highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ දුටුගැමුණු මහරජු තුසිත දෙව්ලොව වැඩිය වග…

අපේ දුටුගැමුණු මහරජු තුසිත දෙව්ලොව වැඩිය වග…

එදා අමාවක් පොහෝ දවසයි. අපේ ආච්චි නම් සතර පෝයටම සිල් සමාදන් වෙනවා නොවැ. එදාත් අපේ අම්මා රසට දානෙ හදලා ආච්චිට ආදරයෙන් උපස්ථාන කළා. අපි කොහොමත් හැමදෑම ආච්චිත් එක්කයි ?ට තෙරුවන් වඳින්නේ. බත් කන්නේ ඊට පස්සේ. එදා අපි ? කෑමත් කාලා ආච්චිට ගිලන්පසත් පූජා කරගත්තා.

‘‘අනේ ආච්චියේ…. ඔයා අද අපට කතාවක් කියාදෙන්නේ නැද්ද?”

‘‘ඇයි මයෙ පුතාලා….. අදත් ඔයාලා කතාවක් අහන්න ආසයි ද?”

‘‘ඔව්…. ඔව්…. අපේ අම්මා.. මේ දරුවන්ට අපේ රජදරුවන් ගැන කතාවක් අහන්ට ඇත්නම් මොනතරම් දෙයක් ද” කියලා අපේ අම්මත් අද අහන කතාව ගැන මොකක්දෝ ඉඟියක් කළා.

අපේ ආච්චි හිනැහෙද්දි හරී ලස්සනයි. සිරියාවේ බබළනවා. එදා අපේ ආච්චි කතාව පටන් ගත්තේ මෙහෙමයි.

‘‘මයෙ දරුවනේ…. ඔයාලා අහලා තියෙනවා නොවැ අපේ සිංහල රාජ වංශය බබුළුවාපු මහෝත්තමයා ගැන. එ් කිව්වේ අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවන් වහන්සේ ගැන. හප්පා…. උන්නාන්සේ වගේ බුද්ධ ශාසනයටත් මේ මාතෘ භූමියටත් ආදරය කොරාපු වෙන රජ්ජුරු කෙනෙක් නැති ගානයි.

එ් කාලේ දකුණු ඉන්දියාවෙන් මහා දෙමළ සේනාවක් අරගෙන එළාර කියලා සොළී රජෙක් අනුරාධපුරේට කඩා පැන්නා. එ් කිව්වේ ආක‍්‍රමණය කළා. ඊට පස්සේ අනුරාධපුරේ රජකම් කොරාපු අපේ රජ දරුවන්ව රුහුණට එලෙව්වා. එ් සොළී රජ්ජුරුවන්ගේ පිරිස තුනුරුවන්ට ගෞරව කළේ නෑ. දෙව්ලොවක් වගේ තිබුණු අනුරාධපුරේ හැම තැනම අපිරිසිදු කළා. කැළිකසළ දැම්මා. ආර්ය චාරිත‍්‍ර නැති කළා. අපිට අපේ රට වුණාට උන්දැලාට අනුන්නේ රටක් නොවැ. අපේ දුටුගැමුණු කුමාරයා එ් ගැන බොහොම දුකින් හිටියේ.

ඉතින් මයෙ දරුවනේ…. අපි දුටුගැමුණු කියලා කිව්වට පිය රජ්ජුරුවෝ උන්නාන්සෙට නම දැම්මේ ගැමුණු කුමාරයා කියලයි. තමන්ට අයිති සිංහාසනය ආයෙත් ලබාගන්ට අනුරාධපුරේ සටනට යං යං කියලා කිව්වා. නමුත් කාවන්තිස්ස රජ්ජුරුවෝ දන්නවා වැඩේ ලේසි නැති බව. එ් නිසා එපාම කිව්වා. බැරිම තැන ගැමුණු කුමාරයා රජ්ජුරුවන්ට කාන්තාවන් පලඳින ආභරණ එව්වා. එතකොට පිය රජ්ජුරුවන්ට කේන්ති ගියා. ‘‘කෝ…. ඔය…. දුෂ්ට ගාමිණියා අල්ලාපියව්…” කියලා සේනාවට අණ කළා. එතකොට ගැමුණු කුමාරයා වෙස් වළාගෙන කඳුරටට පැනලා ගියා. තමුන්නේ පිය රජ්ජුරුවෝ දාපු නමක් නිසයි දුටුගැමුණු කියලා යෙදුනේ. එහෙම නැතුව යුද්ධ කොළාට නෙවෙයි.

ඉතින් දරුවනේ, එ් වෙද්දි එළාරයා හරී බලවත් රජෙක්. එ් රජුට යුවරජවරු තිස් දෙදෙනෙක් උන්නා. සේනාවත් එක්ක ඉන්දියාවෙන් ආපු මුළු සෙනඟ දස ලක්ෂ විසිහතරදාහක් උන්නා. ස්වල්ප පිරිසක්යැ.

කොහොම නමුත් දුටුගැමුණු කුමාරයා යුද්දෙ පටන් ගත්තා. එතකොට කාවන්තිස්ස රජ්ජුරුවෝ අභාවයට පත්වෙලා හිටියේ. හැබැයි විහාරමහාදේවිය පුත් කුමරා සන්තක රාජධානිය නැවත ලබාගන්නවාට කැමති වුණා. ඉතින් යුද්දෙ දිගටම ගියා.

දවසක් දරුවනේ, විජිතපුර සටන උන්දැලා පැරදිච්ච දා දීඝජන්තු කියන එළාර රජුගේ යෝධයා එළාර රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා.

‘‘ශ්‍රී ලාංකේශ්වර එළාර මහ රජ්ජුරුවනි…. රුහුණේ කාවන්තිස්ස රජුගේ පුත‍්‍රයා වන දුටුගැමුණු කුමාරයා තමයි දැන් රුහුණේ රජා. ඔහු තමන් සන්තක රාජධානිය ඉල්ලාගෙන සටන් මාලාවක් කරගෙන යනවා. අද විජිතපුරෙත් අපි පැරදුනා. දැන් එකම විසඳුමයි තියෙන්නේ. ඔබවහන්සේගේ බෑණන්ඩිය වන භල්ලූක සේනාපතිතුමාව තව මහා දෙමළ හමුදාවක් එක්ක වහාම එන්ඩ කියලා ඉක්මනින් පයිංඩයක් යවන්ඩ”

ඉතින් දරුවනේ, හැටදහසක දෙමළ මහා යෝධයන් පිරිවරාගෙන භල්ලූකයා මාතොටට ආවා නොවැ. එ් වෙද්දි අපේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අතින් එළාර රජු පැරදිලා මරණයට පත්වුණා.

දුටුගැමුණු රජ්ජුරුවන්ට තවම සැනසිල්ලක් නෑ. යුද්ධයේ ඉවරෙකුත් නෑ.  ඕන්න….. තවත් සේනාවක් ඇවිදින්. එ් සේනාව ඇවිත් කොළඹහාලක නම් තැන මහා කඳවුරක් පිහිටුවා ගත්තා නොවැ. ඉතින් ආයෙමත් යුද්ධයක්!

අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ කඩොල් ඇතා පිට නැගලා වැඩ උන්නා. එ් හස්තිරාජයාගේ පිටේ ම ඵුස්සදේව යෝධයත් පංචායුධයෙන් සන්නද්ධව පිටුපසින් වාඩිවෙලා උන්නා. දෙපැත්තෙන් ම සේනාව යුද්ධ භූමියට ළං වුණා. භල්ලූකයා හැටදහසක දෙමළ යෝධයන් එක්ක එක පැත්තක ඉන්නවා.

අනිත් පැත්තේ අපේ මහ රජ්ජුරුවෝ ඉන්නවා.

ඉතින් දරුවනේ, එතන හරි වැඩක් වුණා නොවැ…. එක පාර… ට…. ම අපේ කඩොල් ඇතා පස්සෙන් පස්සට යන්න පටන් ගත්තා නොවැ. එතකොට දුටුගැමුණු මහ රජ්ජුරුවෝ ඵුස්සදේව යෝධයාට මෙහෙම කිව්වා.

‘‘ඵුස්සදේව…. මගේ මේ ඇත්රජා මහා සටන් විසි අටක් කරලාත් එ් එකකදීවත් මෙහෙම පසුබැස්සේ නෑ. දැන් මොකෝ මේ! මේ පරදේසක්කාර භල්ලූකයාගේ සටනින් අපට මක් වේවිද?”

‘‘දේවයන් වහන්ස…. අපට ම යි ජය…. අපට ම යි ජය…. මේ හොයන්නේ ජය භූමියක්. අපේ ඇත්රජා ජයභූමි ගැන හොඳට දන්නවා නොවැ”

ඉතින් දරුවනේ, එතකොට එ් ඇත්රජා අපේ මිහිඳු මහරහතන් වහන්සේ පිහිටුවා වදාළ මහා විහාර සීමාව අයිනේ ම පුරදේවයාගේ කෝවිල ළඟට ම පසුබැස්සා. එතන සිටගත්තා. එතකොට භල්ලූකයා මෙහෙම කල්පනා කළා. ‘හහ්… මේ රජා එනවාද පරම්පරා භුක්තිය ඉල්ලාගන්ඩ. එ්ව කොහෙද….?

මාගේ මාමණ්ඩිය වන එළාරයන් මැරූ මේකාගේ කටට ම යි මං මේ හීය විදින්නේ’ කියලා ඊ තලයක් ඉලක්ක කරගෙන අපේ මහ රජ්ජුරුවන්ට කෑගහලා මෙහෙම කිව්වා.

‘‘එම්බල මහරජ…. ඔය මොකෝ….”

එතකොට දරුවනේ, අපේ දුටුගැමුණු රාජෝත්තමයා කඩු තලයෙන් තමුන්නේ කට වසාගෙන ‘ඇයි…. නිවට දෙමළෝ’ කියලා කෑ ගහලා ඇහුවා. එතකොට ම භල්ලූකයා අපේ මහ රජ්ජුරුවන්ගේ මුඛයට වේගවත් හීයක් විද්දා….! එ් සැණින් ම අපේ මහ රජ්ජුරුවෝ කඩු තලයෙන් කට වසාගත්තා. හීය වේගෙන් ඇවිත් කඩු තලයේ වැදුනා. බිමට වැටුනා. එතකොට ම අපේ රජ්ජුරුවෝ කඩු තලය මෑත් කරලා කටේ පුරවාගෙන හිටිය රතුපාට බුලත්විට කටෙන් පහළට වැක්කෙරෙන්න හැරියා. එ්ක දැකපු භල්ලූකයා මහ හඬින් හිනැහෙන්න පටන් ගත්තා. අප්පුඩි ගහන්න පටන් ගත්තා. ‘‘හහ්… හහ්… හා…  ඕන්න බලාපල්ලා…. මං…. ගාමිණියාගේ කටට ම විද්දා”

එතකොට දරුවනේ, අපේ මහ රජ්ජුරුවන් පිටපසින් උන්න ඵුස්සදේව යෝධයා බිහිසුණු හී සැරයක් භල්ලූකයාගේ කටට විද්දා. එ් අවස්ථාව කොයිතරම් වේගවත්ද කියන්නේ දරුවනේ, එ් හී තලය ගියේ රජ්ජුරුවන්ගේ කනේ පැලඳි කුණ්ඩලාභරණයේ වැදීගෙනයි. එතකොට ම ඇතා පිටේ හිටිය භල්ලූකයාගේ දෙපා තිබුණේ රජ්ජුරුවන් දෙසට දික් කරගෙනයි. එ්ත් එක්ක ම තවත් හීයක් දණහිසට විද්දා. එතකොට භල්ලූකයා දණත් නැමීගෙන රජ්ජුරුවන් දෙසට හිස පාත් කොරගෙන මැරී වැටුනා.

ඉතින් මයෙ දරුවනේ, එ් අවසන් යුද්ධයෙනුත් ජය අයිති වුණේ අපටයි.

දුටුගැමුණු මහ රජ්ජුරුවන්ගේ සේනාව ජයඝෝෂා නංවමින් අපේ ශුද්ධ නගරයට ආවා. එදා ඵුස්සදේව යෝධයා තමුන්නේ කන කඩුවෙන් කපාගෙන ලේ පතක් අතට ඇන්න මහ රජ්ජුරුවන් ඉස්සරහට ආවා.

‘‘මොකක්ද ඵුස්සදේව ඔය කරගත්තේ…!”

‘‘දේවයන් වහන්ස, මං හදිස්සියට භල්ලූකයාගේ කටට හීය විදිද්දි ඔබවහන්සේගේ කුණ්ඩලාභරණයේ එ් හීය වැදුනා. එ්කට දඬුවමක් හැටියටයි මං මෙය කරගත්තේ”

‘‘නෑ ඵුස්සදේව…. මාගේ සතුරු බලය නසන්නටයි ඔබ එය කළේ. කෝ….. ඔබ එ් විදපු හී දඬු දෙක මෙහි ගේන්න” කියලා එ් ඊ දඬු දෙක ගෙන්වාගෙන රවුමට පටලෝලා කෙළින් කරලා හිටෙව්වා. හිටෝලා එ් ප‍්‍රමාණෙට මසුරන් ගොඩ ගහලා ඵුස්සදේව යෝධයාට තෑගි දුන්නා.

ඉතින් මයෙ දරුවනේ,  ඕනෙම යුද්ධයක දී ජීවිත හානි වෙනවා නොවැ. ජීවිත හානි නැති යුද්ධය කියන්නේ කෙලෙස් යුද්ධයටයි. ඉතින් මේ යුද්ධයේදිත් ජීවිත හානි වුණා. මයෙ දරුවනේ, අපේ දුටුගැමුණු රජ්ජුරුවෝ අසංඛෙය්‍ය කල්පයක් පෙරුම් පිරූ මහෝත්තමයෙක්. උන්නාන්සේ කුරා කූඹියෙකුටවත් හිංසා කරන්න කැමති නෑ. එබඳු උත්තමයාට පවා සංසාරේ සැරිසරන්ට වූ නිසා යුද්ධ කරන්ට සිද්ධ වුණා. තමන් අතින් යුද්ධයක් කරන්ට සිදුවීම ගැන අපේ රජ්ජුරුවෝ මහත්සේ කම්පා වුණා. හිතේ වේදනාවෙන් උන්නා. එතකොට පුවඟු දිවයිනේ වැඩඋන්න රහතන් වහන්සේ නමක් අහසින් වැඩම කොරලා බණ කියලා රජ්ජුරුවන්ගේ ශෝකය දුරුකළා.

ඊට පස්සේ දරුවනේ, රජ්ජුරුවෝ මෙහෙම කල්පනා කළා.

‘අපේ පියරජතුමා දවසක් මටත් තිස්ස කුමාර මලණුවන්ටත් කිරිබත් අනුභව කරවලා පොරොන්දු ගත්තා එදා අපි සංඝයාට දානයක් නොදී බත් අනුභව කරන්නේ නෑ කියලා පොරොන්දු වුණා. නමුත් මා අතින් මේ යුද්ධ කරන්ට සිදුවුණු කාලේ එ් පොරොන්දුව ඉෂ්ඨ වුණාද කියලා දිගින් දිගට ආපස්සට කල්පනා කළා…. එතකොට එක දවසක් සංඝයාට පූජා නොකොට ලූණු මිරිසක් අනුභව කළ අවස්ථාවක් මතක් වුණා….. ඉතින් දරුවනේ එයට දඬුවමක් වශයෙන් සර්වඥ ධාතු වැඩහිටිය රජ්ජුරුවන්නේ ජය කොන්තය පිහිටුවලා මිරිසවැටිය මහසෑය කෙරෙව්වා. ලක්ෂයක් භික්ෂූන්ටත් අනූදහසක් භික්ෂුණීන්ටත් සතියක් මහදන් දුන්නා.

ඊට පස්සේ දරුවනේ, දහසක් මුදුන් වහළ ඇති දහසක් ආවාස ඇති මහල් නවයක් උස දෙව්විමනක් වගේ බබළන ලෝවාමහාප‍්‍රාසාදය කරවලා කලින් වගේම මහදන් දුන්නා. අනුරාධපුරේ විතරක් තුන්සිය හැටක් විහාර කෙරෙව්වා. රුවන්වැලි මහාසෑය කෙරෙව්වා. අවුරුදු පතා වෙසක් මහෝත්සව විසි හතරක් කෙරෙව්වා. මේ ලංකාද්වීපය පස් වතාවක් ගෞතම බුදු සසුනට පූජා කළා. ලක්වැසි සියලූ භික්ෂු භික්ෂුණීන්ට තුන් වතාවක් අට පිරිකර පූජා කළා. දිනපතා දොළොස් දහසක් පහන් දැල්වුවා. ලක්දිව පුරා ප‍්‍රධාන ආරෝග්‍ය ශාලා දහ අටක් කෙරෙව්වා. මී පිඬුයි කිරිබතුයි නිතිපතා දෙන මහා දන්සැල් හතළිස් හතරක් කෙරෙව්වා. හැම නගරෙක ම අධිකරණ ශාලා පිහිටෙව්වා. සතර පොහොයට ලංකාවේ සියලූ වෙහෙර විහාර වලට මහා පහන් පූජා කෙරෙව්වා.
ගැබිණි මව්වරුන්ටත් දරුවන් වැදූ මව්වරුන්ටත් නොමිලේ ප‍්‍රණීත ආහාරපාන දුන්නා. වස්ත‍්‍ර දුන්නා. දහවල් වැඩකොට රෑ කුසගින්නේ සිටින සියලූ ගවයන් සොයලා මීපැණි තැවරූ පිදුරු දුන්නා. ලක්දිව පුරා විහාරස්ථාන වල බණමඩු කෙරෙව්වා. ධර්මාසන කෙරෙව්වා. ධර්ම කථිකයන්ට විශේෂ ධර්මපූජා කෙරෙව්වා. ඔය විදිහට මයෙ දරුවනේ, විසි හතර අවුරුද්දක් ලංකා රාජ්‍යය කරවලා බුද්ධ ශාසනය බබුළුවලා ජනතාව සුඛිත මුදිත කෙරෙව්වා.

මයෙ දරුවනේ, කාටත් වෙනවා වගේ අපේ දුටුගැමුණු මහ රජ්ජුරුවන්ටත් අවසන් අවස්ථාව පැමිණුනා. භික්ෂූන් වහන්සේලා වැඩම කරලා පිරිත් කිව්වා…. දරුවනේ…. පිනක මහිමය නම් මහා අසිරියක්….. රජ්ජුරුවන්ට අහස බැලූනා. ලස්සනට සරසාපු අලංකාර දිව්‍ය රථ හයක් අහසේ පේනවා. එ් දිව්‍ය රථ වල ඉන්න දෙවිවරු අපේ රජ්ජුරුවන්ට එ් එ් දිව්‍ය ලෝකවලට එන්න කියලා අඬ ගහනවා. එතකොට රජ්ජුරුවෝ ඔහොම ටිකක් ඉන්න කියලා දකුණු අත ඔසොවලා දෙවියන්ට සංඥා කළා. ස්වාමීන් වහන්සේලා හිතුවේ පිරිත නවත්වන්ට කිව්වා කියලා කියලයි. මහජනයා හිතුවේ මරණ භයෙන් පීඩිත රජ්ජුරුවෝ විකාර කරනවා කියලයි. නමුත් දරුවනේ, එතන වැඩහුන් ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ හැමෝගෙම සැක දුරුකරවන අදහසින් මෙහෙම ඇහුවා.

‘‘මහ රජ්ජුරුවනේ…. දිව්‍ය ලෝක සයෙන් ම දිව්‍යරථ ඇවිල්ලා නේද?”

‘‘එහෙමයි ස්වාමීනී…. දිව්‍ය රථ සයක් ඇවිදින් මට එන්න එන්න කියලා කතා කරනවා”

‘‘මහ රජ්ජුරුවනේ…. මල්මාලා සයක් උඩට දැම්මොත් හැමෝට ම අහසේ රැඳුන මල්මාලා දකින්ට ලැබේවි නේද?”

එතකොට දරුවනේ, දුටුගැමුණු රජ්ජුරුවෝ මල්මාලා අහසට දැම්මා. එ්වා අහසේ එල්ලූනා. හැමෝම පුදුම වුණා. සැක සංකා දුරුවුණා. ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් රජ්ජුරුවෝ මෙහෙම ඇහුවා. ‘‘ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකයද හොඳ….”

‘‘මහ රජ්ජුරුවෙනි…. මහමෙත් බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නෙත් තොප පියාණන් වූ කාවන්තිස් නිරිඳුත් විහාරමහාදේවී මෑණියනුත් ඉන්නේ තුසිතයේ නොවැ. තුසිතේ තමයි හොඳ. එනිසා තුසිතයේ ම සිත පිහිටුවා ගන්න”

එතකොට දරුවනේ, දුටුගැමුණු මහ රජ්ජුරුවෝ රුවන්මැලි මහසෑය දෙස බලාගෙන ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සිහිකොට භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ මෙනෙහි කරමින් එ් හාන්සි වූ ඉරියව්වෙන්ම වන්දනා කරගෙන හිටියා. ටිකෙන් ටික දෑස් පියවුනා. මියගියා. නිදා පිබිදියා වගේ තුසිතභවනයෙන් ආ දිව්‍ය රථයෙහි  ඕපපාතිකව උපන්නා. මහා අලංකාර දිව්‍ය රාජයෙක්. ගැල් හැටක් පුරවන්න පුළුවන් තරමේ ආභරණ පැලඳ සිටියා. මහජනයා සාදුකාර දුන්නා. එ් හැමෝට ම පේනවා. එතකොට එ් දේවතාවා හැමෝටම පෙනෙන්ට මහාසෑය තුන් විටක් පැදකුණු කළා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළා.

තම මල්ලී වන තිස්ස කුමාරයාත් මහජනයාත් වන්දනා කරගෙන සතුටු කඳුළු වගුරුවමින් බලා සිටිද්දී අපේ දුටුගැමුණු දිව්‍ය පුත‍්‍රයාව දිව්‍ය සේනාව පිරිවරාගත්තා. එතැන ම නොපෙනී ගියා. පින්වත් දරුවනේ…. අපේ රජ පරපුරේ මහානුභාවය හරි අසිරිමත් නේද?

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කථාව – 8

රජ්ජුරුවෝ ඇවිත් රාජමුද්‍රාව කඩා සුදු රෙද්ද ඉවත් කළා. මයෙ දරුවනේ, කියන්ට බැරිතරම් ආශ්චරියයි...! බුද්ධ රශ්මි මාලාවෙන් බබළන....