සියලූ සත්වයන්ගේ හිතසුව කැමති එ් අරහත් මුනිවරුන්, සියලූ ලෝකයාගේ යහපත පිණිස වූ ප‍්‍රථම ධර්ම සංගායනාව සත් මසකින් නිමාවට පත්කළ සේක. සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේ විසින් එම සංගායනාව කරනු ලැබුවේ මේ ශී‍්‍ර සුගත සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්වන්නට සමත් වන අයුරිනි. එසේ ප‍්‍රථම දහම් සංගීතිය අවසන් වෙද්දී මහත් පී‍්‍රතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව සය වරක් ම කම්පාවට පත් විය.

පහන් සිළ නිවෙන සේ පිරිනිවන වෙත ගියා…

අසිරිමත් සම්බුදු ගුණ මහිමයෙන් හෙබි අප තථාගතයන් වහන්සේ පන්සාලිස් වසරක් පුරා අමාදම් දෙසා ලෝසත සුවපත් කොට උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන්පා වදාළ සේක. ශාසනභාරධාරී මහා කස්සප මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ ශී‍්‍ර සම්බුද්ධ ශරීරයටත්, සර්වඥ ධාතූන් වහන්සේලාටත් ශාස්තෘ ගෞරවයෙන් යුතුව සියලූ පුද සත්කාරයන් සිදුකරවූ සේක. එමෙන් ම අප බුදුරජුන් පිරිනිවන් පෑමට පෙර ශාස්තෘ තනතුරෙහි පිහිටුවා වදාළ උතුම් ශී‍්‍ර සද්ධර්මය චිරාත් කාලයක් පවත්වන්නට කැමති වූ සේක. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට, සුගත් චීවරය පොරවන්නට දී, භාග්‍යවතුන් වහන්සේ හා සමාන ව ම ධ්‍යාන අභිඤ්ඤ සමාපත්තීන්ට සමවදින බව ප‍්‍රකාශ කොට කරන ලද මහා අනුග‍්‍රහය මහා කස්සපයන් වහන්සේ සිහි කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශී‍්‍ර සද්ධර්මය සුරකින්නට නවාංග ශාස්තෘ ශාසනය ධාරණය කොට වැඩ සිටින උතුම් අරහත්වය සේ ම සතර පටිසම්භිදා ආදි සියලූ ශ‍්‍රමණ ගුණයන්ගෙන් සමූපේත වූ උතුම් රහතන් වහන්සේලා හාරසිය අනූනවනමක් තෝරාගත්හ. තවම අරහත්වයට පත් නො වූ ආනන්දයන් වහන්සේ තෝරාගැනීමට ඉඩ තබා එසේ සිදු කළ සේක.

ගෞතම සම්බුදු සසුන රකින්නට – අරහත් මුනිවරු රැස්වෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මය අංගසම්පූර්ණ ව සිංහ තෙල් රන් බඳුනක බහා තබන්නා සේ, ගෞරවයෙන් මතකයේ දරා සිටි ආනන්දයන් වහන්සේත් ධර්ම සංගායනාවට තෝරා ගන්නා ලෙස රහතන් වහන්සේලා ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේව ද තෝරා ගැනුනි. කුසිනාරා නුවර දී තථාගත පරිනිර්වාණය වෙනුවෙන් සත් දවසක් ඉතා යහපත් පුණ්‍ය උත්සව ද තවත් සත් දිනක් ධාතු පූජා මහෝත්සවයක් ද පැවැත්විණි. එ් අඩ මස ඇවෑමෙන්, ලෝ වැසියන් කෙරෙහි මහත් අනුකම්පා ඇති එ් මහා කස්සප තෙරුන් ප‍්‍රධාන මහරහත් මුනිවරුන් ධර්ම සංගායනාව පිණිස රජගහ නුවරට වැඩමවීමට සූදානම්ව සියලූ සඟ පිරිසට මෙසේ දැනුම් දුන්හ. ‘‘අපි රජගහ නුවර වස් සමාදන් වීමට වැඩම කළ යුතුයි. එහි දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්නෙමු. එම නිසා එ් කාලය තුළ සංගීතිකාරක රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගී නොවන අනෙකුත් භික්ෂූන් රජගහ නුවර වස් වැසීමෙන් වැළකී සිටිය යුතුයි.” ඉන් පසු එ් උතුම් රහතන් වහන්සේලා රජගහ නුවර බලා චාරිකා කළේ හමුවන ශෝකාකූල ජනයාට අනිත්‍ය ප‍්‍රතිසංයුක්ත ධර්මය දේශනා කරමින් ඔවුන්ව අස්වසවමින් ය. දෙවි මිනිසුන්ගේ යහපත පිණිස උත්තම ගෞතම බුදු සසුන චිරස්ථායී කිරීම පිණිස, පන්සියයක් වූ එ් අරහත් මුනිවරුන් රජගහ නුවර වස් සමාදන් වූ සේක.

දෙව් විමනක් ලෙසිනි මණ්ඩපයක් තැනුනේ…

මගධේෂ්වර අජාසත් මහරජුන් මුණගැසුනු එ් මහරහතන් වහන්සේලා ධර්ම සංගායනාවෙහි වැදගත්කම ගැන කරුණු පැවසූහ. වස් වැසූ මුල් මාසයේ, රජගහනුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඞී බිඳී තිබූ තැන් රාජානුග‍්‍රහයෙන් අලූත්වැඩියා කරවූ සේක. ඉන්පසු අජාසත් රජු අමතා ‘‘මහරජතුමනි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්ම – විනය සංගායනා කරන්නෙමු” කියා පැවසූ සේක. අජාසත් රජතුමා සංගායනාව පිණිස රහතුන්ගේ අනුදැනුම පරිදි වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් වහා කරවූ සේක. සුන්දර ලෙස සැරසූ එම මණ්ඩපයෙහි පන්සියයක් වූ අරහත් මුනිවරුන්ට සුවසේ වැඩ හිඳිය හැකි ලෙස අනර්ඝ ඇතිරිලි ඇතිරෙව්වේ ය. එ් රමණීය මණ්ඩපයෙහි උතුරු දිශාවට මුහුණලා දකුණු පසට වන්නට මහානීය වූ ථේරාසනයක් මහා කස්සපයන් වහන්සේ වෙනුවෙන් ඉතා යහපත් ලෙස පනවා තිබුණි. එ් අලංකාර මණ්ඩපය මැද නැගෙනහිර පැත්තට මුහුණලා අපගේ සුගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට යෝග්‍ය පරිදි ශාස්තෘන් වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පනවා තිබුණි. අජාසත් රජතුමා විසින් ‘‘ස්වාමීනි, මා විසින් කළ යුතු දෙය සම්පූර්ණ කරන ලද්දේ ය.” කියා මහරහතන් වහන්සේලාට සතුටු සිතින් දැනුම් දුන්නේ ය.

සම්බුදු ළයේ ඉපදුණ බුදු පුතනූ – මම වෙම් ආනන්ද උවටැන් කළ තෙරණූ…

රහතන් වහන්සේලා විසින් නිකෙලෙස් වීම පිණිස උත්සාහවත් කෙරූ ආනන්දයන් වහන්සේ වීරිය සම කොට නිවන්මග වැඩූහ. හිඳින, සැතපෙන, සිටගෙන සිටින, සක්මන් කරන මේ සතර ඉරියව්වෙන් ම තොරව සයනයෙහි සැතපෙන්නට වාඩි වී, දෙපා එසවූ කල්හී, හාන්සි නො වී සිටිය දී ම සියලූ කෙලෙසුන් නසා උතුම් අහත්වයට පත්වී වදාළ සේක.
දෙවෙනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන්පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද එ් ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලූ පිළිවෙළට වැඩසිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස පොළොවෙහි කිමිදී සංගායනා මණ්ඩපයෙන් මතු වී තම ආසනයෙහි වැඩ සිටියහ. විනයධර භික්ෂූන් අතරින් අගතනතුරු ලාභී උපාලි මහරහතන් වහන්සේ විනය උදෙසා ද ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ව අනෙකුත් සියලූ ධර්මයන් උදෙසා ද ප‍්‍රධානත්වයට පත්කර ගන්නා ලදී. සංගීතිය ආරම්භයේ දී මහා කස්සප මුනිඳුන් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදයනුත්, එ්වායේ නිදාන කථාව ආදියත් විමසනු පිණිස, ප‍්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුරට තමන් ව ම පත්කර ගත් සේක. උපාලි මහරහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම පිළිබඳ ව පහදා දුන් සේක. මහා කස්සපයන් වහන්සේ පනවන ලද ථේරාසනයේ වැඩහිඳිමින් විනය පිළිබඳ විමසද්දී, උපාලි මහරහතන් වහන්සේ පිළිතුරු දී වදාළේ භාග්‍යවතුන් වහන්සේ නාමයෙන් පනවා තිබූ ධර්මාසනයේ වැඩ හිඳිමින් ය. තථාගත බුදුරජුන් විසින් පනවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග‍්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ එ් සියලූ විනය කරුණු විසª පසු, විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් දක්ෂ වූ සියලූ දෙනා වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය එ් අයුරින් ම සාමූහිකව සජ්ඣායනා කළ සේක.

පන්දහසක් කල් සසුනට බුදු බණ ලැබුණා…

භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ බහුශ‍්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, ධාරණ ශක්තියෙන් යුක්ත භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත් අග‍්‍ර යැයි අග තනතුරු ලැබුවේ මහා පින් ඇති ආනන්දයන් වහන්සේ ය. මහා කස්සප මහරහතන් වහන්සේ විසින් විචාරන ලදුව, වේදේහමුනි වූ ආනන්ද මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවන ලද ධර්මාසනයෙහි වැඩ හිඳිමින් එ් සියලූ ධර්මයන් ගැන විස්තර වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය පිළිබඳ ව ධර්මයත් නිදාන කථාත් ආනන්ද මුනිඳුන් හෙළිදරව් කළ පසු, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳ ව අතිශයින් ම දක්ෂ වූ සංගීතිකාරක මහරහතුන් එ් ශී‍්‍ර සද්ධර්මය එ් ආකාරයෙන් ම සාමූහිකව සජ්ඣායනා කළ සේක. එ් අයුරින් ම සියලූ සත්වයන්ගේ හිතසුව කැමති එ් අරහත් මුනිවරුන්, සියලූ ලෝකයාගේ යහපත පිණිස වූ ප‍්‍රථම ධර්ම සංගායනාව සත් මසකින් නිමාවට පත්කළ සේක. සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේ විසින් එම සංගායනාව කරනු ලැබුවේ මේ ශී‍්‍ර සුගත සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්වන්නට සමත් වන අයුරිනි. එසේ ප‍්‍රථම දහම් සංගීතිය අවසන් වෙද්දී මහත් පී‍්‍රතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහා පොළොව සය වරක් ම කම්පාවට පත් විය.

දෙව් මිනිසුන් ලද උත්තම දායාදය…

එ් මොහොතෙහි ලෝකයෙහි නොයෙක් ආකාරයෙන්, නොයෙකුත් ආශ්චර්යවත් දේ සිදු විය. භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක වූ පන්සියයක් ස්ථවිර මහරහතන් වහන්සේලා මේ සංගායනාව සිදු කොට වදාළ නිසා, මේ සංගායනාව ස්ථවිර පරම්පරාය (ථේරීය පරම්පරා) කියාත් හඳුන්වයි. මොහඳුර නසන අරහත් ඵලය නමැති ප‍්‍රඥ ප‍්‍රදීපය දල්වාගෙන වැඩ සිටි එ් මහෝත්තම රහතන් වහන්සේලා මෙසේ ප‍්‍රථම සංගායනාව පවත්වා, ලෝ සතනට බොහෝ හිතසුව සලසා, තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩ සිට පිරිනිවන් පා වදාළහ. තෘතීය ශ‍්‍රාවක අග‍්‍ර ධුතාංගධාරී, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ එ් උතුම් මහරහතන් වහන්සේලා මහත් කරුණාවෙන් දායාද කළ එ් උතුම් ශී‍්‍ර සද්ධර්මය සැදැහැ සිතින් අසමින්, මතකයේ දරාගෙන, වචනයෙන් පුරුදු කොට, නුවණින් විමසා බලමින්, පැහැදිලි අවබෝධයක් ඇතිකරගෙන සසර දුකින් නිදහස් වීමට අපිත් මේ උතුම් නිකිණි පෝ දින අදිටන් කර ගනිමු.

දසබලසේලප්පභවා – නිබ්බානමහා සමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා – ජිනවචනනදී චිරං වහතූති

දසබලයන් වහන්සේ නමැති, ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නමැති මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබසින සේක්වා!

ඇසුර – මහාවංශය (සරල සිංහල අනුවාදය) – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි