highlights of the week
Home » අක්මුල් සොයා » දහම් ඔසුවෙන් අමා සුව

දහම් ඔසුවෙන් අමා සුව

මුළු ලෝකයට ම සාමය සතුට සැනසිල්ල නිවීම උදාකර දුන් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල නිමා වෙමින් වෙසක් සඳ අවපසට යද්දී සිරිලකට ම සුවිශේෂී වූ උතුම් පුන් පොහොය දිනයක් උදාවෙනවා.. අනුබුදු මිහිඳු මාහිමියන් එ් සම්බුදුරජාණන් වහන්සේගේ සාමයේ සංදේශය රැගෙන මේ හෙළ දීපය ධර්මයේ ආලෝකයෙන් එ්කාලෝක කළ පොසොන් පුන් පෝය දිනයයි එ්…

පෝයෙන් පෝය ගෙවිල යනව කියන්නේ අපිට ඉතාම දුර්ලභව ලැබුණ මේ මනුස්ස ජීවිතය ගතකරන්න ලැබිල තියෙන කාලය ටිකෙන් ටික නිමා වෙමින් යනව කියන එකයි. ඉතාම දුර්ලභව ලැබුණ මේ බුද්ධ ශාසනයේ උණුසුම ලබන්නට තිබුණ කාලය නිම වෙමින් යනව කියන එකයි.

අසංබ්‍යෙය කල්ප ලක්ෂ ගණන් ඇස් ඉස් මස් ලේ දන්දෙමින් අනන්ත වූ දුකක් විඳලා පාරමී පුරණය කරගෙන බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ මිනිසුන්ට යහපත් සමාජයක් බිහි කරන හැටි කියල දීල යන්න විතරක් නෙවෙයි. මිනිසුන්ට ව්‍යාපාර සාර්ථකව දැහැමිව කරගෙන යන හැටි විතරක් කියාදෙන්නට නෙවෙයි. මිනිසුන්ට ගෘහ ජීවිතය සාර්ථක කර ගන්න විදිය විතරක් කියල දීල යන්නට නොවෙයි. පාලකයන්ට රාජ්‍ය පාලනය මනා කොට කරන ආකාරය විතරක් කියල දීල යන්නට නෙවෙයි.

සිල්පද ආරක්ෂා කරන හැටි විතරක් කියල දීල යන්නට නෙවෙයි. සිත එකඟ කරන හැටි විතරක් කියල දීල යන්නට නෙවෙයි.

බෝසතාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්සරත් එ් හැමදේම ලෝකයේ තිබුණා… රජවරු හොඳින් රාජ්‍ය කළා. රටවැසියන් හොඳින් ජීවිත ගත කළා. බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්න දවසේ මහාමායා දේවිය සිල් සමාදන් වෙලයි හිටියේ. එ් කියන්නේ සීලයත් තිබුණා… බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදුණ දා අසිත තවුසා දිවා විහරණයට දෙව්ලොව ගිහින් හිටියේ. එ් කියන්නේ ඉහළ සමාධි ඍධි බල ලෝකයේ තිබුණා.

බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එ් සියලූ දේ ආර්ය පිළිවෙතකට ගළපා දුන්නු බව ඇත්තක්. එ්ත් අපි තේරුම් ගන්න ඕනෙ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන එකේ නියම අරමුණ.

නැත්නම් අපි මේ පෝයෙන් පෝය ගෙවිල ගිහින් ජීවිත අවසන් වෙලා යද්දී බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කොට වදාළ ධර්මයේ නියම අරුත තේරුම් ගන්න අසමත් වෙලා අර මම පෙර කිවුව කාරණාවලට ම සීමා වෙලා ආයෙමත් සසරට ම වැටෙනවා.

බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ එක ම අරමුණකින්.. එ් තමයි අනවරාග‍්‍ර සසර ගමනක පැටලි පැටලී ගිය සත්වයින්ට එ් සසර ගමනින් නිදහස් වන මග කියා දීම..

මේ මුළු සසර ගමන ම හැදිලා තියෙන්නෙ දෘෂ්ටියක වැරැුද්දෙන්.. එ් දෘෂ්ටිය නිවැරදි කර ගත්ත ගමන් එයා සසරට අයිති නැති කෙනෙක් බවට පත්වෙනවා.. එ්ක තමයි සම්මා දිටිඨිය… එ්ක උපදවා ගන්න නම් සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය කර ගන්නට ම වෙනවා.

මේ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උපමා දෙකේ අර්ථය හරියට වැටහුනොත් උන්වහන්සේ එහි වටිනාකම හමුවේ අනෙක් සියලූ දේට දී ඇති තැන හිතාගන්නට පිළිවන්..

එ්ත් අද අපි කරන්නේ එ්ක ද? එ්කේ අනිත් පැත්ත ද? කියල අපිට නැවත හැරිල බලන්නට පණිවිඩයක් දෙමිනුයි මේ වෙසක් සඳ බැසයන්නෙ.. මේ පොසොන් සඳ උදාවෙන්නේ…

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔබේ හිසට ගිනි ගත්තා කියල හිතන්න එ් ගින්න නිවන්න ගන්න උත්සාහය පසෙක තබා ඊට වඩා වැඩි වෙර වෑයමක් ගන්න මේ සක්කාය දිට්ඨිය ප‍්‍රහාණය කර ගන්න…

භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔබ ආයුධයකින් පහර කෑවා කියන්න… ආයුධයකින් පහර කාපු කෙනෙක් එ් තුවාලය සනීප කර ගන්නට ගන්න වෑයමට වඩා වැඩි වෑයමක් මේ සක්කාය දිටිඨිය ප‍්‍රහාණය කර ගන්නට යොදවන්න.

මොන වාගේ වෑයමක් ද? දවසට උල් පහර 300 ගානේ වසර 100ක් එක දිගට විඳින දුක හරි විඳින්න කියා වදාළා මේ වෙනුවෙන්…

ඉතින් පින්වත් ඔබ සැවොම සිතන්න… මා එ් බුද්ධාවවාදය පිළිපදින කෙනෙක් ද?

මා මේ කාරණය කියන්නට අදහස් කළේ ද හේතුවක් ඇතිවයි.. අප කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ, ඍජුව ම නිවන් මග නොවන, සමාජ ජීවිතය යහපත් කර ගැනීමට අදාළ දේවල් කියා දෙනකොට බොහෝ දෙනා උනන්දු වෙනවා. එ් ගැන අහනවා. හොයනවා.. එ්ක ම ජීවිතය කරගෙන නවතිනවා… භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික අරමුණ අමතක කරලා දානවා.. එය එසේ වුවහොත් ඔබ සසරේ පමා විය හැකියි..

අපි පසුගිය කලාපයේ දී කතා කළා භාග්‍යවතුන් වහන්සේ ගිලන් වූ ස්වාමීන් වහන්සේලා උදෙසා පනවා වදාළ බෙහෙත් වර්ග ගැන කරුණු ටිකක්. මෙවරත් අප කල්පනා කළා මහාවග්ගපාළියෙහි භේසජ්ජක්ඛන්ධකයෙහි එන එ් සම්බුදු සිරි මුව මඬලින් ම වදහළ බෙහෙත් වර්ග ගැන කියාදෙන්නට එක් අවස්ථාවක ස්වාමීන් වහන්සේනමක් සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබුවා. මෙය භාග්‍යවතුන් වහන්සේට සැල කළ කල්හි, ”පින්වත් මහණෙනි, මළ, මුත‍්‍ර, උණු අළු, මැටි යන යන සතර ගෙන මහා විකටය නම් බෙහෙත සාදා දෙන්න.” යැයි අනු දැන වදාළා.

මෙහි දී සර්ප දෂ්ටවලින් වැළකීම පිණිස නිතර භාවිත කරන ලෙස අනුදැන වදාළ ඛන්ධ පිරිතත් සිහියට නැගෙනවා. අප නිතර එ් ආරක්ෂක පිරිත භාවිත කරනවා නම් සර්ප දෂ්ට කිරීම්වලින් ආරක්ෂා වන්නටත් හැකියාව තියෙනවා.

තවත් විටක එක්තරා ස්වාමීන් වහන්සේනමකට දරුණු ග‍්‍රහණි රෝගයක් හටගත්තා. අනෙකුත් ස්වාමීන් වහන්සේලා මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළා.

”පින්වත් මහණෙනි, බත් වියළා පුළුස්සා දිය කොට පෙරා ගත් බත් කාරම පොවන්නට අනුදැන වදාරමි.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

තවත් ස්වාමීන් වහන්සේනමකට පාණ්ඩු රෝගය හැදුණා. මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළ විට ‘‘ගෝමුත‍්‍රයෙහි ලූ අරළු පොවන්නට අනුදැන වදාරමි.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.

සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා සුවඳ සහිත ආලේප සමෙහි ගැල්වීම සිදුකරන්නේ නැහැ. එහෙත් එක් අවස්ථාවක සමෙහි ආබාධයක් හටගත් ස්වාමීන් වහන්සේනමකට සුවඳ ආලේපයක් ගැල්වීමට අවසර දී වදාළා.

මේ හැම කරුණකින් ම ප‍්‍රකට වන්නේ උන්වහන්සේගේ මහා කරුණාවයි… අසූචි මළ මුත‍්‍ර වැනි කටුක බෙහෙත් පවා නියම කොට උත්සාහ දරන්නේ ජීවිතය ආරක්ෂා කර දීමටයි… එසේ ආරක්ෂා කර ගත් ජීවිතය තුළ එ් අමා ඔසුව ලබා දී සංසාර රෝගය සුවපත් කිරීමට ම යි.

මෙසේ මහා කරුණාවෙන් පින්වත් ස්වාමීන් වහන්සේලාට අසනීප තත්ත්වයන් සඳහා බෙහෙත් පවා පනවා වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ බෙහෙත් පැනවීමේදීත්, බෙහෙත් වැළදීමේදීත් නිවන් මගට හානිකර වන අංශු මාත‍්‍ර ඇවැතක් හෝ වන්නට ඉඩ තැබුවේ නෑ. උන්වහන්සේ සියල්ලට ම වඩා එ් අමා නිවන පිණිස වන අමා ඔසුව පිරිසිදුව ම තබාගන්නා ආකාරය මේ සිදුවීමෙන් ඔබට පැහැදිලි වේවි.

භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩිද්දී රජගහනුවරට පැමිණුනා. එහි දී භාග්‍යවතුන් වහන්සේට උදරයේ වාතාබාධයක් හටගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මේ උදරාබාධයට සුදුසු බෙහෙත එ් තමයි තිකුළු කැඳ කියලා. එ්ක හදන්නේ තල, සහල්, මුං කියන තුන් වර්ගය යොදාගෙන. ඉතින් චාරිකාවේ වඩින බැවින් භාග්‍යවතුන් වහන්සේට කීප වරක් මේ බෙහෙත් කැඳ සාදා දෙන්නට සිතා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ තුන් වර්ගය දායකයන්ගෙන් ඉල්ලාගත්තා. බොහෝ ම ශ‍්‍රද්ධාවෙන් එ් බෙහෙත් කැඳ පිළියෙළ කළා.

භාග්‍යවතුන් වහන්සේ දම් සභා මණ්ඩපයේ සිටිය දී ”අනුකම්පාවෙන් මේ බෙහෙත් කැඳ වළඳන සේක්වා!” කියා පිළිගැන්වුවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ, ”පින්වත් ආනන්ද, මේ කැඳ කොතැනින් ද ලැබුණේ?” කියා විමසා වදාළා.

‘‘ස්වාමීනී, මා විසින් මේ ද්‍රව්‍ය ඉල්ලාගෙන මා විසින් ම යි පිළියෙළ කළේ.”

‘‘පින්වත් ආනන්ද, මෙය නොසිදුවිය යුත්තකි. අකැප වූවෙකි. මෙයින් දුකුලා ඇවැත් තුනක් සිදු වේ.” කියා උන්වහන්සේගේ අසනීප තත්ත්වය ඉවසාගෙන එ් බෙහෙත් කැඳ වැළඳීම ප‍්‍රතික්ෂේප කළා.

‘‘පින්වත් ආනන්ද ඇවතක් නො වෙන්නට නම් පිටත තබන ලද, පිටත පිසින ලද, අන්‍යයන් විසින් පිසින ලද දෙයක් විය යුතු ය.” යැයි ද දේශනා කොට වදාළා.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී පනවන ලද මේ විනය ඇතැම් දුර්භික්ෂ කාලවල දී ලිහිල් කළ අයුරු ද මෙහි දී දක්නට ලැබෙනවා.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ කායික රෝගවලින් අත්මිදීම පිණිස පනවා වදාළ නොවරදින බෙහෙත් පරිහරණය කරමින් කය නිරෝගීව පවත්වා ගනිමින්, භාග්‍යවතුන් වහන්සේ මහා භයානක වූ සංසාරික රෝගයෙන් අත්මිදීම පිණිස පනවා වදාළ එ් අමා ඔසුවෙන් ද පිහිට පිළිසරණ ලබන්නට අප සැමට වාසනාව උදාවේවා!

මහාමේඝ 2016 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්... එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා....