highlights of the week
Home » NEW ARTICLES » කාම පේ‍්‍රතයෙකුගේ පාපොච්චාරණයක්

කාම පේ‍්‍රතයෙකුගේ පාපොච්චාරණයක්

මීට කාලයකට පෙර කාම පේ‍්‍රතයෙක් ගැන මහාමේඝ පුවත් පතේ ලිපියක් පළවුනා. මේ කතාවත් මගේ යාළුවෙකුට මෑතකදී සිදුවුන එවැනි සත්‍ය සිදුවීමක් සම්බන්ධයෙනි. එයා හරි අහිංසකයි. රූප ශෝභාවෙනුත් ලස්සනයි. අපි ඉගෙනගත්තේ එකට. දැන් අපි රස්සාවල් කරනවා. මගේ යාළුවාට ගිය අවුරුද්දේ ඉඳලා ලොකු ප‍්‍රශ්නයක් ඇතිවෙලා. ඒ තමයි එයාගේ හිතට අසාමාන්‍ය කාම සිතුවිලි එන්න පටන් අරන්. දවසේ පැය ගානක් ඉන්ටර්නෙට් එකේ. ඇඟත් වැහැරිලා ගිහිල්ලා. මම ඔය ගැන ඇහැව්වා. කිව්වේ නෑ. දවසක් මම කිරිවෙහෙරට එයාව එක්කගෙන ගියා. එයාට මළුවෙදී ඔලුවේ කැක්කුමක් හැදුනා. මම අපේ ගෙදර එක්කගෙන ආවා. එයා රෑ නිදාගත්තේ මම ළඟ. එයාගේ හැසිරීම හරි වෙනස්.

නමුත් කිරි වෙහෙරෙදී මෙයාගේ ගුප්ත හැසිරීමත්, මෙතෙක් කලක් මම මෙයාගේ නරකක් දැකලා නැති නිසාත්, රාත‍්‍රියේ මෙයාගේ නොහොබිනා හැසිරීමත් ගැන මට සැක හිතුනා. මම ආයෙත් පහුවදා එයාට ගොඩාක් කරුණු කියලා කිරිවෙහෙරට ගෙන්නාගෙන ගියා. රාත‍්‍රී දහයට විතර ඇති කවුරුත් මළුවේ හිටියේ නෑ. ඒත් මම දැක්කා මළුවේ එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. මම කිහිප විටක්ම කලින් ඒ ස්වාමීන් වහන්සේ සෑය වඳිනවා දැකලා තියෙනවා. අපි අනිත් පැත්තේ ඉඳලා තෙරුවන් වන්දනා කරලා පිරිත් කිව්වා. රතන සූත‍්‍රය කියන කොට මගේ යාළුවා (එයාගේ නම සඳුන්) ඔළුව රිදෙනවා කියලා අපි යමු කිව්වා. මම දිගටම පිරිත් කිව්වා. එයා ඔළුව අත්දෙකෙන් බදාගෙන ඇති ඇති කිව්වා. ආවේෂ වෙලා වගේ. මාත් භය වුනා.

පිරිත නතර කරලා අර ස්වාමීන් වහන්සේ ළඟට මම දුවගෙන ගියා. මම ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරද්දී කථා කලා. උන්වහන්සේ සන්සුන්ව දෑස් විවර කරලා “ඇයි පුතා” කියලා ඇහුවා. මම කිව්වා “අනේ ස්වාමීනී මගේ යාළුවාට මොකද්ද වෙලා. මම පිරිත් කිව්වා එයා ආවේෂ වෙලා වගේ” කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා ගෙන්නාගෙන එන්න කියලා. මම අමාරුවෙන් එයා මේ පැත්තට ගෙන්නාගෙන ආවා. මම ස්වාමීන් වහන්සේට වන්දනා කරලා සියලු විස්තර කිව්වා.

මම ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරද්දී සඳුන් වටපිට බලනවා. ස්වාමීන් වහන්සේගේ මූණ බලන්නේ නෑ. බිම බලා ගන්නවා. ස්වාමීන් වහන්සේ ඒ ඔක්කොම බලාගෙන ඉන්නවා මම දැක්කා. “පුතා ළඟට එන්න” කියලා ඇස්දෙක පියාගන්න කිව්වා. සඳුන් ඇස්දෙක පියා ගත්තා. උන්වහන්සේ ඔළුවට අත තිබ්බා. ඇස්දෙක පියාගත්තා. විනාඩියක් විතර යනකොට දත්මිටි කාගෙන සඳුන් වෙව්ලන්න ගත්තා. ස්වාමීන් වහන්සේ ඇහැව්වා කවුද මේ කියලා. කියන්නේ නෑ එයා නිහඬයි. කිහිප විටක් ඇහුවා. ඒත් උත්තර නෑ.

ස්වාමීන් වහන්සේ “ඉන්දෝ සෝමෝ වරුණෝච” කියලා සෙන්පති දෙවිවරු සිහිකලා. ටිකක් වෙලා යනකොට කෑ ගහලා කිව්වා “ඇති! ඇති! මම කියන්නම්, මම කියන්නම්” කියලා. ස්වාමීන් වහන්සේ ඇහුව්වා “උඹ කවුද?”. “මම පෙරේතියක්’’. “උඹ මේ ළමයාගේ කවුද?”. “මේකා කවුද කියලා මම දන්නේ නෑ”. “එහෙනම් මෙයාගේ ඇඟට ආවේ ඇයි?”. “මට දැනුනා මේකගේ ඇඟට මට යන්න පුළුවන් කියලා”. “උඹ කලින් කොහේද හිටියේ?” “මට ඒවා මතක නෑ. මට මතක මට පිරිමි ඕන කියලා විතරයි. කාම සේවනයට මම හරි ආසයි.

මනුස්ස ලෝකේ ඉද්දී මම ඔය පෙරේත වැඩේ තමයි කොලේ. මම මැරුණට පස්සේ මේ පෙරේතයන් ගොඩේ ඉපදුනා”. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තව මොනවාදෝ ඇහුවා. ඊට පස්සේ ඒ පෙරේත දිෂ්ටිය කියවගෙන කියවගෙන ගියා. “අම්මෝ! ගොඩාක් ඉන්නවා. විරූපියි, කැතේ බෑ. ඇස් ලොකූයි. ඇඟේ නූල් පොටක් නෑ. පුදුම ගඳක්. ඒ පෙරේතයෝ බලන්නේම එක එකාගේ නරක තැන්. හිතේ පුදුම ආශාවක් තියෙන්නේ. දිග නියපොතු වලින් හූරනවා. ඒ මස් කෑලි කඩාගෙන ආශාවට කනවා. ලෙවකන්න ළඟට එනකොට වේදනාවට හූරනවා, කෑ ගහනවා. මටත් ඔහොම වුනා. ගෑණු පිරිමින්ගේ නරක තැන් වලට තමයි ආසා, කෑදරයි. කටින් කෙල වැක්කෙරෙනවා. මෙහෙම කියාගෙන යනකොට ස්වාමීන් වහන්සේ කිව්වා ”ඇති ඇති නවත්තපන්. ඔය කාම පෙරේතයෝ ගැන මං කලින් දන්නවා”.

එතකොට මම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා “කාම පෙරේතයෝ කියන්නේ කවුද?” එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා “පුතා, මනුස්ස ලෝකයේ පෙරේතයෝ වගේ කාමයටම ආශා කරපු අය පෙරේත ලෝකේ ඉපදුනාට පස්සේ විස්තර තමයි ඔය කියන්නේ. බුද්ධ දේශනාවේ නම් ඔහොම නමක් නැහැ. නමුත් උන් ආසා ජරා වැඩ වලට නිසා අපි නිකමට ඔය නම පාවිච්චි කරනවා”.

“ඉතින් ඇයි ස්වාමීන් වහන්ස සඳුන්ට මේ අය කරදර කරන්නේ? සඳුන් නරක කෙනෙක් නොවෙයි. අපි කොච්චර එකට ඉඳලා තියෙනවාද?”. “පුතා, හරි අපි මේකිගෙන්ම අහලා බලමු’’. “කියපන් දැන් උඹ කොහොමද මේකව අල්ලා ගත්තේ්”. සඳුන්ගේ කටින් කෙල වැක්කෙරෙනවා. ඔළුව පහතට හැරිලා. ඇස් මොකද්දෝ වෙලා. මට භය හිතුනා. “උඹ කොහොමද මේ ළමයාගේ ඇඟට ගියේ. කියපන්,” ස්වාමීන් වහන්සේ නැවත ඇහුවා.

“මම පිරිමින්ට ආසයි. උන් එක්ක ඉන්න ආසයි. මම දවසක් ඔහේ යද්දී මේකා ඉන්න තැනින් ගියා. මේකා කාමරේකට වෙලා මොකද්දෝ එකක් දිහා බලාගෙන ආශාවෙන් ඉන්නවා. මම ආශා කරන ඒවා තමයි ඒකේ පේන්නේ. ගෑනු මිනිස්සු එකට ඉන්නවා මේකා ඒවා ආශාවෙන් බල බලා ඉන්නවා. මාත් ආසයි ඒවට. මේකත් ආසයි ඒවට. මේකාගේ අඳුරක් විතරයි මට පෙනුනේ. රෙද්දකින් පොරවා ගන්නවා වගේ මම මේකා පිටි පස්සෙන් බදා ගත්තා. මම නිකම්ම ඇඟට එකතු වුනා. ඊට පස්සේ මම කැමති කැමති දේ මේකා කරනවා. මේකාගේ ජරාව මම එදා ආශාවෙන් කෑවා. මේකා තනිවුන ගමන් අර පෙට්ටිය ගනින් කියලා මම හිතන කොට මේකා ඒක ගන්නවා. මට කෑම ලැබෙනවා. මට මේකා නියමයි. මේකා කොහේවත් යන්නේ නෑ. මේකාත් එක්ක කතා බහ කරන කොල්ලෝ මේකා ළඟ නවත්තා ගන්න හැටි අපි දන්නවා. මේකාගේ ඇඟ පාවිච්චි කරලා මං උන්ගෙන් සතුටු වෙනවා.”

“හැබැයි මේ ළඟ ඉන්න එකාගේ ඇඟේ එළියක් තියෙනවා. මම මේකාගේ යාළුකම දුරු කලා. මුණ ගැහෙන්න යන එක වැලක්කුවා. සිවුරු දාගත්ත අය මුණ ගැහෙන එක වැලක්කුවා. එතකොට අපිට ඉන්න අමාරුයි. ඊයෙත් මේකා මෙහෙට ආව නිසා මට මොකුත් කර ගන්න බැරි වුනා. මේකාගේ අණට යට වෙලා මට මෙහේ එන්න වුනා”.

“දැක්කානේද? පුතා, ඔය කියන්නේ ලැප්ටොප් හෑන්ඩ් ෆෝන් ගැන, ඉන්ටර්නෙට් එකේ ජරා වීඩියෝ බල බලා ඉන්න කොට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයා ළඟ ඔය උපකරණ ඇති”. “ආ ඔව් ස්වාමීන් වහන්ස, මෙයා ළඟ ඒවා තියෙනවා”. “ඔයා ළඟ එළියක් තියෙනවා කියන්නේ, ඔයා භාවනා කරනවාද?” ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා. “විශේෂයෙන් භාවනා කරනවා කියලා එකක් නෑ, හැබැයි මම කිරි වෙහෙරට නිතර ජීවිතේ පූජා කරනවා. හැමදාම තෙරුවන් වඳිනවා. ටික කාලෙක ඉඳලා බ‍්‍රහ්මචාරී සිල් රකිනවා”. “බලන්න පුතා, ඔයා පුරුදු කරන ගුණයෙන්, මේ උතුම් චෛත්‍යයේ ආනුභාවයෙන් ඔයා බේරිලා තියෙන්නේ. ඒකයි මේ එළියක් පේනවා කියන්නේ.”

එතකොට පෙරේතිය ආයෙත් කතා කළා. “ඒ වුනාට මට කමක් නෑ. මට ඕන තරම් ඉන්නවා. දැන් ඉන්න ඕන කොල්ලෙක් අල්ලා ගන්න පුළුවන්. උන්නේ හිත් අඳුරුයි. එ් වුනාට නිතර චෛත්‍යවලට යන, පිරිත් කියනවායි කියලා මොනවදෝ කියන, බණ අහනවායි කියලා මොනවදෝ අහන කොල්ලන්ගේ එළියක් තියෙනවා. උන් ළඟට යන්න අමාරුයි. හැබැයි උන් ටිකයි ඉන්නේ. අනිත් උන්ගෙන් ඕන තරම් අපට කෑම තියෙනවා. මම කොල්ලන්ට කෑදර නිසා ලස්සන කොල්ලෙක් දැක්කාම මේකාට ආශාව ඇතිකරවනවා. මම මේකාගේ ඇඟෙන් කොල්ලෝ කීදෙනෙක් එක්ක ඉඳලා තියෙනවාද? ඒත් ආසාව, බඩගින්න එහෙම්මයි”.

“උඹ පෙරේතියක්නේ. ඉතින් උඹේ ආශාවට ගෑනියක්ගේ ඇඟට යන්න එපැයි. පිරිමියෙක්ගේ ඇඟට ආවේ. පිරිමි පිරිමි පස්සේ යනකොට මහා නින්දාවක්නේ”. “ඔව්! ඒත් මට යන්න පුළුවන් වුනේ මේකාගේ ඇඟටනේ. මේකා මට ඕන විදිහට තියාගන්න පුළුවන්. බස්වල යනකොට ළඟ ඉන්න කොල්ලන්ගේ කකුල පාගනවා. කතා කරලා අංක ලියලා කොල දෙනවා. අර එක එක රූප වැටෙන පෙට්ටියේ එක එක දේවල් කරලා ඕන තරම් කොල්ලො ගෙන්න ගන්න පුළුවන්”.

“ස්වාමීන් වහන්ස, ඔය කියන්නේ ෆේස්බුක් එක ගැන. ඒවගෙන් කට්ටිය ඔය වගේ නරක වැඩ වලට එකතු වෙනවා. ෆේස්බුක් වලින් නරක වැඩ වෙනවා කියලා මම අහලා තිබුනා. මම හිතුවෙ නෑ සඳුන් මේවාට සම්බන්ධයි කියලා. ”නෑ පුතා, ළාමක අදහස් තියෙන අය ළාමක අදහස් තියෙන අයත් එක්ක එකට එකතු වෙනවා. මේ අය දන්නෙම නැතුව පේ‍්‍රත ලෝකේ රූකඩ බවට පත් වෙලා. මේවගේ කතා මිනිස්සුන්ට කිව්වොත් මිනිස්සු තේරුම් ගනීවිද? මේ විදිහට කොල්ලෙකුටවත් දැන් බස් එකේ යන්න බෑනේ”.

“එතකොට ඔය කොල්ලෝ පිටිපස්සේ යන හැම කොල්ලෙකුටම පේ‍්‍රතියෝ වැහිලද ඉන්නේ?” එතකොට සඳුන්ගේ ඇඟේ ඉන්න පේ‍්‍රතිය කතා කලා. “ඕවා මම දන්නේ නෑ. ඔය වගේ ආශාවල් තියෙන එවුන් මැරිලා අපි වගේ ඉපදෙනවා. ඒ පේ‍්‍රතයෝත් මං කරන වැඩේ තමයි කරන්නේ. අපි මුන්ගෙන් තමයි යැපෙන්නේ. සමහර එවුන් ඉන්නවා උන්ගේ ඇඟට පේ‍්‍රතයෝ එන්නේ නෑ. ඒත් උන් කරන පෙරේත වැඩ වලින් අපිට කෑම හම්බවෙනවා. දැන්නම් අර පෙට්ටියක් වගේ එක නිසයි (ඒ කියන්නේ ලැප්ටොප් කම්පියුටර් ගැනෙ) අතින් ගෙනියන්න පුළුවන් එක (හෑන්ඩ් ෆෝන්, ටැබ් ආදිය) නිසයි අපිට හොඳට කෑම හම්බවෙනවා. සමහර එවුුන් ඉන්නවා මේවා බලලා ආශාවෙන් ඉන්නවා ඒත් මොකුත් කරන්නේ නෑ. ඒවගේ එවුන් බුදියගත්තට පස්සේ ඇඟේ එකතු වෙලා තියෙන ජරාව අපි උරලා බොනවා. මුන් මැරුණට පස්සේ අපි අපේ ළඟට ගන්නවා. අපේ හැතිකරේ වැඩිවෙනවා. එතකොට ඉතින් මනුස්ස ලෝකෙත් අපිට කෑම දෙන කට්ටියම වැඩිවෙනවා. මුන් කොහොමද අපෙන් බේරෙන්නේ?”

පේ‍්‍රතිය කතා කරද්දීම ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කළා. “බලන්න පුතා, මේ ඉන්ටර්නෙට් එක නිසා ළමයි විනාශ වෙන හැටි. ඔය පිටරට වල තනිකරම තියෙන්නේ කාම පේ‍්‍රතයන්ගේ රූකඩ. ඒවා බල බලා ඕවටම ආශා කරන අයත් ඉතින් ඒ ලෝක වලමයි උපදින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා නේ අම්මා පවා හඳුනන්නේ නැති යුගයක් එනවා කියලා. කොහොමටත් ඉස්සරහට එන්නේ රාග, ද්වේශ, මෝහ වැඩි කාලයක්. පිං තියෙන අය ගොඩ යයි. අනිත් අය මේවට අහුවෙයි”.

“ඉතින් ස්වාමීන් වහන්ස මට පුදුමයි මෙයා හොඳ කෙනෙක්නේ. මාත් එක්ක එකටමයි හිටියේ. ඔය වගේ නරක වැඩ කලින් කරලාම නෑ”. මං එහෙම ස්වාමීන් වහන්සේට කියද්දී පේ‍්‍රතිය කතා කළා. “උඹ දන්නේ නෑ ඒවා. මේකා මෙච්චර කාලයක් හොඳින් හිටියේ මේකා ළඟ ලොකූ සුදු පාට එළියක් තිබුනා. ඒ එළිය විටින් විට එනවා යනවා මේකාගේ ඇඟට වැටෙනවා. එතකොට අපට කිට්ටු වෙන්ට බෑ.(ඒ ඉෂ්ඨ දෙවියන් ගැන වෙන්න ඇති පේ‍්‍රතිය කිව්වේෙ) මේකා අර අතින් ගෙනියන පෙට්ටිය අරන් අපි කැමති ජරාව බලනකොට, මේකා නොකරපු ජරාව කරන කොට, නොදන්න ජරාව අහන කොට, එළිය නැතිව ගියා. එතකොට තමයි යාන්තම් අපිට කලදසාවක් ආවේ. මුන් ළඟට එන එළි තිබ්බොත් අපිට මොකුත් කරන්න බෑ”.

“පුතා, ඔයාලා දන්නැති ගොඩාක් දේවල් තියෙනවා. මට නම් මේ පේ‍්‍රතයන් එක්ක කතා කරන්න උවමනාවක් නෑ. අපි මෙයාව යවමු”. ස්වාමීන් වහන්සේ සඳුන් දෙස හැරුනා. ”උඹ දැන් මේ ඇඟෙන් යන්න ඕන”.

අර දිෂ්ටිය කලබල වුණා. “එහෙම බෑ. මම යන්නේ නෑ. මුන්ගෙන් තමයි මං ජීවත් වෙන්නේ. මට මේකගෙන් හැමදාම කෑම ඕන. මේ ළඟ ඉන්න එකත් මට පේන්න මොනවහරි කරපන්කෝ. උඹත් මොනවා හරි කරන කොට ඒ ජරාවේ ගඳ අපිට දුරටම දැනෙනවා. තොගේ ඇඟෙත් එළියක් තියෙනවා. ඒ වුනාට උඹගෙන් ජරාව කන්න අපි ආශාවෙන් ඉන්නේ. අපි උඹ පිටිපස්සෙනුත් එනවා. අපේ හැතිකරේ ගොඩාක් ඉන්නවා. ගණන් කරන්න බෑ. තොපි කොහොමද බේරෙන්නේ. මට යන්න කියන්ට එපා. සිවුරු දාපු උඹ පිටිපස්සේත් එනවා”. එහෙම කියනකොට මට ඇත්තටම භය හිතුනා. මං ස්වාමීන් වහන්සේ දිහා බැලුවා.

ස්වාමීන් වහන්සේ නැගිට සෑය දෙසට වැඩම කොට සෑයට පූජා කොට තිබූ පැන් පාත‍්‍රය අතට ගෙන කරණීයමෙත්ත සූත‍්‍රය සජ්ඣායනා කරමින් සඳුන්ට පැන් ඉස්සා. “සබ්බේ බුද්ධා බලප්පත්තා” ගාථාව තුන් වතාවක් සජ්ඣායනා කළා. එතකොට සඳුන් සාමාන්‍ය තත්වයට පත් වුනා. එයාගේ ෂර්ට් එකේ කෙළ වැටිලා. එයාට ලැජ්ජා හිතිලා ඉක්මනට පිහදාගත්තා. ඊට පස්සේ එයා ඇහුවා “මට මොකද වුනේ?” කියලා. මම කිව්වා “පස්සේ කියන්නම්” කියලා.

මම ස්වාමීන් වහන්සේගෙන් ඇහැව්වා “දැන් මොකද්ද කරන්නේ?” කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා “පුතා, භය වෙන්න එපා. ඉතින් මොනවා කරන්නද? සසරේ හැටි ඔහොම තමයි. මේ වෙලාවේ අපිත් ඕවට අත ගහන එක එච්චර හොඳ නෑ. මොකද අපි යන්තර මන්ත‍්‍ර දන්නෙත් නෑ. දිෂ්ඨි එලවන්න දන්නෙත් නෑ. හැබැයි මම ඔයාලට බේරෙන ක‍්‍රමයක් කියන්නම්.

“පුතා, භය වෙන්න එපා. තිසරණයට ජීවිතය පූජා කරලා සිල් ගුණ දම් රකිමින් කලණමිතුරු සංඝයා ඇසුරු කරමින් නිතර ධර්මය ශ‍්‍රවණය කරමින් කෙලෙස් පාලනයකට එනවා නම් මම හිතන්නේ නෑ එහෙම කරදරයක් වෙයි කියලා. මම අරක කරනවා මේක කරනවා කියලා අර පේ‍්‍රතයෝ කිව්වට බුද්ධ බලය ඉදිරියේ මුන් මොකුන්ද? මේ ළමයාව ඉක්මණින්ම රුවන්වැලි සෑයට එක්කගෙන යන්න. තිසරණය සමාදන් කරවන්න. ජීවිතය පූජා කරන්න. හොඳට බිම දිගා වෙලා දණ්ඩ නමස්කාරයෙන් බුදු සිරිපා වඳිනවා වගේ සෑයේ පාදමට නළල තියලා වඳින්න. තෙරුවන් වැඳලා හොඳට රතන සූත‍්‍රය ආටානාටිය සජ්ඣායනා කරන්න. පුළුවන් නම් තුන් වතාවක් නැත්නම් හත්වතාවක් හරි ආටානාටිය කියන්න. “මේ කරදරයෙන් මාව නිදහස් කොට ආරක්ෂාව සලසා දෙත්වා!” කියන අදහසින් තුනුරුවන්ට ජීවිතය පූජා කරන්න. සෙන්පති දෙවිවරුන්ගේ නම් හත් වතාවක් කියන්න. සෙත් පිරිත් සජ්ඣායනය කරලා දෙවියන්ට පින් දෙන්න”.

“නිතර බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිහි කරන්න. මහා කස්සප මුනිඳුන්ගේ විරාගී ජීවිතය නිතර සිහිකරන්න. මහා තෙදවත් අංගුලිමාල මුනිඳුන් සිහි කරන්න. ඕවා තමයි ළමයෝ විසඳුම්. මට නම් හොඳටම විශ්වාසයි ඔය ක‍්‍රමය හරි කියලා. දේවාල වල ගිහිල්ලා තේරුමක් නෑ. කට්ටඩියන්ගේ යන්තර ඌරුමසට, කිල්ලට හමාර වෙනවා. තිසරණය තියෙන තාක් කල් භයවෙන්න දෙයක් නෑ. පුළුවන් නම් විටින් විට හොඳට බඹසර සිල් රැකලා ඉෂ්ටකාමී දෙවිවරුන්ට පින් දෙන්න. පන්සිල් කොහොමත් ආරක්ෂා කරන්න. බණ දහම් අහන්න පුරුදු වෙන්න. කිරි වෙහෙරට නිතර යන්න. පව්කාර අදහස් ළාමක අදහස් තියෙන අයගේ ඇසුරෙන් ඈත් වෙන්න. ඔය විදිහට තමයි ඉතින් රැකෙන්න තියෙන්නේ. ඉක්මනට දෙව්ලොවකටවත් පැන ගන්න. මනුස්ස ලෝකේ ඉපදුනොත් ඉදිරියට මේ යන විදිහට විනාසයි ”.

මම ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. “ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපට මුණ ගැහුනේ හරි පුදුම විදිහට. ඔබ වහන්සේ කොයි අසපුවේද ඉන්නේ? ස්වාමීන් වහන්සේගේ නම මොකද්ද?” “පුතා, මං ගැන හොයන්න එපා. කියපු දේ කරන්න. මාත් මේ දවස්වල ටිකක් හිත විසිරිලා, ජීවිතය සෑයට පූජා කරලා ටිකක් භාවනා කරලා යන්න ආවේ. හදිසියේ මේ වෙච්ච අපහසුවේදි මමත් නිහඬව හිටියා නම් ඔයාලාට මොකුත් කරගන්න වෙන්නේ නෑ. ඒ මිසක් මම දන්න කට්ටඩිකම් නැහැ. අපිට කට්ටඩිකම් කරන්නත් බෑ. මේවගේ ජරා කතා පැය ගණන් අහගෙන ඉන්නත් මම කැමති නෑ. කාටත් හොඳම විසඳුම තමයි මම කිව්වේ. අපේ ගුරුවරු අපට එහෙම තමයි කියලා දීලා තියෙන්නේ. කවුරු මගෙන් ඇහුවත් ඔය මන්තරේ විතරයි මම දන්නේ. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අත හැරලා පිරිසිදු සිල් රකින, සිත සමාහිත, විදර්ශනා වඩන භික්ෂුව නිවන් දකිනවා කියලා මං අහලා තියෙනවා. ඒක තමයි මම දන්න බුදු බණ. පින් තියෙන අය තමයි ඉතින් බේරෙන්නේ. සසරින් නිදහස් වීම සැපයක්. හොඳයි එහෙනම් ගිහිල්ලා එන්න. මේ පැන් ටිකක් බීලා යන්න”. ඔය සිද්ධිය කිරිවෙහෙර සෑ මළුවේදි සිද්ධ වුනේ.

දැන් මේ සිද්ධිය වෙලා මාස හයක් විතර වෙනවා. මගේ යාළුවගේ ප‍්‍රශ්නේ ඉවරයි. මගේ යාළුවා බේරුනා. පුදුමයි! ස්වාමීන් වහන්සේ කියපු විදිහටම අපි ඔක්කොම කළා. ස්වාමීන් වහන්සේ කියපු එක කොයිතරම් සත්‍යයක්ද? දැන් මගේ යාළුවට කිසිම කරදරයක් නෑ. පව් වැඩ වලින් වැලකිලා හොඳින් ඉන්නවා. බණ අහන්ටත් යනවා. සිලුත් ගන්නවා. පොඩි ෆෝන් තමයි අපි පාවිච්චි කරන්නේ. මේ විදිහට කරදරේ වැටුන කවුරු හරි බේරගන්ට මේ සිද්ධියත් දැන ගැනීම උපකාරී වේවී කියලා මහාමේඝයට ලියන්න හිතුනා. පින් තියෙන අය ලෝකේ ඉන්නවා. ඒකයි මට මාස හයක් ගිහිල්ලත් මේක ලියන්ට හිතුනේ. මේක අසභ්‍යයි කියලා හිතෙන්නේ නැත්නම් පත්තරේට දාන්න. ඒ වුනාට මට හිතෙනවා අපි බේරුනා වගේ මේ ඇත්ත කතාව අහලා කවුරු හරි බේරෙයි කියලා. මහාමේඝයේ සියළුදෙනාත්, අපේ මහමේව්නාවේ ගුරුදේවෝත්තමයන් වහන්සේත් සියළු ස්වාමීන් වහන්සේලාත් නිවනින් සැනසෙත්වා.

තුනුරුවන් සරණයි!

මම කතරගම පැතුම් පුතා.

3 comments

  1. Waradi maga yana pudgalayan hodamagata ganimata godak upakari wenawa me wage dewal anawaranaya kirima.

  2. Thanks a lot for the letter.

    Mama danna daruwek innawa. E lamayata awrudu 8k witara athi. E daruwa lagakadi idala tamangema konde kanawa. Wikara weda karanawa. Towilekuth kala harigihin neha. Oba sematama loku pinak e daruwata pihita wenna tiyenawanam. Me pilibadawa kumana asapuwaka swaminwahanse namak samagada kata baha karanna onida kiyala karunikawa kiyanna puluwanda? Obata Boho pin. Namo buddhaya

    • Pinwath Darshi,

      A lamayawa lankaawe kohe hari Mahamewna Baawana Asapuwakata ekkan yanna. A asapuwaka swamin wahanse namak samaga katha karanna. A pinwath swamin wahanseela kaarunikawa a lamayata pihita wewi!!!!

      Theruwan saranai obata!!!!!

Leave a Reply

Your email address will not be published.

x

Check Also

ආරක්ෂිත ස්ථානය

"මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය."