ඇසළ සඳ ගගන තලයේ උදාවන විට සත්‍යගවේෂී විමුක්තිකාමී ලෝකයාට සනාතන පිළිසරණ විවරවුණ ඉසිපතන මිගදායත්, දම්සක් පැවතුම් සුතුරත් සිතට නැගෙන්නේ නිරායාසයෙනි. භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඬලින් උපන් නිර්මල ශ‍්‍රී සද්ධර්මය ප‍්‍රථම වරට ලොවට දායාද වීමෙන් ශ‍්‍රාවක සංඝරත්නය පහළ වූයේ ඇසළ පුන් පොහෝ දිනක වීම ඊට හේතුවයි. සදහම් හිරු කිරණින් අවිද්‍යා අන්ධකාරය දුරුවී තුන්ලොව ම ආලෝකවත් වූ සැටි, බුද්ධ ශාසන රත්නකරය මතුවී සසුන් පිළිවෙතින් දෙව් – මිනිසුන් සැනසී ගිය සැටි, සම්බුදු දහම් අමා දහරින් ලොව තෙමී දුක් ගිනි නිවී ගිය අයුරු, උතුරු මිනිස් දම් පෙළහරින් ලොව ශාන්ත වී ගිය අයුරු නිතැතින් ම අප මනසට සිහිපත් කරවයි. අකනිටා බඹලොව දක්වා ම දෙව් බඹුන්ගේ දහම් ඝෝෂාවෙන් නින්නාද වී ගිය, සම්බුද්ධ රශ්මි දහරාවෙන් ඉසිපතන මිගදාය නැහැවී ගිය ඇසළ පුන් පොහෝ දිනය වෙසක් පොසොන් දිනයන්ට සමගාමීව ලෝවැඩි බොදුනුවන් මගත් හරසරින් සමරන උතුම් පුන් පොහෝ දිනයකි.

දෙසැටක් මිසදිටු නමැති මෝහජාලයෙහි වෙලී අත්ථකිලමථානු යෝගයත් – කාමසුඛල්ලිකානු යෝගයත් අනුගමනය කරමින් සිටි අවධියක සීලයෙන්, සමාධියෙන්. ප‍්‍රඥවෙන් සුසැදි සුන්දර මැදුම් පිළිවෙත අපගේ ශාස්තෘන් වහන්සේ දෙව් – මිනිස් ලෝකයාට විවර කරන ලද්දේ ඇසළ පුන් පොහෝ දින දී ය. මැවුම්කාරවාදය ප‍්‍රතික්ෂේප කොට ලෝකයේ නිම්වළලූ පුළුල් කළ අසහාය ශාස්තෘවරයාණන් වූ ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ උත්තරීතර ධර්මයෙන් දහ අට කෝටියක් බ‍්‍රහ්මයන් ද ගණනින් අතික‍්‍රාන්ත දෙවිවරුන් ද දහම් ඇස පහළ කර ගන්නේ එදිනයි. සම්බුද්ධ දිවාකරයාණන්ගෙන් නිකුත් වූ සදහම් අමා බෙර හඬින් දුකත්, දුකට හේතුවත් – නිවනත් – අම නිවන් මගත් ප‍්‍රකාශ කරද්දී කොණ්ඩඤ්ඤ ශ‍්‍රමණයන් වහන්සේ සෝතාපන්න ශ‍්‍රාවකයෙකු බවට පත්වී ශ‍්‍රාවක සංඝරත්නයේ සමාරම්භය සිදුවූ උතුම් පොහොය දිනය එදින යි.

බුද්ධගයාවේ විජය ශ‍්‍රී බෝ සමිඳුන් සෙවණේ, ලොව පහළ වූ උත්තරීතර මුනිවරයාණෝ සමවතට සමවදිමින් පුරා සති හතක් ම ගත කළ සේක. බොජුනක් නොමැතිව මිහිරි පැන් පොදකින් ම සා පිපාසා නිවා ගනිමින් නිරෝධ සමවතින් වැඩ සිටි සේක. තමන් වහන්සේ අවබෝධ කර ගත් අසිරිමත් දහම දෙසන්නට සහම්පතී බ‍්‍රහ්මරාජයාගෙන් ඇරයුම් ලද සඳ ලෝ දෙස බුදු ඇසින් බැලූ භාග්‍යවතුන් වහන්සේට සොඳුරු උපමාවක් වැටහිණි.

‘‘මේ ලෝකය වනාහී මනහර පියුම් පිපී පොකුණක් වැන්න. එහි දියෙහි කිමිදී ගිය ඉතා කුඩා පියුම් කැකුළු ඇත. මෝරා යමින් දියෙන් උඩට නැගෙන පියුම් පොහොට්ටු ඇත. මැනවින් මෝරා ගිය, දියෙන් ගොඩනැගී පිපෙන කැමති සොඳුරු පියුම් ඇත. ළහිරු රැස් වදිත් ම එ්වා පිපී විකසිත ව සුවඳ හමනු ඇත. මේ ලෝ වැසියන්ගේ සිත් හසර ද එසේ ය.
දුසිරිත් ඇති මහ රජස්කයෝ ද සුසිරිත් ඇති අල්ප රජස්කයෝ ද බොහෝ කොට කීව ද නිවන් අවබෝධ නො වන්නෝ ද යමක් කී පමණින් ම අවබෝධ කර ගන්නෝ ද ඇත්තාහ.”
සම්බුදු නුවණින් මෙය දුටු භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලින් සොඳුරු උදානයක් පහළ විය.

‘‘අමා දොර විවර විය
නැණ ගුණැති දනන් හට
යොමා දෙසවන් මනා
සැදෑ සිත් පුබුදුවා
අසත්වා! අසත්වා!
එ් අමත දුන්දුහී!”

මේ අසිරිමත් දහම දෙසන්නට ඉතා ම සුදුසු වූ කාලාම ගෝත‍්‍ර ආලාරයන් ගැනත්, රාම පුත‍්‍ර උද්දකයන් ගැනත් භාග්‍යවතුන් වහන්සේ සිහි කළ සේක. එහෙත් මේ මිහිරි සදහම් අසන්නට පෙරාතුව ම අවාසනාවන්ත ලෙස ඔවුහු මෙලොව හැර ගොස් සිටියහ. අනතුරුව දුෂ්කර ක‍්‍රියා කරන සමයේ දී තමන් වහන්සේට උපස්ථානයෙන් සංග‍්‍රහ කළ පස්වග භික්ෂුන්ට කෙළෙහිගුණ සැලකීමට සිතූ සේක. නැණවත් වූ දිරිමත් වූ මේ දහම දකින්නට සමත් වූ එ් පස්වග ශ‍්‍රමණයන් වහන්සේලා කෙරෙහි මහත් කරුණාවෙන් පා ගමනින් ම බරණැස ඉසිපතන මිගදාය කරා වැඩම කළ සේක.

මුවන්ට අභය දුන් සොඳුරු ඉසිපතන වනයේ ගෝන මුවාදී වනසිව්පාවෝ මිහිරි පැන් බොමින් රමණීය තුරු සෙවණ යට ළා තණපත් බුදිමින් කෙළිදෙලෙන් කල් ගත කළහ. බරණැස නගර වීදීන්හි පිඬුසිඟා ලැබෙන බොජුනෙන් යැපෙන ශ‍්‍රමණ තවුසන් ද මෙහි සුවසේ තපස් රකිමින් කල් ගෙවූහ. ගයාවේ දී බෝසතාණන් වහන්සේ අතහැර පැමිණි පංචවර්ගීය ශ‍්‍රමණවරුන් ද රිසි සේ තවුස් දම් පුරමින් වැඩ සිටියේ එම මිගදායේ ය. කරුණු පහදා දී තමන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ බව ඔවුනට එ්ත්තු ගැන්වූ භාග්‍යවතුන් වහන්සේ එ් අසිරිමත් දහම් සක ප‍්‍රවර්තනය කිරීමට සූදානම් වූ සේක.

ඇසළ පුන් සඳ උදා වී මුළු මිගදාය ම සිසිල් වී ගිය, කුරුලූ කෙවිල්ලන්ගේ මධුර නාදය ඇසෙන, සඳකැන් විසිරෙන එ් පින්බර රාත‍්‍රියේ එළිමහනේ පැනවූ අසුනක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සේක. පංච වර්ගීය ශ‍්‍රමණවරු උන්වහන්සේ වටා හිඳගෙන අවිහිංසක මුව පොව්වන් සේ ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට සවන් දී සිටියහ. පසුගිය වෙසක් පුන් පොහෝ දින ගයාවේ ඇසතු රුක් සෙවණේ බවුන් වඩමින් සිටිය දී මිනිස් මනසක සිදුවූ අසිරිමත් පරිවර්තනය භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පහදා දුන් සේක. තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය මැනවින් ප‍්‍රවර්තනය කළ සේක.

කඳු රැළියෙකින් ගලා බස්නා සිහිලැල් දිය දහරක් සේ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත සදහම් නදිය ගලා බැස්සේ ය. සා – පවසින් පෙළෙන්නවුන්ට මිහිරි පැන් සේ, ගිමනින් තැවුනෙකුට සිහිල් රුකක් සේ, ව්‍යාධියෙන් පෙළෙන්නවුන්ට අමා ඔසුවක් සේ එ් තථාගත ශ‍්‍රී සද්ධර්මයෙන් සිත් සවන් නිවී සැනසී ගියේ ය. පිපාසයෙන් පීඩිත වූයෙක් සිසිල් දිය ලැබ දෝත පුරා ගෙන වළඳා පිපාසය නිවාගන්නා සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ භව දුක් තැවුල් පිස දමා එ් අමා දහම් අවබෝධ කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ සතියක් මුළුල්ලේ ම එ් ශ‍්‍රමණවරුන්ට දහම් දෙසූ සේක. ශාන්ත වූ මෘදු වූ සමාධිමත් සිතෙන් නෙත් පියා සවන් යුග යොමා අසා සිටි පස්වග භික්ෂූන්ගේ සිත් ද සියලූ මායාවෙන් හා සියලූ බන්ධනයන්ගෙන් ද සියලූ කෙලෙසුන්ගෙන් ද මිදී ගියේ ය. එ් සිත් ද විසංඛාරගත වී අරහත්වය සාක්ෂාත් කොට අමා නිවනෙහි බැස ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ ද පංච වර්ගීය අරහත් මුනිවරුන් ද අමා නිවනට සමවැදී නිරෝධ සමාපත්තියෙන් සතියක් වැඩහුන්හ.

ඇසළ සඳේ සඳ එළියෙන්
– මිගදායම බබළන්නේ
දම් සක් හඬ පැතිරෙන විට
– සුදු බුදු රැස් විහිදෙන්නේ
අපගේ ගෞතම මුනිඳුන්
– දහම් සකයි පෙරළන්නේ
යළිත් වරක් තුන් ලෝකෙට
– දහම් ඇසයි උපදින්නේ

දෙව්ලොව දෙවියෝ සතුටින්
– සාදුකාර දී එන්නේ
මුළු ලොව කම්පා කරමින්
– සදහම් හඬ පැතිරෙන්නේ
පස්වග මහණුන් සතුටින්
– සවන් යොමා සිටිමින්නේ
චතුරාර්ය සත්‍යය දැක
– නිවන් මගට බැසගන්නේ

දම්සක් පැවතුම් දෙසුමයි
– මිගදායෙන් රැව් දෙන්නේ
මුව පොව්වන් තැන් තැන්වල
– නිහඬව කන් දී ඉන්නේ
සිලි සිලි නද දී ගස්වැල්
– මඳ සුළෙඟන් නැළැවෙන්නේ
යළිත් වරක් තුන් ලෝකෙට
– දහම් ඇසයි උපදින්නේ

ජීවිතයේ තිබෙන සියලූ
– දෙය ලොව වැනසී යන්නේ
වසෙඟට ගන්නට බැහැ එය
– අනාත්ම බව දැනගන්නේ
අනත්ත ලක්ඛණ දෙසුමයි
– අප මුනිඳුන් පවසන්නේ
පස්වග මහණුන් එහි දී
– රහත් බවට පත්වන්නේ
සම්කම්පයං දස සහස්සිය ලෝකධාතුං
දේසේසි යත‍්‍ර භගවා වර ධම්මචක්කං
බාරාණසී පුර සමීප වනේ මිගානං
තං ධම්ම චේතිය මහං සිරසා නමාමි

කම්පා කරවමින් සහස්සී – දස ලෝකධාතූ
දෙසූ සේක අප සම්බුදුන් – දම්සක් දෙසුම් එ්
බරණැස් පුරේ අසල වූ – මිගදාය වනයේ
එ් ධම්ම චේතිය උතුම් – සිරසින් වඳිම් මම්

ශ්‍රේෂ්ඨ සිද්ධීන් රැසක්
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව සන්තුසිත දෙව්රජුව ඉපදුණු අප මහ බෝසතාණන් වහන්සේ, දෙව් බඹුන්ගේ ඇරයුම් පිළිගෙන, පංච මහා විලෝකනයන් සිදුකොට ශාක්‍ය දේශයෙහි සුෙදාවුන් නිරිඳුන්ට දාව පින්බර මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ම ය. වයස අවුරුදු විසි නමයේ දී සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්මී මහා අභිනිෂ්ක‍්‍රමණය සිදුකොට ශ‍්‍රමණයන් වහන්සේනමක් බවට පත්වූයේත් අද වන් පොහෝ දිනක දී ය. සම්මා සම්බුද්ධත්වයට පත්ව දම්සක් පවත්වා අරහත්වයට පත් පස්වග මහණුන් සමඟින් බරණැස ඉසිපතන මිගදායේ දී පළමු වස් වැසීම සිදුවූයේත් ඇසළ පෝ දින දී ම ය. ගණ්ඩම්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන් දමනය කිරීම පිණිස අසිරිමත් ලෙස යමාමහ පෙරළහර පවත්වා වදාළේත් අද වන් දිනක දී ම ය. එසේ විස්මිත පෙළහර පා සත්වැනි වස් කාලය ගතකරීම පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කොට, මාතෘ දිව්‍යරාජයා ප‍්‍රධාන දෙව්පිරිසට පරම ගම්භීර අභිධර්මය දේශනා කොට වදාළේත් ඇසළ පෝ දින දී ම ය. මෙවන් උදාර ශාසනික සන්සිද්ධීන් රැසක් සිදුවුණු ඇසළ පුන් පොහෝ දින අපිත් සිත් පුරා පිළිවෙත් සපුරා උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්නට අදිටන් කර ගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේ නමක් විසින් සම්පාදිතයි