සම්බුදුරජාණන් වහන්සේට අග‍්‍රතම අයුරින් පූජා පවත්වන්නට අපි කවුරුත් කැමතියි. බුද්ධ පූජාවන් නිවැරදි ආකාරයෙන් සිදු කරන කොට ලොකු පිනක් රැස් වෙනවා. ඒත් නිවැරදි විදිහට යම් යම් පූජාවන් සකස් කර ගන්න ආකාරය බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා අපි හිතුවා ඒ නොයෙක් නොයෙක් පූජාවන් අතරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා දිය නුමුසු කිරි ආහාර පිළියෙල කර ගන්නා නිවැරදි ම ආකාරය මෙවර මහාමේඝයෙන් කියල දෙන්න.

මීට වසර 2605 කට පෙර උදා වූ සුපින්බර වෙසක් පොහෝ දිනයේ උරුවෙල් ජනපදයේ සේනානි නියම් ගමේදි ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ කිරි අහරින් පිදුම් ලැබුවා. සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුන ඒ ක්ෂීරපායාස දානය වළඳා එදින හවස් යාමයේ වජ‍්‍රාසනයේ වැඩ සිටි බෝසතාණන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා.

ඒ මහත්ඵල මහානිශංස වූ ක්ෂීරපායාස දානය සැකසෙද්දි මහ බඹු එයට ඉහළින් ජත‍්‍රයක් දැරූ බවත්, සතරවරම් දෙව් රජවරුන් සතර දෙසින් රැකවල් කළ බවත්, සක් දෙවිඳුන් එය පිසින්නට සඳුන් දර දැල්වූ බවත්, දෙවිවරුන් දිව්‍ය ඕජස් එයට එක් කළ බවත් පොත පතේ සඳහන් වෙනවා. එවන් වූ මහානීය පූජාවක් සකසා ගැනීම ගැනයි අපි මේ සටහන් තබන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම උදෙසා දිය නුමුසු කිරි ආහාර නිවැරදි ව සකස් කර ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

(මෙහි දක්වා ඇත්තේ සහල් කිලෝ එකකට අදාළ ප‍්‍රමාණයන්)
1. සුවඳැල් සහල් – කිලෝ ග‍්‍රෑම් 1 යි
2. වියළි කජුමද – ග‍්‍රෑම් 125 යි
3. වියළිි මිදි – ග‍්‍රෑම් 200 යි
4. රට ඉඳි – ග‍්‍රෑම් 250 යි
5. ඇපල් ගෙඩි ‐ 2 යි
6. තැඹිලි ගෙඩි ‐ 4 යි
7. එළකිරි – ලීටර් 5 යි
8. බටර් (මාජරින් නුසුදුසුයි) – ග‍්‍රෑම් 100 යි
9. එනසාල් – ග‍්‍රෑම් 15 යි
10. කරාඹුනැටි – ග‍්‍රෑම් 15 යි
11. ස්ට්‍රොබෙරි – ගෙඩි කිහිපයක්
12. මී පැණි – කාලක් පමණ

සාදා ගන්නා ආකාරය..

x සුවඳැල් සහල් ගෙන තැඹිලි වතුරෙන් හොඳින් සෝදා ගන්න.

x ඉන්පසු තැඹිලි වතුරේ ම පෙඟෙන්නට තබන්න.

x එනසාල් සහ කරාඹුනැටි බැදගෙන, කුඩු වන ලෙස කොටා ගෙන, එය එළකිරි ස්වල්පයක දමා තම්බා ගන්න. ඉන් පසු එම එළකිරි ස්වල්පය පෙරා ගෙන වෙනම තබා ගන්න.

x එළකිරි ලීටර් 5 ගෙන ප‍්‍රමාණවත් භාජනයකට දමා රත් කරන්න. එය නටන තරමට රත් වූ විට, එයට කරාඹු නැටි සහ එනසාල් තැම්බූ එළකිරි ද, බටර් ද එක් කරන්න.

x ස්වල්ප වේලාවක් තබා පෙෙ`ගන්නට තැබූ සුවඳැල් හාල් ගෙන නටන කිරි බඳුනට එක් කරන්න. ඉන්පසු කරවීම වැළැක්වීම පිණිසත්, උතුරා ඉවත්වීම වැළැක්වීම පිණිසත් දිගට ම හැඳිගාන්න. ඒ අතර තුර, සහල් ඇට පොඩි වන තරමට ඉදී තිබේ දැයි වරින් වර පරීක්ෂා කරන්න. යම් තරමකට ඉදී ගෙන එන විට එයට කජු එකතු කරන්න. සහල් ඇට හොඳින් පොඩි වන මට්ටමට එන්නට ටික වේලාවකට පෙර වියළි මිදි ස්වල්පයක් ද රටඉඳි ද එක්කර ගන්න. සහල් ඇට සම්පූර්ණයෙන් ම අතින් පොඩි කළ හැකි මට්ටමට ආවිට ලිපෙන් බාගන්න. වියළි මිදි එක් කළ යුත්තේ ලිපෙන් බා ගන්නට ටික වේලාවකට පෙරයි. නැතිනම් වියළි මිදි වැඩිපුර තැම්බී රසය වෙනස් වෙනවා.

x ලිපෙන් බා ගන්නා විට කිරි ආහාරය උකුවට තිබිය හැකියි. එය ගැටලූවක් නො වෙයි. උකු භාවය නැති වන තෙක් රත්කිරීමෙන් වළකින්න. ලිප මත තැබිය යුත්තේ, සහල් ඉදෙනතෙක් පමණයි.

x ලිපෙන් බාගත් කිරි ආහාර පිරිසිදු හැන්දකින් ඉතා පිරිසිදු පාත‍්‍රයකට බෙදා ගන්න. උකුවට තිබුණ ද පාත‍්‍රයට දමා ටික වේලාවකින් උකුභාවය නැති වී ඝන බවට පත්වෙනවා. ඉන්පසු මී පැණි ප‍්‍රමාණවත් අයුරින් සුන්දර ව රවුමට එක්කරන්න. එසේ ම අලංකාරව කපා ගත් ඇපල් ද ස්ට්‍රෝබෙරි ද කජු ස්වල්පයක් සහ වියළි මිදි ද එම කිරි ආහාරයට උඩින් එය සැරසීම පිණිස සුදුසු අලංකාර ආකාරයට අතුරන්න.

x ඉන්පසු සුන්දර ආවරණයකින් වසා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා මහත් ශ‍්‍රද්ධාවෙන් පූජා කරන්න.

මෙහි දී මුඛවාඩම් බැඳගෙන (මාස්ක් – mask), පිරිසිදු ස්ථානයක, පිරිසිදු ඇඳුම් පැලඳුම් ආදිය ඇඳගෙන, පිරිසිදු උපකරණ පමණක් ම යොදා ගනිමින් කිරි ආහාර සකස් කිරීම ඉතා යෝග්‍යයි. එසේ ම උඩුවියන් ආදිය ද බැඳගත හැකි නම් ඉතා හොඳයි. බුදුගුණ ශ‍්‍රවණය කරමින් හෝ බුදු ගුණ ම සිතමින් ඒවා සකස් කරන්න. කෙළ බිඳිති ආදිය විසි වීමට ඉඩ ඇති නිසා ශබ්ද නගමින් කථා බස් කිරීමෙන් වළකින්න (මුඛවාඩම් බැඳගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්)

මේ අයුරින් ඉතා පිරිසිදුව සහ ශ‍්‍රද්ධාවෙන් යුතු ව සකස් කරගත් කිරි ආහාර සිල්වත්ව, මහත් සැදැහැයෙන්, කර්ම ‐ කර්ම ඵල අදහා ගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමෙන් මහත් ආනිශංස ලැබෙනවා.

අප සියලූ දෙනාට ම උතුම් ශ්‍රී සම්බුද්ධ පූජාවන් මනා කොට සකසා සිදුකරලීමේ භාග්‍යය උදා වේවා!