‘ලූණු ඇඹුල් ඇති ව කනවා’ කියද්දි මතක් වෙන්නේ මොකක් ද? රසට කනවා කියන එකයි. ලූණු, ඇඹුල් පදමට තියෙනවා නම් එ් ආහාරය රසවත්. ලූණු ඇඹුල් පදමට නැති නම් එ් ආහාරය නීරසයි.

කටට රහට කන්න කවුද අකැමැති? දියවැඩියාව, අධි රුධිර පීඩනය, හදවත් රෝග වගේ විශේෂිත රෝග තත්ත්ව නැති නම් කවුරු වුණත් හොයන්නේ ලූණු ඇඹුල් ඇතිව කන්නයි. එහෙම නො වී, ලූණු වැඩි වුණත්, ලූණු අඩු වුණත් ගෙදර ප‍්‍රශ්න. එ් කෑම කන්න කවුරුවත් කැමති නෑ. එවැනි නීරස ආහාර දිගින් දිගට ම ලැබුණොත් එ්ක ඔබට ප‍්‍රිය වෙයි ද? නැහැ. එ් වෙනුවට ඔබ තනියෙන් හරි රසවත් ව ආහාරය සකසා ගන්නයි උත්සුක වෙන්නේ. එ් වගේ ම යි, අපට හිතවත්, අපට ප‍්‍රිය පිරිසට අප කැමති රසවත් ම ආහාරයෙන් සංග‍්‍රහ කරන්න යි. අප හදන ආහාරයක් නීරස වීම නිසා අපේ ප‍්‍රියතමයින් එය අනුභව නො කළ හිටියොත් හිතට දුකක් දැනෙනවා.

හැබැයි අපට හිතවත් නැති, අපට සතුරුකම් කරන කෙනෙකුට රසවත් ම ආහාරපානයෙන් සංග‍්‍රහ කළ යුතුයි කියලා අප හිතන්නේ නැහැ. එ් වෙනුවෙන් අප මහන්සි වෙන්නේත් නෑ. තරහ හිත පාලනය කරන්න අමාරු නම් ලැබෙන නීරස ම දේ එ් කෙනාට නො දී අතහරින්නෙත් නෑ. ඔන්න ඔහොමයි ලූණු ඇඹුල් ඇතිව කෑම ගැන සාමාන්‍ය කථාව.

ලූණු ඇඹුල් ඇතිව කනවා වගේ ම ලූණු ඇඹුල් ඇති ව කියන අවස්ථාත් ඕනි තරම්. කාට හරි කට අරින්න බැරි වෙන්න තදින් යමක් කියන එකට තමයි ‘ලූණු ඇඹුල් ඇති ව කියනවා’ කියන ව්‍යවහාරය සමාජයේ භාවිත වෙන්නේ. එ් නිසා, ලූණු ඇඹුල් ඇති ව කෑම තරම් ලූණු ඇඹුල් ඇති ව කීම නම් අන්‍යයන්ට ප‍්‍රිය වෙන්නේ නෑ. එහෙම ගත්තොත් නම්, හරි ම අර්ථයෙන් එයට කිව යුත්තේත් ලූණු ඇඹුල් නැතිව කීම කියලා මිසක් ලූණු ඇඹුල් ඇති ව කීම කියලා නම් නෙමෙයි…!

මේ ගෙවී යන ඇසළ මාසයේදියි ලෝකයට ප‍්‍රිය වචනය, අර්ථවත් වචනය, සුභාෂිතය දායාද වූයේ. එ් ගැන දෙව්මිනිස් ලෝකය කථා වුණේ මේ අයුරින්.

‘‘එ්තං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්’ති”
‘‘අපගේ භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කළ නො හැක්කේ ම ය.”
(දම්සක් පැවතුම් සූත‍්‍රය)

එ් සම්බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ දහම් සක ප‍්‍රවර්තනය කරවමින් වචනයෙන් අකුසල් විය හැකි ආකාර හතරක් දෙව් මිනිස් ලෝකයට පෙන්වා දී වදාළා. එ් තමයි, අසත්‍ය වචනයෙන්, කේළමෙන්, පරුෂ වචනයෙන් සහ හිස් වචනයෙන්. මෙන්න මේ ආකාරයන්ගෙන් වචනයෙන් අකුසලයේ යෙදෙන – අයහපතේ හැසිරෙන කෙනා මරණින් මත්තේ නිරයේ උපදිනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය.

අපට අන් කවුරුන් හෝ බොරු කියනවා නම්, කේළාම් කියා අයෙක් අප හා තව පිරිස් බිඳුවනවා නම්, අපි‍්‍රය අමනාප කටුක පරුෂ වචනයෙන් කෙනෙක් අපට බැණ වදිනවා නම්, අප ව නිරයට ඇද දමන හිස් වචනය ම කවුරුන් හෝ අපට ඇසෙන්නට සලස්වනවා නම් එ් ගැන අපිට දැනෙන්නේ සතුටක් ද? කොහෙත් ම නැහැ.

මේ අතරින් බොරුව, කේළම සහ හිස් වචනය එ් එ් මොහොතේ ම අපට ප‍්‍රකට නො වුණට පරුෂ වචනය අතිශයින් ප‍්‍රකටයි. පරුෂ වචනයක් අහන්න ලැබීම හරියට කටේ තියන්න බැරි නීරස ආහාරයක් ලැබුණා වගෙයි. අනුභව නො කර සිටීමටයි අප කැමති. අනෙක් පැත්තටත් මේ කාරණය එ් අයුරින් ම යි සලකා බැලිය යුත්තේ. අපේ වචනය නීරස ආහාරයක් වගේ නම් අන් අයත් එයට කැමති වන්නේ නැහැ. නීරස දේ කන්න අකැමැති අපි ඇයි තව කෙනෙකුට එ් නීරස දේ දෙන්නේ…? ලූණු ඇඹුල් ඇති ව කන්න කැමති අපි ඇයි තව කෙනෙකුට ලූණු ඇඹුල් නැති ව කන්න දෙන්නේ? පරුෂ වචනය අහන්න ලැබෙද්දි එ් නීරස දේ බෙදාගෙන කනව ද නැති නම් තනිය ම වුණත් ප‍්‍රණීත දෙයක් ම කනව ද කියලා හිතලා බලන්නයි අද අප මේ සටහන තබන්නේ…

භාරද්වාජ බමුණාට බත් ගෙනයමින් සිටිය දී පය පැකිළී ඇද වැටෙන්නට ගිය ධනඤ්ජානි බැමිණිය එ් සුළු මොහොතට තුන් පාරක් නමස්කාරය කියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එය ඇසූ බමුණාට මේ ගැන සතුටක් ඇති වුණේ නැහැ. ඔහු කෝපයට පත්වුණා.

‘‘එ්යි වසලී, නුඹ මෙතැන ඉඳගෙන එ් මුඩු ශ‍්‍රමණයාගේ ගුණ වර්ණනා කරනවානේ. එ්යි වසලී, දැන් බලාගනින් මං ගිහිල්ලා නුඹේ එ් ශාස්තෘන් වහන්සේ්ත් එක්ක වාද කරන හැටි…”
බැමිණිය කලබල වුණේ නෑ. යන්න ඉඩ දුන්නා. බමුණා ගියේ වාද කරන්න. එ්ත් භාග්‍යවතුන් වහන්සේ සමඟ කථා කිරීමෙන් ම සතුටු වුණා. ප‍්‍රශ්න නැගුවා. උත්තර අහලා පැහැදුනා. පැවිදි වුණා. පසු කලෙක අරහත්වයටත් පත් වුණා.

භාරද්වාජ වංශික බමුණෙකු මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න යන බව අහපු තවත් භාරද්වාජ වංශික බමුණෙකුට හොඳට ම තරහ ආවා. තරහ එන එක ස්වභාවයක් ම කර ගත්ත ඔහුගේ නම අක්කෝසක භාරද්වාජ. නමින් ම හිතා ගන්න හැකිනේ තරහ එන තරම… ඉතින් මේ කුල මාන්නය හිසට ගත්ත බ‍්‍රාහ්මණයා කිපුණු සිතින් බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් නින්දා කරන්න පටන් ගත්තා. අසභ්‍ය වචනවලින්, පරුෂ වචනවලින් ආක්‍රෝශ කරන්න පටන් ගත්තා. පරිභව කළා. එහෙම බණින අක්කෝසක භාරද්වාජ බමුණාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම විමසුවා.

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ මේ ගැන මොකක්ද හිතන්නෙ. ඔබේ නිවසට යාළු මිත‍්‍රයන්, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවා ද?”

‘‘භවත් ගෞතමයෙනි, ඔව්. මාගේ නිවසට සමහර දවස්වලට යාළු මිත‍්‍රයො, ලේ ඥාතීන්, ආගන්තුකයො එනවා.”

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, මේ ගැන ඔබ මොකක්ද හිතන්නෙ? ඉතින්, ඔවුන්ට කන දේවල්වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග‍්‍රහ කරනවා ද?”

‘‘භවත් ගෞතමයෙනි, ඔව්. මං ඔවුන්ට ඇතැම් දවස්වල කන දේවල්වලින් හරි, අනුභව කරන දේවල්වලින් හරි, රස විඳින දේවල්වලින් හරි සංග‍්‍රහ කරනවා තමයි.”

‘‘එහෙම නම් පින්වත් බ‍්‍රාහ්මණය, ඔවුන් ඔබේ සංග‍්‍රහය නොපිළිගත්තොත් එ්වා අයිති වෙන්නේ කාට ද?”

‘‘භවත් ගෞතමයෙනි, ඉතින් ඔවුන් ඒවා පිළිගන්නෙ නැත්නම් එ්වා ඉතින් අපට නෙව.”

‘‘පින්වත් බ‍්‍රාහ්මණය, අන්න ඒ වගේ තමයි, ඔබ කාටවත් ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කරනවා. කා සමඟවත් නොකිපෙන අප සමඟ කිපෙනවා. කා සමඟවත් රණ්ඩුවට නොයන අප සමඟ රණ්ඩුවට එනවා. නමුත් ඒවා අපි පිළිගන්නේ නෑ. පින්වත් බ‍්‍රාහ්මණය එ්වා අයිති වෙන්නේ ඔබට ම යි.

පින්වත් බ‍්‍රාහ්මණය, යම් කෙනෙක් ආක්‍රෝශ කරන කෙනෙකුට පෙරලා ආක්‍රෝශ කරනවා නම්, කිපෙන කෙනෙකුට පෙරලා කිපෙනවා නම්, රණ්ඩුවට එන කෙනෙක් එක්ක පෙරලා රණ්ඩු කරනවා නම්, පින්වත් බ‍්‍රාහ්මණය, ඔන්න ඕකටයි කියන්නෙ එකතු වෙලා අනුභව කරනවා කියලා. බෙදාගෙන කනවා කියලා. නමුත් ඒ අපි ඔබ සමඟ එකතු වෙලා අනුභව කරන්නෙ නෑ. බෙදා හදාගෙන කෑමක් නෑ. පින්වත් බ‍්‍රාහ්මණය, ඔබට ම යි ඒවා අයිති වෙන්නෙ. පින්වත් බ‍්‍රාහ්මණය, ඔබට විතර ම යි ඒවා අයිති වෙන්නෙ.”
(අක්කෝසක භාරද්වාජ සුත‍්‍රය – සං. නි. 01)

අද ලෝකයේ උද්ගත වන තාක් අර්බුදයන්ට වැඩිපුර ම හේතු වෙන්නේ මේ පරුෂ වචනයට එකතු වී බෙදා හදාගෙන අනුභව කිරීම නෙමෙයි ද? දේශපාලනික, ආගමික, සමාජයීය ගැටලූ තුළ පරුෂ වචනය භාවිතයත්, එය බෙදා හදාගෙන අනුභව කිරීමත් සුලබ ව සිද්ධ වෙනවා. තමන් නීරස කෑම හදනවා. අන් අයටත් බෙදනවා. එ් අයත් එ්වා කනවා. නීරස ආහාරය ම දෙනවා. ලූණු ඇඹුල් ඇති ව කිව්වා කීවට කවුරු කවුරුත් කාලා තියෙන්නේ ලූණු ඇඹුල් නැතිව ම යි.

ලොවට සුභාෂිතය දායාද වුණ මේ උතුම් ඇසළ මාසයේ පටන් කිපෙන්නන් හමුවේ නොකිපී, පි‍්‍රය වචනය ම දන් දෙමින්, සත්‍ය වචනය ම කථා කරමින්, සමඟිය ඇති කරවන වචන ම කථා කරමින්, අර්ථවත් වූ දෙය ම ලෝකයට අසන්නට සලස්වමින් අපිත් සම්බුදුරජුන්ගේ මඟ ගනිමු ද?

ලූණු ඇඹුල් නැතිව ලෝකය බෙදා හදාගෙන කෑවට අපට කමක් නැහැ; ඔවුන් හා එක්ව විපතේ නො වැටී තනි තනි ව හෝ ලූණු ඇඹුල් ඇති ව, ප‍්‍රණීත ව ආහාර අනුභවය කරන්නට අපි පරිසරය හදා ගනිමු. එයින් මඟ විවර වන්නේ සුගතියට පමණක් නොව අමා මහ නිවනට ද බව ඔබටත් නිතින් සිහිපත් වේවා!!!

සටහන
භාරත සූරියබණ්ඩාර