දරු සම්පතක් කියන්නෙ බොහෝ දෙමව්පියන්ගෙ හීනයක්. දරුවො ලබන්න අකැමැති විවාහක යුවළක් සිටිනවා නම් එ්ක අයිති සමාජ අසම්මතයට මිසක් සමාජ සම්මතයට නම් නෙවෙයි. දරුවෙක් කුස පිළිසිඳගෙන සිටින බව දැන ගත්ත දවසෙ ඉඳන් අම්මා තාත්තා දෙන්න ම එ් දරු සිඟිත්තා වෙනුවෙන් අනාගත අපේක්ෂා පොදි බඳින තරම් දන්නෙ එ් අය ම තමයි. විශේෂයෙන් ම එ් දරුවා තමන්ගේ පළමු දරුවා නම්, අම්මගෙ තාත්තාගෙ හිත්වල හීන ලෝකයක් හදමින් ම යි දරු පැටියා කුසේ වැඩෙන්නේ.

දරු ගැබට මාස පහ පිරෙනකොට ඉපදෙන්න ඉන්නේ දුවක් ද පුතෙක් ද කියන කාරණයත් නූතන තාක්ෂණික උපකරණවලින් දැන ගන්න පුළුවනි. දුවෙක් නම් රෝස පාටින්… පුතෙක් නම් නිල් පාටින්… ඔන්න ඔය විදිහට ඉපදෙන්න ඉන්න දරු පැටියාට වුවමනා කළමනා එහෙමත් කල් තබා ම සූදානම් කෙරෙනවා. දරුවා ඉපදෙන දින වකවානුත් දැනගෙන කල් තබා ම දරු උපතට සූදානම් වෙනවා.

‘මට මුලින් ම ඕනේ පුතෙක්’, ‘මට මුලින් ම ඕනේ දුවක්’ කියලා හිතපු අම්මට තාත්තට එ් කැමැත්ත එ් අයුරින් ම ඉෂ්ට වෙද්දි හරි සතුටුයි. දවස් ගැන ගැන දරු පැටියගේ මුහුණ බලන නොඉවසිල්ලෙන් ඔවුන් බලා ඉන්නවා. සියලූ දේ හොඳින් සිද්ධ වෙන බව දැනෙද්දි බයක්, කම්පනයක් ඇති කරවන සිතිවිලි පවා ටිකෙන් ටික ඈත් වෙනවා.

තම ලෙයින් බිහිවන කුළුඳුල් පුතුගෙ මුහුණ බලන්න මේ අම්මට තාත්තට ඉතිරි වෙලා තිබුණෙත් තව දවස් දහයක් විතරයි. ඔවුන්ගෙ ජීවිත හැඩ කරපු හැම හීනෙ ම පුතුටත් ඉඩක් තිබුණා. එ්ත් එදා උදේ දරු පැටියගේ දැඟලීම් වෙන දවස්වලට වඩා අඩු බව දැනුන නිසා ඔවුන් උදේ ම වෛද්‍යවරයාව මුණගැහුනා. එක ම රිද්මයක හද ගැස්මක් විතරක් පෙන්වමින් දරුවා නිහඬව ම ඉන්නවා. පැයක පමණ පරීක්ෂණ කාලයක් තුළ දැනගන්න ලැබෙන්නේ මේ දරුවා මව් කුසින් එළියට නෑවිත් ම මනුෂ්‍ය ලෝකය හැර ගිහින් කියලයි.

එ් අම්මයි තාත්තයි ඔබ වුණා නම්??? ඔබට මොනවා නො හිතේවි ද? නින්දෙන් පවා ඉකිබිඳිමින් ඔබ හඬන්නෙ නැති වේවි ද? එ් ප‍්‍රිය විප්පයෝග දුකින් විපිළිසර සිතක් ඇති අම්මා කෙනෙකු සුවපත් කළ කල්‍යාණ අවවාදයක් මෙසේ සටහන් තබන්නට අප සිතුවේ පි‍්‍රය දෙයින් වෙන් වීමේ ස්වභාවය ඉක්මවා නො ගිය අපට මෙය නිරන්තර උපකාරයක් ම වන බව පෙනී ගිය නිසයි.

**********************************

පින්වත් ස්වාමීන් වහන්සේ අබියස අපි පිරිස වාඩි වුණා. සතුටු සාමීචි කථාබහ අවසන අපෙන් අයෙක් ස්වාමීන් වහන්සේට මෙහෙම විස්තරයක් කිව්වා.

‘‘ස්වාමීන් වහන්ස, අපි අද අනුරාධපුරයට ආවේ විශේෂ කාරණාවකට. මේ ඉන්නේ මගේ යාළුවා. මේ එයාගෙ මහත්තයා. ස්වාමීන් වහන්ස, මේ අයගෙ පළමු වෙනි දරුවා ලැබෙන්න තිබුණ දවසට දවස් දහයකට කලින් දරුවා නැති වුණා. දරුවගේ පෙකණිවැල බෙල්ල වටේ එතිලා.”

ඔය අතරෙ දරුවගේ අම්මා සිහින් ස්වරයෙන් ඉකි බිඳිනවා.

‘‘ස්වාමීන් වහන්ස, එ් දරුව ව මේ ලෝකෙට ගේන්න පින අපට තිබුණේ නෑ. මේ ලෝකෙට එන්න පිනක් එයාට තිබුණෙත් නෑ. මේ අම්මයි තාත්තයි වත්පිළිවෙත් සම්පූර්ණ කරගෙන අද අනුරාධපුරයට ආවේ මහාසෑය ගාව ඉඳලා පින්වත් දරුවෙකුට මව් කුසට වඩින්න කියලා ආරාධනා කරන්න.”

පින්වත් ස්වාමීන් වහන්සේ මඳක් සිනාමුසු ව පි‍්‍රය විප්පයෝග දුකින් පෙළෙන අම්මා දෙස බැලූවා.

‘‘අම්මට මං කථාවක් කියන්න ද?”

ඇය හිස සැළුවේ එය අනුමත කරමින්.

‘‘අම්මා තවම අඬනවා නේ ද? අම්මට හිතෙන්නේ ම අම්මා හරි ම අවාසනාවන්තයි කියලා නේ ද? දරුවා නැති වුණා කියලා දැන ගත්ත දවසේ අම්මා නින්දක් පවා නැතිව රෙදිපට හප හපා ඇඬුවා නේ ද? තවමත් එ් ගැන හිත හිතා අඬනවා නේ ද?”

මේ හැම ප‍්‍රශ්නයට ම ලැබුණේ ‘‘ඔව්” කියන උත්තරය.

‘‘අම්මේ එක දුවක් හිටියා සිටු මැදුරක. හරී ම ලස්සනයි. රූප ශෝභාවෙන් ඉහළයි. සිටුතුමා හිතුවා ‘මගේ මේ බොහොම ලස්සන දියණියට කවුරු හරි පිරිමියෙකුගෙන් කරදර වෙන්න පුළුවන්. ඒ නිසා දියණිය ව පරිස්සම් කර ගන්න ඕනි.’ කියලා. ඉතින් හොඳ ආරක්ෂාවක් ඇතිවයි මේ දුව ව හැදුවේ. එ්ත් මේ ගැහැනු ළමයා ගෙදර දර පළන්න ආව කෙනත් එක්ක පැනලා ගියා. මේ ගැහැනු ළමයා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

සිටු පවුලක සැප සම්පත් උරුම ව තිබිලා, ලස්සන රූප ශෝභාවකුත් තිබිලා, සිටු පවුලකට සරණ බන්ධනය සිදු වන්න තිබුණ කෙනා දර පළන්නෙක් එක්ක පැනලා ගියා ම කොහොම ද එ් කෙනා වාසනාවන්තයි කියන්නේ…

‘‘අවාසනාවන්තයි…!”

‘‘ඉතින් අම්මේ මේ ගැහැනු දරුවට ටික කලකින් දරුවෙක් ලැබෙන්න ආවා. දරු උපතට නිසි කාලෙ එද්දි ඔන්න මතක් වුණා අම්ම ව. ගෙදර යන්න ඕනි කියලා හිතුණා. ස්වාමියා කැමති වෙන්නේ ම නෑ. අවසානේ තනියෙන් ම පිටත් වුණා ගෙදරට යන්න. එ්ත් අතරමඟදි විළිරුදා ඇවිත් දරුවා බිහි කරන්න වුණා. පස්සෙන් ආව ස්වාමියා දරුවයි අම්මයි දෙන්න ම ආයෙ ගෙදර එකතු කරන් ගියා. එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

සිටු මැදුරක තිඹිරි ගෙයක දරු උපතක් කරන්න ඉඩ තිබිලත් මහ වනයක් මැද දරුවෙක් බිහි කරන්න සිද්ධ වුණ එ් අම්මා කොහොම නම් වාසනාවන්තයි කියන්න ද?

‘‘අවාසනාවන්තයි…!”

‘‘ටික කාලෙකින් තවත් දරුවෙක් ලැබෙන්න ආවා. කලින් වගේ ම ගෙදර යන්න වුවමනා වුණා. ගැබට දැන් වයස් සම්පූර්ණයි. ස්වාමියා එපා කියද්දි ම අවුරුද්දක් වයස දරුවත් අරන් මේ බඩදරු අම්මා ගෙදර එන්න පිටත් වුණා. නවත්ත ගන්න බැරි බව තේරුම් ගත්ත ස්වාමියත් පස්සෙන් ආවා. මහා වර්ෂාවක් ඇද හැළෙන්න ළං වෙලා. මේ අම්මට විළිරුදා දැනෙනවා. ස්වාමියා කිව්වා, ‘තවත් නම් ඔයාට ඔහොම යන්න බෑ. නවතින්න. මං පැලක් හදන්න අතු ටිකක් කපන් එන්නම්.’ කියලා. ස්වාමියා ගියා. අතු කපන් ආවේ නෑ. මහා වැස්සක් වැටෙනවා. මේ මහා වැස්සේ ම අර අම්මා අවුරුද්දක දරුවෙකුත් තුරුලූ කරන් තව දරුවෙක් බිහි කළා. අද වගේ කතුරු, උණු වතුර බේසම් අරන් දොස්තරලා, නර්ස්ලා, වින්නඹු අම්මලා උදව්වට දුවගෙන ආවේ නෑ අම්මේ. පෙකනි වැල අතින් ම කඩන්න ඇති. නැති නම් කටින් හපලා දාන්න ඇති. ඉතින් එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”
දෙපාරක් හිතන්න දෙයක් නෑ. ආයෙමත් පුරුදු උත්තරය.

‘‘අවාසනාවන්තයි…!”

‘‘වැස්ස ටිකක් අඩු වෙද්දි මොහොතකට කලින් දරුවෙක් වදපු එ් අම්මා අලූත උපන් දරුවයි, අවුරුද්දෙ දරුවයි අරන් ස්වාමියා හොයන්න ගියා. බලද්දි ස්වාමියා හුඹහක් ළඟ වැටිලා ඉන්නවා. මැරිලා. සර්පයෙක් දෂ්ට කරලා. දරු දෙන්නගෙ තාත්තා, තමන්ගේ ස්වාමිපුරුෂයා එ් අම්මට අහිමි වෙලා. එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

‘‘අවාසනාවන්තයි…!”

‘‘දැන් ඉතින් වෙන කිසි ම පිළිසරණක් නෑ. දෙමව්පියො ළඟට යන එක විතරයි තියෙන්නේ. දරු දෙන්නත් අරන් මේ අම්මා කැලේ මැදින් බොහොම අමාරුවෙන් එනවා. ගෙදරට යන්න නම් ගඟකින් එතෙර වෙන්න ඕනි. අනෝරා වැස්සට ගඟ දෙගොඩතලා යනවා. එ් සැඩ පහරින් දරු දෙන්නෙකුත් අරගෙන, මේ දරුවෙක් බිහි කළ හැටියේ අමාරුවෙන් ඉන්න අම්මා කෙනෙක් කොහොම නම් එගොඩ වෙන්න ද? අවුරුද්දක් වයස ලොකු පුතා මෙගොඩින් තියලා අලූත උපන් පුතා අරන් අම්මා එගොඩට ගියා. ගස් බෙනයක එ් දරුවා තියලා අම්මා ආයෙමත් මෙගොඩට එනවා ලොකු පුතා අරන් යන්න. අලූත උපන් දරුවගේ ලේ සුවඳ දැනුන උකුස්සෙක් වේගයෙන් ගස් බෙනයට පාත් වෙලා දරුවා අරන් ඉගිලූනා. අර සැඩ වතුර පාරෙන් එක පාරම කොහොම ගොඩට එන්න ද? ඇරත් දරුවෙක් බිහි කළ හැටියේ අම්මා කෙනෙක්…! කරන්න පුළුවන් එක දෙයයි. අම්මා ගඟ මැද ඉඳන් ම මහ හයියෙන් උකුස්සට කෑ ගැහුවා. එ්ත් උකුස්සා දරුවා අතෑරියේ නැහැ. මෙගොඩ හිටපු ලොකු පුතා හිතුවා ‘අම්මා මේ මට තමයි කථා කරන්නේ’ කියලා. දරුවා ගඟට පැන්නා. සැඩ වතුර පාරේ ගහගෙන ගියා. අම්මා ගඟ මැද ඉද්දි දරුවො දෙන්න ම ගඟ දෙපැත්තෙ අහිමි වුණා. එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

