භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සිව්වණක් පිරිස ධර්ම රත්නයට ගෞරව නො දක්වන්නේ නම්, එ් කාරණය මේ ශාසනය විනාශ වීමට, අතුරුදහන් වීමට හේතුවන කාරණයක් බවත්, සිව්වණක් පිරිස ධර්ම රත්නයට ගෞරව දක්වන්නේ නම් එය මේ ශාසනය චිරාත් කාලයක් පැවතීමට හේතුවන කාරණයක් බවත් සද්ධම්ම ප‍්‍රතිරූපක සූත‍්‍රයේ සඳහන් වේ. සාරසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කර මහත් කැපකිරීම් ද කොට අවබෝධ කර ගත් අප බුදුරජාණන් වහන්සේ ලොවට හෙළි කළ මේ නිවනට පමුණුවන ධර්මය ශ‍්‍රවණය කිරීමේ දී මහත් ගෞරවයකින් යුතුව ශ‍්‍රවණය කිරීම ශ‍්‍රාවකයා සතු වගකීමකි. භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශණා නො කළ යුතු අවස්ථා කීපයක් ගැන සේඛියා ශික්ෂා පද විස්තර කරන තැන සඳහන් වේ. එහි පාවහන් දමාගෙන සිටින කෙනාට දහම් නො දෙසිය යුතු බවත්, හිස වසා ගෙන සිටින කෙනාට දහම් නො දෙසිය යුතු බවත්, මිටි අසුනක තමා හිඳ ගනිමින් උස් අසුනක සිටින කෙනාට දහම් නො දෙසිය යුතු බවත්, දඬු මුගුරු, කඩු පිහි ආදි ආයුධ, කුඩ දරා සිටින අයට දහම් නො දෙසිය යුතු බවත්, ආදි කොට දහම් නො දෙසිය යුතු අවස්ථා 16ක් විස්තර වේ. (නමුත් එ් සෑම අවස්ථාවක දී ම ගිලන් කෙනාට එ් හේතුවෙන් දහම් දෙසීමට අවසර තිබේ.) එ් සෑම අවස්ථාවක ම ධර්ම ගෞරවයට හානි සිදුවේ. එනිසා ආහාර ගැනීමේදී ද ධර්ම ශ‍්‍රවණය හෝ ධර්ම දේශණා නැරඹීම නුසුදුසුය. එ් අවස්ථාවේදී තමා ආහර ගැනීමට කාලය වැය කොට ධර්ම ශ‍්‍රවණයට වෙනමම කාලයක් වෙන්කොට පහසු ඉරියව්වකින් වාඩි වී මුළු සිතම දේශනාවට යොමු කොට ධර්මය ශ‍්‍රවණය කිරීම ධර්ම රත්නයට කරන ගෞරවයයි. සුගතිගාමී වීමටත්, මගඵල ලැබීමටත් ධර්ම ශ‍්‍රවණය උපකාරී වෙන්නේ එවිටයි.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…