උතුම් සම්බුදු සිරුරේ අසූවක් වූ අනුව්‍යංජනයෝ…

සදහම් රැස් විහිදුවමින් ගඟන තලයෙහි දිදුලන හිරු මඬල බඳු වූ මුඹ වහන්සේ අනුපාධිශේෂ පරිනිර්වාණ ධාතුව නම් වූ අවරගිරෙන් අමා නිවන් පුරට වැඩම කොට වසර 2560ක් ද ඉක්ම ගොසිනි. ජීවමාන වැ වැඩ සිටින කාලයෙහි දී නම් ස්වාමීනි, මුඹ වහන්සේගේ ස්වර්ණවර්ණ ශ්‍රී සම්බුද්ධ ශරීරය දෙස බලමින් නෙත්සිත් සනහා ගැනීමට දෙව්මිනිස් ලෝකයා මහා පිනැති වූහ. මුඹ වහන්සේගේ රන්වන් පින් සිරුර ඔවුන්ගේ දෙනෙත් සුවපත් කරන රසඳුනක් ම වූයේ ය.

එහෙත් අනේ! ස්වාමීනි, ඒ විස්මිත දේහ විලාසය දැක සිත් පහන් කර ගැනීමට මෙකල වසන අපි මහ පිනැතියෝ නො වම්හ.

එහෙත් අනේ! ස්වාමීනී, අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ ධර්මකාය සම්පත්තියෙන් මෙන් ම රූපකාය සම්පත්තියෙන් ද අසමසම වන සේකැයි සිතන විට අපගේ හදවත් ප්‍රීතියෙන් උද්දාමයට පත් වී යයි.

ශාක්‍ය වංශයේ සිහ රජාණන් වහන්ස, පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ම සකස් වූ දෙතිසක් මහා පුරිස් ලකුණෙන් ද අසූවක් අනුව්‍යංජන ලකුණෙන් ද මුඹ වහන්සේ ශ්‍රීමත් බුද්ධ ශරීරය විසිතුරු වූයේ ය.

ස්වාමීනි, මෙකල වසන බොහෝ දෙනා මුඹ වහන්සේගේ ශ්‍රී දේහයේ පිහිටා වැඩ සිටි අසූවක් වූ ඒ අනු ව්‍යංජන ලක්ෂණයන් ගැන නො දනිති. එබැවින් මෙතැන් සිට අපි අපගේ ශාස්තෘන් වහන්සේට පූජෝපහාර පිණිස සොඳුරු මල් දමක් බඳු වර්ණනාවකට පද ගොතන්නෙමු.

ලෝකනාථයන් වහන්ස, මහේශාඛ්‍ය දෙව්බඹුන් විසිනුදු දැකිය නො හැකි වූ මුඹ වහන්සේගේ අනවලෝකිය හිස් මුදුන අපගේ මෙන් නොව ඉතා අසිරිමත් ය! 1. නිරතුරු සුවඳවත් වන සේක. ඒ උතුම් බුදු සිරසෙහි 2. ගැට නැත්තේ ම ය. එය මනා ව මටසිළුටුව තිබෙයි. ලෝකයෙහි මනහර ව හිස පිහිටා ඇත්තේ මුඹ වහන්සේට ම ය. භාග්‍යවතුන් වහන්සේගේ සිරස 3. මනා සටහනින් යුතු ව නො සැඟ වී පිහිටා ඇති සේක. ස්වාමීනි, එය 4. සේසතක් සේ මනහර ය.

අසිරිමත් කේෂ ධාතූන් වහන්සේලා…

මහා මුනීන්ද්‍රයන් වහන්ස, ඔබ බුදු සිරසෙහි වැඩ සිටින කේෂ ධාතුන් වහන්සේලා ද ඉතා සොඳුරු ය. 5. දීප්තිමත් අභිනීල වර්ණය සම්බුද්ධ කේෂ ධාතූන් වහන්සේලාගේ පැහැය යි. 6. එම කේෂයෝ දකුණට කැරකී, දක්ෂිණාවර්ත ව හිස මත වැඩ සිටින්නාහු ය. ශාස්තෘන් වහන්සේගේ කේෂ ධාතුහු 7. මනහර සටහනින්, සුන්දර පිහිටීමෙන් යුක්තයහ. 8. ඉතා සිනිඳු ව පිහිටා ඇති බව ද 9. ඉතා සියුම් ව පිහිටා ඇති බව ද 10. ඉතා මෘදුව පිහිටා ඇති බව ද මුඹ වහන්සේගේ ම කේෂ කලාපයෙහි ම ලක්ෂණයන් ය. ස්වාමීනී, ස්වාමිනී, මුඹ වහන්සේගේ කේෂ ධාතුන් නම් 11. සමාන වූ දිගින් යුතු ව 12. කිසිදු අවුලකින් – පැටලීමකින් තොර ව, නිරවුල් ව පිහිටා වැඩ සිටින සේක.

මුළු මහත් තුන් ලොවට ශාන්තිදායකයාණන් වහන්සේගේ පින්බර වත මඬල ඉතා මනහර වන සේක. මුඹ වහන්සේගේ වත මඬල 13. මඳක් දිගු ය. ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ දරා වැඩ සිටින ඔබගේ 14. නළල් තලය දිගුව, පුළුල් ව, ශෝභමාන ව බබළන්නේ ය. ශාස්තෘන් වහන්සේගේ 15. දෙකොපුල් ද ඉතා පරිපූර්ණ ය.

සොදුරු වූ අභිනීල නෙත් යුග…

සුගතයන් වහන්ස, දෙවියන් සහිත ලෝකයා දෙස උතුරා යන මෙත් කරුණා සිතින් බලන ඔබගේ අභිනීල නෙතු සඟල අලුත උපන් වසු පැටවුන්ගේ පුළුල් නෙත් පරදවයි. ඒ නෙතු යුගල 16. ඉතා දිගුව, සුවිසල් ව පිහිටා ඇත්තේ ඔබ වහන්සේගේ දෙනෙතින් උතුරා ගිය මහා කරුණාව නිසා ම යැයි සිතමි. ස්වාමිනී, අසිරිමත් කරුණ නම්, 17. මුඹ වහන්සේගේ නෙතු සඟල පස් පැහැයෙන් බබළන බව ය. ධර්ම සේනාධිපති සාරිපුත්ත නම් ඔබගේ ළයෙහි උපන් පුතණුවෝ ඒ අසිරිය මේ අයුරින් වදාළ සේක් ම ය:

“භාග්‍යවතුන් වහන්සේගේ මසැසෙහි පස් පැහැයක් දිස් වන්නේ ය. නිල් පැහැය ද රන් පැහැය ද රත් පැහැය ද කළු පැහැය ද සුදු පැහැය ද යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ පෙර කරන ලද පුණ්‍ය මහිමයෙන් හටගත් එම මසැසින් දහවලෙහි ද රාත්‍රියෙහි ද හාත්පස යොදුනක් දකින සේක. යම් කලෙක අංග සතරකින් යුත් මහත් අඳුරක් වෙයි ද, එනම් : හිරුත් අවරට ගියේ වෙයි ද කළුවර පක්ෂයේ අමාවක පොහොයත් වෙයි ද මහත් වන ලැහැඹත් වෙයි ද සුවිසල් කළු වලාකුළු අහසෙහි නැගුණේත් වෙයි ද එබඳු වූ චතුරංග සමන්නාගත අන්ධකාරයෙහි පවා හාත්පස යොදුනක් දකින සේක.

යම් කලෙක ඉදින් තල ඇටයක් නිමිත් කොටගෙන තල ගැලෙක දමන්නේ නම්, ඒ තල ඇටය ම නැවත පිටතට ගැනීමට හැකි සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ පියවි මසැස අතිපාරිශුද්ධ වන සේක.”

(මහානිද්දේසපාලි, තුවටක සූත්‍ර නිර්දේශය)

ඒ නෙත් යුවළට ඉහළින් ඉතා මනෝඥ වූ එම ඇහි බැම 18. අගින් මඳක් නැමී පිහිටා ඇත්තේ ය. යමෙකුගේ ඇසිපිය ලෝකයෙහි සුන්දරතර වෙයි ද ස්වාමීනී, ඒ මුඹ වහන්සේගේ 19. මනා සටහනින් යුතු ව, නෙත්කළු ව පිහිටා ඇති ඇහි බැම ය. 20. ඉතා සියුම් ලෙස හා 21. මනා අනුපිළිවෙළින් යුතුව පිහිටා ඇති ඔය ඇසිපිය යුග්මය 22. අතිශයින් ම මහත් ය, එමෙන් ම 23. ඉතා දිගු ය.

සුදු බුදුරැසින් හෙබි සොඳුරු මුව මඬල…

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්ස, සිරි සදහම් අමා දියෙන් නිරතුරුව fදාවන ලද ඔබගේ මුව පියුම සොඳුරුම ය. ස්වාමීනී, එයින් නිරතුරුව 24. මිහිරි සුවඳ ම වෑහෙයි. ශාස්තෘන් වහන්සේගේ විදුරුමස 25. සුරත් පැහැති ය. 26. අති පාරිශුද්ධ වූත්, 27. ඉතා සිනිඳු වූත් සතළිසක් දන්ත ධාතුහු ඒ විදුරුමස මත වැඩ හිඳින්නාහු ය. ස්වාමිනී, එම දන්ත ධාතූන් වහන්සේලා අතර මුඹ වහන්සේ සිනහ පහළ කළ කල්හි විහිදුවන සුදු බුදුරැසින් යුතු දළදා වහන්සේලා සතරනමෙකි. උන්වහන්සේලා 28. ඉතා මටසිළුටුව, වෘත්තාකාර ව පිහිටා ඇත්තේ ය.

ස්වාමිනී, මුඹ වහන්සේට ඇත්තේ මහපුරිස් ලකුණින් හෙබි දිවකි. පින් මහිමයෙන් ලත් ඔබගේ පුළුල් දිව 29. ඉතා මෘදු වූ, තුනී වූ, සුරත් පැහැයෙන් යුක්ත වූයේ ය. අප ශාස්තෘන් වහන්සේගේ තොල් සඟල රත් පියුම් දෙපෙත්තක් සේ 30. සුරත් පැහැයෙන් බබළන සේක. ස්වාමීනී, මහා ක්ෂීණාස්‍රව මහා කච්චායන නම් වූ ඔබගේ ශ්‍රාවක පුත්‍රයාණෝ ඔය තොල් සඟල ගිනිසිළු පැහැයෙන් යුතු යැයි වදාළේ මැ නොවැ!

තුන්ලොව බබුළුවන මහා හිරු මඬලාණන් වහන්ස, ඔබගේ ඔය 31. උස් ව පිහිටා ඇති තුංග සුසණ්ඨිත නාසය සම්බුදු වතකමල තව තවත් බබුළුවයි. මුඹ වහන්සේගේ සුවඳවත් ආශ්වාස ප්‍රශ්වාසයෝ 32. ඉතා සියුම්ව ම ඇතුල්වෙති – නික්මෙති. ස්වාමීනි, මුඹ වහන්සේගේ ඔය 33. දික් වූ ලඹ සවන් යුග ප්‍රකෘතියෙන් ම පාරිශුද්ධ ය.

ස්වර්ණ වර්ණයෙන් හෙබි හස්ත යුග්මය…

ලොවට ආශිංසනය ම පළ කළ මුද්‍රාවෙන් යුත් මුඹ වහන්සේගේ හස්ත යුග්මයෙහි 34. ඉතා දික් වූ ද 35. ඉතා ඍජු වූ ද හස්ත රේඛාවෝ 36. ඉතා ගැඹුරට පිහිටියාහු ය. එම 37. සොඳුරු සටහනින් යුත් රේඛාවන් දෙස බලන සැමගේ හදවත් සතුටින් පිනා යෑමට තරම් ස්වාමිනී, එම රේඛාවෝ මනෝරම්‍යය හ.

ජිනේන්ද්‍රයන් වහන්ස, පුණ්‍ය ප්‍රභාවයෙන් ලද මහ පුරිස් ලකුණෙන් හෙබි ඔබගේ දිගු ඇඟිලි 38. ඉතා පරිපූර්ණ ව, 39. මටසිළුටු ව වෘත්තාකාර වැ පිහිටියේ ය. කිසිදු ඇදයකින් – විකෘතියකින් තොර ව 40. අනුපිළිවෙළින් පිහිටා ඇති ඔය ඇඟිලි දකින සියලු දෙව් මිනිසුන්ගේ නෙත් සිත් මෝහනය කරයි. ස්වාමිනී, ඔය ඇඟිලි මත 41. උස්ව පිහිටා ඇති නියපොතු 42. අතිශයින් ම සිනිඳු ය. මුඹ වහන්සේ මහබිනික්මන් කළ මැදියම් රැයෙහි දී ඔබව අනෝමා නදියෙන් එතෙර කරවූ කන්ථක නම් ඔබගේ සුවච මෙහෙකරු 43. තඹපාට නියපොතු ඇති ඔය සිරිපා යුග අවසන් වරට දිවෙන් ලෙවකෑ අයුරු අසද්දී ස්වාමිනී, අපගේ සිත් බලවත් ව කම්පා වී යයි.

සොඳරු වූ ගමන් විලාසය…

එසේම ස්වාමිනී, 44. මහා හස්තිරාජයක්හු මෙන් ද 45.කේශර සිංහරාජයක්හු මෙන් ද 46. ශ්වේත හංසරාජයෙක්හු මෙන් ද 47. මහා වෘෂභරාජයක්හු මෙන් ද පියවර තබා වඩින මුඹ වහන්සේගේ ශ්‍රී පාද පද්මය මහා පෘථිවියෙහි ස්පර්ශ වෙත් ම, පොළව මහී කාන්තා තොමෝ වහ වහා පොළොවෙහි මිටි තැන් උස් කරමින්, උස්තැන් සම කරමින්, ගල් කැට – මැටි කැට කැබලිති – හුල් කටු ඔබ වඩින මහවතින් බැහැර ලමින් පූජා පවත්වන්නී ය.
එසේ වඩින මුඹ වහන්සේ කිසි දින වමට නො හැරෙන සේක. 48. යමක් දෙස නැවත හැරී බැලිය යුතු නම්, මහා ඇත්රජක්හු මුළු සිරුර ම දකුණු දෙසින් හරවා ඍජු කොට ආපසු බලන සේක. ස්වාමිනී, එය නාගාවලෝකනය නමින් හැඳින්වෙන්නේ ය.

මහා වීරයාණන් වහන්ස, ඔබගේ 49. දෙබාහු හා දෙකලවාවන් ඡද්දන්ත නම් ඇත් රජහුගේ රිදී දාමයක් බඳු සොඬය සිහිපත් කරවයි. සතර මහාද්වීපයට එකපැහැර වසිනා මහාමේඝයක් සේ සතර සංග්‍රහ වස්තුවෙන් ලෝ සතුන්ගේ සිත් සනහාලූ පින් බෙලෙන් මුඹ වහන්සේගේ අත්පා 50. ඉතා මැනවින් බෙදී, 51. ඉතා මෘදු ව, 52. යහපත් වූ අනුපිළිවෙළින් යුක්ත වැ පිහිටියේ ය. ඒ ගාත්‍රයෝ 53. ඉස්මතු නො වී ද නැත්තාහ, වැඩියෙන් ඉස්මතු වී ද නැත්තාහ. මනා ප්‍රමාණයට ම අත්පා පිහිටා ඇත්තේ ය.

අංගීරස වූ අප මුණිදාණන්…

ස්වාමිනී, මුඹ වහන්සේගේ සුන්දර වූ කර්මය නැමැති නිමැවුම්කරු 54. ඔබගේ අත්පා නො සඟවා සොඳුරු අයුරින් නිර්මාණය කළේ ය. මුඹ වහන්සේගේ පින් සිරුර වනාහි 55. කිසිදු ලප කැළැලකින් තොර ව නිකැළැල් ව බබළන සේක. මුඹ වහන්සේගේ සම්බුදු සිරුර පුන් සඳට ද නිගා දෙයි.

56. පිළිවෙළින් මනෝහර වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ ගාත්‍රයෝ 57. අත්‍යන්තයෙන් ම පාරිශුද්ධයහ, 58. අත්‍යන්තයෙන් ම සුකෝමලයහ 59. අත්‍යන්තයෙන් ම සෞම්‍යයහ. මුඹ වහන්සේගේ 60. අතිශයින් ම බබළන්නා වූ හස්තපාදයන්, විහිදෙන රශ්මිධාරා ඇති ශරීරාංගයන්ගෙන් යුක්ත මහෝත්තමයන් හට යෙදෙන අංගීරස යන උතුම් නාමයට භාග්‍යවතුන් වහන්සේ ව සුදුසු කරවයි.

මහා ඉසිවරයාණන් වහන්ස, වජිරාසනය මත වැඩ හිඳ ශ්‍රී සම්බුදු බව ලැබීමෙන් නිර්මල වූ ඔබගේ සම්බුදු මනස මෙන් ම ඔය 61. ශ්‍රී ශරීරය ද අතිශයින් ම නිර්මල ය. 62. බුද්ධ සුකෝමල වූ අප සම්බුදු මහෝත්තමයන් වහන්සේගේ දුහුවිලි දැලි ආදිය නො රඳින 63 ඉතා සිනිඳු සිරුර මහ පුරිස ලකුණින් ද ප්‍රභාවත් වූයේ ය.

මහා කාරුණිකයන් වහන්ස, ඔබවහන්සේගේ නාභිය පවා අන්‍ය නාභීන් සුන්දරත්වයෙන් යටපත් කොට දමයි. 64. කිසිදු සිදුරකින් තොර වැ, 65. ඉතා ගැඹුරු ව පිහිටා ඇති මුඹ වහන්සේගේ නාභිය 66. දකුණට කැරකී – දක්ෂිණාවර්ත වැ පිහිටා ඇත්තේ ය. එය ස්වර්ණමය සාගරයක හටගත් දිය සුළියක් වැන්න.

සමිඳුනි, සත්පුරුෂභාවයෙහි මුර්තිය වූ මුඹ වහන්සේ ද සමඟියෙන් සතුටු වූ පින් තෙදින්, මහ පුරිස් ලකුණින් හෙබි පුරුෂ නිමිත්ත ලද සේක. කොපුවක බහා ලූ දෙයක් බඳු ව පිහිටා ඇති ඔබගේ පුරුෂ නිමිත්ත 67. අතිශයින් ම පරිපූර්ණව යම් සේ පිහිටා ඇද්ද, එය ද ඔබවහන්සේගේ පින් සිරුර සැරසූ අනුව්‍යංජන ලක්ෂණයකි.

තථාගතයන් වහන්ස, මුඹ වහන්සේ පිරිනිවී 2560 වසරක් ගත වී ඇති නමුදු, ලෝ සතුන් සියලු ආකාරයේ බියෙන් මුදවා අභය දුන් අනුහසින් ලද 68. සමව පිහිටි සිරිපා ඇති මුඹ වහන්සේ සසර බියෙන් ද අපව මුදවා ලූ සේක් ම ය! ඔය සිරිපතුලෙහි 69. උස්ව පිහිටි ගොප් ඇටය සැඟවී පවතියි. එලෙසින් ම ස්වාමිනී, ඔබගේ 70. දණ මඬල ද හාත්පසින් යහපත් ව පිහිටා ඇත්තේ ය. පිනෙහි අසිරිය මේ යැයි විදහා පෑමට ධර්මයාගී වූ මුඹ වහන්සේගේ මේ මහ පුරිස් ලකුණින් සමලංකෘත සිරිපා සඟල වුව ද ප්‍රමාණවත් ම ය.

දම් රජාණන් වහන්ස, උසට සරිලන මහත ඇති, ආරෝහ පරිණාහ ඇති 71. සම ප්‍රමාණයෙන් යුත් ශරීර ශෝභාව ඇති ශාස්තෘන් වහන්සේ දුටු විට ලෝ සතුන් ප්‍රීතියෙන් උද්දාමයට පත්වන්නාහුය. ස්වාමීනී, 72. අති පාරිශුද්ධ ශරීර ඉන්ද්‍රියන් ඇති හෙයින් 73. මිහිරි සුවඳ විහිදුවන ශ්‍රී ශරීරය ඇති භාග්‍යවතුන් වහන්සේ ගැන අසන්නට ලැබීම ම අපහට පරම අසිරියකි. සමිඳුනි, මෙසේ රූ සිරියෙන් අගපත් වූ මුඹ වහන්සේට මම හද පිරි සතුටින් වන්දනා කරමි.

සවණක් බුදුරැසින් සුසැදි කේතුමාලාලංකාරය…

ස්වර්ණ පර්වතයක් බඳු ඔබගේ සිරස මත සත්රුවන් මිණි කිරුළක් පැලඳූ කලෙක මෙන් දිස්වන මනෝරම්‍ය දර්ශනයක් ඇත්තේ ය. එනම්, නීල – පීත – ඕදාත – මඤ්ජෙට්ඨ – පභස්සර යනාදී සවණක් රැසින් සමලංකෘත වැ 74. බුදු සිරස මතින් අසූ රියනක් අහසට විහිදී ගිය කේතුමාලාලංකාරය යි.

පුරුෂෝත්තමයන් වහන්ස, කිසිදා ලොව නො රැවටූ පින් මහිමයෙන් ඔය සිරුරේ සුපිහිටා වැඩ සිටි 75. අභිනීල අඤ්ඡන වර්ණ ලෝම ධාතුහු 76. ඉතා සමව පිහිටි 77. ඉතා සිනිඳු ව පිහිටි, 78. අතිශයින් ම කොමල වැ පිහිටි, 79. දකුණට කැරකී දක්ෂිණාවර්තවැ පිහිටි ලක්ෂණයන්ගෙන් යුක්තයහ. සක්වළ පිළිවෙළින් පැමිණි දෙවියෝ ඔබගේ මෙබඳු වූ ලෝම ධාතූන් වඩමවාගෙන ගොස් දෙව්ලොව පුදන වග මහ පිරිනිවන් සුතුරෙහි දී අප විසින් අසන ලද්දේ ය.

අචින්තනීය වූ නාරායන සංඝාත බලය…

දසබලයන් වහන්ස, ලෝකයෙහි බිය රහිත ස්ථානයට සම්ප්‍රාප්ත වැ බ්‍රහ්ම චක්‍රය පවත්වා වදාළ මුඹ වහන්සේ ඥාන බලයෙන් අග්‍රප්‍රාප්ත වූ සේක. එමතු ද නොව පින්වතුන් වහන්සේගේ කාය බලය සාමාන්‍ය ලෝකයා හට අචින්තනීය වෙයි. සාමාන්‍ය හස්තීන් කෝටි දහසකගේ ද, සාමාන්‍ය පුරුෂයන් කෝටි දස දසදහසකගේ ද කාය බලයට සම වූ මුඹ වහන්සේගේ කාය බලය 80. නාරායන සංඝාත බලය යනුවෙන් හඳුන්වනු ලබයි.

සුකෝමල මුව රජක්හු මෙන් කෘෂ ශරීරයකින් යුතු ව වැඩ සිටි මහා ඍෂිවරයන් වහන්සේ මෙබඳු කාය බලයකින් යුත වූ සේකැයි දත්තෝ කවරහු ද?

මුඹ වහන්සේ පිරිනිවෙන මොහොතේ දී සුභද්‍රයන් වහන්සේ විසින් ‘ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මහත් ලාභයකි. ආයුෂ්මත් ආනන්දයෙනි, ඔබලාට මනා වූ ලැබීමකි. මෙබඳු ශාස්තෘන් වහන්සේනමකගේ අතවැසියන් ලෙස ඔටුනු පැලදීමක් අභිෂේක ලැබීමක් ඇද්ද, එය ය.’ සාදු! සාදු! අප හට ද මහත් ම ලාභයෙකි! අපි ද මුඹ වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස ඔටුනු පැලඳීමෙන් අභිෂේක ලැබූවෝ වම්හ. අපි ද ගෙවී යන දිනක් පාසා සැම ඇසිල්ලක දී ම මෙසේ සිහිපත් කරමින් මුඹ වහන්සේගේ ශ්‍රී නාමයට වන්දනා කරම්හ. එනම්, ‘ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!’ යනුවෙනි.

නමෝ බුද්ධාය!

ඇසුර – ගුරුළුගෝමි පඬිවරයා විසින් රචනා කරන ලද ‘ධර්ම ප්‍රදීපිකාව’

සටහන – රවීන් කෝදාගොඩ