කියන්න වචන දෙකක් නෑ. තියෙන්නේ එක ම එක වචනය යි.

‘‘අවාසනාවන්තයි…!”

‘‘එ් අම්මා මහා දුකක් උහුලාගෙන අඬ අඬා ගෙඟන් එගොඩට ආවා. අම්මා තාත්තා සහෝදරයා විතරයි සැනසීම. දැන් හොයාගෙන එනවා. සිටු මාලිගය තිබුණ දිශාවෙන් දුමක් නැගෙනවා විතරක් පේනවා. මිනිස්සුන්ගෙන් ඇහුවා ‘අර සිටු පවුල කොහෙද?’ කියලා. ‘ඊයෙ මහ වරුසාවට සිටු මාලිගය කඩා වැටුනා නෙව. ඔය ඈත පේන්නෙ ඔය සිටු යුවළයි, පුතයි දැවෙන චිතකය’ කියන උත්තරේ ලැබුණා. අම්මේ, එ් අම්මට පිස්සු හැදුනා.”

පිස්සු නො හැදී තියේවි ද?

‘‘අම්මා දරුවා නැති වුණ දවසේ ඉඳන් අද වෙනකල් ම අඬනවා වගේ එ් අම්මත් රෙදිපට හප හපා ඉකි බිඳ බිඳ හැඬුවා. රෙදිපට කීතු කීතු ඉරිලා ගියා. නම වැටුනා පටාචාරා කියලා.

ඇඟේ නූල්පටක්වත් ඉතිරි නො වෙන්න ඇඳුම් ඉරිල ම ගියා. පිස්සු වැහිලා පාරක් පාරක් ගානේ අඬා වැළපෙමින් දුවන්න ගත්තා. එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”
පුරුදු උත්තරේ ම යි.

‘‘අවාසනාවන්තයි…!”

‘‘මිනිස්සු ගල් මුගුරු, පොලූ අතට ගන්න ඇති. එළවන්න ඇති. බණින්න ඇති. දොස් කියන්න ඇති. ගහන්න ඇති. එ් වගේ මිනිසුන්ගේ ආවේගයට ලක් වුණ එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

‘‘අවාසනාවන්තයි…!”

‘‘අම්මේ එක මනුස්සයෙකුට එ් පිස්සු වැහුන ගෑනු කෙනා ගැන අනුකම්පා හිතුණා. පිහිට වෙන්න පුළුවන් ක‍්‍රමයක් දන්නේ නෑ. එ්ත් මතක් වුණා පිහිට වෙන්න පුළුවන් කෙනා කවුද කියලා. අත දික් කරලා පාරක් පෙන්නලා කිව්වා, ‘නැගණිය, ඔන්න ඔය පාර දිගේ යන්න. එතැන තියෙනවා පිරිස් එක් රැස් වන ශාලාවක්. එතැන ඉන්නවා බොහොම කරුණාවන්ත උත්තමයෙක්. නැගණියට එ් උත්තමයා පිහිට වෙයි.’ අම්මේ, මෙන්න මේ විදිහට පටාචාරාට අත පෙන්නලා එ් මනුස්සයා පෙන්නුවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාව.

පටාචාරා එ් දිශාවට හැරුණා. හීයක් වගේ දුවගෙන ගියා. එ් අම්මා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

පළමු වෙනි වතාවට අපේ උත්තරය වෙනස් වුණා. සියලූ දුක් ගිනි නිවන අමා ඔසු දන් දෙන එ් සම්බුදුරජාණන් වහන්සේ සිටින දිශාවට යන්න ලැබීම පවා වාසනාවක් නෙවෙයි ද?

‘‘වාසනාවන්තයි…!”

‘‘ඉතින් මේ අම්මා දම්සභා මණ්ඩපයට ඇතුළු වුණා. බොහෝ පිරිසක් ධර්මය අහන්න රැස් වෙලා. ඇඟේ නූල්පටක් නැති පටාචාරා එ් සියලූ පිරිස් මැද රන්වනින් බැබළෙන, දුටුමතින් සිත් සුවපත් කරවන අසහාය රූපකාය දිහා බලාගෙන හෙමි හෙමින් ඉස්සරහට ගියා. ‘රෙද්දක් ගනින්, රෙද්දක් ගනින්…’ බොහෝ දෙනෙක් එහෙම කෑ ගැහුවා. එ්ත් මේ අසරණී දිහා බලන් ඉඳපු මහා කාරුණික නෙතු සඟලේ හිමිකරුවා වුණ එ් බුදුරජාණන් වහන්සේ ‘නැගණිය, රෙද්දක් ගන්න’ කිව්වේ නෑ. ‘නැගණිය, සිහිනුවණ උපදවා ගන්න.’ කිව්වා. එ් වචන ඇසූ පමණකින් ම පටාචාරාවට සිහිනුවණ ඉපදුණා. පටාචාරා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

බුදු මුවින් වචනයක් අහලා සිහිනුවණ උපදවා ගන්න පින ලෝකයේ කෝටි ගණනකට එ් කාලෙත් අහිමි වෙද්දි එ් පරම දුර්ලභ වාසනාව උරුම වුණ පටාචාරා අවාසනාවන්ත වෙන්නෙ කොහොම ද?

‘‘වාසනාවන්තයි…!”

‘‘බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. පටාචාරා සන්සිඳුනා. සම්බුද්ධ ශාසනයේ අසිරිය තේරුණා. පැවිද්දට ම කැමති වුණා. පැවිද්ද පිණිස අවසර ඉල්ලූවා. බුදුරජාණන් වහන්සේ පටාචාරාගෙ පැවිද්ද අනුදැන වදාළා. පටාචාරා පැවිදි භික්ෂුණියක් වුණා. ඉතින් පටාචාරා වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයක ධර්මස්වාමී වූ සම්බුදුරජාණන් වහන්සේ විසින් ම අනුදැන වදාළ පැවිද්ද දරා ගනිමින් උතුම් කසාවත දිනූ පටාචාරා අවාසනාවන්ත වෙන්නෙ කොහොම ද…?

‘‘වාසනාවන්තයි…!”

‘‘ග‍්‍රීස්ම කාලෙක පටාචාරා භික්ෂුණිය පිණ්ඩපාතේ වැඩම කළා. ආපසු කුටියට යන්න කලින් වතුර ටිකක් අරගෙන දෙපා සෝදා ගත්තා. වතුර ටික කාෂ්ටක පොළවට වැටිලා එතැන ම හිඳිලා ගියා. තව ටිකක් වැඩිපුර වතුර අරන් දෙපය සේදුවා. එ් වතුර කලින් පාරට වඩා ටිකක් දුර ගලන් ගියා. තවත් ටිකක් වැඩිපුර වතුර අරන් සේදුවා. එ් වතුර ටික වඩාත් දුර ගලන් ගියා. හිතන්න පටන් ගත්තා. වේගයෙන් ප‍්‍රඥාව අවදි වුණා. පුංචි ම වයසෙදි සමහරු මැරෙනවා. එතැන ම හිඳිලා ගිය වතුර ටික වගේ. මැදි වයසෙදිත් මිනිස්සු මැරෙනවා. ටිකක් දුර ගලන් ගිය වතුර ටික වගේ. වයසට ගිහිල්ලත් මිනිස්සු මැරෙනවා. වැඩිපුර දුර ගලන් ගිය වතුර ටික වගේ. ගලන දිය පහර සිඳිලා යනවා වගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා. පටාචාරා භික්ෂුණියට මේ ජීවිතයේ දී ම තමන් මුහුණ දුන්න ඛේදවාචක සිහි වුණා. ළාබාල වයසේ දරුවො මැරුණා. මැදි වයසේ ස්වාමියා, සහෝදරයා මැරුණා. මහලූ වයසේ දෙමව්පියොත් මැරුණා. මරණය ගැන ම සිත මෙහෙයවන්න පටන් ගත්තා. මේ සිත දැකපු සම්බුදුරජාණන් වහන්සේ ආලෝකය පතුරුවලා ගාථාවක් ඇසෙන්න සැලැස්වුවා. ඒ දහම් පදය අහපු පටාචාරා භික්ෂුණියගේ ජීවිතය ධර්මාවබෝධය පිණිස මුහුකුරා ගියා. පටාචාරා භික්ෂුණිය කුටියට ගිහින් යහනට ගොඩ වෙලා දැල්වෙමින් තිබූ පහන් තිරය තෙල් තිබූ පැත්තට ගිල්වලා දමද්දී ඒ පහන් සිළ නිවිලා ගියා. ඒ මොහොතේ ම ඇය මේ ගෞතම බුදු සසුනේ නිකෙලෙස් වූ රහත් භික්ෂුණියක් බවට පත්වුණා. සියලූ කෙලෙස් නසලා අරහත් වුණ පටාචාරා භික්ෂුණිය වාසනාවන්ත ද? අවාසනාවන්ත ද?”

උපත් විපත් නැති, කඳුළු සෝ සුසුම් නැති, දුක්ඛ පීඩා නැති එ් අමා මහ නිවන සැබැවින් ම ස්පර්ශ කරන්නට කෙනෙකුට සුළුපටු වාසනාවක් නම් ප‍්‍රමාණවත් නෑ. ගෞතම සම්මා සම්බුුදු සසුනේ අරහත්වය සාක්ෂාත් කළ පටාචාරා භික්ෂුණිය මොනතරම් වාසනාවන්ත ද?

‘‘වාසනාවන්තයි…!!!”

‘‘ඇඟේ නූල්පටක් නැතිව සම්බුදුරජාණන් වහන්සේ ළඟට ආව පටාචාරා භික්ෂුණිය ගෞතම සම්බුදු සසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතරින් අග‍්‍රස්ථානය ලැබුවා. අද කාලෙ එහෙම ඇඳුමක් ඇඟේ නැතිව කෙනෙක් දුවගෙන ආවා නම් එ් කෙනා මුළු ජීවිත කාලයක් මොන තරම් දේවල් ලෝකයෙන් අහයි ද? එ්ත් එදා එහෙම වුණේ නෑ. බුද්ධ ශාසනයක අසිරිය… බුද්ධ ශාසනයක පිළිසරණ…!

අපි මුල ඉඳල ම මතක් කර ගනිමු පටාචාරාගේ කථාව… එදා පටාචාරා අවුරුදු පහළොවේ දී ගෙදරින් පැනලා ගියේ වාසනාවට නෙමෙයි ද?”

ඇත්තටම එදා දර පළන්නා එක්ක නො ගොස් සිටු කුමාරයෙක් විවාහ කරගෙන අතුරු ආන්තරාවක් නැති ජීවිතයක් ගෙව්ව නම් පටාචාරා බුදුරජාණන් වහන්සේ හමුවට නො එන්නත් ඉඩ තිබුණා. එක අතකින් බලද්දි පටාචාරා දර පළන්නෙක් එක්ක පැනලා ගියේ වාසනාවටයි…

‘‘වාසනාවට…!”

‘‘ස්වාමියා අර විදිහට මැරුණෙ වාසනාවට නෙමෙයි ද? අඩු වයසින් මැරුණ දරුවො ලැබුවේ වාසනාවට නෙමෙයි ද? දෙමව්පියෝ, සහෝදරයා එක ම චිතකයේ දැවුනේ වාසනාවට නෙමෙයි ද?”

ඇත්තටම ස්වාමියා මිය නො ගියා නම්, එක දරුවෙක් හරි ඉතිරි වුණා නම්, අම්මා හරි තාත්තා හරි සහෝදරයා හරි ඉතිරි වුණා නම් මේ කථාව මෙහෙම නො වෙන්නත් තිබුණා… එහෙම බලද්දි එ් සියල්ල සකස් වෙලා තියෙන්නේ පටාචාරාවගේ වාසනාව ඉස්මතු වන විදිහටයි…

‘‘වාසනාවට…!”

‘‘ඉතින් අම්මේ, අම්මට තවම හිතෙනව ද අම්මගෙ දරුවා නැති වුණේ අවාසනාවකට කියලා…? දුක් නිවන ධර්මය මේ තරම් පිරිසිදු ව ඇහෙන කාලෙක අම්මගේ කුසට ඇවිත් එ් දරුවා මස් ලේ නහර ඇට ඇටමිදුලූවලට ම දැනෙන්න කියලා දීලා ගියා නේ ද ‘තව තවත් සසරේ යන්න හිතුවොත් වෙන්නේ මෙච්චරයි. මේ දුක් ම තමයි විඳින්න වෙන්නේ. දැන්වත් පාඩමක් ඉගෙන ගනින්. සසරෙ එනවට උඹට හොඳ පාඩම.’ කියලා. කෝ පාඩමක් ඉගෙන ගත්ත ද? තවම අඬනවා නේ ද?”

මේ කථාව ඇහුවට පස්සේ දුක් වෙන්න ද සතුටු වෙන්න ද කියන කාරණය අපට එකවර ම තේරුම් ගන්න බැරි වුණා. අප කිසිදා නො සිතූ විරූ මානයකටයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කථාව ගෙන ගියේ. මොන තරම් හිස්, මොන තරම් නිස්සාර කාරණාවක එල්බගෙන ද අප දුකින් තැවී ගියේ කියන කාරණය තේරුම් යද්දි පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර සුන්දර ධර්ම පර්යායෙන් සුවපත් වූ සිත් ඇතිව අපේ මුවඟට සිනහවක් නැගුණා.

‘‘අම්මේ, අම්මගෙ මනුස්සයත් මැරෙන්න ඕනෙ ද මේ දුකින් නිදහස් වෙන්න හිතට ගන්න? තව කී දෙනෙක් මැරෙන්න ඕනෙ ද මේ ඇවිදින ඇවිදිල්ල එපා වෙන්න? කියන්න බලන්න.”

අපට උත්තර නෑ. අත් හැරුණ දුක ගැන හිත හිතා දුක් වෙන එක අප නවත්වා ගන්නේ කවදා ද? මේ දුකින් නිදහස් වන මඟ තුළ අප ආපසු නො හැරෙන කෙනෙකු බවට පත් වන්නේ කවදා ද?

‘‘ගෘහ ජීවිතේ කාරණා මං දන්නේ නෑ අම්මේ. අම්මලාට දරුවො වුවමනා ඇති. එ් වුවමනා එපාකම් ඉෂ්ට කර ගන්න කලින් මේ දුකින් නිදහස් වෙන්න එ්කාන්ත සුදුසුකමක් ඇති කෙනෙක් වෙන එකයි කර ගන්න තියෙන්නේ. එ්ක කර නො ගන්න තාක් කල් දරුවො නිසා අම්මට අඬන්න ම යි තියෙන්නේ. එහෙම නැති නම් ‘දුක මා කරා පැමිණෙත්වා. පසුතැවිලි නො වී ඉන්නට මම පොරොන්දු වෙන්නම්.’ කියලා එ් දුක පිළිගන්න ලෑස්ති වෙන්න…”

පින්වත් ස්වාමීන් වහන්සේ සිනාමුසු ව පැවසුවා.

‘‘තව කාරණයක්. අම්මේ වත් පිළිවෙත් කරලා මහා සෑය ළඟට ඇවිත් භාරහාර වෙච්චි පමණින් දෙවිවරු මව්කුසට එයි කියලා හිතන්න එපා. දෙවිවරුන්ට කලින් වුණ දේවල් පේනවා. ඉස්සරහට සිද්ධ වෙන දේවලූත් පේනවා. දෙන්නා දෙමහල්ලෝ ගහ මරා ගන්නවා නම්, පොඩි දේටත් බැණ අඬ ගහ ගන්නවා නම් සතියක් හමාරක් සිල් රැකගෙන ඉඳලා ආරාධනා කරද්දි දෙවියො දකිනවා ‘මේ දෙන්නා දැන් මෙහෙම හිටියට පොඩි දේටත් මරා ගන්නවා. මං මෙතැනට ගියොත් වෙන්නෙ මටත් යුද්ධවලට මැදි වෙන්නයි. මේ රවට්ටලා මාව ගෙන්න ගන්න හැදුවට මං දන්නැතැයි දෙන්නගෙ හැටි.’ කියලා. ඉතින් එයි ද? ඉස්සරහ බලද්දි පේනවා, ‘මේ දෙන්නා හරි ම නපුරු, තරහ ගන්න දෙන්නෙක්. මං පන්තියේ පළමුවෙනියා නො වුණොත් මේ අම්මා මට කන්න නො දී තියනවා. මේ තාත්තා මට ටොකු අනිනවා. මගේ කන මිරිකනවා. මට වද කර කර පන්ති යන්න කියනවා.’ මෙහෙම දැක්කොත් දෙවියො එයි ද මෙහෙට? දිව්‍යලෝකයක් අත්හැරලා අපායක වැටෙන්න කැමති මොන දෙවිය ද අම්මේ? එහෙම දැක දැකත් ආවොත් ඉතින් එ් මහ මෝඩ ම මෝඩ දෙවියෙක් තමයි.

හැබැයි ඉතින් යකෙක් පෙරේතයෙක් නම් ඉඩක් තිබුණොත් නෑවිත් ඉන්න එකක් නෑ. ‘සෙම සොටු කකා ඉන්නවට වඩා, නපුරු දරුණු යක්කුන්ගේ කඩු පාර, හෙලි පාර, ගුටි පාර කනවට වඩා මේ යකයි, යකින්නියි ගාවට ගිහින් ටොකු කකා බඩගින්නේ හිටියත් සැපයි’ කියලා එහෙම කෙනෙක් නම් ඔන්න එන්න ඉඩ තියෙනවා.”

ස්වාමීන් වහන්සේ මඳ සිනාමුවින් මේ කාරණා පවසද්දි අපටත් සිනහවක් නැගුණා.

‘‘අම්මේ එ් නිසා ගුණධර්මයෙන් වැඩෙන්න. මෙත් සිත පුරුදු කරන්න. අම්මගේ තාත්තාගේ ගුණධර්ම හොඳ නම් දෙවි කෙනෙක් ආයුෂ ඉවර වෙද්දි මව්කුසට එ්වි. එ් නිසා ගුණයෙන් පිරෙන කෙනෙක් වෙන්න.”

පින්වත් ස්වාමීන් වහන්සේ එ් දහම් කථාව අවසන කළේ සියලූ දුක් නසන නිවන් මඟ තුළ හික්මීම උදෙසා බලවත් වූ කුසලඡන්දයක් අප සිත් තුළ ඇති කරවමින්. බලවත් වූ කුසලඡන්දයක් ඔබ සිත්හි ද ජනිත කරවීමට මේ දහම් පියසටහන උපකාරයක් වේවා!

මේ සත්‍ය කථාවේ අවසානය මෙසේ දක්වන්නේ සතුටින්. එ් දහම් අවවාදයන් ලද දිනයෙන් පසු දින ගණනාවක් ම, මේ දක්වා ම අප එ් කතාබහ සිහි කරමින් සතුටට පත් වනවා.

එතෙක් නො නැවතී මවකගේ නෙතින් දාරක ස්නේහයෙන් ගලා ආ කඳුළු වියළවා හරින්නට එ් දහම් කතාබහ සමත් වුණා. ඉතාමත් විරල අවස්ථාවක එ් නමින් කඳුළක් ඇයගේ නෙතට නැගෙද්දී, ‘‘ස්වාමීන් වහන්සේ කිවු කාරණා මතකයි නේ ද?” කියා ඇසීම පමණක් එ් කඳුළු නවත්වන්නට ප‍්‍රමාණවත්…!

බලන්න…! සංඝයා වහන්සේලා මුණගැසීම, දහම් කථාවේ යෙදෙන්නට ලැබීම එ්කාන්ත ලාභයක් ම යි! මනා වූ ලැබීමක් ම යි! එ් කරුණා දයා පිරි සිත් ඇති කල්‍යාණමිත‍්‍ර පින්වත් සඟරුවනට අපගේ නමස්කාරය වේවා!

(දහම් ඔසුවෙන් දුකින් පිරි හදවත් සුවපත් කරවමින් දම් අමා දන් දුන් අනුරාධපුරය ධම්මචේතිය මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේට ද ලිපිය සම්පාදනයේ දී උපකාර කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද මේ සියලූ පුණ්‍යධර්මයන් අනුමෝදන් වෙත්වා! එ් අමා නිවන් සුව දුර නොවේවා!!!)

සටහන
උදුලා පද්මාවතී