භාණ්ඩ හා සේවා සැපයීමෙහි ලා පැනවෙන බදු ගැන කාලයක් පුරා රටේ කථාබහක් නිර්මාණය වී තිබේ. ජනතාව මත වැඩි බදු බරක් පැටවෙන ආර්ථික ක‍්‍රමවේදයක් රට තුළ නිර්මාණය වනවාට කවුරුත් කැමති නැත. එ් නිසා ම අසීමිත ව බදු පැනවීම සිදු නොකරන්නැයි පැවති පාලනයන්ට වූවා සේ ම පවතින පාලනයට ද නොයෙක් බලපෑම් එල්ල වෙයි.

ඇතැම් විට මේ බලපෑම් නිසාවෙන් ම බදු හකුළා ගන්නට වුව ද පාලකයන්ට සිදු විය හැක. එනම්, පොදුවේ පැටවෙන බදු බර අඩු කරලන්නට බලපෑමේ බලවත් බව හේතුපාදක වේ. මේ රටෙන් ඉවත් ව වෙනත් රටකට පදිංචියට යන්නවුන්ට ද එ් බදු බර අදාළ නො වේ. මේ න්‍යාය ම අපගේ සාංසාරික ජීවිත තුළ ද ක‍්‍රියාත්මක වන බව ඔබ කෙදිනක හෝ සිතා තිබේ ද? සාංසාරික සත්වයන්ගේ දායාදය වන කර්ම පොදියේ අසීමාන්තික බර ඉක්මවා යා හැකි, එ් බර බැහැර කළ හැකි සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන් වීමේ භාග්‍යය අප ලද නිසා මේ එ් ගැන සිතන්නට සුදුසු ම මොහොතයි.

කර්ම විපාක විෂය අචින්ත්‍ය බව සම්බුදුරජුන්ගේ අවබෝධය යි. එ් එ් කර්මයට එ් එ් විපාකය ම සැලසෙන්නේ ය කියා පැනවීමක් එහි නැත. පැනවෙන්නේ යම් අයුරකින් විපාක දිය යුතු කර්ම සිදු කෙරෙන්නේ ද එ් අයුරින් ම එ්වා විපාක දෙන බවයි. කුඩා පාපයක් විසින් කෙනෙකු නිරයට ම ඇද දමද්දී එම පාපය ම තවත් කෙනෙකුට දිට්ඨධම්මවේදනීය ව පමණක් විපාක දෙයි. එසේ වන්නේ පුද්ගලයාගේ බලවත් බව නිසා ය.

එසේ කෙනෙකුට දුගතිගාමී වන කර්මය තවකෙකුට මෙලොව පමණක් විපාක ඇති කරලන්නේ එ් දෙවැන්නා කවරකින් බලවත් වූ කල්හි ද? එ් බලවත් බව සම්බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාරයි.

‘‘පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් භාවිත කයෙන් යුක්තයි. භාවිත සීලයෙන් යුක්තයි. භාවිත සිතෙන් යුක්තයි. භාවිත ප‍්‍රඥාවෙන් යුක්තයි. පටු නො වූ සිතින් යුක්තයි. මහත් වූ ගුණදහමෙන් යුක්තයි. අප‍්‍රමාණ ගුණ ඇතිව වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙබඳු ආකාරයේ පුද්ගලයා එබඳු ම වූ අල්පමාත‍්‍ර වූ පව්කමක් කළා වුණත් එය දිට්ඨධම්මවේදනීය වෙනවා. අනුමාත‍්‍රයකින්වත් පරලොව විපාක දෙන්නේ නෑ. බොහෝ විපාක දීම ගැන කියන්න දෙයක් නෑ.”
(ලෝණඵල සූත‍්‍රය, අං. නි. – 1)

සම්බුදුරජාණන් වහන්සේ මෙහි දී ලූණු කැටයේ උපමාව දේශනා කොට වදාළ සේක. කුඩා වතුර වීදුරුවකට ලූණු කැටයක් දැමූ කල්හි එහි ලූණු රසය ඇති වුව ද ගංගා නදියට ලූණු කැටයක් දැමූ කල්හි ගංගා ජලය ලූණු රස වන්නේ නැත. එ් අයුරින් ම, කර්මයන් විපාක දෙන ස්වභාවය හීන වන්නේ පුද්ගලයා විසින් දියුණු කරන ලද අධ්‍යාත්මික ස්වභාවයන්ගේ බලවත් බව අනුව ය.

බදු බර අපට දැනුන ද මේ සාංසාරික බර අපට එතරම් නො දැනේ. සිහිපත් ද නො වේ. සසරේ සැරිසැරූ පුරුද්දක් මිස සසරෙන් මිදෙන මඟ සෙවූ පුරුද්දක් අපට නැත. මේ පමාව එනිසාවෙනි. එහෙත්, සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සසර සැරිසරන්නට නොව එයින් මිදෙන්නට ය. එ් දහම ලොව දුලබ ය. ලැබෙන්නේ කල්ප ගණනකිනි. එසේ ලද දහම් මඟ තුළ පටු චින්තන රටාවන්ට හිර නො වී සාංසාරික බර බැහැර කරලන පුළුල් චින්තන රටාවට අනුගත වන්නට ඉදින් අප අප‍්‍රමාදී විය යුතු නො වේ ද?
මේ, එයට කාලය යි…!

– මහාමේඝ –