මානව වංශයේ උතුම් තැනක් කාන්තාව අත්පත් කර ගත්තේ ඇය අම්මා කෙනෙකු වූ නිසාය. ලොව වෙනස් කළ සියලූම ආගම් කර්තෘවරුන්, චින්තකයන්, දාර්ශනිකයන් සියල්ලෝ ම අම්මාගෙන් බිහිවූ දරුවෝය. අම්මා කෙනෙකුගෙන් තොරවූ ජන සමාජයක් කිසි දිනෙක මිහිපිට පහළ වූයේ නැත. ඒ නිසාම අතීත යුගයේ සිට අම්මා කෙනෙකු බවට පත්වූ වනිතාව මුළු මහත් ප‍්‍රජාවගේම බුහුමනට පාත‍්‍ර වූවාය. මීට අවුරුදු පන්දහසකට පෙර පැවතිනැයි සැලකෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාර යුගයේ කාන්තාව මවු දෙවඟන (ජගන් මාතා) ලෙස පිදුම් ලැබූ බවට සාධක සොයාගෙන තිබේ.

භාරතීය බ‍්‍රාහ්මණ සමාජය විසින් නොවැදගත් යයි මුළුගන්වන ලද කාන්තාවට හිමිවිය යුතු නිසි තැන හා සමාජ වරප‍්‍රසාද අත්පත් කර දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. එයින් පසු බෞද්ධ ජන සමාජය තුළ අම්මා උතුම් බුහුමනින් පුද ලැබුවාය. ‘බ‍්‍රහ්මාති මාතා පිතරෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දෙමාපියන් සමාජයේ ගෞරවනීය ස්ථානයකට පත් කළ බව බෞද්ධ සාහිත්‍යයෙන් හෙළි වෙයි.
බුදුසමය විසින් උසස් තැනකට නංවන ලද කාන්තාවගේ පෞරුෂය ලාංකීය ජන සමාජය තුළ සුරැුකුණේ බුදු සසුන මේ දිවයින තුළ තිරසර ලෙස මුල් බැසගත් හෙයිනි. ලාංකික කාන්තාව වශ්‍යවචෝභාවයෙන් හා ආදර්ශමත් ගති පැවතුමින් හෙබි සන්සුන් ඉඳුරන්ගෙන් යුතු චරිතයක් ඇත්තියක වීමට උතුම් බෞද්ධ කාන්තාවන් වූ ප‍්‍රජාපතී ගෝතමී, යසෝදරා, පටාචාරා, ධම්මදින්නා, සංඝමිත්තා ආදී රහත් මෙහෙණින් වහන්සේලාගේ හා විශාඛා, නකුලමාතා, ඛුජ්ජුත්තරා, නන්දමාතා වැනි කාන්තා රත්නයන්ගේ ජීවන පිළිවෙත් බලපා ඇති බව පෙනී යයි.

ශ‍්‍රී ලාංකික කාන්තාව හෙවත් ගෘහණිය පවුලක කේන්ද්‍රීය චරිතය වන්නීය. සැමියා ත් දරුවනුත් නිවහන ත් රැුකබලා ගැනීම, ඥාති වර්ගයා හා අසල්වැසියන් සමඟ සම්බන්ධීකරණය ගෘහණියකගෙන් ඉටුවන මූලික මානව ධර්මතා වෙයි. සැමියා විසින් උපයන ධනය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් පවුලේ දියුණුව හා අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම මවකගෙන් ඉටුවන ඊළඟ වටිනා ම කාර්යභාරය වෙයි.

හැමදෙනාට ම පළමු පිබිද හැමට පසුව නින්දට යන්නී මවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ කාන්තා ගුණධර්ම දෙදහස් පන්සිය වසරකට ආසන්න කාලයක් අපේ කාන්තාවෝ ආරක්‍ෂා කරගෙන ආහ. පැරණි සමාජ රටාව උඩු යටිකුරු වී ඇති වර්තමාන යුගයේ පවා බොහෝ ලාංකික මවුවරුන් එම ගුණ ධර්මවලට අනුව කටයුතු කරන බව කිව යුතුය.

අම්මා යන වදන තුළ ආදරය, කරුණාව, රැකවරණය යන උතුම් මානව ගතිගුණ කැටි වී පවතී. අම්මා යන වදනින් සිංහල භාෂාව ද පෝෂණය වී ඇති අයුරු, නැසීගිය අරිසෙන් අහුබුදු සූරීන් පෙන්වා දුන්නේ මෙපරිද්දෙනි.

‘‘මෙලොවට එනවිට ඈ
දෑගති ලකුණු පෙනී
මවුකිරි සුවඳින්
අම්මා වදනින්
මවුබස වූ සිහලේ”

ආදරයේ උල්පත වූයේ අම්මා ය. කරුණාවේ නිධානය ද අම්මා වූවාය. මවකගේ ආදරය, සෙනෙහස සත් සමුදුර උතුරා යන තරම් යයි පැරණි ජන කවියකු පවසා තිබේ. ඊට සරිලන තවත් පර්යාය යෙදුමක් මිහිපිට නොමැති යයි සිතේ.

ඇතින්නියක් ලත් දරු පෙම්බරේ යා
ඇතිනි රැළේ හැමටම කිරි එරේ යා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේ යා
පුතුනේ බලන් සත් සමුදුර පිරේ යා

මවකට දරුවා සේ ම දරුවකුට ද මව තරම් උතුම් සම්පතක් රැකවරණයක් නොමැත්තේය. මේ අන්‍යෝන්‍ය මානව සබැඳියාව ගැන සිංහල ජන කවියන් තරම් හද සසල කරවන වදනින් නිර්මාණ බිහි කළ වෙනත් කවි පරපුරක් ලොව වෙසෙත් නම් ඒ ඉතා අල්ප සංඛ්‍යාවකැයි පවසනුයේ ජාතිකානුරාගය පෙරදැරි කොටගෙන ම නොවේ. හෙළ බසෙහි දැවටී ඇති කෝෂාර්ථ වෙනත් බසකට නැඟිය හැකිදෝ යන කුහුලින් යුතුවය. අම්මා ගේ අගය පිළිබඳ දරුවකුගේ මුවින් පිටවුණු කියුමක් ජන කවියකට නැඟුණේ මෙසේය.

වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
දෙපෝදාට පුන්සඳ වාසනාවන්
ජාතිත් අපේ අම්මා වාසනාවන්

නිල් අහස, මහ පොළොව සීමා කොට පවත්නා අසීමිත ජගත් සෞන්දර්යය දැකීමේ හා විඳීමේ වාසනාව අප උරුම කොට ගත්තේ අපේ අම්මා නිසාය. පෝයදාට පායන පුන්සඳ මෙන් ජීවන අඳුර දුරු කොට සිහිලස ලබා දෙන අම්මා ජාති ජාතිත් අපේම වේවා යනුවෙන් පුතකු කළ පැතුම, සියලූම පුතුන්ගේ පැතුම් කුළු ගැන්වීමක් වැන්න.

දුප්පත් පොහොසත් භේදයෙන් තොරව, දරු පවුලක සෞභාග්‍යය රඳා පවතින්නේ අම්මා නිසාය. අම්මා නොමැති නිවහනේ වෙසෙන දරුවන් අනාථ වූවන් වැන්න. මේ පිළිබඳව ගැමි ව්‍යවහාරයේ පවත්නා යෙදුම් අතරින් ‘අම්මා නොමැති කලේ අප්පා කවර කලේ’ යන්න ඒ අත්දැකීම පැහැදිලි ලෙස ප‍්‍රකට කරන්නකි. අම්මා වියෝ වූ විට හෝ නිවසින් දුරබැහැරව ගිය විට හෝ ඒ නිවසේ වෙසෙන දරුවන් විඳින කායික හා මානසික පීඩනය අතිශය කටුකය. එම අත්දැකීම ප‍්‍රබල අරුතක් මතු කරන අයුරින් ජනකවියකට නැඟී ඇති අයුරුයි මේ.

කුකුළා නැති ගෙදර එළි වෙනවා නොදැනේ
ගවයා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ
බල්ලා නැති ගෙදර සොරු එනවා නොදැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ

පැරණි ගැමි ගෙදර එදිනෙදා කටයුතු සඳහා සත්ව සන්නිවේදනය යොදාගත් අයුරු කියැවෙන අපූරු අත්දැකීමකි එම කවියෙන් විශද කරන්නේ. එක් කරුණක් ශපථ කිරීම සඳහා ජනකවියා මුළු පරිසරයක් යොදාගත් අයුරු අපූරුය. එළි වෙනවා, ? වෙනවා නොදැනෙන තරමට ගේ දොර දුක්දුරින් වැසී පවත්නේ අම්මා නොමැති හෙයිනි. එසේම ඒ නිවසේ දරුවන්ට වෙන රැකවරණයක් ද නොමැත. සිතින් දුක් විඳින, අම්මා අහිමි දරුවන්නේ ඛේදනීය අඳෝනාවක් වැන්න එම කවිය.

කුඩා දරුවන් වෙසෙන පවුලක අම්මා අකාලයේ මිය යෑම තරම් ඛේදවාචකයක් ඒ සිඟිත්තන්ට තවත් නොමැත. තමන් පෝෂණය කිරීම සඳහා පියා හා නෑසියන් කොතෙක් සිටිය ද, අම්මා නැති අඩුව ඔවුන්ගෙන් පිරිමසා ගත නොහැක. පහත දැක්වෙන ජන කවිය අම්මා වියෝවූ දරුවන්ගේ හදින් පිටවූ කල්පාන්ත සුසුමක් වැන්න.

‘‘කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා දරුවන් අම්මේ
අනුන් දුන්න බත් බඩ නොපිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬ ගහපන් අම්මේ

මේ කවියේ අත්දැකීමට පාදක වූ දරුවන් ඉතා කුඩා වියේ වෙසෙන්නන් බව එහි මුල් පාද දෙකින් කියැවෙයි. සිංහල බසේ පවත්නා ගැඹුරු කෝෂාර්ථ රැගත් මේ යෙදුම් වෙනත් කිසිදු බසකට පරිවර්තනය කළ නොහැකිය. වෙනත් අය විසින් රස මසවුළු රැුගත් අහර කවා පෝෂණය කළද අම්මාගේ ඉඳුල් බත්කටෙන් ලැබෙන තෘප්තිය ඉන් නොලැබේ. ‘බඩ නොපිරෙයි අම්මේ’ යන්නෙන් කායික හා මානසික පෝෂණය නොලැබෙන බව හැඟවෙයි. කවියේ අවසානය වූ කලී අහිමි වූ අම්මා සිහි කරමින් දරුවන් විඳින සාංකාව හා මුසු වූ දුක වේදනාව පිළිරැුව් නඟන්නකි.