highlights of the week
Home » අක්මුල් සොයා » ලොව විශිෂ්ඨතම හෙළ ලේඛන ප‍්‍රතිභාව

ලොව විශිෂ්ඨතම හෙළ ලේඛන ප‍්‍රතිභාව

පසුගිය වසරකට වැඩි කාලයක් අප විවධ මානයන් ඔස්සේ අපගේ අක්මුල් සොයා ගියා… පරපුරෙන් පරපුරට අපහට උරුම වුණ දේශීය ඥානය ගැන… අපට ම ආවේණික වූ වස විස නැති ගොවිතැන හා බැඳුන බොහෝ දේ පිළිබඳ ව… විවිධාකාරයේ විදේශ ආක‍්‍රමණවලින් වත්මන් පරපුරට එල්ලවී ඇති අභියෝගයන් පිළිබඳ ව… භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ඖෂධ පිළිබඳ ව අප කතා කළා… මෙවර අප තවත් මානයක් ඔස්සේ ඔබ ව අක්මුල් සොයා කැඳවාගෙන යන්නට අදහස් කළා..

එ් තමයි අපගේ විශිෂ්ට ලේඛන ප‍්‍රතිභාව පිළිබඳ ව… අතීතයේ සිට ම හෙළයන් තම දැනුම අන් අය වෙත ලබාදීම සදහා විවිධ ලේඛන ක‍්‍රම යොදාගෙන තියෙනවා.. දැනට සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ලෝකයේ ඉපැරණි ම ලේඛන හැකියාවන් අතර අප ප‍්‍රමුඛ ස්ථානයක සිටි බව තහවුරු වී අවසන්.

එ් අතර මුලින් ම අපට හමුවන්නේ සෙල් ලිපි යි. සෙල් ලිපි වර්ග කීපයක් තියෙනවා. එ්වා 1. ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා දක්වන්නට පුළුවන්.. එ් ශෛලමය ලිපිවලට අමතරව රන් හෝ තඹ පත් ඉරුවල ලියන ලද ලිපි ලේඛනත් ඉපැරණි ඉතිහාසගත සාක්ෂි වශයෙන් අප සතුව පවතිනවා.

මේ අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන්වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම් අසල ලියන ලද ලිපිවලටයි. අප රටේ එවැනි ලෙන් ලිපි බොහොමයක් දක්නට පුළුවන්. මිහින්තලේ, වෙස්සගිරිය, රිටිගල වැනි ස්ථානවලට යන ඕනෑම කෙනෙකුට අපගේ මේ අපූරු හැකියාවන් සියැසින් දැකගන්න පුළුවන්.

ගිරි ලිපි කියන්නේ ගල් මත ලියන ලද ලිපිවලටයි. භූමියෙහි මායිම් පිළිබඳ ව විස්තරත්, රාජ්‍ය පාලන ව්‍යවස්ථා වාගේ ම විවිධ පූජාවන් සිදුකරනු ලැබූ දානපතියන් පිළිබඳ විස්තරත් තමයි මේවා තුළ වැඩි වශයෙන් දකින්නට තියෙන්නේ. තෝනිගල අනුරාධපුරයේ වෙහෙරබැන්ද කුටිය වැනි තැන්වල මේ වගේ ලිපි දකින්නට පුළුවන්. සකස් කළ සෙල් කුළුණුවල එක් පැත්තක හෝ පැති කීපයක ලියන ලද ලිපි ටැම් ලිපි වශයෙන් හඳුන්වනවා. බදුලූ ටැම් ලිපියත්, අනුරාධපුරයේ මොරගොඩ ටැම් ලිපියත් මේවාට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

සකස් කරන ලද ගල් ලෑලි මත ලියන ලිපියි පුවරු ලිපි වශයෙන් හඳුන්වන්නේ. මිහින්තලාව, ජේතවනය, වේවැල්කැටිය, පුලියම්කුලම මෙවැනි පුවරු ලිපි දකින්නට පුළුවන්.
මෙම ලිපි වගේ ම තඹ පත් ඉරුවලත්, රන් පත් ඉරුවලත් ලියැවී තිබෙන සන්නස් වැනි ලේඛන අපගේ අතීත ලේඛන හැකියාවට කදිම නිදසුන්. පල්කුඹුර සන්නස, වල්ලිපුරම් රන් සන්නස මේ සඳහා උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.

මේ ලිපි මගින් යම් පණිවුඩයක් අනාගත පරපුර වෙත නිවැරදිව ලබාදීමට අතීත හෙළයන් විසින් දක්වා තිබෙන හැකියාව ලොව වෙන කවර දේශයකටවත් දෙවැනි වන්නේ නෑ… මිහිඳු මාහිමියන් විසින් අනාගතයේ රුවන්වැලි මහා සෑය ඉදිවන ස්ථානය පිළිබඳ ව කරන ලද හෙළිදරව්ව එම ස්ථානයේ ශිලා ස්ථම්භයක සටහන් කොට, එමෙන් ම රන්පතක සටහන් කොට තම මුණුපුරෙකු වූ ගාමණී අභය නිරිඳුන් වෙත නිවැරදිව ලබාදීමට දෙවනපෑතිස් නිරිඳු විසින් ගන්නා ලද උත්සාහය කෙතරම් සාර්ථක වී ද යන්න අද ඔබ සැම දන්නා කරුණක්.

මහින්දාගමනයෙන් මාසයකට පමණ පසු දෙවනපෑතිස් රජතුමා කරවන ලද මිහින්තලාවේ අට සැට ලෙන් තුළ කොටන ලද ලිපි ලංකාවේ පැරණි ම සෙල් ලිපි වශයෙන් සැලකිය හැකි බව ඉතිහාසඥයන්ගේ මතය යි.

විහාර ආරාම කරවා සඟ සතු කර පූජා කිරීමේ දී ද එම විහාර ආරාමවලට ඉඩකඩම් වැව් අමුණු පූජා කිරීමේ දී ද එ් බැව් මතු පරපුරට තහවුරු වන්නටයි සෙල් ලිපි සහ අනෙකුත් ලිපි පිහිටුවා තියෙන්නේ. එ් වාගේ ම රජවරුන් විසින් විවිධ අණ පනත් මහජනයාගේ දැන ගැනීම පිණිස සුදුසු ස්ථානවල සෙල් ලිපි මගින් ප‍්‍රකාශයට පත් කොට තිබෙන බව දකින්ට පුළුවන්.

එ් වාගේ ම ශාසනය වෙනුවෙන් කරන ලද පුද පූජා ගැන සෙල් ලිපිවලින් ඉතා කදිමට හෙළිදරව් වනවා… පුණ්‍ය චාරිකා රචනා කිරීමේ දී ඓතිහාසික කුඩුම්බිගල වගේ ම බොහෝ ස්ථානවල මුණගැසුන ගල් ලෙන්වල කොටා ඇති අපූරු වැකියක් මතකයට එනවා. ‘‘අගත අනගත චතුදිශ ශගශ” යනු එය යි. ‘‘අතීත අනාගත වත්මන් යන තුන් කාලයට අයත් සතර දිගින් වඩින මහා සංඝයාට පූජා කරන ලදී.” යන්න එහි අරුත යි.

මේ එවැනි ප‍්‍රකට සටහන් කීපයක්.
‘‘පරුමක ගුත පුත පරුමක සුමනහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ”
‘‘ප‍්‍රමුඛ ගුත්තගේ පුතා වන සුමනගේ ලෙණ පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදී.”
‘‘මහ රජහ ගමිණි තිශහ බරිය උපශික රමදතය ලෙණෙ ශගශ”
‘‘ගාමිණී තිස්ස මහ රජුගේ භාර්යාව වූ ‘රාමදත්තා’ උපාසිකාවගේ ලෙණ සංඝයාට පුදන ලදී.”
ලෙන් පූජා කිරීම පිළිබඳ ලියැවුණු ලිපි

රැසක් පුරා විද්‍යා ගවේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඇතැම් විට භික්ෂූන් වහන්සේලා ද ගල් ලෙන් කරවා පූජා කරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරනවා. රුහුණෙහි වැලියායෙහි පිහිටුවා තිබෙන සෙල් ලිපියකින් එ් බව පැහැදිලි කර ගන්නට පුළුවන්.

‘‘පුශගුත ථේරෙන බරපිතෙ ලෙණෙ”
‘‘පුස්සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙණ යි.”
‘‘මිතගුත තෙරශ දිනෙ අගත අනගත චතුදිශ ශගශ”
‘‘මිත්තගුත්ත තෙරුන්ගේ දානය පැමිණි නොපැමිණි සංඝයාට දෙන ලදී.”

එ් යුගයෙන් පසුව ලේඛනය සඳහා ශාක ද්‍රව්‍ය උපයෝගී කර ගැනීමත් සමඟ ම මෙය විධිමත් ලේඛන කලාවක් වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙහි දී ලිවීම සඳහා භාවිත කොට ඇත්තේ ප‍්‍රමිතියකට සකස් කර ගත් තල්පත්. මෙසේ තල් කොළ මත ලියු ලේඛන එකතුව පුස්කොළ පොතක් වශයෙන් හඳුන්වනු ලැබුවා. මෙහි පිටකවරය බොහෝ විට කැටයම් කපන ලද ලීයකින් සකසා වර්ණ ගන්වා අලංකාර කරන ලද අතර එය හැඳින්වුයේ පොත් කම්බාව නමින්. මේ සඳහා රිදී පිත්තල වැනි ලෝහ වර්ග යොදා ගත් අවස්ථා ද හමුවනවා. පොත ගැලවී යාම වැළැක්වීම සඳහා එ් වටා ඔතන ලද ලණුව හඳුන්වන්නේ පොත් හුය යන නමින්. මේ තල්පත් ඉරු මත ලියන උපකරණය හැඳින්වූයේ පන්හිඳ නමින්… පන්හිඳෙන් තල්පත් ඉරු මත ලියන ලද අකුරු පැහැදිලි ව දර්ශනය කර ගැනීම සඳහා පසුව කළුමැදීම කරනු ලැබුවා.

එදා මෙදාතුර ලෝකයට ආලෝකයක් වුණ වටිනා ම සටහන් පෙළ සටහන් වන්නට වාසනාව ලැබුවේ ද මේ තල්පත් ඉරු හා පුස්කොළ පොත යි… එනම් වළගම්බා රජ සමයේ දී මාතලේ අලූ විහාරයේ දී එතෙක් මුඛ පරම්පරාවෙන් දරාගෙන පැමිණි ශ‍්‍රී මුඛ බුද්ධ වචනය මුල් ම වතාවට සටහන් වූයේ ද මේ තල්පත් ඉරු මත යි.

එමෙන් ම ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරපුරක උරුමය සටහන්ව පැවති වටිනා ම ලේඛන වන දීපවංශය, මහාවංශය, ථූපවංශය වැනි ලේඛන ද මුල් වරට සටහන් වුණේ මේ තල්පත් ඉරු මත යි.

ගල් කටුවත්, මිටියත් උපයෝගී කරගෙන ආරම්භ වූ අපගේ ලේඛන කලාව ක‍්‍රම ක‍්‍රමයෙන් විකාශනය වෙමින් සංවර්ධනය වූ ආකාරය අපගේ ඉතිහාසය හැදෑරීමේ දී පැහැදිලි ව දකින්නට පුළුවන්.

මේ යුගයේ දී අපට අකුරු ලිවීම හුරු වන්නට අපූරු උපකරණයක් යොදාගෙන තිබුණා. එය හැඳින්වූයේ වැලිපිල්ල නමින්.

1940 දී ‘අපේ ගම’ කෘතිය ලියා පළ කළ වික‍්‍රමසිංහයන් සිය ජීවිතයේ හතළිස් වසරකට පමණ පෙර සිය මුල් ම අධ්‍යාපන පෙරහුරුව ලැබූ අයුරු සිහි කරන්නේ මෙලෙසින්.
‘මැදැඟිල්ල මත දබරැඟිල්ල තබාගෙන මැදැඟිල්ලෙන් වැලිපිල්ලේ ලොකු අකුරු ලියූ සැටි සිහි කරන විට මා තුළ ප‍්‍රීතිය පමණක් නොව අතීතයට එබී බලන්ට තුඩු දෙන කුතුහලයක් ද හට ගනියි…

ඇඟිල්ලෙන් ලිවීම සඳහා මුහුදු වැලි අතුරන ලද කළු පාට ඵලකයට එකල වැලිපිල්ල යයි කියන ලදී.

මුහුදු වැලි උඩ ඇඟිල්ලෙන් අකුරු ලියත් ම වැලි දෙපැත්තට වීමෙන් හෑරෙන අගලෙන් කළු පාට ලෑල්ල මතුවී පෙනෙයි. එවිට වැලිපිල්ලේ ලියන ලද අකුරු දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ සුදු සායම් ගෑ ලෑල්ලක දැලි අඟුරෙන් ලියන ලද අකුරු ලෙසිනි…

ගල්ලෑලි හා ගල්කූරු පාසලින් පැන්නූ නිසා තීන්ත පෑන් සහ ඇක්සයිස් පොත් බහුල වූ මෙකල ගම්බද ළමයකුට වුව ද වැලිපිල්ල අමතක වූ උපකරණයකැයි සිතමි…
කඩදාසියෙන් සාදන ලද කොපි පොතෙහි මා පිහාටු පෑනෙන් ලියන්ට පටන් ගත්තේ වැලිපිල්ලේ ලිවීමෙන් ටිකක් අත පුරුදු වුණු පසු ය.’

පුරාණ කාලයේ දරුවකු මූලික අධ්‍යාපනය ආරම්භ කළ සැටි ආනන්ද කේ. කුමාරස්වාමි මහතා සිය මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ (පරිවර්තනය එච්. ඇම්. සෝමරත්න) සටහන් කර තැබූ ආකාරය පහත දැක්වෙනවා.

‘‘අකුරු උගත්තේ ගී තාලයට ශබ්ද නඟා පුන පුනා කීමෙනි. ශිෂ්‍යයා ගුරුවරයා ඉදිරියේ නැඟී සිට, වැසූ පොත නළල මත තබාගෙන, තම පාඩම කට පාඩමින් කීයේ ය. වැරැුදීමක් හෝ ඇනහිටීමක් නොමැතිව හෝඩිය කට පාඩමින් කීමට හැකි වන තාක් අන් කිසිවක් නූගන්වන ලදී. ලිවීම උගන්වන ලද්දේ මේ සවිස්තර පුන පුනා කීම හොඳ හැටි ඉගෙනගත් පසු පමණි. වැලි අතුරන ලද වැලි පිල්ල නම් වූ පටු ලෑල්ලක් මත (ලිවීමෙන්) ලිවීම ඉගෙන ගන්නා ලදී.”

මේ යුගයෙන් පසුව දරුවන්ට ලැබුණ ලිවීමේ උපකරණය ගල් ලෑල්ල යි.

කළු ලෑල්ලේ සටහන් වුණ අකුරු ගල්ලෑල්ලේ පිටපත් කර ගත් අපි එයින් පැන්සලට මාරු වී පැන්සලින් පිහාටු පෑනටත්, එතැනින් තීන්ත පෑනටත්, එතැනින් බෝල්පොයින්ට් පෑනටත්, එතැනින් යතුරු ලියනයටත්, එතැනින් කී පෑඞ් එකටත්, එතැනින් ටච් පෑඞ් එකටත් මාරු වී සිටිනවා.

එ් කවර ලේඛන කලාවක පුහුණුව ලැබුවත්, අතීත හෙළයන් විසින් අනාගත පරපුර වෙත තම දැනුම, හැකියාවන් හා යහ ගුණදම් සම්පේ‍්‍රෂණය කිරීම වෙනුවෙන් ගන්නා ලද උත්සාහය අනාගත පරපුර වෙනුවෙන් ද අඩු නැතිව උරුම කර දීමේ වගකීම අද දවසේ මාධ්‍ය හසුරුවන සියලූ දෙනා වෙත පැවරී ඇති – අත්හැර දැමිය නො හැකි කාර්යභාරය බව සිහිපත් කළ යුතුයි.

සටහන
සුදර්ශන ශී‍්‍ර විජේසිංහ

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්... එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා....