අපි කවුරුත් සැප විඳින්න කැමතියි. සැපය කායිකවයි විඳින්නේ. සොම්නස මානසිකව විඳින කාරණයක්. සැපයත් සොම්නසත් විඳිනු පිිණිස ශ‍්‍රාවක අපි කරන්න ඕන කුමක් ද? මේ ධර්ම මාර්ගය පුරුදු කරන එක ම යි. ධර්මය පුරුදු කිරීමෙන් ලබන සැපය අග‍්‍ර වූ එකක්, උතුම් වූ එකක්, ශ්‍රේෂ්ඨ වූ එකක් කියල අපි පිළිගන්න ඕන. මේ ධර්මයේ තිබෙන ආශ්චර්යයක් තමයි තමාත් සුවපත් කොට අන් අයත් සුවපත් කරන එක. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් තමා තුළ වැඩෙනවා යැයි දැකල ලබන සතුට ම සැපයක් නේ ද?

එතකොට එ් ධර්මය පුරුදු කිරීම නිසා ලැබෙන ප‍්‍රතිලාභය කෙතරම් සැපයක් උදා කර දෙයි ද? අන්න එ් සැපය ලබන්න කැමැත්ත ඇති කර ගන්නයි ඕන. එ් කැමැත්ත විසින් අපට මනා කොට සැප උපදවාලන ප‍්‍රතිපදාවක් ජීවිතයට එක් කර ගන්න හැකි වෙනවා.

බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා. ‘‘මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව මේ ජීවිතයේ දී මත් සැප සේ වසන්නේ වෙයි. දුක්ඛිත නො වූත්, පීඩා රහිත වූත්, කෙලෙස් දාහයෙන් තොර වූත් ජීවිතයක් ගෙවයි. කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුත්තේ ය.” කියල. එහෙනම් උපාසක උපාසිකා කවුරුත් මේ කියා දෙන ආනිසංස ලබන්නට කැමති නම්, පුරුදු කළ යුත්තේ මේ පස් කරුණ ම තමයි. මොනවා ද මේ කරුණු පහ? ‘‘මහණෙනි, මෙහිලා භික්ෂුව ශ‍්‍රද්ධාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳව ලැජ්ජාව ඇත්තේ වෙයි. අකුසල් පිළිබඳ ව භය ඇත්තේ වෙයි. අකුසල් දුරු කිරීමටත්, කුසල් වැඞීමටත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. ප‍්‍රඥාව ඇත්තේ වෙයි.”

දැන් එකවර හිතට එන්න පුළුවන්. ‘‘ආ මේව අපි අහල තියනව නොවැ. මේව අපි පුරුදු කරනව නොවැ” කියල. ඇත්තටම තමා තුළින් ම බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට මේ ධර්ම කාරණා පුරුදු කරනවා ද කියල. කෙනෙක් ශ‍්‍රද්ධා සම්පන්න වෙනවා කියන එක සරල කාරණයක් කියල හිතන්න එපා.

‘‘සද්දහති තථාගතස්ස බෝධිං” කියන පාඨය අසා තිබෙනවා නේ ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගුණ වශයෙන් අදහා ගැනීම තමයි ශ‍්‍රද්ධාව වන්නේ. සම්බුදු ගුණ කටපාඩමින් කියන්න පුළුවන් වෙයි. බුදු ගුණ කියල වන්දනාමාන කරන්න පුළුවන් වෙයි. එ්ත් අපි අවබෝධය අදහාගෙන ද වාසය කරන්නේ කියල තමා තුළින් ම දකින්න ඕන. දැන් බලන්න, බුදු ගුණ අදහාගෙන වාසය කරන කෙනා එ් ධර්මය ඇහෙද්දී ඇහෙද්දී එ් කාරණා පුරුදු කරන්න පෙළඹෙනවා නේ ද? අපිට එහෙම හිතක් තියනවා ද කියල විමසල බලන්න.

තථාගත ධර්මය ඇසෙන විට එ්කෙන් මාත‍්‍ර හෝ කාරණයක් තමාගේ ජීවිතයෙන් දකින්න උත්සාහ කරනවා නම්, තමා ම පුරුදු කරන්න උත්සාහ කරනවා නම්, අන්න එ් කෙනාට ශ‍්‍රද්ධාව එපමණකින් ම පිහිටලා. තථාගත අවබෝධය අදහාගත්ත කෙනා එ් අවබෝධය පුරුදු කරනවා ම යි. එ්ක ධර්මතාවයක්. එසේ නැති කෙනා අවබෝධය කටපාඩම් කර ගන්නවා, සජ්ඣායනා කරනවා, එහෙමත් නැත්නම් අවබෝධය ගැන කතාබස් කරනවා, එපමණයි එයා කරන්නේ. එ් අවබෝධය තමාගේ ජීවිතය තුළ පුරුදු කරන්නෙ නෑ. එ්කට එයාට කැමැත්තක් නෑ.

බලන්න, තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහාගෙන වාසය කරන කෙනාට එ් ධර්මයේ කියා දෙන පින පව ගැන වැටහීමක් තිබෙනවා නේ ද? පිනේ සැපයත්, පාපයේ දුකත් අසන්නට එයාට හැකි වෙනවා. එ් ධර්මය ම නිතර නිතර හිතනකොට එයාට යම් සිහි නුවණක් උපදිනවා. අන්න එ් සිහිනුවණ නිසා එයාට පවු කරන්න ලැජ්ජාව උපදිනවා. කයෙන් දුෂ්චරිතයෙහි යෙදීමටත්, වචනයෙන් දුශ්චරිතයෙහි යෙදීමටත්, මනසින් දුශ්චරිතයෙහි යෙදීමටත් ලැජ්ජාව ඇති වෙනවා. පාපී අකුසල් දහම් තමා තුළ ඇති වීම ගැන ලැජ්ජාවට පත්වෙනවා. මේ කාරණය සිද්ද වෙන එකක්. ධර්මතාවයක්. මේ ආකාරයෙන් ම සිතේ ධර්මය වැඩෙනවා කියන විශ්වාසය ඇති වෙන්නෙ තථාගත ධර්මය අදහාගෙන වාසය කරන කෙනාට. එ් කෙනාට ඇත්තටම සිහි නුවණ නිසා කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය ඇති වෙනවිට සතුටක් සැපයක් නේ ද ඇති වෙන්නෙ. බුදු රජාණන් වහන්සේ වදාළ දේ මගේ හිතේ වැඩෙනවා නේ ද? කියන සැපයෙන් තමා එයා වාසය කරන්නේ.

එ් වගේ ම ඉපදුණු සිහි නුවණ නිසා පවු කරන්න බය උපදිනවා. කයෙන් දුෂ්චරිතයෙහි යෙදීමටත්, වචනයෙන් දුශ්චරිතයෙහි යෙදීමටත්, මනසින් දුශ්චරිතයෙහි යෙදීමටත් බයක් ඇති වෙනවා. පාපී අකුසල් දහම් තමා තුළ ඇතිවීම ගැන බයට පත්වෙනවා. මේ ‘පවු කරන්න ඇති බය’ පීඩාකාරි අකුසලයක් නෙවෙයි. මෙතන කියවෙන්නෙ එවැනි බයක් නෙවෙයි. ධර්මය අහල, එ් ධර්මය ඔස්සේ බහුල වශයෙන් හිතල සිහි නුවණින් වාසය කරන කෙනාට උපදින ධාර්මික සංවරයක් තමයි මේ බය කියන්නෙ.

මේ විදිහට ඉපදුණු සිහි නුවණ මුල් වෙලා, ලැජ්ජා බය මුල් වෙලා, එයා ධර්මයෙන් අසා දැනගත්ත, එ්ත් තවමත් සිතේ නො වැඩුණු කුසල් උපදවන්න වෑයම් කරනවා. නො වැඩුණු අකුසල් වැඩෙන්න ඉඩ නො දී බැහැර කරනවා. ඉපදුණු අකුසලය ප‍්‍රහාණය කරන්න වෑයම් කරනවා. ඉපදුණු කුසලය රැකගන්න වෑයම් කරනවා. එ්ක වැඩිදියුණු කරනවා. අන්න එ්ක එයාගෙ වීරිය යි. ඉතින් ”මේ ධර්මය මේ කාලෙ පුරුදු කරන්න බෑ” කියල අත් හරින්නෙ නෑ එයා. කරන්න බැරි වෙනවා නම් හේතුව එයාට ශ‍්‍රද්ධාව වැඩිල නෑ. ධර්මය ඔස්සේ හිතන පුරුද්ද ඇති කරගෙන නෑ. එ් නිසා සිහි නුවණ වැඩිල නෑ. එ් නිසා පාපයට ලැජ්ජා බය ඇති වෙලා නෑ. අන්න එ් හේතු නිසා තමයි එයා කුසලය වඩන්න, අකුසලය අත් හරින්න වෑයම් කරන්නෙ නැත්තෙ.

බලන්න සේඛ බල වඩන්න බෑ කියල මෙකල කවුරුහරි කියනවා නම්, එ්ක තථාගතයන් වහන්සේට ගර්හා කිරීමක් නේ ද? ශ‍්‍රාවකයාගේ මෙලොව ජීවිතයට ධර්මයේ ආරක්ෂාව ලබා දෙන, පරලොව දෙව් ලොව උපදවන, මේ ප‍්‍රතිපදාව වඩන්න පුළුවන් එකක් කියන පිළිගැනීම අපි ඇති කර ගන්න ඕන. ඉතින් මේ ආකාර ශ‍්‍රද්ධාව ඇති කෙනාට, මේ ආකාර ධර්මය ඔස්සේ හිතන කෙනාට, මේ ආකාර සිහි නුවණක් ඇති කෙනාට, මේ ආකාර පවට ලැජ්ජා බය ඇති කෙනාට, මේ ආකාර විරියක් උපදවා ගත්ත කෙනාට ‘‘මේ තමයි දුක” කියල ජාති ජරා මරණ ගැන සිහි කරන්න පුළුවන් නේ ද? ”මේ තමයි දුකේ හටගැනීම” කියල සිහි කරන්න පුළුවන්. ”මේ තමයි දුකේ නැතිවීම” කියල සිහි කරන්න පුළුවන්. ‘‘මේ තමයි දුක නැතිවන මාර්ගය” කියලත් සිහි කරන්න පුළුවන්. අන්න එයාට රූපයේ හටගැනීම නැතිවීම, විඳීම්වල හටගැනීම නැතිවීම, හඳුනාගැනීම්වල හටගැනීම නැතිවීම, චේතනාවේ හටගැනීම නැතිවීම, විඤ්ඤණයේ හටගැනීම නැතිවීම දකින්න පුළුවන් කලක් එනව. එ්ක එයාගේ ප‍්‍රඥාවයි.

මේ විදිහට සේඛ බල වැඩූ කෙනා මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කරනවා. දුක් නැති, පීඩාවන් නැති, කෙලෙස්වලින් දැවෙන්නෙ නැති ජීවිතයක් ඇති කර ගන්නවා. අන්න එ් ‘‘ශ‍්‍රාවකයා කය බිඳී මරණින් මතු සුගතිය කැමති විය යුතුයි” කියලයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ‘‘කැමති විය යුතුයි” කියන්නේ කැමති වුණත් අකමැති වුණත් සුගති ලෝකයේ උපදිනවා. මේ ප‍්‍රතිපදාව නිසා ඔහුට සුගතිය සකස් වෙලා ඉවරයි. එහෙනම් අපි මනා කොට, පිළිවෙළට මේ ධර්මය පුරුදු කරන්න කැමැත්ත ඇති කර ගන්න ඕන. මෙතරම් සරල ආකාරයෙන් ධර්මය හෙළි වූ කාලයක ඇයි අපි මෙය පුරුදු කරන්න පරක්කු වෙන්නෙ? ඇයි මේ ප‍්‍රතිපදාවෙන් තොරව සැපයක් හොයන්නෙ? මතු උපතක් පතන්නෙ? ඵලක් නෑ නේ ද? අග‍්‍ර වූ රත‍්‍රන්වලින් හැදූ මාර්ගය අපට මේ දැන් ඇසෙමින් තියෙනවා. එහෙනම් මඩ සහිත ගැල් මාර්ගවල යන එකේ තේරුමක් තියෙනවා ද කියල හිතන්න. මේ විදිහට සේඛ බල වැඩූ කෙනාට නේ ද දේවතානුස්සතිය කරන්න පුළුවන්? ඇයි එ්? දෙවියන් හා සම කරන්න තමා වැඩූ ධර්මයක් තියෙනවා. මෙසේ සේඛ බල වඩන කෙනා පොඩි පිනක් කළත් මහත් ඵලයි මහානිසංසයි. විශාල පින්කම්වල විපාක ගැන කවර කථා ද? ඉතින් අපි සියලූ ම දෙනාට දෙව්ලොව උපදින සොඳුරු ප‍්‍රතිපදාව පුරුදු කරන්නට වාසනාව උදාවේවා…!

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි