පින්වතුනේ, පින්වත් දරුවනේ, අතීතයේ රට පාලනය කළ නායකයා හැඳින්වූයේ ‘රජතුමා’ යන නමිනු යි. එතුමාගේ ආරක්ෂක සේනාව ‘චතුරංගනී සේනාව’ ලෙසිනු යි ප‍්‍රසිද්ධ වුණේ. එයට ඇත්, අස්, රිය, පාබල යන සිව් මහා සේනාව ඇතුළත් වුණා. එම සේනාවට බඳවා ගත්තේත් ඉතා ම දක්ෂයන් පමණ යි. බොහෝ අවස්ථාවල රජතුමා යුද්ධය සඳහා ගියේ ඇත් සේනාවේ සිටින දක්ෂතම, කීකරු ම හස්තිරාජයාගේ පිට මතිනුයි. එම හස්තිරාජයා හැඳින්වූයේ ‘රාජකීය හස්තිරාජයා’ ලෙසිනුයි.

දිනක් අපගේ ශාස්තෘන් වහන්සේ ‘රජුගේ හස්තිරාජයා’ ගැන අපූරු විස්තරයක් වදාළා.

‘‘මහණෙනි, සතර අංගයකින් සමන්විත වූ හස්තියා රජුට සුදුසු වන්නේ ය. රජු විසින් පරිහරණයට සුදුසු වන්නේ ය. රජුගේ අංගයක් ය යන ගණයට අයත් වන්නේ ය. එ් කවර සතර කරුණක් ද? මහණෙනි එනම්, එම හස්තිරාජයා අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

1. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් අසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යම් එ් ඇතුන් දමනය කරන තැනැත්තා විසින් යමක් කරවයි ද එය ඇතා විසින් කලින් කළ දෙයක් විය හැකි ය. එසේත් නැත්නම් නො කළ දෙයක් විය හැකි ය. හේ එකරුණට මැනැවින් සිත යොමු කොට, මුළු සිත ම එයට යොදවා, යොමු කළ කන් ඇතිව අසන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා අසන්නේ ඔය අයුරින් ය.
2. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් නසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යුද බිමට ගිය කල්හී ඇතුත් නසයි. ඇතරුවාත් නසයි. අශ්වයාත් නසයි. අසරුවාත් නසයි. රථත් නසයි. රථයෙහි නැගී සිටින්නවුන් ද නසයි. පාබල සෙනඟත් නසයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා නසන්නේ ඔය අයුරින් ය.
3. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් ඉවසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා සංග‍්‍රාම භූමියට ගිය කල්හී සැත් පහර ද හී පහර ද කඩු පහර ද පොරෝ පහර ද ඉවසන්නේ වෙයි. බෙර හඬ, පනා බෙර හඬ, සක් පිඹීම් ආදි දෙදුරුම් කන ශබ්ද ඉවසන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා ඉවසන්නේ ඔය අයුරින් ය.
4. මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා කෙසේ නම් යන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තිරාජයා යම් කරුණක් උදෙසා ඇතුන් දමනය කරන තැනැත්තා යම් දිශාවකට මෙහෙයවයි ද එය කලින් ගිය දිශාවක් විය හැකි ය. එසේත් නැත්නම් නො ගිය දිශාවක් විය හැකි ය. හේ වහා ම එ් දිශාව බලා යන්නේ වෙයි. මහණෙනි, රජුගේ හස්තිරාජයා යන්නේ ඔය අයුරින් ය.

මහණෙනි, රජුගේ හස්තිරාජයා මේ සතර කරුණෙන් යුක්ත වූ විට රජුට යෝග්‍ය වූයේ වෙයි. රජු විසින් පරිහරණය කළ යුතු වූයේ වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට අයත් වෙයි.
එසෙයින් ම මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලොවට උතුම් පින්කෙත වෙයි. එ් කවර කරුණු සතරකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

1. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් අසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්ම විනය දේශනා කරන කල්හී එකරුණට මැනැවින් සිත යොමු කොට, මුළු සිත ම එයට යොදවා, යොමු කළ කන් ඇතිව ධර්මය අසන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව අසන්නේ වෙයි.
2. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් නසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නො ඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නසා දමයි. අභාවයට පත් කරයි. උපන් ව්‍යාපාද විතර්කය…. උපන් විහිංසා විතර්කය…. උපනූපන් පාපී අකුසල් දහම් නො ඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නසා දමයි. අභාවයට පත් කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව නසන්නේ වෙයි.
3. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් ඉවසන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සීතලත්, උණුසුමත්, බඩගින්නත්, පිපාසයත්, මැසි මදුරු පහසත්, අව් සුළං ආදියත්, සර්පාදීන්ගේ පහසත් ඉවසන්නේ වෙයි. නපුරු කොට පැවසූ, නපුරු කොට පැමිණි නොයෙක් කියුම් ද තියුණු වූ කර්කශ වූ කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, මාරාන්තික වූ දුක්ඛිත ශාරීරික වේදනා ඉවසන ස්වභාවය ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව ඉවසන්නේ වෙයි.
4. මහණෙනි, මෙහිලා භික්ෂුව කෙසේ නම් යන්නේ වෙයි ද? මහණෙනි, මෙහිලා භික්ෂුව මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරෙහි යම් නො ගිය දිශාවක් ඇද්ද, එනම් යම් මේ සියලූ සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද, සියලූ කෙලෙසුන්ගේ නැතිවීමක් ඇද්ද, තණ්හාවේ ගෙවීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද එය යි. එ් නිවන පිහිටි දිශාවට වහා ම යන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව යන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි….ලොවට උතුම් පින්කෙත වෙයි.”

අසන්නෙකු, නසන්නෙකු, ඉවසන්නෙකු, යන්නෙකු යන සිව් කරුණින් හස්තියෙක් රාජකීය හස්තියෙක් බවට පත් විය. ධර්මය තුළින් අසන්නෙකු, නසන්නෙකු, ඉවසන්නෙකු, යන්නෙකු බවට පත්ව භික්ෂුවකට ද බුදුසසුනේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක. එ් අයුරින් ම ඕනෑම ගිහි පින්වතෙකුට ද ඇසිය යුතු ධර්මය මනා කොට ඇසීමෙන් ද නැසිය යුතු පාපී විතර්ක නැසීමෙන් ද ඉවසිය යුතු අවස්ථාවල ඉවසීමෙන් ද නො ගිය දිශාව වූ දුක් රහිත නිවන වෙත යාමට පියවර තැබීමෙන් ද සැනසිලිදායක ජීවිතයක් උපදවා ගැනීමට මහඟු අවස්ථාවක් ඇත්තේ ය. එමනිසා අප සියලූ දෙනාටත් මෙම උතුම් ගුණධර්ම ඇතිකර ගැනීමට වාසනාව උදාවේවා!
(ඇසුර : නාග සූත‍්‍රය, අං. නි. 02)

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේනමක් විසින් සම්පාදිතයි