ගෙවාගෙන ආ සසර ගමන බොහෝ දිගු ය. මේ සසර ගමනින් බේරීමට නම් සිත පිරිසිදු කළ යුතු ම ය. පිරිසිදු නො කළ සිත තුළ මහා අනර්ථකාරී වූ සසර ගමන ම සකස් වේ. එය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළ සේක.

‘‘නාහං භික්ඛවේ අඤ්ඤං එ්ක ධම්මම්පි සමනුපස්සාමි, යං එ්වං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං චිත්තං.”

‘‘පින්වත් මහණෙනි, යම් විදිහකින් සමථ විදර්ශනා වශයෙන් දමනය නො කළ විට, වරදින් නො වැළැක්වූ විට, නො රැුකගත් විට, සංවර නො කළ විට, මහා අනර්ථයක් පිණිස හේතුවන විදිහේ යම් දෙයක් ඇත්නම්, පින්වත් මහණෙනි, එ් මේ සිත තරම් වෙන එක ම දෙයක් වත් මා දකින්නේ නෑ.”
(අදන්ත වර්ගය – අං. නි. – එ්කක නිපාතය)

මෙසේ මහා භයානක අනතුරක රැඳි මිනිස් වග මෙය නො තකා ම සසර ගමනේ යති. මේ සිත සංවර නො වීම පිණිසත්, දමනය නො වීම පිණිසත් පවතින කරුණුවලින් සිත මුදවා ගැනීමෙන් පිළිසරණ සදා ගත හැක.

‘‘පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් කලින් කල නිමිති තුනක් සිහිපත් කළ යුතු යි. කලින් කල සමාධි නිමිත්ත සිහිපත් කළ යුතු යි. කලින් කල වීරිය උපදවන කරුණු සිහිපත් කළ යුතු යි. කලින් කල උපේක්ෂාව ඇතිවන කරුණු සිහිපත් කළ යුතු යි.

පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් එ්කාන්තයෙන් සමාධි නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් එ් සිත කුසීත බවට වැටීමට ඉඩ තිබෙනවා.
පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් එ්කාන්තයෙන් වීරිය ඇතිවෙන නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් එ් සිත විසිරීමට වැටෙන්නේ ය යන කරුණට ඉඩ තිබෙනවා.

පින්වත් මහණෙනි, ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව විසින් එ්කාන්තයෙන් උපේක්ෂා නිමිත්ත පමණක් සිහිකරමින් සිටියහොත් එ් සිත ආස‍්‍රවයන් ක්ෂය වීමට මනා කොට සකස් නො වන්නේ ය යන කරුණට ඉඩ තිබෙනවා.

පින්වත් මහණෙනි, යම් කලෙක ධ්‍යාන භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව කලින් කල සමාධි නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල වීරිය ඇතිවෙන නිමිත්ත සිහි කරනවා නම්, කලින් කල උපේක්ෂා නිමිත්ත සිහි කරනවා නම්, එ් සිත මෘදුත් වෙනවා. කර්මණ්‍යත් වෙනවා. ප‍්‍රභාෂ්වරත් වෙනවා. බිඳී යන ස්වභාවයත් නැති වෙනවා. ආස‍්‍රවයන් ක්ෂය වීම පිණිස හොඳින් සමාධිමත් වෙනවා.”

එසේ නම් මේ සිත නිතර නිතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මෛත‍්‍රී භාවනාව ආදි භාවනා අරමුණක් තුළ සමාධි නිමිත්තක් තුළ රැුඳවිය යුතු ය. එමෙන් ම සසරෙහි බිය ඇතිවන කරුණු සිහිකළ යුතු ය. දිගු සසර ගමනේ ඇති භයානක බව නිතර නිතර සිහිකළ යුතු ය. මරණ සතිය සිහිපත් කළ යුතු ය. එමෙන් ම අටලෝ දහමින් කම්පා නොවන සිතක් ඇතිකර ගැනීමට අනිත්‍ය බවත්, දුක් බවත්, අනාත්ම බවත් සිහිපත් කරමින් උපේක්ෂාවට පත්වන අරමුණු නිතර නිතර සිහිපත් කළ යුතු ය.

මෙසේ කලක් සිත තුළ මේ නිමිති පවත්වාගෙන යාමෙන් මනා කොට සංවර වූ සිතක්, දමනය වූ සිතක් සකසා ගත හැකි වේ.

‘‘පින්වත් මහණෙනි, එ්ක මේ වගේ දෙයක්. රන්කරුවෙක් වේවා, රන්කරුවෙකුගේ ගෝලයෙක් වේවා, කෝවක් හදනවා. කෝවක් හදලා කෝවෙ කටට ගින්දර අවුළුවනවා.

කෝවෙ කටේ ගින්දර අවුළුවලා, අඬුවෙන් රත්තරං අරගෙන කෝවෙ කටින් තියලා කලින් කල පිඹිනවා. කලින් කල ජලය ඉසිනවා. කලින් කල එ් රන පැසුන – නො පැසුන බව අවධානයෙන් සොයා බලනවා.

ඉදින් පින්වත් මහණෙනි, එ් රන්කරුවා වේවා, රන්කරුවාගේ ගෝලයා වේවා එ් රත්තරං ටික එ්කාන්තයෙන් ගින්දර පිඹීම විතරක් කළොත්, එ් රත්තරං ටික පිච්චිලා යන එක තමයි සිද්ධ වෙන්නේ.

වතුර ඉසීම විතරක් කරනවා නම්, එ් රත්තරං ටික නිවිලා යන එක තමයි සිද්ධ වෙන්නේ.

අවධානයෙන් බලාගෙන සිටීම විතරක් කළොත් එ් රත්තරං ටික නියම ආකාරයෙන් පැසීමට පත්වෙන්නේ නැහැ කියන දේ තමයි සිද්ධ වෙන්නේ.”
(සුවණ්ණ කාරක සූත‍්‍රය)

‘‘පින්වත් මහණෙනි, අමු රන්වල පස්, වැලි, කැටකැබලිති ආදි ගොරෝසු උපක්ලේශ (අපිරිසිදු දේවල්) තිබෙනවා. ඉතින් පස් සෝදන කෙනෙක් වේවා, පස් සෝදන කෙනෙකුගේ ගෝලයෙක් වේවා එ් අපිරිසිදු අමුරන් දෙණෙහි විසුරුවලා සෝදනවා. හොඳට සෝදනවා. පිරිසිදු වන තුරු ම සෝදනවා. එ් අපිරිසිදු දේවල් නැතිවී ගියහම, එ්වා නැතිකරලා දැම්මහම, එ් අමුරන්වල මධ්‍යම ප‍්‍රමාණයේ උපක්ලේශ ඉතිරි වෙනවා. එ් කියන්නේ සියුම් ගල්කැට, ඝන වැලි ආදිය. ඉතින් එ් පස් සෝදන්නා වේවා, පස් සෝදන්නාගේ අතවැසියා වේවා, එ් අමුරන් ටික නැවතත් සෝදනවා. හොඳට සෝදනවා. නැවතත් සෝදනවා. පිරිසිදු වනතුරු ම සෝදනවා.

එතකොට එ් තිබුණ මධ්‍යම ප‍්‍රමාණයේ උපක්ලේශ නැතිවෙලා ගියහම, එ්වා නැතිකරලා දැම්මහම, එ් අමුරන්වල ඉතා සියුම් වැලි, කළුපාට කුඩු ආදි සියුම් අපිරිසිදු දේ ඉතිරි වෙනවා. ඉතින් එ් පස් සෝදන්නා වේවා, පස් සෝදන්නාගේ අතවැසියා වේවා, එ් අමුරන් ටික නැවතත් සෝදනවා. හොඳට සෝදනවා. පිරිසිදු වනතුරු ම සෝදනවා. එතකොට එ් තිබුණු ඉතා සියුම් ප‍්‍රමාණයේ උපක්ලේශයන් නැති වුණහම, නැති කරලා දැම්මහම අමුරන් ටික විතරක් ඉතිරි වෙනවා. ඊට පස්සේ රන්කරුවා වේවා, රන්කරුවාගේ අතවැසියා වේවා එ් අමුරන් ටික කබලක දාල ගිනි පිඹිනවා. හොඳින් පිඹිනවා. ඉතින් මලකඩ පිඹහැරිය ද හොඳින් පිඹහැරිය ද ශුද්ධකරලා පසෙකින් නො තැබූ කහට ඉවත් නො කළ එ් රන මෘදුත් නෑ. වුවමනා විදිහට සකස් කරන්නත් බෑ. ප‍්‍රභාෂ්වරත් නෑ. ඉක්මනින් කැඩෙනවා. වැඬේට අවශ්‍ය විදිහට යෙදෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, එ් රන්කරුවා හෝ රන්කරුවාගේ අතවැසියා හෝ එ් රනට ගිනි පිඹලා, මලකඩ ඉවත්කරයි ද හොඳින් ඉවත් කරයි ද එබඳු කාලයක් එනවා. එතකොට මලකඩ පිඹහැරිය ද හොඳින් පිඹ හැරිය ද ඉතා හොඳින් පිඹ හැරිය ද ශුද්ධකරලා පසෙකින් තැබූ කහට ඉවත් කළ එ් රන මෘදු වෙනවා. වුවමනා විදිහට සකස් කරන්නත් පුළුවන්. ප‍්‍රභාෂ්වරයි. කැඩෙන්නේ නෑ. වැඩේට අවශ්‍ය විදිහට යෙදෙනවා. එතකොට රන්පටක් වේවා, කරාබු වේවා, තැලි වේවා, රන්මාල වේවා, යම් යම් ආභරණ මෝස්තරයක් කැමති වෙනවා ද එ් ඕන දෙයක් තනාගන්න පුළුවන්.

අන්න එ් වගේ ම තමයි පින්වත් මහණෙනි, ධ්‍යාන ආදි භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුවගේ කාය දුසිරිත්, වචී දුසිරිත්, මනෝ දුසිරිත් කියන මේ ගොරෝසු උපක්ලේශ තියෙනවා නම්, හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති, භික්ෂුව එ් උපක්ලේශ අත්හරිනවා. දුරු කරනවා. නැති කරනවා. අභාවයට පත් කරනවා. එ් උපක්ලේශ ප‍්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට, ධ්‍යාන ආදි භාවනාවේ යෙදී වාසය කරන භික්ෂුව හට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදි මධ්‍යම සහගත උපක්ලේශ තිබෙනවා නම්, හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති භික්ෂුව එ් උපක්ලේශ අත්හරිනවා. දුරු කරනවා. නැති කරනවා. අභාවයට පත් කරනවා.

එ් උපක්ලේශ ප‍්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට ධ්‍යාන ආදි භාවනාවේ යෙදී සිටින භික්ෂුව හට සියුම් සහගත උපක්ලේශ ඇද්ද, එ් කියන්නේ තම පවුල්වල ප‍්‍රශ්න ගැන සිත සිතා සිටීම (ඤති විතක්කෝ), ජනපදවල ඇති දේවල් ගැන සිත සිතා සිටීම (ජනපද විතක්කෝ), තම ධර්ම මාර්ගයට අදාළ නැති දේවල් ගැන සිත සිතා සිටීම (අනුවිඤ්ඤත්තිපටිසංයුත්තෝ විතක්කෝ) ආදි සියුම් සහගත විතර්ක හට ගන්නවා. හොඳ සිතක් සකසමින් ඉන්න නුවණැති භික්ෂුව එ් උපක්ලේශ අත්හරිනවා. දුරු කරනවා. නැති කරනවා. අභාවයට පත් කරනවා. එ් උපක්ලේශ ප‍්‍රහාණය වී ගිය විට, නැති වී ගිය විට, ධර්ම මාර්ගයට අදාළ ස්වරූපයෙන් මතුවන ධර්ම විතර්ක ඉතිරි වෙනවා. එතකොට එ් සමාධිය ශාන්ත නෑ. ප‍්‍රණීතත් නෑ. සංසිඳීමක් ඇතිවන්නෙත් නෑ. ඉතා හොඳින් එකඟ වන්නෙත් නෑ. උත්සාහයෙන් කෙලෙසුන්ට ගරහා වළක්වා ගත් සිතක් විතරයි තියෙන්නේ.

නමුත් පින්වත් මහණෙනි, යම් කලෙක එ් සිත තමා තුළ ම මැනවින් පිහිටනවා නම්, හොඳින් තැන්පත් වෙනවා නම්, එකඟ වෙනවා නම්, එබඳු කාලයක් එනවා.

අන්න එ් සමාධිය නම් ශාන්ත යි. ප‍්‍රණීතයි. සංසිඳීමක් ඇතිවෙලා තියෙන්නේ. ඉතා හොඳින් එකඟවෙලා තියෙන්නේ. උත්සාහයෙන් කෙලෙසුන්ට ගරහා වළක්වා ගත් සිතක් නො වෙයි තිබෙන්නේ. එතකොට විශිෂ්ට ඤණයකින් සාක්ෂාත් කළ යුතු යම් යම් ධර්මයකට, විශිෂ්ට ඤණයෙන් සාක්ෂාත් කිරීම පිණිස සිත යොමු කරනවා ද එ් එ් ඤණයන් උපදවා ගැනීමට අවස්ථාව උදා වූ කල්හී එ් එ් ඤණයන් පිළිබඳ ව සාක්ෂාත් කිරීමෙහිලා පුළුවන්කමකට පත් වෙනවා.”
(පංසු ධෝවන සූත‍්‍රය)

මෙලෙස සමාධිමත් වූ සිත තුළ පිහිටා ඉර්ධි ප‍්‍රාතිහාර්යය ඤණය, පුබ්බේ නිවාසානුස්සති ඤණය, අනුන්ගේ සිත් දකිනා ඤණය, ආසවක්ඛය ඤණය ආදි ඤණයන් උපදවා ගතහැකි බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

එසේ නම් පළමුව ත‍්‍රිවිධ සුචරිතය ඇතිකර ගත යුතු ය. ඉන් පසුව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්කවලින් සිත පිරිසිදු කළ යුතු ය. ඉන් පසුව ඤති විතර්ක, ජනපද විතර්ක සහ ධර්ම මාර්ගයට අදාළ නැති විතර්කවලින් සිත පිරිසුදු කළ යුතු ය. මෙසේ පිරිසිදු වූ සිත හොඳින් සමාධිමත් කළ යුතු ය. සමාධිමත් වූ සිත මනා අවබෝධයක් කරා රැුගෙන යයි.

ගෞතම බුදු සමිඳුන්ගේ පිළිසරණ ලබනු කැමති ශ‍්‍රාවකයා හට මෙසේ පිරිසිදු කරන ලද සිතෙන් සසර දුක් අවසන් කොට නිර්වාණ සුව ලැබිය හැක. ඔබට ද සසර දුක් ගිනි නිවා නිර්වාණ සුව අත්වේවා!

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන්වහන්සේ නමක් විසින් සම්පාදිතයි