පින්වත් දරුවනේ, අපට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න අප ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් අත්‍යාවශ්‍ය යි. එ්ත් බොහෝ දෙනෙකුට තියෙන ප‍්‍රශ්නයක් තමයි ‘කොච්චර පාඩම් කළත් මතක හිටිනවා අඩුයිනේ’ කියන එක. සමහරුන්ට හරියට නින්ද යනවා. එ් වගේ ම ඔයාලට විභාගය ළං වෙනකොට භයක් චකිතයක් එහෙමත් ඇතිවෙනවා ඇති.

දරුවනේ මේ පාඩම් කරන දේවල් මතක නෑ කියන ප‍්‍රශ්නය අද විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයෙත් තිබුණා. දවසක් සංගාරව කියලා බ‍්‍රාහ්මණයෙක් ඔය ප‍්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඉතින් එ් ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් සම්බුදු මුවින් වදාළ එ් සුන්දර දේශනාව සංයුත්ත නිකායේ පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම සූත‍්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ කරුණු පහක් නිසා මෙම ප‍්‍රශ්නය පවතින බවයි.

ඔබටත් තියෙන්නේ මේ වගේ සිතක් ද ?

බුදුරජාණන් වහන්සේ වදාළා පාට වර්ග (කහ, කොළ, නිල්, රතු ආදි) කළවම් කළ වතුරකින් මුහුණ බැලීමට තැත් කරන කෙනෙකුට එ් තුළින් මුහුණ නො පෙනෙන්නා සේ කාමච්ඡන්දයෙන් යට වූ සිතින් වාසය කරන කෙනෙකුට පාඩම් කරන දේ මතක හිටින්නේ නෑ කියලා.

එ් නිසා දරුවනේ පාඩම් කරන වෙලාවටත්, ඉගෙන ගන්නා වෙලාවටත්, විභාගය ලියන වෙලාවටත් අනෙකුත් කාලවලත් කාම රාගයට යට වූ සිතින් (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන සිත සිතා සිටීම) කාම රාග සිතට ම අවධානය යොමු කරගෙන සිටින විට ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් කළ නො හැකි යි.

ඔබත් ගින්නෙන් රත් වූ කැකෑරෙන වතුරක් වැනි සිතකින් ද වාසය කරන්නේ?

බුදුරජාණන් වහන්සේ වදාළා ගින්නෙන් රත් වූ කැකෑරෙන වතුරකින් මුහුණ බැලීමට තැත් කරන කෙනෙකුට එ් තුළින් මුහුණ නො පෙනෙන්නා සේ ද්වේෂයෙන් යට වූ සිතින් වාසය කරන කෙනෙකුට පාඩම් කරන දේ මතක හිටින්නේ නෑ කියලා.

ඔබ පාඩම් කරන වෙලාවටත්, ඉගෙන ගන්නා වෙලාවටත්, විභාගය ලියන වෙලාවටත් අනෙකුත් කාලවලත් තරහට යට වූ සිතින් තරහ සිතට ම අවධානය යොමු කරගෙන නම් වාසය කරන්නේ එ් වෙලාවට ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් කළ නො හැකි යි.

දියසෙවෙල් හා පෙඳ පාසි පිරුණ වතුරක් වැනි සිතකින් නම් වාසය කරන්නේ…

එ් වගේ ම දරුවනේ සමහර වෙලාවට අපේ සිත නිදිමත හා අලස බවට යට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා දියසෙවෙල් හා පෙඳ පාසි පිරුණ වතුරකින් මුහුණ බැලීමට තැත් කරන කෙනෙකුට එ් තුළින් මුහුණ නො පෙනෙන්නා සේ නිදිමතට හා අලස බවට යට වූ සිතින් වාසය කරන විට පාඩම් කරන දේ මතක හිටින්නේ නෑ කියලා.
එ් නිසා පාඩම් කරන වෙලාවටත්, ඉගෙන ගන්නා වෙලාවටත්, විභාගය ලියන වෙලාවටත්, අනෙකුත් කාලවලත් නිදිමතට හා අලස බවට යට වූ සිතින් එ් තුළට ම අවධානය යොමු කරගෙන සිටින විට ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත් නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් කළ නො හැකි යි.

ඔබ වාසය කරන්නේ විසිරුණු සිතකින් නම්…

සුළඟින් කැළඹී ගිය, අවුල් වූ, දිය රළ ඇති වතුරකින් මුහුණ බැලීමට තැත් කරන කෙනෙකුට එ් තුළින් මුහුණ නො පෙනෙන්නා සේ විසිරීම හා පසුතැවීමට යටවූ සිතින් වාසය කරන විට පාඩම් කරන දේ මතක හිටින්නේ නෑ.

එ් නිසා ඔබ පාඩම් කරන වෙලාවටත්, ඉගෙන ගන්නා වෙලාවටත්, විභාගය ලියන වෙලාවටත්, අනෙකුත් කාලවලත් විසිරුන සිතින් හා පසුතැවෙන සිතින්, එයට ම යට වූ සිතින් එ් තුළට ම අවධානය යොමු කරගෙන සිටින විට ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් කළ නො හැකි යි.

ඔබ වාසය කරන්නේ සැකයට යට වූ සිතකින් ද?

එ් වගේ ම දරුවනේ අපැහැදිලි වූ කැළඹී ගිය බොර වූ දිය බඳුනක් අඳුරෙහි ඇද්ද එ් තුළින් මුහුණ බැලීමට තැත් කරන කෙනෙකුට එ් තුළින් මුහුණ නො පෙනෙන්නා සේ සැකයට යට වූ සිතින් වාසය කරන විටදීත් ඔබ පාඩම් කරන දේ මතක හිටින්නේ නෑ.

එ් නිසා පාඩම් කරන වෙලාවට හෝ ඉගෙන ගන්නා වෙලාවට හෝ විභාගය ලියන වෙලාවට හෝ අනෙකුත් කාලවල ඔබ ඉගෙන ගන්නා දේ ගැන සැකයෙන්, එයට ම යට වූ සිතින්, එ් තුළට ම අවධානය යොමු කරගෙන සිටින විට ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමත්, නුවණින් කල්පනා කොට කරුණු විමසීමත් කළ නො හැකි යි.

මේවාට තමයි දරුවනේ පංච නීවරණ කියලා කියන්නේ. මේ පංච නීවරණ මඟහරවා ගැනීමට නම් සුළු වශයෙන් හෝ භාවනා අරමුණක සිත පිහිටුවා සන්සිඳුන සිතක් උපදවා ගත යුතු යි. විභාගයට යාමට පෙරත්, විභාගයට පෙනී සිටින වෙලාව තුළත් මේ සන්සිඳුන සිත පවත්වා ගන්නටත් වෙනවා. මේ විදිහට ඔබ කලබල නො වී ඉවසීමෙන් කටයුතු කළොත් ඔබට සාර්ථකව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මෙතෙක් ඉගෙන ගත් දෙයින් සාර්ථක ප‍්‍රතිඵලයක් ලබන්නටත් පුළුවන් වෙනවා.

එ්ත් කොහොම ද සන්සිඳුනු සිතක් ඇතිකර ගන්නේ?

දරුවනේ, ඔබ මොහොතක් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කළොත් ඔබට තේරේවි එ් මොහොතේ ඔබේ සිත පංච නීවරණවලට යටවී නැති බව. අන්න එ්කට තමයි බුද්ධානුස්සති භාවනාව කියලා කියන්නේ.

සමහරවිට ඔබට සිතේවි මේ විභාගය ළංවී තියෙන වෙලාවෙ කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ… අපි කලින් බුද්ධානුස්සතිය වඩලාත් නෑ නේ කියලා. එ් ගැන බය වෙන්න එපා… ඔබ දන්නා ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. එ් සම්බුදු ගුණ ගැන සිහි කරන්න. අපගේ බුදුරජාණන් වහන්සේ එ්කාන්තයෙන් ම අරහං වන සේක. එ් කියන්නේ රහතන් වහන්සේනමක්.

බුදුරජාණන් වහන්සේට තිබුණ නිකෙලෙස් හදවතක්. උන්වහන්සේගේ මනස සදා පිවිතුරු භාවයට පත්වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මොන ම හේතුවක් නිසාවත් කෝප වුණේ නෑ. මොන ම හේතුවක් නිසාවත් දරුණු වුණේ නෑ. මේ බාහිර ලෝකයේ මායාවට බුදුරජාණන් වහන්සේ වසඟ වුණේ නෑ. මේ නිසා උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියල. අරහං කියල. එ් බුදුගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේව සිහිකරන්න පුළුවන් නම්, ඔබේ සන්තානය පිරිසිදු වෙනවා. ‘බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නො කළ සේක. සියලූ කෙලෙසුන්ගෙන් නිදහස් වුණ සේක. සියලූ දුක් දොම්නස්වලින් නිදහස් වුණ සේක. ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක. සමස්ත ලෝක ධාතුව ගැනත්, සමස්ත සත්ව වර්ගයා ගැනත්, මේ ජීවිත ගැනත් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කළ සේක. සියලූ දෙවියන්ට ද මිනිසුන්ට ද යහපත් මාර්ගය පෙන්වා දීමෙන්, පරිපූර්ණ වූත්, දක්ෂ වූත් ආචාර්යවරයා වන සේක.’ මේ විදිහට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන සිහිකරන්න පුළුවන් නම්, එ් සෑම මොහොතක ම ඔබ සිහි කරන්නෙ මේ ලෝකයේ පහළ වෙච්ච, මේ මානව ඉතිහාසයේ පහළ වෙච්ච ස්වර්ණමය යුගය සනිටුහන් කළ උතුම් මුනිරජාණන් වහන්සේ ගැනයි.

ඉතින් ඔබ එ් විදියට බුද්ධානුස්සති භාවනාවේ යෙදුණොත්, එ් කියන්නේ ඔබට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිහි කළොත්, ටිකෙන් ටික ඔබේ සිත සන්සිඳුනු සිතක් බවට පත්වේවි. විභාගයට පෙනී සිටින මොහොතේ පවා ඔබේ සිතට එන බය තැතිගැනීම සැණෙකින් දුරු වේවි.

එ් විදියට සන්සිඳුනු සිතකින් යුතුව සිටින ඔබට කලකට ඉහත දී පවා ඉගෙනගත් දෑ සැණෙකින් සිහියට නගාගත හැකි වනු ඇත. කිසි කලබලයකින් තොරව මනාව විමසා බලා පිළිතුරු ලිවීමට හැකියාව ලැබේවි.

විභාගය ළං වෙනකොට සිතට බයක් ඇතිවෙනවා නේ… එ්කට මොකද කරන්නේ?

ඔව්… දරුවනේ, විභාගයට ආසන්න මේ කාලයේ දී මෙන් ම විභාගයට පෙනී සිටින විට දී පවා ඔබගේ සිතට භයක් තැතිගැනීමක් ඇතිවෙන්නත් පුළුවන්. එ් වෙලාවට ඔබ බුදු ගුණ සිහි කළොත් ඔබේ සිතේ උපන් එ් බිය දුරුවෙලා යනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ බිය, තැතිගැනීම, දුරු කළ උතුමන් වහන්සේනමක්. එවැනි බිය තැතිගැනීම් ආදිය දුරු කළ උතුමන් වහන්සේනමක් ගැන සිහි කරන විට අපේ සිතේ උපන් බිය තැතිගැනීම පවා නැතිවී යනවා. අන්න එ් විදිහට බුදුගුණ සිහි කිරීමෙන් ඔබට හැකියාව ලැබේවි බිය තැති ගැනීම නැති සන්සිඳුනු සිතකින් විභාගයට පෙනී සිටීමට.

‘‘අරඤ්ඤේ රුක්ඛමූලේ වා –
සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං –
භයං තුම්හාක නෝ සියා”

‘‘වනගත පෙදෙසක – හෝ රුක් සෙවණක – පාළු තැනක යන – පින්වත් මහණෙනි
සිහි කරව් සම්බුදුරජුන් – එවිට ඔබ හට කිසි විට – බිය ඇති නො වන්නේ ම ය.”

‘‘නෝ චේ බුද්ධං සරෙය්‍යාථ –
ලෝකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ –
නීය්‍යානිකං සුදේසිතං”

‘‘ඉදින් තුන්ලොව අග රජ – නරෝත්තමයාණන් වූ
සම්බුදුරජුන් ගැන – සිහි නො වේ නම් ඔබ හට
නිවනට පමුණුවන – මැනැවින් දෙසන ලද-
එ් උතුම් සිරි සදහම් – සිහියට නැගිය යුතු ම ය.”

‘‘නෝ චේ ධම්මං සරෙය්‍යාථ –
නීය්‍යානිකං සුදේසිතං
අථ සංඝං සරෙය්‍යාථ –
පුඤ්ඤක්බෙත්තං අනුත්තරං”

‘‘නිවනට පමුණුවන – මැනැවින් දෙසන ලද
එ් උතුම් සිරි සදහම් – සිහි නො වේ නම් ඔබ හට
අනුත්තර වූ – ලොවට පින් කෙත වූ- උතුම් සඟ රුවන ගැන- සිහියට නැගිය යුතු ම ය.”

‘‘එ්වං බුද්ධං සරන්තානං –
ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡුම්භිතත්තං වා –
ලෝමහංසෝ න හෙස්සතීති”

‘‘මෙසේ පින්වත් මහණෙනි – සම්බුදුරජුන් හා –
උතුම් සිරි සදහම් ද – ශ‍්‍රාවක ස`ග රුවන ද
සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ
ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය”
(ධජග්ග සූත‍්‍රය)
පාඩම් කරන විට නින්ද යනවා… එතකොට මොකද කරන්නේ?

ඔව්… මේ ප‍්‍රශ්නයත් බොහෝ දෙනෙකුට තියෙන එකක්. නිදිමත එන විට කළ යුතු දේ ගැන බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එ් මෙහෙමයි.

1. නිදිමත එන විට තමන් සිහිකළ දෙය නො සිතා වෙන දෙයකට සිත යොමු කරන්න.
2. එ්ත් නිදිමත දුරු වුණේ නැත්නම්, ඉගෙන ගත් දෑ සිතින් මෙනෙහි කරන්න.
3. එසේත් නිදිමත දුරු වුණේ නැත්නම් ඔබ ඉගෙනගත් දෑ ශබ්ද නඟා කියන්න.
4. නො එසේ නම් ඔබ දෙකන් පෙතිත්, අත් පාත්, අත්ලෙන් හොඳින් පිරිමදින්න.
5. එසේත් නිදිමත දුරු නො වුණි නම්, ආසනයෙන් නැගිට සිහිල් දියෙන් දෑස් තෙමා වටපිටාව හොඳින් බලන්න. අහස දෙස (තරු ආදිය) බලා සිටින්න.
6. එසේත් නිදිමත දුරු නො වුණි නම්, එකල්හී ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දවල් ය යන සංඥාව හොඳින් අධිෂ්ඨාන කරන්න.
7. එ් අයුරින් නිදිමත දුරු නො වුණේ නම්, හොඳ සිහියෙන් සක්මන් කරන්න.
එසේත් නිදිමත දුරු නො වුණි නම්, හොඳ සිහි නුවණින් යුතුව ‘අසවල් වෙලාවට නැගිටිමි’ යි අධිෂ්ඨාන කර දකුණු පසට ඇල වී සිංහ සෙයියාවෙන් නිදාගන්න. අවදි වූ සැණින් වහා නැගිටිය යුතුයි. නිද්‍රා සැපයෙහි, අලස සැපයෙහි නො ඇලී ඉක්මනින් නැගිටින්න.

ඉතින් දරුවනේ මේ කාරණා දෙස බලන විට ඔබට යාන්තමින් හෝ වැටහේවි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් එ්කාන්තයෙන් ම මනා කොට දේශනා කරන ලද්දක් (ස්වාක්ඛාත) බව… ඉතින් ඔබත් එ් ධර්මය හොඳින් ඉගෙන ගත්තොත් ඔබටත් හැකියාව ලැබේවි ඔබේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් කර ගන්නට.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඔබේ ජීවිතය සර්වප‍්‍රකාරයෙන් ම සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපි ආශීර්වාද කරනවා.

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේ නමක් විසින් සම්පාදිතයි