highlights of the week
Home » NEW ARTICLES » මව් ගුණය අමතක වූ දරුවෝ

මව් ගුණය අමතක වූ දරුවෝ

ලෝකය පටන් ගන්නේ මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන් බව මැක්සිම් ගෝර්කි වරක් පවසා තිබේ. තම දරුවන් වෙනුවෙන්  ඕනෑම දෙයක් සතුටු සිතින් නො පිරිහෙලා ඉටු කරන, එ් වෙනුවෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු නොවන එක ම තැනැත්තිය ආදරණීය අම්මා ය.

මධ්‍යම දහවල දැඩි හිරු රශ්මියක් දැනේ. හිසෙන් පටන් ගන්නා දහඩිය සිරුර දිගේ දෙපා දක්වා ගලා යන්නේ කයට දැඩි වෙහෙසක් ගෙන දෙමිනි. මහා පාරේ දිව යන වාහන එකෙකු පරයා අනෙකා ඉස්සර කරමින් දිව යන්නේ ආත්මාර්ථකාමී බව බලා සිටින්නාට පසක් කරමිනි.

මම ද බස්නැවතුමේ සිටියේ ගමනන්තයට යාමට බසයක් එනතුරු ය. බස් නැවතුමේ ඇති ආසනයට බර දී සිටින මේ අම්මා බොහෝ වේලාවක් එක ම ඉරියව්වෙන් ඈත බලාගෙන සිටී. ඇය අසල වතුර බෝතලයක්, ගමන් මල්ලක් මෙන් ම කුඩා කෑම පාර්සලයක් ද වෙයි. ඇය දෙස බැලූ විට මට හැඟුනේ ඇය අසරණ වී ඇති සැටියකි. මම සෙමින් සෙමින් ඇය වෙතට සමීප වෙමින් ඇය හා දොඩමළු වුණෙමි.

අවුරුදු හැත්තෑපහක් පමණ වූ ඇයගේ මුළු සිරුරේ ම හම රැළි වැටී ගොරෝසු වී තිබුණි. මුඛයේ එක ම දතක් හෝ ඇය සන්තක නො වී ය. යටට ගිලා තිබූ ඇස්වලින් ඇයගේ සිතේ තෙරපෙන දුක මනාව කියාපාන්නේ ය.

‘‘අම්මා… මේ අව්වේ කොහෙද යන්නේ?”

ඇය හා දොඩමළු වීමට මම උත්සාහ කළෙමි. නමුත් ඇය සිනාසුනා පමණි. මම ඇය අසලින් හිඳගෙන කෑම පාර්සලය දෙස බැලූවෙමි. ඇය ද එ් දෙසට නෙත් යොමා ‘‘මෙතැනින් ගිය මහත්තයා මේක දීලා ගියා.” යි මගේ දෑස් එක එල්ලේ බලමින් කියා සිටින්නී ය.

කොළඹට නුදුරු බස් නැවතුමක දී මේ අම්මාගේ කථාව මම අසා සිටියෙමි.

‘‘නෝනා මම උඩරට පළාතේ බණ්ඩාරවෙල. මට දරුවෝ තුන්දෙනෙක් හිටියා. මගේ මහත්තයා දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩ කළේ. එ් කාලයේ හැඩි දැඩි ඉලන්දාරියා. හැමදාම කෝච්චිය එන වෙලාවට එයා ස්ටේෂන් එකට එනවා. අපි මුණගැහුණේ අහම්බෙන්. මමත් එ් කාලයේ ගැටිස්සි. මගේ කොණ්ඬේ මේන් මෙතැන්ට තිබුණා.”

අතීතය අවදි කරමින් ඇය පහත් වී කකුල තෙක් අත දිගු කරයි.

‘‘අපේ ගෙදර නම් හරියට අඟහිඟකම් තිබුණා. මහත්තයාගේ ගෙදරින් අපේ සම්බන්ධයට අකමැති වුණ නිසා අපි හිතුවක්කාරයටයි කසාද බැන්දේ.”

අම්මා හඬ නඟා සිනාසෙයි. මුව සන්තක ඉතිරිව එක දතක් හෝ නැතත් එ් සිනාව අපූරු ය. මොහොතකට මහා දුකක් ඇය වෙතින් පළා ගොස් ය.

‘‘අපි කොළඹ පදිංචියට ආවා. මහත්තයා එයාගේ රස්සාව අතහැරලයි ආවේ. කොළඹ දී එදා වේල පිරිමහ ගන්න එයා මොකක් හරි දෙයක් කළා. ටික කලකින් අපේ පවුලට දරුවන් එකතු වුණා. ලොකු දුව, පොඩි දුව, ඊ ළඟට පුතා. එ් අය මහත්තයාගේ කපාපු පළු. උස මහත එක ගානට.”

අතීතයේ මතක ඇගේ දෑස් දීප්තිමත් කර ඇත. මම ද ඇගේ දෑසට එබී සිටියෙමි.

‘‘මහත්තයයි, මමයි දරුවන් උස්මහත් කරන්න හරියට දුක් වින්දා නෝනා. රෑ නිදි මරාගෙන අපි වැඩ කළා. දරුවෝ ටික ටික ලොකු වුණා. අපි කොහොම හරි ඉගැන්නුවා. එ් අයත් අරපිරිමැස්මෙන් ඉගෙන ගත්තා. ටිකෙන් ටික මෝරන හඳ වගේ දරුවෝ උස් මහත් වුණා. අපි එ් අය දිහා බලලා සතුටු වුණා. එ් අය දිහා බලලා මහත්තයා කිව්වා, ‘කමලා ඔයා නිසයි මේ දරුවෝ මේ තරම් හොඳින් හැදෙන්නේ.’ කියලා. එ්ත් මම නම් එ්ක පිළිගත්තේ නැහැ. මම හිතුවේ ම මගේ මහත්තයාගේ කැපකිරීම නිසයි මේ දරුවන් සඳ වගේ බබළන්නේ කියලා. කාලය ගියේ ඉගිල්ලිලා වගේ. හදිසියේ ම අපේ පවුලේ සතුට හොරු ගත්තා. මගේ දරුවන්ගේ තාත්තා වාහන අනතුරකින් එතැන ම මැරුණා.”

මොහොතකට පෙර දිදිලූ දෑස් පුරා කඳුළු එකතු වුණි. රැළි වැටුණ කම්මුල පුරා කඳුළු රූරා වැටුණි.

‘‘එදායින් පස්සේ මට හුඟාක් වැඩ කරන්න වුණා. රෑ දවල් නො බලා වැඩ කළේ මම දරුවෝ වෙනුවෙන් ම යි. අසනීපයකටවත් මම ගෙදර නැවතුනේ නැහැ. හොඳින් දරුවන්ට ඉගැන්නුවා. එ් අය ඉගෙනීමෙන් පස්සේ හොඳ රස්සාවල් හොයා ගත්තා. ගේ දොරත් පිළිවෙළකට හැදුවා. පරස්තාවල් හොයා ගත්තේත් එ් අය ම යි. මගේ දරුවන් විවාහ වුණාට පස්සේ තමයි නෝනේ මගේ ජීවිතයට කණ කොකා හැඬුවේ. ලොකු දුවයි පොඩි දුවයි විවාහයෙන් පස්සේ වෙන්වෙලා ජීවත් වුණා. මම පුතයි, ලේලියි එක්කයි හිටියේ. නැන්දම්මා ලේලිගේ ගැටුමෙන් නිතර ම එ් ගේ ගිනිගත්තා. මම මොනවා කළත් ලේලිට ඉවසුම් නැති වුණා. එ් හැම අවස්ථාවක ම පුතා ගත්තේ ලේලිගේ පැත්ත. ‘අම්මට අපි කියන විදිහට ඉන්න බැරි නම්  ඕන තැනක යන්න. තව දෙන්නෙක් ඉන්නේ.’ පුතාගේ වචන මගේ පපුවේ ලේ ඇට මස් නහර දිගේ වේදනාවක් දෙමින් ඇනුණා. ඉතිං මට එ් ගෙදර ඉන්න අමාරු වුණා. මම පොඩි දුවගේ ගෙදර ගියේ හිතේ කැමැත්තකින් නෙමේ. ටික කාලක් හිටියා. පොඩි දුවට අඟහිඟකමකුත් නැහැ. එ්ත් බෑණාට මාව රිස්සුවේ නැහැ. ‘සමඟියෙන් හිටපු අපි දෙන්නාගේ ජීවිතයට ඔයාගේ අම්මා මහ පිළලයක්.’ දවසක් බෑණා දුවත් එක්ක රණ්ඩු කරනවා මට ඇහුණා.”

එ් මහලූ අම්මාගේ දෑස කඳුළින් තෙත් වී යයි. මම ඇයට ඉඩ දී බලා සිටියෙමි. ඇත්තටම ඇයි මේ දරුවන්ට තමන්ගේ අම්මාගේ තාත්තාගේ බැඳීම, ආදරය නො දැනෙන්නේ… ලේ කිරි කර පොවා හැදූ අම්මා ගැන එ් දියණියගේ සිතට තෙතමනයක් නො දැනුනේ මන්ද?

‘‘මම එතැනින් ලොකු දුවගේ ගෙදර ගියා. ‘ඇයි අම්මා මෙහේ ආවේ? නංගිටයි මල්ලිටයි තරම් මට වත්කමක් නෑනේ. මට එ් අයට වගේ නෙමේ දරුවොත් හතර දෙනෙක් ඉන්නවා. අනිල්ටත් ස්ථිර රස්සාවකුත් නෑනේ අම්මේ.’ දියණියගේ අකමැත්ත දෑසින් සහ වචනයෙන් රූරා වැටුනේ සිත්පිත් නැති ආකාරයටයි. මම එදා ම ඇයටත් නො දන්වා කඩමළු ටිකත් අරගෙන මහපාරට බැස්සා. මට වෙන යන්න මගේ කියලා කවුරුවත් නැහැ නෝනේ.”

නැවතත් එ් දෙනෙතේ මහා වේදනාවක් කැටි වී තිබෙන හැටි මම දුටුවෙමි.

‘‘මම දරුවෝ වෙනුවෙන් ම වෙහෙසුනා විතරයි. මට කියලා මොකවත් ම නැහැ. අඩුම තරමේ කර ගත් පිනක් දහමක්වත්.”

එ් අම්මා බිමට හරවාගත් නෙතින් කියයි. එදා ශක්තිමත් ව සිටි ඇය දිනෙන් දින දිරා යන්නේ මහා කන්දක් නාය යන තරමේ වේගයෙනි.

‘‘මම දැන් කවුරු හරි දෙන දෙයක් කාලා කොතැනක හරි නිදා ගන්නවා. මේ මගේ කරුමේ කියලයි මම නම් හිතන්නේ නෝනා. මගේ දරුවොත් එක්ක මගේ කිසි ම තරහක් නැහැ. මම වෛර කරන්නෙත් නැහැ. එ් අය සතුටින් නම් හොඳයි.”

මට ශාස්තෘන් වහන්සේ සිහි විණි. උන්වහන්සේ වදාළ දහම සිහි විණි. දහමේ පොදක්වත් කන වැටී නැති මේ අම්මා සිත මෙසේ හදාගත්තේ කොහොම ද?

‘‘මගේ මහත්තයා මට වඩා වාසනාවන්තයි. එයා දුක් වින්දේ නැහැ. මහත්තයා ජීවත්ව සිටියා නම් මට කවදාවත් ම මෙහෙම වෙන්නේ නැහැ.”

සිතේ තෙරපෙමින් පොර කමින් තිබෙන සියලූ දේ ඇය සෙමින් සෙමින් කඳුළු අතරින් සමාජය වෙත මුදා හැරියා ය.

‘‘දැන් අම්මා කොහෙද යන්නේ?”

‘‘අද මෙතැන… හෙට තව තැනෙක…”

ඇය හිස ඇළ කර මා දෙස බලා අහිංසක ව සිනාසෙමින් කියයි. අම්මා සඟවන්නට උත්සාහ දරන කඳුළු ඇයට නො කියා ම, නො දන්වා ම දෑස දිගේ පහළට ගලා යයි. එ් කඳුළු මම ද නො දුටුවා නො වේ. ඇය අසලින් මම නැඟී සිටියෙමි.

ඇත්තෙන්ම මේ දරුවන්ට දස මසක් කුස තුළ තබාගෙන මේ ලෝකයට බිහි කළ, ලේ ටික කිරි කර පොවා උණුසුම දී රැුකගත් තම නිවසේ බ‍්‍රහ්මයන් ව මෙතරම් ඉක්මනට අමතක වී ගොස් ද? නැති නම් මහත් වෑයමෙන් සිතා මතා ම ඔවුන් ව අමතක කර දමා ඇත් ද?

සටහන
නයනා නිල්මිණි ලියනගේ

3 comments

  1. May ammata therwan saranai. Apita mona wagae irnamak athiweiyda?

  2. Can somebody let me know if this amma found a safe place to live?
    Please send me an e mail to maheshi_2002@yahoo.com

  3. Shobha Weeraratne

    Harima duka hithena kathawak!! me wage thawa siddi kotharam thibenawada? E daruwo wayasata giyama , thamantath moona denna wunoth wath there vi da dannnehe wuna waradda?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන්….. (03 වන කොටස)

ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා!