ඇයි පුතා TV එක Off කළේ?”

‘‘ඇති අම්මේ… ආයේ මොනා බලන්න ද, ගං වතුරෙන් රට ම හේදෙනවා. නාය යනවා. සුනාමිය වගේ. ජීවිත කීයද්ද?” මගේ හිතට ඇතිවුණ මහා සංවේගය වචනවලට හරවන්නට මට නො හැකි යි. මම නැවතත් පුටුවේ හාන්සි වුණේ පුදුම දුකකින්.

‘‘ඔයා ඇයි TV එක off කළේ. තව ටිකකින් කතාව පටන් ගන්නවා. අද හොඳ ම කොටස තියෙන්නේ.”

නංගී එසේ කියන විට මට තරහක් ඇති වුණා.

‘‘උඹට නම් කතාව, කතාව. රටේ මිනිස්සු වළපල්ලට ගියදෙන්. එ් මිනිස්සුන්ට ගෙවල් නැතිවෙලා. දරුවෝ නැතිවෙලා. අම්මලා නැතිවෙලා. සහෝදරයෝ නැතිවෙලා. උන්හිටි තැන් නැහැ. ඇඳගෙන ඉන්න ඇඳුම විතරයි. කොයිතරම් ශෝකයක් ද? අපි නම් TV බලලා හායි, හූයි ගායි. එ්ත් ටික වෙලාවකට. ආයේ TV වල විගඩම් බලනවා. ඔක්කොම අමතකයි.

මිනිස්සුන්ගේ දුක දැනෙන හිතක් හදාගනිං නංගී.”

‘‘අයියා, මොකද මේ එ් මිනිස්සුන්ටත් වැඩිය දුකෙන්. අපි නෙවෙයිනේ ගං වතුරට අහු වුණේ.”

‘‘පවුකාර කතා කියන්න එපා නංගී. සංසාරේ කියලා එකක් ගැන උඹ අහලා නැද්ද? බණ පදයක් හීනෙකින්වත් අහලා නැද්ද? අර සූත‍්‍රයක තියෙන්නේ. ‘මේ සංසාරේ අපි ව්‍යසනවලට මුහුණ දුන්න වාර අනන්තයි. කෙළවරක් නැතිව ගංවතුරට අහුවෙලා තියෙනවා. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසනවලට පත්වූ වාර අපමණයි කියලා.’ අනික දුක් විඳින අය දැක්ක ම මාත් සංසාරේ මෙහෙම දුක් විඳලා තියෙනවා. කියලා හිතන්න කිව්වා. එ් තරම් සසර දීර්ඝයි. අපි කොයිතරම් ඔය පස්වලට යට වෙලා කී වාරයක් නම් මැරෙන්න ඇති ද?

ඔය විදිහට කී වාරයක් වතුරෙ ම අපේ පණ යන්න ඇද්ද? ඔය විදිහට අසරණ වෙලා කෑම ටිකක් අපේක්ෂාවෙන් අපි කී වරක් ඉන්න ඇද්ද? කොයිතරම් අඬන්න ඇද්ද? මහන්සියෙන් හදාගන්න ගෙවල් දොරවල් අපි බලා ඉද්දිත් ගහගෙන යන්න ඇති. ගොඩාක් ආදරය කරන අපේ ම අය ඇස් ඉදිරියේ ගහගෙන යන්න ඇති. පස්වලට යටවෙන්න ඇති. ඔය TV වල පෙන්නන්නේ අපේ සසර. උඹටත් ඔය දුක්වලින් නිදහස් වෙන්න ඕන නං ඥානේ පාවිච්චි කරලා බුදු බණ හිතපං. එ්වා බොරු නොවෙයි, ඇත්ත. අම්මෝ ආයේ ආයේ ඉපදුණොත් මේ වගේ දුක්වලට අපිටත් මුහුණ දෙන්න වේවි නේ ද?”

මම එක දිගට කියාගෙන ගියා. මට නිකම් ම එක දිගට ගලාගෙන ආ එ් සිතිවිලි දහරා හැබැවින් ම මම මහත් සංවේගයකට පත්කළා. නංගීට මා කී දෙය තේරුණා ද මන්දා… එ්ත් ඇය නිහඬ වුණා. මෙවර සාමාන්‍ය පෙළ ලියන වයසේ සිටින ඇයට යම් නුවණක් තියෙන්න ඕන කියලා මම හිතුවා.

‘‘අරණායක නාය යෑමට අහු වුණේ නම් සසරේ එක ම පාපයක් කරපු මිනිස්සු වෙන්න ඇති. පුදුම පාපයක්.” අම්මා ද එ් අතර කතාවක් ඉපැද්දුවා.

‘‘එ් වුණාට අම්මේ මං හිතනවා මේ වෙලාවේ අපි එ් විදිහට නෙවෙයි කල්පනා කරන්න ඕන. සංසාරේ මෙහෙමයි කියලා. එ් මිනිස්සුන්ගේ සියලූ බලාපොරොත්තු මොහොතින් සුන් වුණා. අපිටත් එහෙම වෙන්න පුළුවන්. එ් දුක් අපි ඉක්මවා නැහැ.”

‘‘හොඳ වෙලාවට අපේ පැත්තට ඔය කිසි කරදරයක් නැත්තේ. මෙහෙ ගෙවල් හදාගන්ත එක හොඳා. විශාල කඳු අහල පහළ නැහැ නෙව.” තාත්තා පත්තරය පෙරළමින් සිට එය මේසය මත තබමින් පැවසුවා.

‘තාත්තලා නම් ආත්ම දෘෂ්ටියේ ම කැරකෙනවා. හැම වෙලාවෙ ම තමන් සුරක්ෂිතයි කියලා හිතනවා. ඇයි සුලි සුළං ආවොත්… අර වායු අවපීඩනය නිසා සිද්ධවෙන ‘ටොනාඩෝ’ කියලා සුළං අනතුරක් තියෙනවා. ගෙවල් ගැලවිලා උඩට ගිහින් කුඩුවෙලා වැටෙනවා. ඇයි මාර්ග අනතුරු. ජීවිත අනතුරු. ලෙඩ දුක්, ජරා මරණ, සතා සර්පයා, අණවින කොඩිවිණ, කොයිතරම් අනතුරු ද? පය පැටලිලා වැටුනොත්. එ්ක ම ඇති මැරෙන්න. අපි ව ජීවත් කරවන හුස්ම රැල්ල ම අපි ව මරලා දානවා. ගෙය දොර නිසා අපි සුරක්ෂිතයි කියලා හිතන්න තරම් අපි මෝඩ වෙන්න ඕන නැහැ. සොබාවික ආපදා විතරනෙ මේවා. එ් වුණාට තනි තනියෙන් ගත්තහම කොච්චර දුකක් එකිනෙකා විඳිනව ද? පවුල් ප‍්‍රශ්න එහෙන්. සමහර අය කසාද බඳිනවා. දරුවෝ ඇතත් ප‍්‍රශ්න නැතත් ප‍්‍රශ්න. රස්සා ඇතත් ප‍්‍රශ්න. නැතත් ප‍්‍රශ්න. ඉගෙන ගත්තත් ප‍්‍රශ්න, නැතත් ප‍්‍රශ්න. ඉඩකඩම් තිබුණත් ප‍්‍රශ්න, නැතත් ප‍්‍රශ්න. අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ නිසා බොරුවට කොච්චර දුක් විඳිනව ද? හිතෙන් විඳවනවා. සක්කර වට්ටම්, දුක්වලට කර ගහන්න වෙනවා. මං නම් හිතාගෙන ඉන්නේ බඳින්නේ නැහැ කියලනේ. මට තව අවුරුද්දෙන් උපාධිය අවසන් වෙනවනේ. එතනින් එහාට මේ හිස් ලෝකෙට මං කොහොම ද එකතු වෙන්නේ. අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳලා මහන්සිවෙලා මාව විශ්වවිද්‍යාලයට යැව්වා. ඇත්තටම මං උපාධිය කරන්නේ මෙයාලා සතුටු කරන්න. මට මේ හිස් ලෝකේ එපා. මනුස්ස ලෝකේ පිරිහිලා තියෙන්නේ. කාමය නිසා තරුණ ජීවිත ඉවරයි. ෆෝන්, ඉන්ටර්නෙට්… අයියෝ මේ පව්කාර ජීවිත… මනුස්ස ලෝකේ ඉපදුණොත් නේ ද අද කාලේ මහණ වෙන්නවත් නො දී මේ තරුණ කොල්ලෝ ටික අල්ලගෙන ඉන්නේ ඉන්ටර්නෙට් එකෙන්. හිතේ දුර්වලතාවලට වසඟ වුණාට පස්සේ ගං වතුර ගාණක් නැහැ. බෝට්ටුවේ ඉඳලත් ෆේස්බුක් යයි. මේ සංවේගයත් සතිය යි. අමතක වෙනවා. ඊ ළඟට ගෙවල්, ඉඩම්වලට ආරවුල් හදාගනියි.

පත්තරකාරයෝ පිටු ගණන් ඕපදූප ලියයි. මාසය යි, එච්චරයි. මිනිස්සුන්ට ගොඩාක් දේවල් අහිමි වුණා. නැති වුණ දේවල් ආයේ ගන්න බැහැ. මේ දුක මට නම් ආයේ එපා. මං මනුස්ස ලෝකෙට එන්න ආස නැහැ. අහෝ කල්‍යාණ මිත‍්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබීම කොයිතරම් යහපතක් ද? නැත්නම් මාත් හිස් විදිහට ම හිතාවී. මගේ ජීවිතේ ලොකු අඩුවක් මට තේරෙනවා. කිසි ම දෙයක තෘප්තියක් නැහැ. තාවකාලිකයි.’

‘‘පුතා මොකද ඇස් ඇරගෙන භාවනා කරනව ද?”

අම්මා ඇඟට තට්ටු කරනකොටයි මට ඉන්න තැන මතක් වුණේ. සිතිවිලි සයුරක මම අතරමං වෙලා. එ්ත් එ් කල්පනා මාව ශාන්ත කරවනවා. එ්කට මං ආසයි.

‘‘බලූ පැටියෙක් වඩාගෙන මිනිස්සු දුවනවා.” නංගී සිනාසෙමින් කීවේ උපහාසයට බවයි මට හිතුණේ.

‘‘එහෙම කියන්න එපා නංගී, එ්ක තමයි සසර. ඔයා ඔහොම කීවට මේ ගෙදර ගහගෙන යන්න ඕන බලන්න. ඔයා දුවන හැටි බලන්න. සමහර විට අතට අහුවුණේ කොස්ස නම් එ්ක අරන් දුවයි. මේකයි කාරණේ. එ් වගේ අනපේක්ෂිත දේක දී වැඩියෙන් ම හිත පිහිටිය අරමුණ තමයි එ් කෙනා උපාදානය කර ගන්නේ. සමීප ව පිහිිටි දෙය අතගාගෙන යනවා. මට හිතුණේ ඕක වෙන විදිහකට. මට හිතුණා මිනිස්සු කරා අනපේක්ෂිත විදිහට මරණය එද්දි මොකක් හරි දෙයක් අල්ලගෙන යනවා. පොල්වත්තට ආස නම් එයා එ්ක අල්ලගන්නවා. එ්කේ උපදිනවා. දරු මල්ලන්ට ආස නම් එ්ක අල්ලගන්නවා. පෙරේතයො වෙලා උපදිනවා. කරපු පව්කම් අරමුණු වුණා නම් නිරයේ. තිරිසන් ලෝකවල. ගං වතුරට අහුවෙච්ච අය ප්ලෑන් නො කරපු දෙයක් ම, අතට අහුවුණ දෙයක් ම අරගෙන ගියා. හැබැයි එ් අරන් ගිය දේවල් ස්ථිර දේවල් නෙවෙයි. එ්වත් නැති වෙනවා කියලා එයාලා දන්නේ නැහැ. අසරණ මිනිස්සු පව්. මේ ජීවිතේ මෙහෙම නම්, වතුරකට මෙහෙම නම් සංසාර සැඩ පහරට වැටුනොත් කොහොම ද? අවිද්‍යා අන්ධකාරය කොහොම එකක් ද? මේ අවසාන ජීවිතය ද? මෙවැනි දුක් විපාකවල අවසානය කවද්ද? ඇත්තටම මේ ජීවිතේ ඇති අර්ථය මොකක්ද?

‘‘අම්මේ අපේ අයියා හොඳයි මහණවෙලා වනගත වෙන්ට.” නංගී කතාව අඩපණ කරමින් මැදට පැන්නා.

‘‘ඔව් මං කැමතියි මහණ වෙන්න. අම්මා අවසර දෙනව ද?” මට පුදුම අවස්ථාවක් ලැබුණේ එ් ටික කියාගන්න. එ්ත් අනපේක්ෂිත ප‍්‍රකාශයෙන් තිගැස්සුන අම්මා නිහඬ වුණා.

‘‘ඔය කතා දැන් නවත්වලා හෙට සහනාධාරවලට යවන්ට කළමණා ලෑස්ති කරන්ට… අද අපිට ?ට කෑමක් නැද්ද?” තාත්තා නිහැඬියාව බින්දා.

‘‘තං පුත්ත පසුසම්මත්තං
– බ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
– මච්චු ආදාය ගච්චති”

‘‘දූ දරුවන්, සතා සිව්පාවා, භවභෝග ගැන ම සිතමින් මේ මිනිස්සු ඉන්නවා. අන්තිමේ දී නිදාගෙන ඉන්න ගමක් මහා ගංවතුරෙන් ගහගෙන යනවා වගේ මාරයා විසින් ඔවුන් රැගෙන යනවා”
(ධම්මපදය – මග්ග වර්ගය)

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි