පින්බර වස්සාන නිමාව සනිටුහන් වන්නේ ඉල් පුර පොහෝ දිනයත් සමඟිනි. ගෞතම සම්බුද්ධ ශාසනය හා සබැඳුණු අනුස්මරණීය සිදුවීම් කිහිපයකින් ම සුපූජනීයත්වයට පත්වූ ශ්‍රේෂ්ඨ දිනයක් ලෙසිනි, ඉල් පුර පොහොය ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ශාස්තෘන් වහන්සේගේ උතුම් අනුශාසනාව පරිදි වස් සමාදන් වූ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සියලූ වස් පවාරණ කටයුතු ඉල් පුන් පොහෝ දිනයත් සමඟ යෙදෙන පසුවස් පවාරණයෙන් නිමාවට යේ. චීවර මාසයේ අන්තිම පොහොය හෙවත් කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වන්නේත් ඉල් පුන් පොහොය යි. එබැවින් මෙම කාලවකවානුව ශාසනකාමී බොහෝ දෙනා විසින් තමන්ගේ ජීවිතයට උදාර වූ පින් අස්වනු නෙළන සුපින්බර කාලයක් වශයෙනි, දුරාතියේ සිට සම්මතය.

ප‍්‍රථම ධර්මදූත සේවාවේ ඇරඹුම…

ඉල් පුන් පොහෝ දිනය හා සබැඳෙන ශාසන ඉතිහාසයේ දැක්වෙන තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයකි. අපගේ ශාස්තෘ වූ සුගත තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයෙන් එළැඹි පළමුවන වස්කාලය ගෙවී ගියේ බරණැස ඉසිපතන මිගදායේ ය. සාර මාසයක් පුරා ඇදහැළුණු වර්ෂාවෙන් ප‍්‍රබෝධවත් වූ ඉසිපතනය මිගදායේ සොඳුරු වනපියස ඇසුරේ ම, සදහම් රසයෙන් ප‍්‍රබෝධවත් ව, උතුම් අරහත්වයෙන් අබිසෙස් ලැබූ ඛීණාස‍්‍රව වූ රහතන් වහන්සේලා හැට එක්නමක් වූහ. කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග භික්ෂූන් වහන්සේලා ගෞතම බුදු සසුනේ පළමුවෙන් ම උතුම් අරහත්වයට පත් ශ‍්‍රාවකයන් වහන්සේලා වීමට භාග්‍ය ලද සේක. බරණැස සිටුහුගේ පුත් වූ යස කුමරුවෝ ද විමල, සුබාහු, පුණ්ණජී, ගවම්පතී යන කුමාරවරු ඇතුළු ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා ද වස්සානය අවසන් වන විට සියලූ කෙලෙසුන් නැසූ රහතන් වහන්සේලා බවට පත්වීමේ භාග්‍ය ලැබූහ. ශාස්තෘන් වහන්සේ ද ඇතුළු ව එ් වන විට ලෝකයේ රහතන් වහන්සේලා හැට එක්නමකි.

මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ‍්‍රාවක වූ එ් අරහත් මුනිවරු මූලික කරගෙන බොහෝ දෙව් මිනිසුන්ට සෙත සලසනු වස් ප‍්‍රථම ධර්මදූත මෙහෙවර ආරම්භ කරන ලද්දේ ඉල් පුන් පොහෝ දිනක දී ය. එදා භාග්‍යවතුන් වහන්සේ එ් උතුම් රහතන් වහන්සේලා හැටනම අමතා මෙසේ අවවාද කළ සේක.

”පින්වත් මහණෙනි, යම් දිව්‍යමය වූ කෙලෙස් මළපුඩු වෙත් ද යම් මානුෂීය වූ කෙලෙස් මළපුඩු වෙත් ද එ් සියලූ කෙලෙස් මළපුඩුවලින් මම මිදුණෙමි. පින්වත් මහණෙනි, යම් දිව්‍යමය වූ කෙලෙස් මළපුඩු වෙත් ද යම් මානුෂීය වූ කෙලෙස් මළපුඩු වෙත් ද එ් සියලූ කෙලෙස් මළපුඩුවලින් ඔබලා ද මිදුනාහු ය. පින්වත් මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ගේ ම වැඩ පිණිස ද හිත පිණිස ද සුව පිණිස ද චාරිකාවේ හැසිරෙව්! දෙනමක් එක් මගින් නො වඩිව්! පින්වත් මහණෙනි, මුලත් යහපත් වූ, මැදත් යහපත් වූ, අගත් යහපත් වූ, අර්ථ සහිත වූ, පැහැදිලි වචන සහිත වූ, මුළුමනින් ම පිරිපුන් වූ ධර්මය දේශනා කරව්!”

