highlights of the week
Home » අක්මුල් සොයා » අපට හිමි වූ අපේ දරුවන්ට අහිමි වූ සොඳුරු ළමා විය

අපට හිමි වූ අපේ දරුවන්ට අහිමි වූ සොඳුරු ළමා විය

පාසැල් නිවාඩු කාලය ඇවිල්ලා… අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ නිවාඩු කාලය එනකල්, වත්ත පහලට ගිහිල්ලා බට ගහක් දෙකක් කපාගෙන, හීනියට සුද්ධ කරලා සරුංගල් පට්ටමක් හදන්න. ඒ බට ගහෙන්ම මහත බටයක් කපාගෙන බට තුවක්කුවකුත් හදාගෙනයි ආපහු එන්නේ. හොඳට පැහුන කොහිකිරිල්ල අහුරක් කඩාගෙන ලපටි ගෙඩි ටික කටේ දාගෙන ඉතිරි ගෙඩියෙන් ගෙඩිය බට තුවක්කුවට දාලා සද්දය ඇහෙන්න වෙඩිල්ලක් තියන්න අපිට තිබුනේ පුදුම ආසාවක්.

හදාගත්ත සරුගල් පට්ටම ලස්සනට අලවලා හවසට හුළං හමන වෙලාවට වෙල් ඉපනැල්ලේ දුවලා සරුංගලය අහසට නංගුවාම දැනෙන සතුට කියාගන්න වචන නෑ. මේ වගේ ක‍්‍රියාකාරකමකින් දරුවෙකුට ලැබුන ආත්ම විශ්වාසය අද නායකත්ව පුහුණු දෙක තුනකින්වත් ඇතිකරන්න පුලූවන් වෙයිද කියන්න මම දන්නෙ නෑ.

ඒ කාලේ අපේ සෙල්ලම් බඩු වලට දෙමව්පියන්ට වියදම් කරන්න වුනේ නෑ. ඒත් අපට සෙල්ලම් බඩු වලින් නම් අඩුවක් වුනෙත් නෑ. අපිට රෙදි මහන්න කුරුම්බැට්ටි මැෂිම තිබුනා. හුළං තියෙන වෙලාවට අරගෙන දුවන්න පොල්කොළ රූං පෙත්තක් තිබුනා. හුළං නැති වෙලාවට රබර් ඇටයක් විදලා ඉරටුවක් මැදට දාලා හදපු යාන්ත‍්‍රික රූං පෙත්තකුත් තිබුනා. හිස සරසගෙන ළමා ලෝකයේ රජ වෙන්න කොස්කොළ ඔටුන්නක් තිබුනා. ගෙල සරසන්නට මයියොක්කා කොළ වලින් හදපු ලස්සන මාලයක් තිබුනා. ගහක තියෙන කොළයක් රවුම් කරලා පැත්තක් ඇගිලි දෙකින් තලලා හදාගත්ත නලාවක් තිබුනා.

අපිට කරුණාව දයාව ඉගෙන ගන්න හුරතල් සතුන් ගොඩක් හිටියා. පොල්පිත්තක් කපලා පොල් කටුවකින් අං තියපු වහුපැටියෙක් අපට හිටියා. ගොක්කොළ වලින් හදපු ගිරව් හිටියා. ගොක්කොළ නයි හිටියා.

අපිට ගමන් බිමන් යන්න අපිම නිර්මාණය කරගත්ත වාහන තිබුනා. පොල් කොට රවුම් දෙකක් කපලා පොල්කොට සුක්කානමක් හදපු අපූරු රේසින් කාර් එකක් තිබුනා. රිම් එකකුයි කෝටුකෑල්ලකුයි එකතුවෙන් හදාගත්ත අපේම වාහනයක් තිබුනා. පරණ ටයර් එකකින් හදා ගත්ත බර වාහනයකුත් තිබුනා. කොළපතකින් හදාගත්ත ලෙස්සා යන වාහනයකුත් තිබුනා.

අපි ගෙවල් හදන්නත් දක්ෂයි. ඉනි හය හතක් කපාගෙන පොල් අතු අහුරලා බිමට වියපු පොල්අත්තක් දාලා හදපු අපූරු සෙල්ලම් ගෙවල් අපට තිබුනා. ගොයම් කපලා ? තිස්සේ අම්බරුවන් යොදලා ගොයම් පාගන කාලෙට කමතට වෙලා රැුය පහන් කරන්නට පිදුරු වටකරලා මාගලක් වහලෙට දාලා හදාගත්ත ආරක්ෂක නිවහනක් තිබුනා.

වැහිපොද වැටෙනකොට මිදුල දිගේ පොඩි වතුර පාරවල් ගලද්දී කඩදාසි බෝට්ටු හදලා පාකරලා සතුටු වුනා. වැස්ස වැඩිවෙලා ඇලවල්වල වතුර පිරෙන කාලෙට ඇලට දොලට බැහැලා ඇති තරම් පීනුවා. සරමට වතුර එකතු කරලා මාලූ පැටව් අල්ලලා ටික වෙලාවක් බලලා ආයෙම වතුරට යන්න ඇරලා සතුටු වුනා. තවත් වැහැලා වෙල් යටවෙනකොට කෙහෙල්කොට පාරු හදලා ඒ මත නැගලා එතෙර මෙතෙර ගියා.

දුරුතු මාසේ හැන්දෑ යාමේ සීතල දැනෙනකොට කොළ රොඩු එකතු කරලා හදපු ගිනිගොඩ පත්තුකරලා ඒ වටේට ඉඳගෙන ගිනිතැප්පා.

අපිට රසකැවිලි ගේන්නට දෙමව්පියන්ට මුදල් වැය වුනේ නෑ. වත්තට බැස්සහම කට දම්පාට වෙන්නම කන්න මාදං ගස්වල මාදං තිබුනා. ඇඹුල් පේර තිබුනා. ඇඹිලිය පොකුරු අපි එනතුරු මග බලා හිටියා. කජු පුහුලන් වාරෙට උගුර රිදෙනකල් කජු පුහුලං කෑවා. මොර, කෝන්, හිඹුටු, වෙරලූ, පිනිජම්බු ඇති පදං තිබුනා. වැල වරකා වලින් ම බඩ පිරුන දවස් තිබුනා. පොල් ගහක් කපපු දාක අපේ ජනප‍්‍රිය ම කෑම වුනේ පොල් බොඩ. පිපාසය නිවන්න ඇතිතරම් තැඹිලි කුරුම්බා තිබුනා. අර ගිනි තපින වෙලාවට ඒ ගින්නට ම දාලා කොස් ඇට පුච්චලා කෑවා. වල් දෙල් ඇට බැදලා කෑවා.

සිංහල අවුරුදු කාලෙට කජු ගස්වල ඔන්චිල්ලා බැන්දා. උණ ගහක් කපලා උණ වෙඩි හැදුවා. එල්ලේ පිති හදලා රබර් වත්තට ගිහින් ඔට්ටපාළු බෝල හදන් ඇවිත් එල්ලේ ගැහුවා.

වෙසක් කාලෙට උණගස් බටගස් වලට ගොඩක් වැඩ තිබුනා. වල්ලාපට්ටා ගහ අපි දැනගෙන හිටියේ වෙසක් කූඩු බඳින්න පට්ටා ගන්න ගහක් විදියට. අපේම අත්වලින් බැඳිලා, අත්වලින් කොළ ඇලවිලා, වෙසක් සඳ පායනකොට ඉටිපන්දම් එළියෙන් ආලෝකමත් වෙන වෙසක් කූඩු දුටුවාම අපේ හිතට යාන්තමට නිරාමිස සතුට කියන්නේ මොකක්ද කියන එක දැනුනා. ඉටිපන්දමින් ගිනි ඇවිලිලා ඒ කූඩුවක් දෙකක් බිම වැටෙද්දි අනිත්‍ය පිළිබඳ පාඩම අපේ හිත ඇතුලට කිඳාබැස්සා.

හැන්දෑවට හෙන්දිරික්කා මල් පිපෙන වෙලාව අපි දැනන් හිටියා. වත්ත පුරාම ඇවිදලා ලස්සන වනමල් නෙලාගෙන ඇවිත් අත්තම්මා එක්ක පැයක් විතර බුද්ධ වන්දනා කරන්න අපට වෙලාව තිබුනා. වන්දනාවෙන් පස්සේ ‘අනේ පුතේ…. මගේ ඇස් දෙක දුර්වලයි නෙව. දැන්… ඔන්න ඔය පොත් වහන්සෙගෙ ඊළඟ කථාව කියවපංකො දරුවො…’ කියලා අත්තම්මා පන්සිය පණස් ජාතක පොත අපි අතේ තිබ්බේ ආත්තම්මට කතා ඉගෙන ගන්න නෙවෙයි කියන එක අපිට තේරුම් ගියේ ජාතක පොත ම දෙතුන් පාරක් කියෙව්වට පස්සේ.

මේ විදියට සුන්දරව තිබුන අපේ ළමා කාලය බටහිර තාක්ෂණය හා අධ්‍යාපන රටාවන් වෙතින් අමු අමුවේ පැහැරගත්තා. තුනේ පංතියේ ඉඳලා ටියුෂන් යන රටාවකට අපේ දරුවන් තල්ලූ වුනා. මේ විදියට සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන් ඇවිදින යන්ත‍්‍ර වගේ වුනා. හරියට බත් කටක් කන්නවත් දෙමව්පියන් එක්ක නිදහසේ ටිකක් කතා කරන්නවත් මේ දරුවන්ට වෙලාවක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ඒ දරුවන්ට තිබුන එකම විවේක කාලය ඉන්දියානු හා කොරියානු පහත් ටෙලිනාට්‍ය මාලා මගින් පැහැරගෙන තිබුනා. අවසානයේ වුනේ, කිසිදු චාරිත‍්‍ර වාරිත‍්‍රයක් දන්නේ නැති, ගුණධර්මයක් ගෑවිලා නැති, ගුරු දෙමව්පියන්ටවත් ගෞරවයක් නැති අමුතුම පිරිසක් බිහිවෙන්නට පටන් ගැනීමයි.
අනෙක් සියලූ බටහිර රටවල් මේ ක‍්‍රමයට ම දරුවන් තල්ලූ කළත් ඒ සියලූ රටවල් අසාර්ථක වෙද්දී ඒ සියල්ල පරදා පින්ලන්තය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අංක එකට පැමිණුනා. කොහොමද මෙතරම් හොඳ තැනකට ආවේ? බටහිර විද්වතෙක් ගිහින් පින්ලන්තයේ අධ්‍යාපන අමාත්‍යවරියගෙන් මේ ගැන විමසා සිටියා.

‘අපි සිසු සිසුවියන්ට ගෙදර වැඩ දෙන්නේ නෑ…’

‘මොනවා…? ගෙදර වැඩ දෙන්නේ නෑ…’

‘ඔව්… අපි දරුවන්ට ගෙදර වැඩ දෙන්නේ නෑ. අපි ඔවුන්ට වැඩිම කාලයක් ලබාදෙනවා ඔවුන්ගේ ළමා කාලය ළමයින් ලෙස ගතකරන්නට… ජීවිතය විඳින්නට…’

‘ගෙදර වැඩ දෙන්නේ නැත්නම් ඔවුන්ට දෙන්නේ ගස් නගින්න ද?’

‘ඔව්… ඔවුන්ට නිදහසේ ගස් නගින්න පුළුවන්. ඒත් ඒ ක‍්‍රියාකාරකම් වලින් ඔවුන් බොහෝ දේ ඉගෙන ගන්නා බව මා දන්නවා. ඇතැම්විට ඔවුන් එන්නේ අලූත් කෘමී සතෙක් ගැන තොරතුරුත් අරගෙන…’

‘පෙර සිසුන්ට සාපේක්ෂව දැන් සිසුන්ගේ පාසැල් කාලවේලාව කොහොමද?’

‘සඳුදට පැය තුනක් විතර… අඟහරුවාදට පැය හතරක් විතර… කොහොම වුනත් සතියට පැය විස්ස ඉක්මවන්නේ නෑ….’

‘එහෙනම් පාසැලේදි විවේක කාලයක් නැතුව ඇති….’

‘නෑ… අපි පැයක විවේක කාලයක් දෙනවා. එයත් ඇතුලූවයි පැය තුන’

‘මොනවා… එතකොට ඉගෙන ගන්න ඒ පොඩි වෙලාව ඇතිද..?’

‘හොඳටම ඇති… දරුවන්ගේ මොළයට වැඩියෙන්ම අවශ්‍ය විවේකයයි. දිගටම වැඩ වල යෙදීම අසාර්ථකයි. එහෙම ඉගැන්නුවාට ඒවා මනසේ රැඳෙන්නේත් නෑ.’

‘පින්ලන්ත සිසුන්ට තමයි පාසැල් පැමිණිය යුතු අඩුම දින ගණන තියෙන්නේ… ඒ වාගේම පාසැල් පැමිණිය යුතු වසර ගණන අඩුම රට මුළු බටහිරින්ම. ඒක තමයි අපි ලෝකයේ අධ්‍යාපනයෙන් අංක 01 ට පැමිණීමේ රහස. අපිට ක‍්‍රීඩාපිටිය නවීකරණය කරන්න හිතුනා කියමු.

කෙලින්ම ගෘහ නිර්මාණ ශිල්පීන් යන්නේ දරුවන් ලඟට’

‘මොනවා… ළමයි කියන විදියටත් වැඩ කරනවාද..?’

‘ඔව්… ළමයි කියන විදියට තමයි’

‘මොනවද ළමයින්ට වැඩිපුරම උගන්නන්නේ…?’

‘අයහපතින් වලකින්නත්…. යහපතේ හැසිරෙන්නත්… අන් අයට ගරු කරන්නත්…’

‘මොනවද ඔබ උගන්වන විෂය…?’

‘ගණිතය’

‘ඔවුන්ට කෙළි සෙල්ලම් කරන්නට ඇතිතරම් කාලය ලැබෙනකොට, යාලූවන් එක්ක සුහදව ඇසුරු කරන්න ලැබෙනකොට, මනුෂ්‍ය ගුණධර්ම වැඩෙනවා. මනුෂ්‍යයින් විදියට වැඩෙනකොට ඔවුන් සාර්ථක වෙනවා.’

‘ඔබට මොකක්ද දෙන්න තියෙන පණිවුඩය..?’

‘දරුවන්ට සෙල්ලම් කරන්නට ඉඩ දෙන්න’

කුමක්ද මේ සිදුවී ඇති පෙරලිය… මෙය පෙරදිග අපට නම් අමුත්තක් නොවේ. අපිට තිබුනේ එවැනි ළමා කාලයක් තමයි. ඒ නිසයි ඒ යුග වලදි ලොව මවිත කරවන නිර්මාණ අප අතින් බිහිවුනේ. දෙමව්පියන් අතින් දරුවන් වෙනුවෙත් ඉටුවිය යුතු යුතුකම් අතර පළමු කරුණු දෙක හැටියට භාග්‍යවතුන් වහන්සේ පවා වදාළේ පාපා නිවාරෙන්ති. කල්‍යාණේ නිවේසෙන්ති. මුලින්ම පවෙන් වලක්වා ගන්න. දෙවනුව යහපතෙහි පිහිටුවන්න යන්නයි. තුන්වෙනි කරුණ සිප්පං සික්ඛාපෙන්ති. අධ්‍යාපනය එන්නේ ඊට පසුවයි.

නැවතත් අපේ රටේ බටහිරට අත නොපා, දෙපයින් නැගී සිටීමට සවිබලසම්පන්න ජාතියක් ගොඩනැගීමට නම්, ආදරණීය අම්මේ තාත්තේ… දරුවන්ගෙන් උදුරාගත් දරුවන්ගේ ළමා ලෝකය දරුවන්ට ආපහු දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”