සියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩසිටින්නේ යාපනයට නුදුරු දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ සේක. එ් චූලෝදර මහෝදර නාග යුද්ධය සන්සිඳවනු පිණිසයි.

මහෝදර නා රජුගේ නැගණිය තිරම්ජිකා හා නාගදීප වැසි නා රජුගේ විවාහයෙන් උපන් දරුවා චූලෝදරයි. මහෝදර නා රජු චූලෝදර නා රජුගේ ඇවැස්ස මාමා ය. මාමාගේ රූබරින් සොබනා දියණිය චූලෝදරට විවාහ කර දුන්නේ ය. දෑවැද්දට අනර්ඝ මාණික්‍ය ඔබ්බවන ලද මිණි පළඟක් ලබා දුන්නේ ය. නාගයන්ට මාණික්‍ය ඉතා ප‍්‍රිය ය. නමුත් මහෝදර දියණිය නාග කන්‍යා සුළු කලකින් මරු වසඟයට ගියේ දෑවැද්ද නැවත ඉල්ලා මහෝදර ගෝරනාඩු කළේ ය. තමාට ලැබුණ දේ නොදීමේ නීතිය පෙන්වමින් චූලෝදර කුපිත වූයේ අතිශයින් සැහැසි වචන බෙනෙමින් යුද්ධයට එළඹුණේ ය.

මහා කාරුණිකෝ සත්ථා – සබ්බලෝක හිතේ රතෝ
බෝධිතෝ පඤ්චමේ වස්සේ – වසං ජේතවනේ ජිනෝ

සියලු ලෝ හිත කෙරෙහි ඇලුණ, ජිනේන්ද්‍ර වූ අපගේ මහා කාරුණික වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වස ජේතවනයෙහි වාසය කළ සේක.

මහෝදරස්ස නාගස්ස – තථා චූලෝදරස්ස ච
මාතුලභාගිනෙය්‍යානං – මණිපල්ලංක හේතුකං

මාමා හා බෑණා වූ මහෝදරත්, චූලෝදරත් යන නා රජුන් දෙදෙනා මිණි පළඟ හේතුවෙන් (යුද්ධයට පිවිසියේ ය.)

දිස්වා සපාරිසජ්ජානං – සංගාමං පච්චුපට්ඨිතං
සම්බුද්ධෝ චිත්ත මාසස්ස – කාලපක්ඛේ උපෝසථේ

පිරිවර සහිතව යුදයට එළඹුණු එ් පිරිස බුදුරජුන් දුටු සේක. එදා (බක්මස) අමාවක පොහෝ දවස යි.

පාතෝ යේව සමාදාය – පවරං පත්තචීවරං
අනුකම්පාය නාගානං – නාගදීපං උපාගමි

නාගයන්ට අනුකම්පා පිණිස පාත‍්‍ර සිවුරු රැගත් බුදුරජාණන් වහන්සේ උදේ කාලයේ ම නාගදීපයට වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ අහසේ සිටත් දහම් දෙසා ඔවුන් සමාදාන කොට භූමියට වැඩ මිණිපළඟේ හුන් සේක. එ් නාගයෝ දිව්‍ය ආහාර පානයෙන් ශාස්තෘන් වහන්සේ පිදූහ. තිලොව නායක වූ බුදුරජාණන් වහන්සේ ජලයෙන් ගොඩබිමෙන් වසන එ් අසූකෙළක් නාගයෝ සරණ සීලයෙහි පිහිට වූ සේක. භාග්‍යවතුන් වහන්සේට සෙවණ පිණිස මේ ගමනේ දී කිරිපළු රුකක් දරා සිටියේ එ් ගසට අධිපති ජේතවනයේ වාසය කළ සුමන නම් වූ දෙවියා ය. භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට එ් රුක් දෙවියා කැටිව ආයේ ඔහු පෙර නාගදීපයේ ම වාසය කොට පසේබුදු කෙනෙකුට පාත‍්‍රය පිරිසිදු කිරීමට කිරිපළු කොළ පූජා කළ පිනෙන් ජේතවනයෙහි කිරිපළු රුකක දෙවියෙක් ව උපන් නිසාවෙනි. එ් කිරිපළු රුකත් නාගදීපයේ රෝපණය කරන්නට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළ සේක. මිණි පළඟත් එ් කිරිපළු රුකත් පාරිභෝගික වස්තූන් සේ නාගදීපයේ පිහිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

දසබල පරිභුත්තං සබ්බමේතං භුජංගා
මණිරිව රුචිදං තේ ධාතුයෝ යේව තස්මා
මහථ නමථ නිච්චං මං’ව සග්ගා’පවග්ගං
දදති ඉති ච වත්වා ඔවදිත්වාන සත්ථා

නාගයිනි, දසබලධාරීන් වහන්සේ පරිභෝග කළ මේ සියල්ල ඔබට සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් මෙනි. එ්වා (පාරිභෝගික) ධාතූන් වහන්සේලා ම ය. එහෙයින් මා (පුදන්නාක්) මෙන් නිතර පූජා කරන්න. වඳින්න. එය ඔබට සුගති සැපය පිණිස වන්නේ ය. ශාස්තෘන් වහන්සේ අවවාද කළ සේක.

එ් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි භූමියේ ම රාජායතන වෘක්ෂයත් මිණිපළඟත් මහාර්ඝ පූජාවන් ලෙස නාගයන් විසින් පුදන ලද්දේ නාගදීප ස්ථූපය ඉදිවිය.
එදා මෙදා තුර අනේක බලවේගයන් ඉදිරියේ දෙව් මිනිස් නා පිරිස් වැඳුම් පිදුම් කරමින් නාගදීපයේ බුද්ධ භූමිය විරාජමානව වැඩවෙසෙත්.

ධාතු පරිනිර්වාණ සමයේ…

තවත් විශේෂයක් වෙයි. ධාතු පරිනිර්වාණය වන සමයේ රුවන්මැලි මහා සෑයට එකතුවන ලංකාධරණී තලයේ සියලු ධාතූන් වහන්සේලා නාගදීපයට වැඩම කොට නාගදීපයේ සෑය දෙබෑ කොට අහසට මතුවන මිණිපළඟ මතුපිට පිහිටා මිණිපළඟ සමඟ ම දඹදිව බෝ මැඩට වැඩම කොට බුද්ධ ශ‍්‍රී දේහය මවා පාමින් ප‍්‍රාතිහාර්ය කොට ධාතු පරිනිර්වාණය වන්නේ ය.

උදා වූ බක් මහේ මුනිරජුන් වැඩිය බිම සිහි කොට සාදර ගෞරවයෙන් නාග දූපත සෑය වන්දනා කරමු. නාගදීපයේ උතුම් සෑ රජු අනුහසින් සකල සතට සෙත් වේවා! සියලු දුක් දුරු වේවා! සියලු යහපත උදාවේවා!

ලබා සම්බුදු නුවණ පස්වස – මුනිඳු සිරිලක වැඩි බලෙන්
නාග දූපත අහසෙ වැඩහිඳ – නොයෙක් ඉර්ධිය කළ බලෙන්
දමිත සුළු මහ නාග රජවරු – පිදුව මිණිමුතු පළඟ බලයෙන්
රැකේවා ඔබ නාගදීපයේ – සෑ රජුන්ගේ ගුණ බලෙන්

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි