භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මය කොතැනින් ගත්ත ද විමුක්ති රසයෙන් යුක්ත ය. එම නිසා සූත‍්‍ර දේශනා කුමන ත‍්‍රිපිටක පොත් වහන්සේ නමකගෙන් කියවූව ද දහම් රසය විඳිමින්, එ් ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගත හැකි ය. ආධුනිකයෙකුට නම් සරල දහම් කරුණු ඇතුළත් සූත‍්‍ර දේශනා මුලින් හදාරා අනුක‍්‍රමයෙන් ගැඹුරු දහම් කරුණු ඇතුළත් සූත‍්‍ර හැදෑරීම වඩාත් සුදුසු ය. එ් පිණිස උපකාරයක් වශයෙන් සූත‍්‍ර පිටකයට අයත් නිකාය 05 ගැන කෙටි විස්තරයක්, මෙසේ පෙන්වා දිය හැකි ය.

දීඝ නිකාය –
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ, දීර්ඝ දේශනා 34 ක් මෙහි ඇතුළත් වේ. මහාකාශ්‍යපාදී බුද්ධානුබුද්ධ මහා ශ‍්‍රාවකයන් වහන්සේලා විසින් සංවර්ණනා කරන ලද ශ‍්‍රද්ධාව උපදින දේශනා බොහෝ සෙයින් ම ඇතුළත් ය. (ශ‍්‍රද්ධා ජනනස්ස). සාපේක්ෂව ගත්කල කියවා තේරුම් ගැනීමට පහසු දේශනා ඇතුළත් වේ.

මජ්ඣිම නිකාය –
බුදුරජාණන් වහන්සේ වදාළ, මධ්‍යම ප‍්‍රමාණයේ දේශනා 152 ක් මෙහි ඇතුළත් වේ. මහාකාශ්‍යපාදී රහතන් වහන්සේලා විසින් සංවන්ණිත මෙහි දේශනාවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ශාසනයට පටහැනි මත ඛණ්ඩනය කොට (පරවාද මදනස්ස) ශාසනික මතය ඉස්මතු කොට තිබීම යි. පෙරවදනේ ඇති විස්තරය අනුව අනුපිළිවෙළකට හැදෑරීම තුළ තේරුම් ගැනීම පහසු වේ.

අංගුත්තර නිකාය –
එක් එක් දහම් කරුණ, දහම් කරුණු දෙක, දහම් කරුණු තුන ආදී වශයෙන් දහම් කරුණු 11 ක් දක්වා විස්තර වන සූත‍්‍ර දේශනා මෙහි ගොනුකර තිබේ. මහා ශ‍්‍රාවක රහතන් වහන්සේලාගේ සංවර්ණනාවට පත් මෙහි ඇතුළත් දේශනා ධර්ම කථිකයන්ට මහඟු උපකාර සලසයි. (ධම්මකථිකස්ස වරස්ස)

සංයුත්ත නිකාය –
පංච උපාදානස්කන්ධය, ආයතන, ධාතු, පටිච්චසමුප්පාදය, සප්ත බොජ්ඣංග, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී ගම්භීර දහම් අරුත් විස්තර වන දේශනාවන්ගෙන් සමන්විත ය. (ගම්භීර අත්ථස්ස)

ඛුද්දක නිකාය –
කුඩා ප‍්‍රමාණයේ දේශනා ඇතුළත් සදහම් ග‍්‍රන්ථ 15 කින් ප‍්‍රතිමණ්ඩිත කොටස යි.

ත‍්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් අධ්‍යනය කිරීම සඳහා ‘ආශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය’ නමින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්ථනය කරන ලද දහම් ග‍්‍රන්ථ ඔබට බොහෝ උපකාර වනු ඇත.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…