ. ආයේ සසරේ කිසි ම දිනයක ඇය දුකට පත් වන්නේ නැහැ. එහෙත්… අප…???

මේ අවබෝධය ලබන්නට තව කී දෙනෙක් නම් සමීපතමයන් අපට අහිමි විය යුතු ද? තව කී වරක් නම් අප ඉපදි ඉපදී මැරි මැරී යා යුතු ද? මළමිනී ගොඩ ගන්නට නො වෙයි; නො මැරෙන ලොවක නූපදින ලොවක සැනසෙන්නට අප්‍රමාදී වීම වෙනුවෙන් නො වේ ද අප වීර්යය කළ යුත්තේ? එය ම නො වේ ද අපගේ ජීවිත ඉලක්කය විය යුත්තේ? සැබෑ ඉලක්කය තෝරා ගන්න. එවිට අන් සියල්ල දෙවැනි කොට අපට ඒ එල්ලේ ජීවිතය මෙහෙයවීමේ ඡන්දය ම බලවත් කර ගත හැකි යි…!

සටහන – උදුලා පද්මාවතී

Leave a Reply

Your email address will not be published.

x

Check Also

යුද්ධයක් කරන්න තියෙනවා. බෑ කිව්වත් ...