අතීතයේ ලක්දිව චීවරගුම්බකවාසී මහා තිස්ස නම් තෙරුන් වහන්සේ නමක් විසුවේ ය. උන්වහන්සේ එක දුර්භික්ෂ සමයක දීර්ඝ මාර්ගයක වඩින්නේ පිඬු පිණිස එක ගම්මානයකට පිවිසුන සේක. මුළු ගමේ ම පිඬු සිඟා වැඩිය නමුත් ආහාරයක් නො ලැබිණි. ගමනින් අතිශයින් ම පීඩාවට පත් වූහ.

උන්වහන්සේ වඩින මග අයිනේ සිහිල් සෙවණින් යුතු සුහුඹුල් අඹ ගසක් හමුවිය. එහි අඹ ඉදී තිබුනේ ය. ඉදුණු ගෙඩි බිම ද පතිත වී තිබුණි. නො පිළිගන්වා වැළදීම ඇවැතක් වූ නිසා එසේ වැළඳීමට අදහස් නො කළ හ. එසේ සිතා ගස යට දිගා වූහ.

මේ අවස්ථාවේ ඒ මාර්ගයේ ම ගමන් කළ මගියෙක් ද එතැනට පැමිණියේ ය. එ් හිමියන්ගේ ස්වරූපය දැක ගමන් විඩාවෙන් ක්ලාන්ත වී වැතිර සිටින බව මගියා තේරුම් ගත්තේ ය. සැදැහැති උපාසකතුමා හොඳින් ඉඳුනු අඹ ගෙඩි කීපයක් ගෙන මිරිකා පානයක් සාදා පිළිගැන්වී ය. උන්වහන්සේ එය පානය කළහ.ටික වේලාවක් ගත විය.

අනතුරුව උපාසකතුමා ”ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ කොහි වඩින සේක්දැ?” යි විචාළේ ය. ”උපාසකතුමනි, මම අසවල් ප‍්‍රදේශයට යන්නෙමි.’‘ කීහ. ”ස්වාමීනි, මා යන්නේ ද ඒ ප‍්‍රදේශයට ය” යැයි උපාසක කීවේ ය. ”උවසුවාණෙනි, මට පයින් ඇවිදගෙන යා නො හැකියි. ඔබ යන්න. මම පසුව එන්නෙමි” යි උන්වහන්සේ කී සේක.

තෙරුන් වහන්සේගේ තත්ත්වය ගැන සිතා කාරුණික වූ උපාසකතුමා හිමියන් කර තබාගෙන පිටත් විය. ටික දුරක් මෙසේ ගිය හිමියන්ට සිහිය ලැබුණේ ය. මිනිසාගේ කරපිට සිටිය දී ම උන්වහන්සේ තමාට මෙසේ අවවාද කර ගත්හ.

“තිස්ස මේ තාගේ පියා ද නො වේ, මව ද නො වේ. වෙනත් නෑයෙක් ද නො වේ. මොහු සිල්වත් බව නිසා මෙබඳු බැරෑරුම් කාරියක් කරයි. ඔබ මොහුට ණය නො විය යුත්තේ ය.”

එසේ අප‍්‍රමාදී වූ උන්වහන්සේ උපාසකතුමාගේ කරපිට යන ගමන් ම විදසුන් වඩා රහත් වූ සේක.