highlights of the week
Home » NEW ARTICLES » නාම රූප

නාම රූප

නාම – රූප යනු

මෙහි දී අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නාම යනු වෙනමත්, රූප යනු වෙනමත් විග‍්‍රහ කොට තිබෙනවා.

“පින්වත් මහණෙනි, නාම – රූප යනු මොනවා ද? වේදනා, සඤ්ඤ, චේතනා, ඵස්ස, මනසිකාර යන මේවාට ය ‘නාම’ යැයි කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට ද සතර මහා භූතයන්ගෙන් හටගත් රූප ද යන මෙයට ය ‘රූප’ යැයි කියන්නේ. පින්වත් මහණෙනි, මෙසේ මේ නාමයටත් රූපයටත් ය නාම – රූප යයි කියන්නේ.”

(වැඩි විස්තර – විභංග සූත‍්‍රය, සං. නි. 02)

නාම – රූප කුමක් නිසා ද?

නාම – රූපත් හේතූන් නිසා සකස් වූ දෙයක්. එ් තුළත් හටගැනීමක්, වැනසී යාමක්, පවතින කාලය තුළ වෙනස් වීමක් දකින්නට තිබෙනවා. එ් නාම – රූප හට ගැනීමට හේතුව බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ දී අවබෝධ කළ අයුරු මෙසේ පෙන්වා දෙන සේක.

“නාම – රූප ඇතිවන්නේ කුමක් ඇති කල්හි ද? නාම – රූප හටගන්නේ කුමක් හේතු කොට ගෙන ද?”

බෝධි මූලයේ දී මෙසේ නුවණින් විමසන විට නාම – රූපවලට හේතුව උන්වහන්සේට අවබෝධ වුණා.

“විඤ්ඤණය ඇති කල්හි ය නාම – රූප ඇතිවන්නේ. නාම – රූප ඇතිවන්නේ විඤ්ඤණය හේතු කරගෙන ය.”

(වැඩි විස්තර – ගෝතම සූත‍්‍රය, සං. නි. 02)

‘නාම’ යන වචනයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කරුණු පහ අප දන්නවා. වේදනා, සඤ්ඤ, චේතනා, ඵස්ස, මනසිකාර යන එ් කරුණු පහෙන් වේදනා, සඤ්ඤ, චේතනා යන තුන ම ස්පර්ශය නිසයි හටගන්නේ. එ් තුන ම හට ගැනීමට ප‍්‍රධාන වන ස්පර්ශය ම භාග්‍යවතුන් වහන්සේ හතරවෙනිව පෙන්වා දී ඇති බව අප හොඳින් තේරුම් ගත යුතුයි. මනසිකාර හඳුන්වා ඇත්තේ පස්වෙනි තැනට යි. මනසිකාරය මේ සියල්ලට ම මුල් වන ආකාරය ගැන අපට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ මහා හත්ථිපෙදා්පම සූත‍්‍රය ඇසුරෙන් ඉගෙනගත හැකියි.

නාම – රූප නිසා කුමක් හට ගනී ද?

ආයුෂයත් උණුසුමත් යුතුව මේ ඇස – කන – නාසය – දිව – කය හා මනස යන මේ ආයතන පවතින්නේ නාම රූපයන් හේතු කොට ගෙනයි. මේ සත්ව සන්නිවාසයේ කොතනක ආයතන හටගත්තත් එ් නාම – රූප නිසා ම යි.

නාම – රූපයෙන් විඤ්ඤණයත්?

විඤ්ඤණය හට ගැනීමට ද නාම රූප මුල් වෙන බව පෙන්වා දෙනවා.

“පින්වත් මහණෙනි, විඤ්ඤණය හට ගන්නේ නාම – රූප හේතු කොටගෙන ය. විඤ්ඤණය නිරුද්ධ වන්නේ නාම – රූප නිරුද්ධ වීමෙනි.”

(වැඩි විස්තර – සත්තට්ඨාන සූත‍්‍රය – සං. නි. 02)

මේ පිළිබඳ ව වැඩි දුරටත් සාරිපුත්ත මහරහතන් වහන්සේ විග‍්‍රහකොට තිබෙනවා.

නාම – රූප නිසා විඤ්ඤණය හටගන්නා බවත්, විඤ්ඤණය නිසා නාම – රූප හටගන්නා බවත් උන්වහන්සේ විස්තර කොට තිබෙනවා. එය හරියට එකිනෙක උපකාරයෙන් බටමිටි දෙකක් එකට හේත්තු කළාක් වැනියි.

(වැඩි විස්තර : නළකලාප සූත‍්‍රය – සං. නි. 02)

නාම – රූප අතර අන්තර් සම්බන්ධය

නාම – රූප පිළිබඳ ව ගැඹුරු විග‍්‍රහයක් මහා නිදාන සූත‍්‍රයේ අඩංගු වනවා. එහි දී භාග්‍යවතුන් වහන්සේ සලායතන ගැන සඳහන් නො කොට නාම – රූප හේතුවෙන් ස්පර්ශය හටගන්නා බව පෙන්වා දෙන සේක. එහි දී ප‍්‍රධාන කොටස් දෙකක් උන්වහන්සේ අපට පෙන්වා දෙන සේක. එනම්,

1. රූප කායේ අධිවචන සම්ඵස්ස
2. නාම කායේ පටිඝ සම්ඵස්ස

1. රූප කායේ අධිවචන සම්ඵස්සය

සතර මහා ධාතූන් හා එ්වායින් හටගත් රූප ධර්මයන් අප හඳුනාගන්නෙත්, එ් ගැන කථා බස් කරන්නෙත් එ් රූප ධර්මයන් පිළිබඳ ගොඩ නැගෙන, භාවිත වන නාම ධර්ම වන වේදනා, සඤ්ඤ, චේතනා, ස්පර්ශ, මනසිකාර මුල් කොටයි. එය රූප කායේ අධිවචන සම්ඵස්සය යි.

2. නාම කායේ පටිඝ සම්ඵස්සය

වේදනා, සඤ්ඤ, චේතනා, ස්පර්ශ, මනසිකාර යන මේ නාම ධර්ම තුළින් කථා බස් කරන යමක් වේ නම් එය සතර මහා ධාතූන් හෝ සතර මහා ධාතූන්ට අයත් (රූප ධර්මයන්ට අයත්) දෙයකි. එය නාම කායේ පටිඝ සම්ඵස්සය යි.

(වැඩි විස්තර – මහා නිදාන සූත‍්‍රය : දී. නි. 02)

මෙලෙස නාම ධර්මයන් අතරත්, රූප ධර්මයන් අතරත් සූක්ෂම සම්බන්ධතාවයක් ඇති බව විග‍්‍රහ කෙරෙනවා. මේ පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නම් ඔබ දීඝ නිකායේ මහා නිදාන සූත‍්‍රය අනිවාර්යයෙන් ම ඉතා ඉවසීමෙන් යුතුව කියවිය යුතු ම යි.

නාම රූපයෙන් ‘සිතත්’?

සිත හටගන්නේ ද නාම රූප මුල් වීමෙන්. එ් බව මෙසේ දක්වා තිබෙනවා.

“පින්වත් මහණෙනි, සිත (චිත්ත) හටගන්නේ ද නාම – රූප ප‍්‍රත්‍යයෙනි. චිත්තය නිරුද්ධ වන්නේ නාම – රූප නිරුද්ධ වීමෙනි.

(වැඩි විස්තර – සමුදය සූත‍්‍රය, සං. නි.)

මෙලෙස විඤ්ඤණ ප‍්‍රත්‍යයෙන් හටගන්නා නාම – රූප අප ජීවිත තුළ කි‍්‍රයාත්මක වන ආකාරය ඉතා සියුම් ය. පටිච්චසමුප්පාද කි‍්‍රයාවලිය තේරුම් ගැනීමට නම් නාම – රූප වල යථා ස්වරූපය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. එනිසා නාම රූපයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස ම අප සියලූදෙනාට භාග්‍ය උදාවේවා!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන්….. (03 වන කොටස)

ඔබ වහන්සේ විසින් පතන ලද පැතුම සිත් පරිදි ඉටු වේවා! සියලු උවදුරු දුරු වේවා! චිත්ත පීඩා රෝග පීඩා දුරු වේවා! කිසිදු අනතුරක් සිදු නො වේවා! උතුම් සම්බුද්ධත්වය ම ලබත්වා! මල් පිපෙන ගස් නිසි කල පැමිණි විට මල් දරන්නා සේ වීරයාණෙනි, ඔබ වහන්සේ ද බුද්ධ ඤාණය නම් මලින් පිපෙත්වා!