මෙම උතුම් බුද්ධානුශාසනාවට අනුව, සද්ධර්මයෙන් පිරිපුන් වූ නිකෙලෙස් ජීවිත ඇති එ් මුනිවරයාණන් වහන්සේලා දඹදිව නොයෙක් ගම් දනව් සිසාරා වැඩම කළේ ගෞතම බුදු සසුනේ සදහම් සන්දේශය බොහෝ දෙනාට දායාද කිරීමේ උත්තම සිත් ඇතිව ය. එ් උත්තම රහතන් වහන්සේලාගේ ප‍්‍රථම ධර්මදූත මෙහෙවර කෙතරම් සාර්ථක වී ද යත් කෙටි කලක් තුළ දී දෙවි මිනිස් බොහෝ පිරිසකගේ ජීවිත සදහම් අසිරියෙන් බබළන්නට විය.

තුන් බෑ ජටිල දමනය…

එකල උරුවෙල් දනව්වෙහි නේරංජරා නදිය ඇසුරු කරගෙන උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන සහෝදර ජටිල තාපසවරු තිදෙනෙක් පිළිවෙළින් පන්සීයක් ද තුන්සීයක් ද දෙසීයක් ද වූ ඔවුන්ගේ අතවැසියන් සමඟ අසපු තුනක වාසය කරති. බුදු කරුණාවේ සිසිලස ලැබීමට ඊ ළඟට භාග්‍යවත් වූයේ ඔවුහු ය. තම ශ‍්‍රාවකයන් වහන්සේලා ධර්මදූත මෙහෙවරහි යොදවාලූ ශාස්තෘන් වහන්සේ හුදෙකලාවේ ම ඔවුනට සෙත සැලසීම පිණිස වැඩම කරන ලද්දේ ද ඉල් පුන් පොහෝ දිනක දී ය. එහි ප‍්‍රතිඵලය වූයේ ගෞතම බුදු සසුන ශෝභමාන කරමින්, දෙවි මිනිස් ලෝකයාට සෙත සලසමින් තවත් රහතන් වහන්සේලා දහස්නමක් ලොවට දායාද වීමයි. බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිසදම්මසාරථි බුදු ගුණය මනාව ඉස්මතු වන සිද්ධියක් ලෙසට ය ශාසන ඉතිහාසයේ මෙම තුන් බෑ ජටිල දමනය විස්තර වන්නේ. උරුවෙල් කාශ්‍යප තවුසා දමනය කිරීමට භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි ප‍්‍රාතිහාර්ය තුන්දහස් පන්සිය දහසයක් දැක්වූ සේක.

ධර්ම සේනාධිපතීන් වහන්සේගේ නිවන් පුර වැඩමවීම….

ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ වූයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ය. එමෙන් ම ගෞතම බුදු සසුනේ ප‍්‍රඥාවන්ත භික්ෂූන් අතර අගතැන්පත් වූයේත් අග‍්‍රශ‍්‍රාවක භාවයට පත්වූයේත් උන්වහන්සේ ම ය. මෙසේ සසුන් කෙත ශෝභමාන කරමින් වැඩසිටියා වූ තථාගත අනුජාත පුත‍්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ද ඉල් පුන් පොහෝ දිනයක දී සිදුවී තිබේ.

භාග්‍යවතුන් වහන්සේ හතලිස් පස්වන වස් කාලය ගත කළේ බේලූව ගමේ ය. එහි වස් වැස මහා පවාරණයෙන් පසු තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයට පිවිසි සේක. එ් වන විට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පැවිදි ජීවිතයට ද ගෙවීගිය වස් ගණන හතලිස් හතරකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ හට නමස්කාර කොට ගොස් හුදෙකලා විවේකයෙන් වැඩ සිටි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතේ මෙවැනි පරිවිතර්කයක් උපන්නාහ. ”බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම පිරිනිවන්පානා සේක් ද…? නැතහොත් අග‍්‍රශ‍්‍රාවකයින් පිරිනිවන් පාන්නාහු ද…?” ඉක්බිති අග‍්‍රශ‍්‍රාවකයන් පළමුවෙන් පිරිනිවන්පානා බව දැක තමන් වහන්සේගේ ආයු සංස්කාරයන් දෙස බලන විට එය තවත් දින කිහිපයකට සීමා වී තිබුණි. එ් අනුව තවමත් මිසදිටු ඇදහීම් ඇති තමන් වහන්සේගේ මෑණියන් වූ රූපසාරි බැමිණියට පිහිට වීමේ අරමුණින් ම ඉල් පුන් පොහෝ දින තමන් වහන්සේ උපන් නාලක බමුණුගමේ නිවසේ දී ම පිරිනිවන්පානා අදහසින් ආයුසංස්කාර අත්හළ සේක. පන්සීයක් භික්ෂූන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ආදරයෙන් වන්දනා කොට මෙසේ පවසා වදාළ සේක.

“ස්වාමීනී, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙහි නැවත පැමිණීමක් නැත. මේ අවසන් ගමනයි. මේ මාගේ අවසන් වන්දනාවයි. මාගේ ආයුෂය ස්වල්ප ය. බර උසුලන්නෙකු බර බිම තබන්නාක් මෙන් මෙයින් සත්දිනක් ගිය තැන මම මේ ශරීරය බහන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ මට එය අනුදැන වදාරණ සේක්වා”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ”සාරිපුත්තයෙනි, ඔබ කැමති සේ කරන්න. මින්පසු ඔබගේ වැඩිමහලූ බාල සහෝදර භික්ෂූ සංඝයාට ඔබ වැනි උතුම් භික්ෂුවකගේ දර්ශනය නො ලැබෙන්නේ ය. භික්ෂු සංඝයාට ධර්මය දේශනා කරන්න” යැයි වදාළ සේක. සාරිපුත්තයන් වහන්සේ ද ඍද්ධි ප‍්‍රාතිහාර්ය දක්වමින් ධර්මය දේශනා කොට සම්බුදු සිරිපා මුල වැඳ වැටී ”ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මෙයින් එ්කාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි ලොව පහළ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි දී ඔබ වහන්සේගේ දර්ශනය ප‍්‍රාර්ථනා කළෙමි. මාගේ එ් ප‍්‍රාර්ථනය සමෘද්ධිමත් විය. මා විසින් ඔබ වහන්සේ දකින ලදී. එ් මාගේ ප‍්‍රථම දර්ශනය යි. මේ වනාහී අන්තිම දර්ශනය වේ. නැවත ඔබ වහන්සේ නොදකින්නෙමි.” යි තුති ගී ගයා දොහොත් මුදුන් තබා භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්ම ගියහ. භික්ෂූන් වහන්සේලා ද බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි උන්වහන්සේ පසුපස ජේතවනාරාමයෙහි දොරටුව දක්වා පසු ගමන් කොට ගෞරව දැක්වූහ.

මෙසේ තථාගතයන් වහන්සේගෙන් සමුගත් ධර්ම සේනාධිපතින් වහන්සේ සත් දිනක් ඇවෑමෙන් ඉල් පුර පොහෝ දිනෙක නාලක බමුණු ගමට වැඩම කොට තමන් වහන්සේගේ මව් බැමිණියට කෘතගුණ දැක්වීමේ අරමුණින් ගිහි කල තම නිවසේ වූ කාමරයේ ම රාත‍්‍රිය ගත කළ සේක. එදින අවසන් වතාවට සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කිරීම පිණිස සතරවරම් දෙව් මහ රජවරු ද සක් දෙවිඳු ද මහා බ‍්‍රහ්මරාජයා ද මහත් වූ ආලෝක ධාරා විහිදුවමින් පැමිණෙන්නට වූහ. මේ මහා අසිරියෙන් සංවේගයට පත්ව ධර්මය පිළිබඳ ව පහන් සිත් ඇති වූ රූපසාරි බැමිණිය හට බුදු ගුණ පිළිබඳ ව වූ සුන්දර ධර්මයක් දේශනා කළ සාරිපුත්ත මහරහතන් වහන්සේ, තම මෑණියන් උතුම් සෝතාපන්න ඵලයේ පිහිටුවා එම නිවසේ දී ම ඉල් පුන් පොහෝ දා රාත‍්‍රියේ පිරිනිවන් පා වදාළ සේක.

ලක්දිව ඉදිවූ ප‍්‍රථම මහා සෑය….

ලංකාද්වීපයේ බුදු සසුන පිහිටුවීමෙන් අනතුරුව, ඉදිවූ ප‍්‍රථම මහා සෑය වූයේ ථූපාරාම ස්ථූපය යි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පූර්ණ මගපෙන්වීම යටතේ, දෙවනපෑතිස් රජු විසින් කරවූ ථූපාරාමයේ විහාර පූජාව සිදු වී ඇත්තේ ද ඉල් පුර පොහෝ දිනයක දී ය. සර්වඥයන් වහන්සේගේ දකුණු අකුධාතූන් වහන්සේ නිධන් කොට මහත් බැතිසිතින් යුතුව කරවූ එම උතුම් ථූපාරාම සෑරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

ඉල් පුර පොහෝ දිනෙක පිරිනිවන් වදාළ මහා ප‍්‍රඥවන්ත වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා! ඉල් පුන් පොහෝ දිනක දෙවි මිනිසුන් කෙරෙහි අනුකම්පා කර ධර්මදූත මෙහෙවරෙහි වැඩම කළ බුදු සසුනේ පහළ වූ ප‍්‍රථම රහතන් වහන්සේලා හැටනමට ද අපගේ නමස්කාරය වේවා!