සමහරු පොත් ලියනවා… අමාරුවෙන්. එ් පොත් අච්චු ගහනවා… විකුණන්න කියලා හිතාගෙන වෙළඳපොළට දානවා… කොච්චර උත්සාහ කළත් හොඳ අලෙවියක් ලබාගන්න බැරි වෙනවා…

තව සමහරුත් පොත් ලියනවා… එ් අයත් අමාරුවෙන් එ් පොත් අච්චු ගහනවා…. විකුණන්න කියලා හිතාගෙන වෙළඳපොළට දානවා… උණු කැවුම් වගේ එ් පොත් විකිණෙනවා…

සමහරු රට ම දැනුම්වත් කරලා ව්‍යාපාර පටන් ගන්නවා… ටික කලක් කරගෙන යනවා… රටට ම ණය වෙලා එ් ව්‍යාපාර නවත්වලා දානවා…

තවත් සමහරු ව්‍යාපාර පටන් ගන්නවා… ටික කාලයක් කරගෙන යනවා… මහා පරිමාණ වෙළඳ ව්‍යාපාරයක් ලෙසින් ලෝකයේ ම ප‍්‍රසිද්ධ වෙනවා…

සමහරු පෙර ජීවිතවල රැස් කළ පිනක විපාකයක් වශයෙන් මිනිසුන් අතර උපදිනවා… රැස් කළ පින අවසන් වෙනවා… අලුත් පිනක් කර ගන්නෙත් නැතිව යනවා… පින ගෙවුණ නිසා මනුස්ස ලෝකෙන් පහළට වැටෙනවා… සමහරු තිරිසන් ලෝකෙට වැටෙනවා… සමහරු පෙරේත ලෝකෙට වැටෙනවා… සමහරු අසුර ලෝකෙට වැටෙනවා… සමහරු නිරයට වැටෙනවා…

තවත් සමහරු පෙර ජීවිතවල රැස් කළ පිනක විපාකයක් වශයෙන් මිනිසුන් අතර උපදිනවා… රැස් කළ පින අවසන් වෙන්න කලින් අළුත් අළුත් පින් රැස්කර ගන්නවා… එ් අය අතර සමහරු පිරිනිවන් පානවා… තවත් සමහරු මිනිස් ලෝකය ඉක්මවලා දෙවියන් අතරට යනවා…

තව සමහරු ගෙවල් හදනවා… හරිම පිළිවෙළට ලස්සනට හදනවා… තනි තට්ටුවටත් හදනවා… තට්ටු දෙකටත් හදනවා… තට්ටු තුනටත් හදනවා… සමහරු සඳ එළිය වැටෙන විදියට සඳලුතල සහිතවත් හදනවා… එහෙම හදපු සඳලුතලෙන් වැටිලා සමහරු අභාග්‍ය සම්පන්න විදිහට මරණයට පත් වෙනවා… බොහෝ විට සතර අපායේ කොහේ හරි ඉපදෙනවා… අතිශය සාතිශය ඉරණමක් උරුම වෙනවා… සමහරු සඳලුතලේ උඩ ම සනීපෙට මැරෙණවා… නිදාගෙන ඇහැරෙනවා වගේ දෙවියන් අතර උපදිනවා… බැලූ බැලූ අත සැප සම්පත් සහිත දීප්තිමත් ජීවිත උරුම වෙනවා…

බරණැස් නුවර හිටපු පවුලකටත් එවන් ඉරණමක් උරුම වුණා… සමහරු සඳලුතලෙන් පහළට වැටුණා… සමහරු සඳලුතලෙන් ඉහළට එසවුණා…

බුදුරජාණන් වහන්සේ සමීපයේ සත් හැවිරිදි පුංචි දරුවෙක් පැවිදි වුණා. උන්වහන්සේ බොහෝ දක්ෂ කෙනෙක්. කරගෙයි දී ම යි (හිසමුඩු කරද්දී ම යි) අරහත්වයට පත්වුණේ. ටික කලයි ගත වුණේ. උන්වහන්සේට තවත් තිස්නමක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟ වස් කාලය ගත කරන්නට ඈත අරණ්‍යයකට වඩින්නට සිදු වුණා. කාලය කෙමෙන් ගතවුණා. මේ පුංචි සාමණේරයන් වහන්සේ තිහක් පමණ වූ භික්ෂූන්ට ආදරයෙන් උපස්ථාන කළා. එ් වනයේ ම සොර මුලක් වාසය කළා. සුළු පිරිසක් නෙමේ. පන්සීයක හොරු කණ්ඩායමක්. ඔවුන් කිසියම් පූජාවකට බිලිදීමට කෙනෙකු සොයමිනුයි සිටියේ. එ් අතර වනය මැද වසන මේ භික්ෂු පිරිස ගැන ඔවුන්ට ආරංචි වුණා. ආරාමය සොයාගෙන පැමිණියා. සොරු ආරාමයේ ගෙඩිය ගැහුවා. කිසිවක් නොදත් භික්ෂු පිරිස, රැස්වීම් ස්ථානයට පැමිණියා. සොරු පිරිස එ් භික්ෂු පිරිස වටකර ගත්තා. බිලිදීමට කෙනෙකු ලබා දෙන ලෙස තර්ජනය කළා. හැමෝම වගේ බියට පත්වුණා. එ්ත් එ් භික්ෂු පිරිසට උපස්ථානයට පැමිණි සාමණේරයන් වහන්සේ පමණක් බිය රහිතව බලා සිටියා. වෙන කිසිවෙක් නොව, තමා ව බිලි දීමට රැගෙන යන ලෙස ප‍්‍රකාශ කළා. තිහක් පමණ වූ භික්ෂූන් ශෝකයෙන් බලා සිටිද්දී පුංචි සාමණේරයන් වහන්සේත් රැගෙන සොර මුල බිලි පූජාවට පිටත් වුණා. බිලි පූජාවට සියල්ල සූදානම් කළා. සොර නායකයා කඩුව අතට ගත්තා. පුංචි සාමණේරයන් වහන්සේ දෙස බැලුවා. කිසි බියක් නැති, සාමණේරයන් වහන්සේ දුටු සොර නායකයා පුදුමයට පත්වුණා… දෑස් ලොකු කර ගත්තා… හිතට ධෛර්යය අරගෙන සාමණේරයන් වහන්සේගේ හිස සිඳ දමන්නට උත්සාහ කළා. පළමු උත්සාහය අසාර්ථක වුණා. ඇඟේ හිරිගඬු පිපුණා. දෙවැනි වතාවටත් උත්සාහ කළා. එවරත් අසාර්ථක වුණා. ඇඟ පුරා ම දහඩිය දමන්නට පටන් ගත්තා. පුංචි සාමණේරයන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. මෙතරම් ම වූ අකම්පිත සිතක් ඇති කර ගත්තේ කෙසේදැයි අසා සිටියා. මෙවන් නිර්භය සිතක් ඇති කර ගන්නට කියාදුන් ගුරුවරයා කවුරුන්දැයි අසා සිටියා. එ් සංකිච්ච රහතන් වහන්සේ.., අභය දන්දෙන, නිවන පෙන්වන ශාස්තෘන් වහන්සේ ගැන කියාදුන්නා. සොර මුල ආයුධ අතහැරියා. ගෞතම බුදු සසුනේ පැවිදි වුණා. සිත සංවර කළා… කය සංවර කළා… වචනය සංවර කළා… බුදු සසුනේ අර්ථයට පැමිණියා… නික්ලේෂී හදමඬලක් දරා ගැනීමට වාසනාව උදා කර ගත්තා…

පසු කලෙක සංකිච්ච මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය වූ එම රහතන් වහන්සේලා පන්සියනමත් සමඟ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. මහා භයානක සොර මුලක් දමනය කළ සංකිච්ච මහරහතන් වහන්සේ බරණැස ඉසිපතනයට වැඩි පුවත ලැව් ගින්නක් සේ පැතිර ගියා. නගරය පුරා පැතිර ගියා. වීදියක් වීදියක් පුරා ම පැතිර ගියා. මහා ආනුභාව ඇති, අතිශය නිර්භය සංකිච්ච මහරහතන් වහන්සේ දැක ගන්නට බොහෝ දෙනෙක් පැමිණියා. උන්වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ බොහෝ අය මුව පොව්වන් වගේ අහිංසක පිරිසක් බවට පත්වුණා. එ් අතර සිටි එක් බ‍්‍රාහ්මණ උපාසකයෙක් එ් භික්ෂු පිරිසට දන්පැන් පිදීමේ කටයුතු ගැන සොයා බැලුවා. නිති දන්පැන් පිදීමෙහි මිනිසුන් යොමු කළා.

එ් සමයේ ම බරණැස් නුවර එක්තරා මිථ්‍යා දෘෂ්ටික දෙමාපියන්ට පුතුන් දෙදෙනෙකු හා එක දුවක් සිටියා. ඔවුන් අතර සිටි වැඩිමහල් පුතා, සංකිච්ච මහරහතන් වහන්සේ ඇතුළු සඟ පිරිසට දන්පැන් පූජා කළ බ‍්‍රාහ්මණයාගේ මිත‍්‍රයෙක් වුණා. එ් බ‍්‍රාහ්මණ උපාසකයා තම මිත‍්‍ර වූ මිථ්‍යා දෘෂ්ටික බ‍්‍රාහ්මණ පුත‍්‍රයා කැඳවාගෙන සංකිච්ච මහරහතන් වහන්සේ හමුවීමට ගියා. ධර්මය ඇසූ මිථ්‍යා දෘෂ්ටික බ‍්‍රාහ්මණ පුත‍්‍රයා තමන් එල්බගෙන සිටින මතය වැරදි බව අවබෝධ කර ගත්තා. ධර්මය තුළින් මෘදු සිත් ඇත්තෙක් බවට පත්වුණා. ඉක්බිති නිති දන්දෙන උපාසකතුමා මෙසේ පැවසුවා.

“මිත‍්‍රයා, එසේ නම් ඔබත් එක් භික්ෂුවකට නිති බතක් පූජා කර ගන්න.”

එවිට යහළු බ‍්‍රාහ්මණයා “අනේ පින්වත් මිත‍්‍රයා, ශ‍්‍රමණ ශාක්‍ය පුත‍්‍රයන්ට නිති බත් ලබා දීම අප පුරුදු නො කරන ලද්දකි. එනිසා මට එය කිරීමට නො හැකි ය” යි ප‍්‍රකාශ කළා.

“එහෙම නම් මටවත් බතක් දීමට හැකි දැයි” උපාසක බ‍්‍රාහ්මණයා ඇසුවා. ඔහුට බතක් දීමට කැමති වුණා. “මට ලබා දීමට කැමති එම නිති බත එහෙමනම් එක භික්ෂුවකට ලබා දෙන්න” කියා උපාසකතුමා යෝජනා කළා. යහළු බ‍්‍රාහ්මණයා එම යෝජනාවට කැමති වුණා. පසුදින උදෑසන ම ඉසිපතනාරාමයට ගියා. එක් භික්ෂුවකට දානය පූජා කළා. දැන් ඔහු දිනපතා ම එක භික්ෂුවකට දන් පූජා කරනවා. කාලය කෙමෙන් ගතවුණා. භික්ෂූන් ඇසුරේ දී ඔහුට තව තවත් හොඳින් ධර්මය ඇසුණා. තම බාල සහෝදරයා ද සහෝදරිය ද ආරාමයට කැඳවාගෙන ආවා. ඔවුන් ද බුදු සසුනේ පහන් සිත් උපදවා ගත්තා. නිරතුරු පින්කම් කිරීමෙහි කැමැත්ත ඇති කර ගත්තා. ඔවුන් තිදෙනා ම නොයෙක් අයුරින් දන්පැන් පූජා කළා. සංඝරත්නයට සත්කාර කළා. ගරු බුහුමන් දැක්වූවා. වැඳුම් පිදුම් කළා. නමුත් ඔවුන්ගේ මව්පියන් එ් වාසනාවට පයින් ගැසුවා. බුදු සසුන කෙරෙහි අපැහැදුණු සිතින් වාසය කළා. පින්කම් කරන්නවුන්ට ද පරිභව කළා. අන් අය කරන පින්කමක්වත් අනුමෝදන් වුණේ නෑ.

තම දියණිය එක්තරා ඥාති පවුලක පුත‍්‍රයෙකුට විවාහ කරදීමට මොවුන් කතිකා කරගෙන තිබුණා. නමුත් සංකිච්ච මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සංවේගය උපදවා ගත් එම තරුණයා ද බුදු සසුනේ පැවිදි වුණා. එ් ස්වාමීන් වහන්සේ දානය සඳහා නිතර ම තම නිවසට වැඩම කළා. තම පුත‍්‍රයා බුදු සසුනේ පැවිදි වෙනවාට මෑණියන් එතරම් කැමති වුණේ නෑ. අකමැත්තෙන් ම යි අවසර ලබා දුන්නේ. ඇයගේ ආශාව තිබුණේ කෙසේ හෝ තම පුත‍්‍රයාව ඥාති දියණියට විවාහ කරදීමට යි. දානය සඳහා නිවසට වඩින හැම මොහොතක ම වගේ මේ කරුණ උන්වහන්සේට ප‍්‍රකාශ කළා. නිතර නිතර ඇසෙන මේ යෝජනාව උන්වහන්සේගේ සිතේ දෝංකාර දෙන්න ගත්තා… පැවිද්දට ඇති ආශාව ටික ටික නැති වෙලා ගියා… බඹසර රකින ආශාව ටික ටික නැති වෙලා ගියා… සිවුරු හැර යන්නට කල්පනා කළා… උපාධ්‍යායන් වහන්සේ මුණගැසුනා… මෙසේ ප‍්‍රකාශ කළා…

“ඔබවහන්සේ මට අනුකම්පා කළා… මට පැවිද්ද ලබා දුන්නා… පින්වත් හිමියනි, තව මොහොතක්වත් මට නම් පැවිද්දේ ඉන්න හිත දෙන්නෑ… හිත කියන්නේ ම සිවුරු හැරල යන්න කියලයි…”

උපාධ්‍යායන් වහන්සේ ඔහුගේ වාසනා ගුණ මහිමය දැක්කා. ”මගේ පැවිදි පුතේ….! තව සත් දිනක් ඉවසා ඉන්ට…” යැයි ප‍්‍රකාශ කළා. උපාධ්‍යායන් වහන්සේගේ වචනය ඉවත දමන්නට උන්වහන්සේට නො හැකි වුණා. ඉතා ම අමාරුවෙන් ඉවසාගෙන සිටියා. ටික දිනක් ගතවුණා. ආයෙත් සිවුරු හැරයාමේ අදහස බලවත් වුණා. උපාධ්‍යායන් වහන්සේ හමු වුණා. අදහස ප‍්‍රකාශ කළා.

“තව මාසයක් ඉවසා ඉන්න….!” යැයි උපාධ්‍යායන් වහන්සේ පැවසුවා. උන්වහන්සේට ඇති ගෞරවය නිසා ම සාමණේරයන් වහන්සේ නැවතත් ඉවසා සිටින්නට තීරණය කළා. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉවසා සිටින්නැයි කී කාල සීමාව ඉක්ම ගියා. නැවතත් උපාධ්‍යායන් වහන්සේ හමු වුණා. තවත් සතියක් ඉවසා සිටින්නැයි එවරත් උපාධ්‍යායන් වහන්සේ ප‍්‍රකාශ කළා. කාලය කෙමෙන් ගතවුණා.

හදිසියේ ම වගේ බරණැස පුරා සැඩ සුළං සහිත මහා වැසි ඇද හැලුණා. දින ගණනක් නොනැවතී ඇද හැලුණා. හදිසි ආපදා තත්ත්වයක් හට ගත්තා. ජල මට්ටම ඉහළ ගියා. ගස් කඩාගෙන වැටුණා. නිවාස කඩාගෙන වැටුණා. කලකිරීමෙන් සිටි ස්වාමීන් වහන්සේට සරණ පාවා දීමට කතිකා කර තිබූ දියණිය සිටි ඥාති පවුලත් හදිසි ආපදා තත්ත්වයට හසු වුණා. ඔවුන් නො සිතූ වෙලාවක ඔවුන්ගේ නිවස කඩාගෙන වැටුණා. මුළු පවුල ම එයට යට වුණා. මව ද පියා ද පුතුන් දෙදෙනා ද දියණිය ද යන හැමෝම මරණයට පත්වුණා. අනෙකුත් ඥතීන් එකතුවෙලා මොවුන්ගේ අවසන් කටයුතු සිද්ධ කළා. මවත් පියාත් පේ‍්‍රත ලෝකයේ උපන්නා. කටුක වූ දුක්ඛිත වූ ඉරණමක් උරුම වුණා. පුතුන් දෙදෙනාත්, දියණියත් දෙව්ලොව උපන්නා. බැලූ බැලූ අත සැප සම්පත් සහිත දීප්තිමත් ජීවිත උරුම වුණා.

කලකිරීමෙන් සිටි සාමණේරයන් නැවතත් උපාධ්‍යායන් වහන්සේ හමු වුණා. තමාට දැන් කිසිසේත් ම පැවිද්දේ සිත අලවා සිටිය නො හැකි බව ප‍්‍රකාශ කළා. උපාධ්‍යායන් වහන්සේ ඔහුට අනුකම්පා කළා. හිරු බැස ගිය කල්හී සාමණේරයන් ද කැඳවාගෙන ඉසිපතනාරාමය පිටුපස තිබූ එක්තරා ස්ථානයක් වෙත ගමන් කළා. සංකිච්ච තෙරුන් වහන්සේ තම අරහත් ඉර්ධියෙන් එක්තරා පිරිසක්, සාමණේරයන් වහන්සේට පෙනෙන්නට සැලැස්සුවා. දුටු දෙයින්…, සාමණේරයන් පුදුමයට පත්වුණා.

සුදු හස්තිරාජයෙක් යෙදූ වාහනයක රන්වන් දේහධාරී දිව්‍ය කුමාරයෙක් ගමන් කරනවා…ඊට පිටුපසින් වෙළඹුන් යෙදූ රථයකින් තවත් දිව්‍ය කුමාරයෙක් ගමන් කරනවා… පසුපසින් දිව්‍ය කන්‍යාවක් මණ්ඩපයකින් ගමන් කරනවා… ඊටත් පිටුපසින් පොලූ ඔසවා ගත්, අතිශය පරුෂ වචන කියමින්, වැගුරුණු ලේ සැරව ඇති, ඉතා පිළිකුල් පේ‍්‍රතයන් දෙදෙනෙක් ගමන් කරනවා…

සංකිච්ච මහරහතන් වහන්සේ, පේ‍්‍රතයන්ගේ සහ දෙවියන්ගේ ජීවිත කතාව විමසන ලෙස සාමණේරයන්ට වදාළා.

සාමණේරයන් වහන්සේ එ් පේ‍්‍රතයන්ගේ විස්තර ඇහුවා. පෙරේතයෝ මේ විස්තරය කිව්වා…

“හිමියනි.! යම් දෙවි කෙනෙක් ඉදිරියෙන් ම පා සතරක් ඇති ශ්වේත වර්ණ හස්ති යානයෙන් යයි ද එ් අපගේ වැඩිමහල් පුතණුවන් ය. එයා දන් දුන්නා. දැන් සැප විඳිමින් සතුටු වෙනවා.

අර වෙළඹුන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන්නේ අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නොවෙයි. දානපතියෙක් වෙලයි එයා බබළන්නේ.

අර රන්සිව් ගෙයකින් ගෙනයන දෙවඟනත් හරි නුවණැත්ති. මුවැත්තියක වගේ අඩවන් නෙත් තියෙනවා. ඈ අපේ බාල දෝණි. තමාට ලැබිච්ච කොටසින් භාගයක් ම දන් දුන්නා. ඉතින් සැප සේ සතුටු වෙනවා.

ඔය දරුවො ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. එ්කට අපි…, මසුරුකමින් සිටියා. ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්ට නින්දා කළා. දරුවො ටික දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. එ්කට අපි…, කපල අව්වෙ දාපු බට ගස් වගේ වේළි වේළි ඉන්නවා.

අපි කරන්නෙ එක එකාට වදහිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇතිවෙන්නෙ නෑ. අපිට එකිනෙකා රුස්සන්නේ නෑ.

හිමියනි…! දන්පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තෙ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැළපි වැළපී ඉන්නවා. සමහර භෝග සම්පත් තියෙන මිනිස්සු තමන් අනුභව කරන්නෙත් නෑ. පින් කර ගන්නෙත් නෑ.

මේ පෙරේතයන් අධික බඩගින්නකින්, පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකින් තැවි තැවී පිච්චෙනවා. දුක් ඇතිවෙන පාපකර්ම කරලයි කටුක ඵල ඇති දුක් අනුභව කරන්නේ.

ධනධාන්‍ය කියන දේවල් මොහොතකින් ඉවරයි… මේ ජීවිතය වුණත් මොහොතකින් ඉවරයි… මොහොතකින් ඉවර වෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය, තමන් ව දුකට යට නොවන දූපතක් කර ගන්නවා… ධර්මය තේරුම් ගන්ට දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාලා ඔය කාරණය ඔය විදිහට ම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප‍්‍රමාද වෙන්නේ නෑ…”

ස්වාමීන් වහන්සේට මේ විස්තරය කියූ පෙරේතයන් තමන් උන්වහන්සේගේ ඥාති වූ නැන්දාත් මාමාත් බව ප‍්‍රකාශ කළා. එ් පුවත ඇසූ ස්වාමීන් වහන්සේ මහත් සංවේගයට පත්වුණා. පැවිද්ද කෙරෙහි ඇතිවී තිබූ කලකිරීම පහව ගියා. සංකිච්ච මහරහතන් වහන්සේ අබියස වැඳ වැටුණා.

“ස්වාමීනි…! නුඹවහන්සේ විසින් යම් අනුකම්පාවක් කළයුතු වී ද එ් අනුකම්පාව නුඹ වහන්සේ විසින් කරුණාවෙන් මට කළා. එ්කාන්තයෙන් ම මහත් අනතුරකට වැටීමට සිටි මා, එම දුකින් මුදවා ආරක්ෂා කළා. දැන් මට ගිහිගෙයින් ප‍්‍රයෝජනයක් නැත. මා හට අනුකම්පා කරන්නැ”යි ප‍්‍රකාශ කළා. සංකිච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේට ආදරයෙන් ධර්මය කියා දුන්නා. ධර්මය අසා සසර ගැන සංවේගය උපදවා ගත්තා. ධර්මය.., ජීවිතයට ගළප ගළපා බලන්නට පටන් ගත්තා. ජීවිතේ සැබෑ ස්වභාවය ක‍්‍රම ක‍්‍රමයෙන් වැටහෙන්නට ගත්තා. සියලු බන්ධන සිතින් අතහැර දැම්මා. බුදු සසුනේ අර්ථයට පැමිණියා. සියලු දුක් කෙළවර කළා. වීතරාගී උතුමන් අතර කෙනෙක් බවට පත්වුණා. ගැට ගැසුණු සසරෙන් නිදහස් ව…, මහා වීරයෙක් වශයෙන් පිරිනිවන් පා වදාළා…!

“ධන ධාන්‍ය කියන දේවල් මොහොතකින් විනාශ වෙනවා… ජීවිතය වුණත් එහෙමයි… මොහොතකින් අවසන් වෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය, තමන් ව දුකට යට නොවන දූපතක් හොයා ගන්නවා… ධර්මයෙන් රැකවරණය සලසා ගන්නවා…”

නිබඳ…,
ධර්මය ඇසෙන්නේ නැත.
නිබඳ…,
සත්‍ය ඇසෙන්නේ නැත.
එහෙත්, මේ හිස් ලෝකයේ…,
නිබඳ…,
රැවටුම් බස් ඇසේ.
එහෙව් ලෝකේ මේ යුගේ,
සිහින් හඬකින් ‘දම්’ ඇසේ.
පමා නොම වී සුදනෙනී…!
දම් නැවට නැග එතෙර යව්…!!!

(ඛුද්දක නිකායේ එකොළොස්වන නාග පේ‍්‍රත වස්තුව ඇසුරෙනි)

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේනමක් විසින් සම්පාදිතයි