මිහිතල මිදුල සරසන්නේ මහියංගණය යි. ගෞතම බුදු සසුන ලංකා ධරණීතලයේ සුරැකෙන බව ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය යි. උතුම් සම්බුද්ධත්වයෙන් නව වැනිව පණ්ණරසීයක් එළැඹෙන දුරුතු පුන් පොහෝ දින මහියංගණයේ මහානාග වනයේ අහස්කුස අපගේ ගෞතම මුනිඳුන් වැඩසිටි සේක. ලක් මවගේ ගෙල සරසන සඳකැන් මිණිමාලාවක් සේ වූ මහා වාළුකා නදිය අසලින් ගලා බසී. එදා එහි යක්ෂ සමාගමක් වූයේ ය.

බිංතැන්නට පැමිණි යක්ෂයන්ගේ විමාන

ලග්ගල මහා වනය විමානය කොටගෙන සිටි යක්ෂයෝ ය. ලොග්ගල, කරඹගල, කූරගල, යක්දෙස්සාගල, දිඹුලාගල, මාරගල, මිහින්තලාගල, රිටිගල, බලගල, මහමුහුණුගල, යහන්ගල, තුන්කුළුගල ආදි පර්වතවල වාසය කළ යක්ෂයෝ පවුල් පිටින් එදා යක්ෂ සමාගමේ වූහ. හුදෙක් ඔවුහු ලක් දෙරණේ අයිතියට ලෝභ කළාහු ය. තවත් පිරිස් සිටිනවාට අකමැති ය. තවමත් ඔවුන් ලංකාවේ සිටියේ නම් ලංකාවේ මිනිස් වාසයක් නො වන්නේ ය.

ගෞතම මුනිඳු කළ ඉර්ධිය හා ලක්බිම පූජා කිරීම

යක්ෂයන් මහා සභාවක ය. බුදුරජාණන් වහන්සේ මහා වර්ෂාවක් සමඟ සීතල ද මහා සුළඟක් ද ඝණාන්ධකාරයක් ද මැවූහ. අතිශයින් බියට පත් වූ ඔවුන් හිරු මඬලක් සේ අහසේ බබළන අප මුනිඳුන්ගෙන් සරණ පැතූහ. “මා හට පත්කඩය එළා ගැනීමට ඉඩක් දෙන්නේ නම් පිහිට වන බව” මුනිඳුන් වදහල විට ලක් දෙරණට බහිරවයන් සේ අරක්ගෙන බිම් අඟලක් නො දෙන යක්ෂයෝ “ගණ්හාහි ධීර යදි ඉච්ඡසි සබ්බ දීපං” “ධීරයන් වහන්ස, ඔබ වහන්සේ කැමති නම් මේ දිවයින ම ගන්නා සේක්වා!” යි පූජා කළහ. සම්බුදුරජාණන් වහන්සේ පත්කඩය බිම ඇතිරෙන්නට සැලැස්වූහ. ගෞතම මුනිඳුන් අහසින් බිමට වැඩම කළ සේක. පත්කඩය හාත්පසින් ගිනිදැල් විහිදවූ සේක. ලක්දෙරණ සිසාරා පත්කඩයෙන් වැසෙන්නට විය. වෙරළාසන්නයට ම බිය වී දිවූ යකුන්ට අස්වැසිල්ලක් වූයේ මුනිඳුන් ඉර්ධියෙන් සමීප කළ ගිරි දිවයින යි. එහි ගොඩවූ යකුන් ගිරි දිවයිනේ ම වූහ. අදටත් එ් යකුන් ලක්දිව ගැන තොරතුරු නො දනී. ලක් දෙරණ පිරිසිදු විය.

මහා දේව සමාගම හා මග ඵල ලැබීම

එතැන්හි මහත් වූ දේව, බ‍්‍රහ්ම, දානව, නාග, ගරුඬ, සින්ධය යන බොහෝ සත්වයෝ රැස් වූහ. කරුණාමෘත ධර්මය ශ‍්‍රවණය කළ සිය දහස් ගණන් ප‍්‍රාණීහූ දහම් ඇස ලැබූහ. එ් අතර සුමන කූටය විමානය කර ගත් මහා සුමන සමන් දෙවිඳුන් ම ප‍්‍රකට විය.

මහා සුමන සමන් දෙවිඳුන් යනු කවරෙක් ද?

තස්මිං දිනේ සුමන කූට වරාධිවාසෝ
තේජිද්ධි බුද්ධි විභවෝ සුමනාභිධානෝ
දේවෝ පසන්න හදයෝ රතනත්තයම්හී
සම්පාපුණිත්ථ පඨමං ඵලමුත්තමං සෝ

සමන්තකූටයෙහි අධිපතිව වසන තේජස් ඇති යසස් ඇති ප‍්‍රඥව ඇති, සම්පතින් ආඪ්‍යය, තුනුරුවන්හි ප‍්‍රසන්න සිත් ඇති වූ සුමන නම් වූ දිව්‍ය රාජයා එදවස ප‍්‍රථම ඵලයට පැමිණියේ ය. මේ වනාහි සමන් දෙවියන්ගේ විස්තරය යි. සමන් සුරිඳු දෙවියෙකි. සැදැහැ සිත් ඇත්තෙකි. ආර්ය ශ‍්‍රාවකයෙකි. බලසම්පන්න ය, ආනුභාවසම්පන්න ය, සත්පුරුෂ ය, කාරුණික ය, කළ වරදට සමාව දෙන්නාහු ය. උපේක්ෂා සහගත සිත් ඇත්තේ ය, බොහෝ පිරිවර ඇත්තේ ය. බබළන සිරුරු ඇත්තේ ය. ස්වේත වර්ණයත්, රන් පැහැයත් මිශ‍්‍ර වස්ත‍්‍ර දරන්නේ ය. ඇලි ඇතෙකු වාහනය වන්නේ ය. දිව්‍ය පුෂ්පය මුනි පුදට අතින් දරා වැඩම කරන්නේ ය. සමන් මල් විසුරුවන්නේ ය. ලක්දිව දී ධාතූන් වහන්සේලා ස්පර්ශ කළ පළමු දෙවියා වන්නේ ය. අදටත් ධාතූන් වහන්සේලා සුරකින පිනැති දෙවියා සමන් සුරිඳුන් විනා අන් කවරෙක් ද?

සමන් දෙවියන්ගේ ශ‍්‍රද්ධාව

කොයිතරම් ශ‍්‍රද්ධාවක් තිබුණේ ද යත් එදා බුදුරජාණන් වහන්සේගෙන් ඔහු කේෂ ධාතු ඉල්ලන්නේ මෙසේ ය.

දාසෝස්මි තේ චරණ පංකජ පූජකෝ හං
සද්ධා දයාදි විභවෝ තනයෝ භවස්මි
තුම්හේ විනා ඛණලවං වසිතුං න ඉච්ඡේ
තස්මා දදාතු භගවා මම පූජනීයං

“මම නුඹ වහන්සේගේ පා පියුම් පුදන්නා වූ දාසයෙක්මි. මම ශ‍්‍රද්ධා දයාදී ගුණ ඇතිකර ගන්නා පුත‍්‍රයෙක්මි. ඔබ වහන්සේ හැර සුළු මොහොතකදු වසන්නට නො කැමැත්තෙමි. එ් නිසා භාග්‍යවතුන් වහන්ස මට පිදිය යුතු යමක් ලබාදෙන සේක්වා…!”

කෙතරම් ශ‍්‍රද්ධාවක් ඉන් ඉස්මතු වන්නේ ද…? භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණු කේෂ ධාතූන් සිරසේ තබාගෙන මේ දෙව් රජුන් සාදු නාද පැවැත්වී ය. ධාතූන් වහන්සේලා තම විමානයට රැගෙන නො යා බුදුරජාණන් වහන්සේ වැඩසිටි බිමේ සත් රුවන් අතුරුවා මැණික් කරඬුව තුළ වූ කේෂ ධාතුන් වහන්සේලා නිධන් කරවා සත් රියන් උස ඉඳුනිල් මිණි සෑයක් කරවී ය. නොයෙක් මල් සුවඳ විසුරුවී ය. එ් අසිරිය සිදුවූයේ උතුම් දුරුතු පුන් පොහෝ දිනයක යි.

සෑයක් වට කොට ඉදි කළ සෑය කඤ්චුක සෑය ය

පසු කලෙක සරභූ මහරහතන් වහන්සේ අප මුනිඳුන්ගේ දැල්වෙන චිතකයෙන් ලබාගත් උතුම් ගී‍්‍රවා ධාතූන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උස මේදවර්ණ පාෂාණයෙන් කඤ්චුක සෑයක් කරවූහ. උද්ධචූලාභය රජු තිස් රියන් උස ශෛලමය කඤ්චුක සෑයක් කරවී ය. දුටුගැමුණු රජු අසූ රියන් කොට ගඩොලින් සෑය බැන්දවී ය. නොයෙක් විට ප‍්‍රතිසංස්කරණය කරන ලද මියුගුණ සෑයේ වත්මන් ස්වරූපයට ප‍්‍රතිසංස්කරණ කටයුතු 1949 වර්ෂයේ දී ආරම්භ කොට 1961 වර්ෂයේ අවසන් කර තිබේ.

මියුගුණ සෑයේ පූජනීයත්වය

අපගේ ගෞතම මුනිඳුන් ප‍්‍රථම වතාවට ලක්දිව සිරිපා පහස ලබාදුන් බිම යි. ඉර්ධි ප‍්‍රාතිහාර්යයෙන් ලක්දිව පිරිසිදු කළ බිම යි. ලක්දිව ප‍්‍රථම දහම් ස්වරය ඇසුන පින්බිම මහියංගණය යි. ලක්දිව ප‍්‍රථම මග ඵලලාභීන් බිහිවූ බිම යි. ප‍්‍රථම ස්ථූපය බිහිවූ බිම යි. මොනරෙකුගේ ගෙල පැහැයෙන් රැස් විහිදුවන උතූම් කේෂ ධාතූන් වහන්සේලා ද සුදුවන් රශ්මි ධාරා විහිදුවන ග‍්‍රීවා ධාතූන් වහන්සේ ද (ගෙලෙහි කශේරුකා අස්ථි හත) පිහිටියේ මේ උතුම් ස්ථුපයේ මැ යි. දෙවියෙක්, රහතන් වහන්සේනමක් හා රජවරු කළ එක ම සෑය යි. තව ද විටින් විට තවත් සර්වඥ ධාතූන් වහන්සේලා ද නිධන් විය. 1951 විවෘත වූ ගජබා නිධානය නම් වූ ස්ථූපයේ ධාතු ගර්භයක සර්වඥ ධාතු විසි එක්නමක් සොඳුරු ව වැඩ සිටිනු හමු විය. අද එ් ධාතූන් වහන්සේලා සෑයේ ගර්භයේ ද හතරැස් කොටුවේ ද විහාරය සතුව ද වැඩ සිටිති. දෙනෝදහසක් දෙනා නිතර වඳින පුදන, සමන් සුරිඳුන් සමන් මල් විසුරුවන, දෙවියන් බඹුන් වඳින පුදන, ලොවෙහි උතුම් කඤ්චුක මහා ස්ථූපය මහියංගණය මහා ස්ථූපය යි.

සදා ඔබ සුවපත් වේවා !

එදා දුරුතු පුන් පොහෝ දින අපගේ ගෞතම භගවත් මුනිඳුන් මහියංගණ භූමියෙන් වැඩම කොට තුන් විටක් ලක්දිව වටා ප‍්‍රදක්ෂිණා කොට දඹදිවට වැඩම කළේ වසර පන්දහසක් ගෞතම බුදු සසුන පවතින තුරු එ් ආනුභාවයෙන් ආරක්ෂා වීමට යි.

මෙසේ හෙළදිව නැමැති පොකුණෙහි පිනැතියන් නැමැති භෘංගයන් සේවනය කරන මහියංගන ස්ථූපය නැමැති සුපිපි කමල් පුෂ්පයෙන් විහිදෙන සුවඳ නැමැති ආනුභාවයෙන් සදා ඔබ සුවපත් වේවා!

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි