highlights of the week
Home » අටුවා රස කතා » දුගී ගොවියා

දුගී ගොවියා

ලක්දිව අනුරාධපුරය නම් නගරයෙහි සද්ධාතිස්ස නම් ඉතා ශ‍්‍රද්ධා සම්පන්න රජ කෙනෙක් විය. ධර්මානුකූලව රාජ්‍යය කළ මෙතුමා සත්පුරුෂයෙකැයි ජනයා අතර ප‍්‍රසිද්ධ විය. මෙතුමාගේ රාජ්‍යයෙහි දුගී බවින් පෙළුන එක් ගොවියෙක් තම එක ම දියණිය සමඟ ගඩොල් කැපීමෙන් ජීවත් වී ය.

එක් දුර්භික්‍ෂ කාලයක ජීවත් වීමට අපහසු වූ නිසා ඔහු තම දියණිය නිවසක උකසට තබා කහවණු අටක් ලබා ගත්තේ ය. එම කහවණු අටෙන් විසි කිරියක පමණ භූමි ප‍්‍රමාණයක් මිලට ගෙන ගඩොල් සාදන්නට පටන් ගත්තේ ය. ඔහුට කහවණු අටක් ඉතිරි කර ගැනීමට අවුරුදු හතක් ගත විය.

මෙසේ දුකසේ සපයා ගත් කහවණු අට රැගෙන දියණිය බේරා ගැනීමේ අදිටනින් යුතුව ගැල් සමූහයක් සමඟ පයින් ගමන් කරන්නේ පෙර තමා හඳුනන භික්ෂූන් වහන්සේනමක් දුටුවේ ය. එයින් පහන් සිතක් ඇති කර ගත් එ් දුගී මිනිසා උන්වහන්සේට දන් දෙනු කැමතිව ආහාර සොයන්නේ එක ගොවියෙකු ළඟ වරකට සෑහෙන පමණ ආහාරයක් දිටී ය. දුගී මිනිසා එම ගොවියා ළඟට ගොස් ‘‘මට මේ ආහාරය දෙන්න. මම ඔබට කහවණුවක් දෙමි.” යි කී ය. ඊට පිළිතුරු වශයෙන්, ‘‘එක කහවණුවකට මට මේ ආහාරය දීමට නො හැකියි” යැයි එම ගොවියා කී ය. මෙසේ කහවණු දෙක, තුන, හතර වශයෙන් ඉල්ලා අන්තිමේ දී කහවණු අටකට එම ආහාරය ගෙන භික්ෂූන් වහන්සේට පිළිගන්වා ඔහු ආහාර ලබාගත් අයුරු ද හිමිනමට පැවසී ය. එසේ ම තමා පොරවා සිටි සළුව ද උන්වහන්සේට පූජා කොට ආපසු ගියේ ය.

එ් ආහාරය පාත‍්‍රයෙහි තබා ගත් භික්ෂූන් වහන්සේ සංවේගයට පත්ව මෙසේ සිතූහ. ‘‘මේ මිනිසා කහවණු අටක් දී මේ ආහාර ලබා ගත්තේ ය. අලූත් වස්ත‍්‍රයක් ද මට පූජා කළේ ය. තව ද මොහු සිය දියණිය මුදවා ගැනීමත් අත්හැර දා මේ පරිත්‍යාග කළේ ය. මේ මිනිසා දාන සුරයෙකි. තොප යෝග සුරයෙක් වෙව. වීතරාගයන් විසින් අනුභව කළ යුතු දානයක් සරාගී වූ තා විසින් අනුභව කරන ලද්දේ නම් තා සබ‍්‍රහ්මචාරීන් විසින් ගැරහීමට පත් වන්නෙහි ය. තට මෙතැන ම මරණය හෝ සිදු වේවා. නැතහොත් රහත් බව හෝ ලැබේවා. බුද්ධ පුත‍්‍රයෙක් වී මේ ආහාරය අනුභව කළ මැනව” යි තමාට ම අවවාද කොට පිරිසිදු සිල් ඇති නිර්භය වූ උන්වහන්සේ විදසුන් වඩා රහත් බව ලැබූ සේක. එසේ රහත් ඵල ලබා සියලූ බන්ධනයන් සිඳ බිඳ දමා ෂඞ් අභිඥලාභී එ් තෙරුන් වහන්සේ සිංහනාද පැවැත්වූ සේක.

‘‘මුල් කෙළවර නැති සසරෙහි ගමන් කරන පෘථග්ජන මිනිසා බොහෝ දුක් විඳියි. එම දුක මා විසින් අවසන් කරන ලදී. නරකයෙහි කැපීම කෙටීම් ආදි දුක් ද වනයෙහි දී අනෙකා අල්ලාගෙන කෑම ආදි භය ද මිනිසුන් අතර ධනය සෙවීම ද දෙව්ලොවෙහි පවා වෙන්වී යාමේ දුක ද යන මේ සියලූ දුක් මා විසින් කෙළවර කරන ලදී. එ් සඳහා උපකාර වූයේ උපාසක ගොවියා දුන් දානයයි. යම් උපාසකයෙක් දුන් දාන අනුහසින් කිසිදා කම්පා නො වන තත්ත්වයට පත් වීමි.” මේ අයුරින් ආර්ය තත්ත්වයට පත්වූ උන්වහන්සේ දුගියා දුන් ආහාරය වළඳා අනුරාධපුරයට වැඩි සේක. ටික කලකට පසු එ් රහතන් වහන්සේ පිරිනිවීමට ආසන්න වූ කාලයේ ”අටක් වැය කොට මට ආහාරයක් දුන්නේ ද එ් තැනැත්තා පැමිණ අත ගැසූ විට පමණක් මාගේ ශරීරය සෙලවේවා! අන් කිසිවෙකුට නො සෙල්වේවා!” යි අදිටන් කළ සේක.

තෙරුන් වහන්සේගේ පිරිනිවීම අසා ජනයා එහි රැස්වූහ. සද්ධාතිස්ස රජතුමා ද අන්තඃපුරයත් සමඟ එතැනට රැස් වූහ. රජු සහිත පිරිසට මෘත දේහය කිසිවෙකුට සොලවන්නට නො හැකි විය. පසුව දුගී මිනිසා එම ස්ථානයට පැමිණ මෘත දේහය හඳුනාගත්තේ ය. ඔහු පහන් සිත් ඇතිව ‘‘එසේ නම් මාගේ ආහාරය වළඳා මේ තෙරුන් වහන්සේ රහත් වූයේ නම් සියල්ලන්ගේ පුදුමය දුරු කිරීමට මෘත දේහය අහසට නැගේවා”යි කීවේ ය. මෙසේ කියා දේහය ස්පර්ශ කළ සැණෙන් එය අහසට නැගුණි.

එම ප‍්‍රාතිහාර්ය දැක රජතුමා ඔහුගෙන් තොරතුරු විමසී ය. උපාසකයා සියලූ විස්තර පැවසී ය. ඔහුගේ බස් අසා ඉමහත් සතුටට පත් රජතුමා ‘‘සංඝයාට දුන් දානය ඉතා යහපත් ය. මටත් එයින් පින් කොටසක් දෙව” යි කීවේ ය.

‘‘මහරජතුමනි, ඔබටත් අන් සියලූ දෙනාටත් පින් අනුමෝදන් කරමි. අධික ගුණ ඇති උතුමන්ට දුන් දානය මහත් ඵල ලබා දෙන්නේ ය.” යි උපාසක තෙමේ කීවේ ය. සද්ධාතිස්ස රජතුමා ඔහුට එක් ජනපදයක් ද ඔටුන්නක් සහිත ආභරණ ද ස්ත‍්‍රීන් ද දාසියන් ද රථවාහන ද දුන්නේ ය. රජතුමා පිරිස සමඟ එක් වී එ් මෘත දේහය දවා ස්ථූපයක් ද තනවා පූජා පවත්වා මාලිගය කරා ගියේ ය.

‘සීහල වත්ථු’ ඇසුරෙන්

සටහන
මානෙල් පොඩිමැණිකේ

One comment

  1. Sadu sadu kenek uthum budun darmaya sangaya saranaya yanawa kiyanne ayata yahapathakmae salasenne kisidu ayahapathak wenne na darmayamae uthum

Leave a Reply

Your email address will not be published.

x

Check Also

කරපිටදී ම රහත් වෙයි

“තිස්ස මේ තාගේ පියා ද නො වේ, මව ද නො වේ. වෙනත් නෑයෙක් ද නො වේ. මොහු සිල්වත් බව නිසා මෙබඳු බැරෑරුම් කාරියක් කරයි. ඔබ මොහුට ණය නො විය යුත්තේ ය.