ඉතිහාසයෙන් ගෙන එන පණිවිඩ අපේ ජිවිතවල තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන බව ඔබ විශ්වාස කරනවා ද? ඔබ විශ්වාස කළත්, නැතත් ඉතිහාසය සෑම විට ම අනාගතය මූර්තිමත් කරවනවා. ඉතිහාසයෙන් උගත් පාඩම් තමයි වැරදීම් අවම, නිවැරදි දිශානතියකින් යුතු ගමන් මාර්ගයක පදනම බවට පත් වන්නේ. එ් බව දැන හුන් වියතුන් කියා සිටියේ ‘ඉතිහාසය ගැන නොමදත් ජාතිය ලොව නො නගී’ කියලයි.

ලෝකයේ බොහෝ රටවල ඉතිහාසය අඛණ්ඩ ප‍්‍රවාහයක් ලෙස වර්තමානය වෙත සම්පේ‍්‍රෂණය වී නැහැ. හිස් තැන්, පිරවිය නො හැකි තැන් පමණක් නෙවෙයි; එසේ ම වූවා කියා කිසිසේත් ම තහවුරු කළ නො හැකි තැන් ද බහුල වීම නිසා එ් එ් රටවල ඉතිහාසය පිළිබඳ විශ්වසනීත්වය බිඳ වැටෙනවා. එ් අතින් අපි වාසනාවන්ත රටක්. ලිඛිත ඉතිහාසයක් පමණක් නෙවෙයි; එ් ලිඛිත ඉතිහාසය සත්‍ය බව තහවුරු කරන භෞතික සාධකත් වර්ග සැතැපුම් 65610ක් වුණ මේ පුංචි භූමි භාගයේ දී අපට මුණගැසෙනවා. ලාංකේය වංශකථාවන් මූලික කොට ගනිමින් පෙර අපරදිග රටවල් තමන්ගේ ඉතිහාස පුවත් ගළපා ගන්නට වෑයම් කරන්නේ මේ විශ්වසනීයත්වය නිසයි.

ඔව්… ලෝකයේ බොහෝ රටවලට විශ්වසනීය ඉතිහාස පුවතක් නැහැ. ශේෂ වූ නටබුන් ද නැහැ. නෂ්ටාවශේෂ වූ ඉතිහාසයක් ගැන ඔවුන් දන්නේ නැහැ. ඇතැම් රටවල නෂ්ටාවශේෂ සහිත ව ම ඉතිහාසය ගැන සාධක දකින්නට තිබෙනවා. එහෙත් එ් ගැන ලිඛිත සාක්ෂි නැහැ. එ් නිසා ඔවුන්ගේ ඉතිහාසය ගැන ඔවුන් නිවැරදි ව දන්නේ ද නැහැ. අපට නෂ්ටාවශේෂ වූ පෞරාණික උරුමයන් සහිත ඉතිහාසගත පුවතක මඟ සලකුණු සෑම බිම්කඩක් පාසා ම මුණගැසෙනවා. එ් ඉතිහාස පුවත හුයෙන් හුය යුගයන් යා කරමින් ලිඛිතවත් දක්වා තිබෙනවා. එහෙත්… ශ්‍රී ලාංකිකයන් බොහෝමයකුත් එ් ඉතිහාසයේ අක්මුල් දන්නේ නැහැ… කාලයක් පුරා ඉතිහාසය අධ්‍යයනය නො කර සිටීමේ අනිටු ප‍්‍රතිඵලය අද අප හමුවට එන්නේ ලිඛිත ඉතිහාසයක් ඇති, එහි භෞතික සාධක ද දකින්නට ඇති, එහෙත් එ් ඉතිහාසය නො දත් පරපුරක් ඇති රටක් නිර්මාණය කරමින්. අද වන විට අපට ඉතිහාසය ගැන දැනුම වුවමනා වන්නේ තරගකාරී විභාගයක වැඩි ලකුණු ලබන්නට අවශ්‍ය කරුණක් ලෙස. එසේත් නැති නම් හුදු අධ්‍යාපනික හෝ නිර්මාණාත්මක අවශ්‍යතා වෙනුවෙන්. එ් හැරුණු කොට අභිමානනීය ජීවන සම්ප‍්‍රදායක නො සිඳි අක්මුල් සොයන්නට අප ඉතිහාසය සොයා යන්නේ නැහැ.

අප මෙසේ කියන විට ඔබට ප‍්‍රශ්න කිහිපයක් ඇති වේවි… ‘‘අප කොහොම ද ඉතිහාසය නො දත් පරපුරක් වූයේ? අනුරාධපුරය ගැන නො දන්නේ කවුද? ස්වර්ණමාලි මහා සෑය කළේ දුටුගැමුණු රජු බව කවුද නො දන්නේ? මිහින්තලයේ සිදු වූ මහින්දාගමනය ගැන, එවක ලක්දිව රජය කළ දෙවනපෑතිස් රජු ගැන නො දන්න කෙනෙක් ඉන්නව ද?” ධාතු විස්තරය ගැනත් යම් මතකයක් ඔබට තියෙනවා නම් මේ ඇතිවන ප‍්‍රශ්න ගණන තවත් වැඩි වෙනවා.

‘‘ථූපාරාමයේ වැඩ ඉන්නවා දකුණු අකු ධාතූන් වහන්සේ. මිරිසවැටියේ තිබෙන්නේ දුටුගැමුණු රජුගේ සධාතුක ජය කොන්තය. ස්වර්ණමාලී මහා සෑයේ ද්‍රෝණයක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටිනවා. එ් නෙමෙයි ද ඉතිහාසය? කවුද ඕවා නො දන්නේ?” ඔව්… ඔබ හරි. මේ තොරතුරු බොහොමයක් දන්නා පිරිස් අදටත් මේ රටේ සිටින බව අපත් පිළිගන්නවා. හැබැයි… ඉතිහාසය යනු මෙපමණක් නෙමෙයි… මේ රට සම්බුදුරජුන්ගේ සදහම් ආකරය බවට පත් වෙමින් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් සැමකල්හි ඔදවත් වූ අයුර එ් ඉතිහාසයේ ම තිබෙනවා. අපේ පිය තැබෙන බිම් අඟලක් අඟලක් පාසා මහ රහත් මුනිවරුන් යම් කලෙක වැඩ සිටි අයුර එ් ඉතිහාසයේ තිබෙනවා. රජුත්, වැසියනුත් සංඝාවවාදයන් පෙරටු කොටගෙන ජීවන සම්ප‍්‍රදාය හැඩ ගස්වා ගත් අයුර එ් ඉතිහාසයේ තිබෙනවා. සම්බුදු සසුනේ ආශ්චර්යවත් ගුණ ශෝභාවන්ගෙන් වරින් වර මේ පුංචි රට නැහැවී ගිය අයුරත් එ් ඉතිහාසයේ ම තිබෙනවා. එ් දේවල් එ් අයුරින් ම අප දන්නවා ද?

ඉතිහාසයේ වූ දේවල් එ් අයුරින් ම නො දන්නා තාක් කල් අපට අහිමි වී යන්නේ බෞද්ධ ජීවන සම්ප‍්‍රදායේ මස්ටකප‍්‍රාප්තිය වගට පත් වූ හෙළ බොදුනුවන්ගේ අභිමානය යි. එ් තාක් ම අපට අහිමි වන්නේ සිත පහදවාගෙන ‘තිසරණයේ පිහිටන්න’ යැයි කියා ඉතිහාසයෙන් එවූ අනභිභවනීය පණිවිඩය ම යි. එසේ ම එයින් අපට අහිමි වන්නේ තිසරණයෙන් බැහැර වීමෙන් යම් පරිහානියක් එකල වූවා ද දැනුදු එසේ ම වීම වළක්වන්නට තිබුණු ඉඩප‍්‍රස්තාව යි.

මේ ව්‍යසනය ගැන තතු විමසන්නට අන් සියලූ පුවත් පසෙකින් තබා අප කැමතියි ඔබ සමඟින් මහා සෑය වෙත යන්නට. මේ මහා සෑය ගෞතම සම්බුදුරජුන්ගේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා සුවසේ වැඩ වෙසෙන සුගන්ධ කුටිය බවට පත්වන වග මුලින් ම දෙව් මිනිස් ලෝකයට හෙළි කළේ සම්බුදුරජුන් විසින්. මහා කාශ්‍යප මහරහත් මුනිඳුන් එ් බුද්ධ භාෂිතය අනුව පිළිපදිමින් ද්‍රෝණයක් වූ සම්බුදු ධාතුන් හෙළදිව වෙනුවෙන් වෙන් කරන්නට යෙදුණා. අසූහාර දහස් වෙහෙර විහාර කරවද්දී හෝ ධර්මාශෝක රජුවත් එ් ධාතුන් වහන්සේලා ගනු ලැබුවේ නැහැ. එසේ නො කළේ මහරහත් මුනිවරුන් විසින් රාම ග‍්‍රාමයේ වැඩ හුන් එ් ධාතුන් වහන්සේලා ලක්දිව ඉදිවන මහා සෑය වෙනුවෙන් ම වෙන් කෙරුණු බව සිහිකර දුන් නිසයි. ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ ධර්ම දායාදය රැුගෙන මෙහි වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ දෙවන දිනයේ දී ම කකුධ වැව් ඉස්මත්තේ පිහිටි මේ බිමට දෙවනපෑතිස් රජු සමඟින් පැමිණුනා. උන්වහන්සේ විසින් මේ බිම සපු මලින් පුද දෙද්දී මහපොළව කම්පා වුණා. එ් මහරහත් මුනිඳුන් විසින් පොළව කම්පා වීමට හේතු පවසමින් මෙතැන මහා සෑය නිම කෙරෙන බවත්, දුටුගැමුණු රජු යැයි ප‍්‍රකට වන දෙවනපෑතිස් මුණුපුරු විසින් එය කරවන බවත් පවසා වදාළා. එ් අනාගත වාක්‍යය අනුව යන දුටුගැමුණු රජුට ඉඩහසර වෙන් කරනු වස් මේ පුවත ශිලා ස්ථම්භයක දැක්වූ දෙවන පෑතිස් රජු මහරහත් මුනිඳු පෙන්වූ බිමේ එය නගා සිටුවා එ් පුවත ම රන්පතක ලියවා රාජකීය පුස්තකාලයේ තැබුවා.

එයින් වසර 146ක ඇවෑමෙනුයි දුටුගැමුණු රජු හෙළදිව එක්සේසත් කරනු ලැබුවේ. රාජකීය පුස්තකාලයේ රන්පත පැවසූ පුවත අනාවරණය කර ගන්නට මහමෙව්නාව උයනේ ඇවිද ගිය දුටුගැමුණු රජු එයට සාක්ෂි දෙමින් නිහඬ ව නැගී සිටින යෝධ ශිලා ස්ථම්භය දුටුවා. එකිනෙකට ගැළපී ගිය මේ කරුණු විමසා බලා තිසරණය කෙරෙහි ශ‍්‍රද්ධා භක්ති සහිත වූ රජු විසින් ගල් ටැඹ ගලවා උතුරු දෙසින් සිටුවා එ් ස්ථානයේ සෑය කරවීම ඇරඹුවා. අදටත් මහා සෑයට උතුරු දෙසින්, ඉතිහාසගත පුවතක නිහඬ සාක්ෂියක් වෙමින් නැගී සිටින එ් ගල් ටැඹ ගැන දන්නේ කීයෙන් කී දෙනා ද?

රජුට වුවමනා වූයේ අතිශයින් විශාල වූ සෑයක් කරවන්නටයි. එහෙත් එ් වෙනුවෙන් රජුගේ ආයුෂය ප‍්‍රමාණවත් නො වන බවත්, එවැනි අති විශාල සෑයක් නඩත්තු කිරීම දුෂ්කර වනු ඇති බවත් දිවැසින් දුටු මංගල නම් වූ මහරහතන් වහන්සේ විසින් රජුට පෙන්වා දුන් මායිම අනුවයි පළමු පේසා වළල්ලට බිම ලකුණු වූයේ. අදත් මහා සෑයේ පේසා වළලූ වටා පැදකුණු කරන අප පියවර තබන්නේ එ් මහරහත් මුනිඳුන් වැඩම කළ මඟ ඔස්සේ ම යි. එ් බව දන්නේ කීයෙන් කී දෙනා ද? මංගල ශිලා ස්ථාපනය වෙනුවෙන් ම අනූ හය කෝටියක් වූ මහරහතන් වහන්සේලා මහ සෑ මළුවට වැඩම කළා. ඉදින් අද අප මහා සෑ මළුවේ තබන සෑම පියවරක් ම එදා මහරහතන් වහන්සේනමක් වැඩ සිටි ස්ථානයකයි තැබෙන්නේ. මොන තරම් අසිරිමත් ද?

ධාතූන් වහන්සේලාගේ අසිරිමත් පෙළහරින් සවණක් ගණ බුදු රැස් දිලූන බිමක් මේ. මහා සෑ බිමේ සම්බුදුරජුන් පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන සමවත් සුවයෙන් වැඩ සිටියා. එදා සම්බුද්ධ අසිරියෙන් වෙලී ගත් බිමේ හිඳගෙනයි අපි එ් මහා සෑ රජාණන් වහන්සේට වන්දනාමාන කරන්නේ. ජීවමාන සම්බුදුරජුන් මෙහි සුවසේ වැඩ වෙසෙන්නේ ය කියා සිතමින්, මලින් මල බුදු ගුණ කියමින් එ් සිරිපා කමල් වන්දනා කරන්නට අපට වාසනාව තිබෙනවා.

ඉදින් මේ ඉතිහාසගත පුවත එ් අයුරින් ම දරාගෙන මහා සෑ මළුවේ හිඳ කරන වන්දනාමානය සැබැවින් ම අරුත්බර නැති ද? එ් ඉතිහාසය දැන වන්දනා කරන්නන්ගේත්, එ් ඉතිහාසය නො දැන වන්දනා කරන්නන්ගේත් වෙනසක් තිබෙනවා නේ ද?

ඉතිහාසය, ඉතිහාස පොත්වලට පමණක් ම සීමා වන්නට ඉඩ තබා ජන සමාජගත වන ඉඩ අසුරා තැබීමේ විපාක ලෙස ඉතිහාසගත උරුමයන් සිනමා නිර්මාණයක වස්තු බීජයන් ලෙස අගයක් ලබන රටවල් අද අප දකිනවා. සම්මා සම්බුදුරජුන් පහළ වුණ ඉන්දියාවේ ඉතිහාසය නූතන ඉන්දියානු දරුවන් දැනගන්නේ සිනමා නිර්මාණ හරහා. මේ සිනමාවේදීන් නිසා අද ඉන්දියානු දරුවන් ඉතිහාසය ලෙස හඳුනාගෙන සිටින්නේ සිනමා වෘත්තාන්තයන් පමණයි. අපේ ඉතිහාසය කියැවීම, හැදෑරීම අප විසින් නවතා දමනු ලැබීමේ ප‍්‍රතිඵලය ද මෙය ම විය නො හැකි ද? මුළුමහත් ලෝකය තුළ විශිෂ්ට වූ ඉතිහාසයක සාක්ෂි අප විසින් මෙසේ විනාශ කර දැමිය යුතු ද?

කෙසේ වුවත් ඉන්දියාවේ නම් මතවාද, දර්ශන, ආකල්ප සියල්ල තුළ වංශකථා ස්වරූපයෙන් ලියැවුණ වෘත්තාන්ත වන රාමායණය, විෂ්ණු පුරාණය ආදි පොත්වල අන්තර්ගතය දැකගත හැකියි. ඔවුන් කාලයක් පුරා තම ජීවන රටාවන් එ් වෘත්තාන්ත අනුව හැඩගස්වා ගත්තවුන්. එහෙත් අප? අපට වංශකථාව වුවමනා වන්නේ පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය සහ තරග විභාග සඳහා පමණයි. හෙළ බොදුනුවන්ගේ අභිමානය ලොවට හඬ ගා කියන සිංහ නාදය වූ වංශකථාව අප නො කියවන තාක් කල් ද එ් වංශකථාවේ කියැවෙන ඉතිහාසය අප මතකයේ දරා නො ගන්නා තාක් කල් ද එකී ඉතිහාසය පිළිබඳ දැනුමෙන් අපගේ දරුවන් පෝෂණය නො කරන තාක් කල් අප ද ඉතිහාසය විනාශ කර දැමීමේ කොටස්කරුවන් බවට පත් වනවා. ‘මහාවංශය’ ඉතිහාසයේ සිට ආ මහා පණිවිඩකරුවෙකු ව අප සමීපයේ සිටිය දී අප මේ විනාශයට ඉඩ තැබිය යුතු ද?

එය නො කළ යුතු යැයි සිතන අභිමානවත් සිංහල බෞද්ධයා ඔබ නම්, ඔබ වෙනුවෙන් ම, ඔබට කියවන්නට ම, ඔබට දැන ගන්නට ම සරල සිංහලයට නැගුන මහාවංශය එළිදැක්වෙන බව අප අවසනට සනිටුහන් තබනවා.

මේ වංශකථාවේ අභිමානනීය පණිවිඩය අපට මඟ නො හැරේවා!

සටහන
භාරත සූරියබණ්ඩාර