මනුස්ස ලෝකෙට එන දරුවෝ ශබ්ද මාත‍්‍රයක් විදිහට මුලින් ම පිට කරන්නේ හැඬුම් හඬ. ඊට පස්සේ වචන නැති තනි අකුරුවලින් එ් අය හඬ පිට කරනවා. උපන් දරුවෙක් යම් දවසක මුලින් ම වචනයක් පටල පටලා කියද්දි අම්මට තාත්තට හරියට රටක් රාජ්ජයක් දිනුවා වගේ තමයි. ”අපේ පුතා කතා කරනවා…” කියලා දන්න කියන හැමෝට ම එ් අය හරි ආඩම්බරයෙන් කියනවා.

අවුරුද්දක් වයස් වෙනකොට උපන් දරු පැටියා වටපිටාවෙන් අහන්න ලැබුණ වචනවලින් තමන්ගේ ආරකට හදා ගත්ත වචනවලින් කතා කරනවා. කැඩුණු වාක්‍යවලින් ටික ටික අදහස් ප‍්‍රකාශ කරනවා. වචන වරද්දද්දි, හරියට උච්ඡාරණය නො වෙද්දි අම්මා තාත්තා වගේ ම අනිත් හැම වැඩිහිටියෙක්මත් මේ දරුවා ගැන සෙනෙහසින් ම එ් වැරදෙන තැන් නිවැරදි කරන්නට පුදුමාකාර උත්සාහයක් ගන්නවා. එ් නිසා ම පුංචි දරුවෝ වයස අවුරුදු දෙක තුන පිරෙද්දි හොඳට තම තමන්ගේ භාෂාව හසුරුවනවා. ළමා ළපටි කටහඬින් ඔවුන් කතාබස් කරනවා අහන් ඉන්න එක දෙමව්පියන්ට ලොකු සතුටක්. එ් කතාබහේ පොඩි හරි අමුත්තක් දැනුනොත් අම්මලා, තාත්තලා හරියට කලබල වෙනවා. තමන්ගේ දරුවා උපන්න දවසේ පිට කළේ හැඬුම් විතරක් බව අම්මලාට තාත්තලාට දැන් අමතකයි. හරි ම වචන හරි ම විදිහට කියනවා දකින්න තමයි එ් අය බලන් ඉන්නේ.

දරුවාට අවුරුදු තුනක් පිරෙන්න කලින් මෙච්චර කාලයක් ශ‍්‍රවණ මාත‍්‍රයෙන් ඉගෙන ගත්ත අකුරු දරුවාට දැක හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. එ් තමයි අකුරු කියැවීම. දරුවා අනාගතයේ උගතෙක්, බුද්ධිමතෙක් කරන්න බලාගෙන මේ අකුරු කියැවීම හොඳ ම වෙලාවක, හොඳ ම විදිහට කරන්නයි දෙමව්පියන්ට වුවමනා.

ඔවුන් බලනවා හොඳ දවසක්. එ් වගේ ම හොඳ වෙලාවක්. දරුවාට මුලින් ම අකුරු කියවන්න සුදුසු යහපත්. ගුණවත්, දැනඋගත් කෙනෙක්. මේ හැම දේ ම තම තමන්ගේ විශ්වාසයන්, පිළිගැනීම් අනුව සම්පාදනය කරගෙන, කැවිලි පෙවිලි මල් පහන් සූදානම් කරගෙන ඔන්න පටන් ගන්නවා අකුරු කියැවීමේ මංගල්‍යය.

‘මගේ දරුවාට මහා නුවණක් ලැබෙන්න ඕනා.’ එහෙම හිතලා අම්මලා තාත්තලා ඇත් ඔළුවකුයි, මහා බඩකුයි තියෙන කෙනෙක්ගේ රූපයක් ඉස්සරහින් ම තියෙනවා. ගණ දෙවියෝ නමින් තමයි හඳුන්වන්නේ. ඊ ළඟට ‘මගේ දරුවාට කලාකාමී හැකියාවන් ලැබෙන්න ඕන.’ කියලා වීණාවක් ගත්ත ස්ත‍්‍රී රූපයක් තියනවා. සරස්වතී දේවිය කියලයි හඳුන්වන්නේ. ‘මගෙ පුතාට ධන සම්පත් ලැබෙන්න ඕන.’ කියලා හිතලා අත්වලින් රන් කාසි වගුරුවන ස්ත‍්‍රී රූපයක් තියනවා. ලක්ෂ්මි දේවිය කියලයි හඳුන්වන්නේ. ඔන්න ඔය පිරිස ඉදිරියෙන් තියාගෙන අකුරු කියවපු දරුවෝ තමයි අද ඉන්නේ. හැබැයි හැමෝ ම මහා නුවණක් තියෙන අයවත්, කලාකාමී අයවත්, ධන සම්පත් තියෙන අයවත් නෙමෙයි…

දේවකතා සාහිත්‍ය ඇතුළේ ලොකු වටිනාකමක් ලබන මේ අමුතු අමුතු ස්වරූප තියෙන, දෙවිවරුන් යැයි පිළිගත් පිරිසක් ඉදිරියේ තබාගෙන දරුවන්ට අකුරු කියවන එකට අපේ හෙළ බොදු සම්ප‍්‍රදායේ කිසි ම සබැඳියාවක් නැහැ. එ් නිසා මේ බුද්ධ වර්ෂයේ පටන් අපේ දරුවන්ට අකුරු පහදා දෙද්දි එ් කටයුත්ත බෞද්ධ සම්ප‍්‍රදායෙන් ම අර්ථ ගන්වන්න පුළුවන් වටපිටාවක් ගොඩනගන්න කටයුතු කිරීම සුදුසුයි කියලා අපි හිතුවා.

ප‍්‍රඥව, ධාරණය කර ගැනීම, මතක තබා ගැනීම, කෙටියෙන් කියූ කරුණු විග‍්‍රහ කොට දැක්වීම, අලූත් දේ නිර්මාණය කිරීම හෙවත් පටිභානය, ප‍්‍රත්‍ය ලාභ ලැබීම ආදි දේවලින් අග‍්‍රස්ථාන ලැබූ මහරහතන් වහන්සේලා සම්බුදු සසුනේ වැඩ සිටියා. උන්වහන්සේලා ඊට පෙර අත්භවයක සම්බුදුරජාණන් වහන්සේනමකගෙන් ම විවරණ ලබමිනුයි මෙසේ සම්බුදු සසුනක අග තනතුරු ලබා ගනිමින් මහා ශ‍්‍රාවකයන් බවට පත් වූයේ. උන්වහන්සේලාගේ එ් හැකියාවන් දෙවැනි වූයේ සම්බුදුරජාණන් වහන්සේට පමණයි. එ් මහරහතන් වහන්සේලාත්, උන්වහන්සේලාට ශාස්තෘ වූ එ් සම්බුදුරජාණන් වහන්සේත් ප‍්‍රමුඛ කොටගෙන උන්වහන්සේලා ඉදිරියේ වැඩ සිටිනු දැක බලාගෙන, උන්වහන්සේලාගේ අපමණ ගුණ මහිමයන් සිහිපත් කරගෙන අපේ දරුවන්ට අකුරු කියවන්න ලැබීම වාසනාවක් නෙමෙයි ද?

එ් නිසා නො දන්නා දෙවිවරුන් වෙනුවට අප ගුණ වශයෙන් ම දන්නා මේ මහරහත් මුනිවරුන් ව අපේ දරුවන්ගේ අකුරු කියවන මංගල්‍යයේ පුදසුන මත වඩා හිඳවමු.

මහා ප‍්‍රඥ ඇති, අසමසම ප‍්‍රඥ ඇති, දසබලධාරී, විශාරද ඤණී, තථාගත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් භගවතාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන් වෙත්වා!

ගෞතම සම්බුදු සසුනේ ධර්ම සේනාධිපති, දුතිය ශ‍්‍රාවක, දකුණත් සව්, ප‍්‍රඥවෙන් අගපත් එ් සාරිපුත්තයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් සාරිපුත්ත මුනි පරපුර තුළ වැඩෙත්වා!

ගෞතම සම්බුදුරජුන්ගේ අග‍්‍ර උපස්ථායක, ධාරණය කර ගැනීමෙහි ද මතක තබා ගැනීමෙහි ද අගපත් ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික එ් ආනන්දයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් අනඳ මුනි පරපුර තුළ වැඩෙත්වා!

ගෞතම සම්බුදු සසුනේ කෙටියෙන් කියූ දහම් කරුණු විග‍්‍රහ කොට පහදා දීමෙහි ලා අගපත් එ් මහා කච්චාන මහරහත් මුනිඳුන්ට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් මහා කච්චාන මුනි පරපුර තුළ වැඩෙත්වා!

ගෞතම සම්බුදු සසුනේ නිර්මාණකරණයේ අගපත්, පටිභානයෙන් අගපත් එ් වංගීසයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් වංගීස මුනි පරපුර තුළ වැඩෙත්වා!

ගෞතම සම්බුදු සසුනේ ප‍්‍රත්‍ය ලාභ ලැබීමෙන් අගපත් එ් සීවලී මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! අපගේ දරුවන් එ් සීවලී මුනි පරපුර තුළ වැඩෙත්වා!

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරටු කර ගත් මේ මහා මුනිවරුන් පුදසුනේ වඩා හිඳුවා පුද පූජා පවත්වා එ් සම්බුද්ධානුභාවයෙන් ද මහරහත් මුනිවරුන්ගේ ආනුභාවයෙන් ද ඔවුන්ට සියලූ යහපත වේවා යන මෙත් මුදිතා පෙරදැරිව ඔබේ දරුවාට අකුරු කියවන්න. එ් කියවන පළමු අකුරු පෙළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන වදන් පෙළක් බවට පත් කරවන්න. එ් වෙනුවෙන් සම්බුදුරජුන් හා මහරහත් මුනිවරුන් හමුවේ හිඳින ඔබේ දරුවාට පළමුවෙන් ම ‘‘නමෝ බුද්ධාය!” කියා කියවන්න. දරුවන්ට අකුරු කියවන්න මෙයටත් වඩා අරුත්බර ආකාරයක් නම් ලොව මුණගැසෙන්නේ නැහැ…!