highlights of the week

මහා වනාන්තරයක් ගිනි ගෙන දැවෙද්දී පුංචි ම පුංචි හමිංබර්ඞ් කිරිල්ලක් තමන්ගේ තුඩින් වතුර පොද පොද ගෙන ඇවිත් එ් ගින්නට ඉසින්න පටන් ගත්තා. ඈත තිබෙන ගංගාවට පියාඹා ගිහින් තුඩග රැුඳෙන වතුර බිංදු අරන් ඇවිත් මහා ගින්නක් නිවන්නට උත්සාහ දරන ඇය දැකපු වනයේ උන්නු අලියෙක් ඇයට අවමන් කළා.

‘‘මෝඩ කිරිල්ලියේ… ඔය විදිහට වතුර ඩිංගිත්තක් අරන් ඇවිත් මේ මහා ගින්න නිවන්න පුළුවන් කියල ද නුඹ හිතන්නේ? අපරාදෙ නුඹේ මහන්සිය…”

හමිංබර්ඞ් කිරිල්ල මෙහෙම උත්තර දුන්නා.

‘‘මං කරන්නේ මට පුළුවන් හොඳ ම දෙය යි…!”

තමන්ට පුළුවන් හොඳ ම දේ කරන එ් පුංචි කිරිල්ල අනුගමනය කරන පිරිසක් බිහි වුණොත් වනාන්තරයේ ගින්න නිවන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. එ් විදිහට හිතපු පුංචි ගැහැනියක් තමයි ලෝකය පුරා ‘අප‍්‍රිකාවේ ගස් අම්මා’ නමින් සම්භාවනාවට පාත‍්‍ර වූයේ. ඇය නමින් වංගාරි මාතායි.

කෙන්යාවේ උපන් වංගාරි නැගෙනහිර අප‍්‍රිකාවෙන් ම ආචාර්ය උපාධියකට හිමිකම් කී පළමු කාන්තාව බවට පත් වූවා. ඇය විශ්වවිද්‍යාල මහාචාර්යවරියක්. 1998 වර්ෂයේ දී කෙන්යානු රජය එරට රක්ෂිත වනාන්තරයකින් කොටසක් ස්වකීය දේශපාලන හිතවතෙකුට පැවරීමට එරෙහි ව විරෝධතාවයක් දියත් කළ වංගාරි ඇතුළු පිරිස කුරිරු මැර ප‍්‍රහාරයකට ලක් වුණා. මෙසේ නොයෙක් දේශපාලනික අඩම්තේට්ටම්වලට ලක් වෙමින්, සිරගත කිරීම්වලට පවා බඳුන් වෙමින් කෙන්යාවේ වන ගහනය ඉහළ නැංවීම පිණිස ඇය දිගින් දිගට ම ක‍්‍රියාකාරී වූවා. ‘ගී‍්‍රන් බෙල්ට් මූව්මන්ට්’ නමින් ඇය විසින් ගෙන ගිය රුක් රෝපණ ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් ලෙස කෙන්යාව තුළ මිලියන 30ක ගස් ප‍්‍රමාණයක් රෝපණය කෙරුණා. ලෝකයේ අවධානයට පාත‍්‍ර වූ ඇයගේ මේ ක‍්‍රියාකාරීත්වය අනුගමනය කෙරෙමින් ලොව පුරා රෝපිත ශාක ප‍්‍රමාණය බිලියන 11ක් ලෙසින් දැක්වෙනවා.

බලයෙන්, සවි ශක්තියෙන් යුතු වූ පිරිස් අවමන් කරද්දී, බාධා ගෙනෙද්දී අඛණ්ඩ ගමනක තමන්ට කළ හැකි හොඳ ම දෙය සිදු කරමින් ඉදිරියට ම ගිය ඇය 2004 වර්ෂයේ දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ එයට උරුමකම් කී පළමු කළු ජාතික අප‍්‍රිකානු කාන්තාව ලෙස ඉතිහාසගත වෙමින්. ඇය තම ජීවිතයේ තේමාව කර ගත්තේ තුඩින් දිය බිඳෙන් බිඳ ගෙනයමින් මහා ගින්නක් නිවා වනාන්තරයක් සුරකින්නට වෙහෙස වන හමිංබර්ඞ් කිරිල්ලව යි.

රූස්ස වනාන්තර කපා බිම හෙළන, අන් සතු කරවන පාලකයන් සමඟ උරෙන් උර හැපෙමින් ඇය සටන් වැදුන නිසා කෙන්යාවේ පමණක් නො වෙයි ලොව පුරා වන ගහනයත් ඉහළ නංවන්නට ඉඩ ලැබුණා. පරිසරයට ආදරය කළ, පාරිසරික සෞන්දර්යය ආරක්ෂා කිරීම තුළ දරිද්‍රතාවය දුරු කරන්නට ඉඩක් විවෘත වන බව විශ්වාස කළ ඇය යමපල්ලන් සමඟ වෙසෙමින් දිව්‍යලෝකයක් නිම කරවන්නට ගත් වෙහෙස අපමණයි. එ් අපමණ වෙහෙස ඵල දැරූ අයුර තම ජීවිත කාලය තුළ ම දකින්නට ඇය වාසනාවන්ත වුණා.

වංගාරිගේ ජීවිත පුවත සෑම පරිසර දිනයක දී ම ලෝකයේ කවර හෝ තැනෙක සිහිපත් කෙරෙනවා. යහපත් දෙයට අඛණ්ඩ ව කැපවීමට ඇති හැකියාව ලෝකයේ විරලයි. එ් විරල හැකියාවෙන් සන්නද්ධවයි වංගාරී කෙන්යාව හරිත පියසක් වගට පත් කරලීමට සටන් වැදුනේ. එ් කැපවීම සාමාන්‍ය ලෝකය තුළ අසාමාන්‍යයි. ලෝකය ඇය ගැන කථා කළ නිසාවෙන් ගරු සම්භාවනාවන් ඇය කරා පැමිණියා වුවත් එය එසේ නො වන්නට දේශපාලනික පළිගැනීම් සහ තර්ජන ගර්ජන හැර අන් යමක් මේ පරිසර සත්කාරය තුළ කෙන්යාවෙන් ඇය බලාපොරොත්තු නො විය යුතු ව තිබුණා.

මඝ මාණවක ව උපත ලබා සිටිය දී අප මහා බෝසතාණන් වහන්සේ ගස් කොළන් සිටවූ ආකාරය, ඇළ ෙදාළ මංමාවත් පාලම් පිළිසකර කළ ආකාරය, ජනතාවට හිතසුව සැලසූ ආකාරය කුලාවක ජාතකයේ දැක්වෙනවා. ගම්මුලාදෑනියාගේ බාධා කිරීම් මැද මඝ මාණවක විසින් නොපසුබටව ම සිදු කළ සමාජ සත්කාරක ව්‍යාපෘතිය තිස් තුන් කෝටියක දේව පිරිවරක් සහිත ව දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ලෙස බලසම්පන්න දිව්‍යරාජයෙක් ව පහළවීමට උපකාරක වූ පින් අස්වැන්නක් රැුස් කොට දුන්නා. අන්‍යයන්ගේ හිතසුව කැමැත්තෙන් මේ ආකාරයට තම ජීවිතය හෝ ලැබෙන ප‍්‍රත්‍යලාභ හෝ පසෙක ලා අසහාය කැපවීමකින් කටයුතු කරන්නට හැකි මිනිසුන් ලෝකයේ දුර්ලභයි. එනිසාවෙන් ම; සසර මඟ යහපත පිණිස උපකාරක වන එවැනි පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමත් ලෝකයේ දුර්ලභයි…

Leave a Reply

Your email address will not be published.

x

Check Also

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ ...