ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා නම් මාර්ග අංගය භාග්‍යවතුන් වහන්සේ සූත‍්‍ර දේශනාවල විස්තර කර ඇත්තේ පහත ආකාරයෙනුයි.

–    බොරුකීම අත්හැරලා, බොරුකීමෙන් වැළකී වාසය කරනවා. සත්‍යය කථාකරන කෙනෙක් වෙනවා. ඇත්තෙන් ඇත්ත ගළපනවා. ස්ථිරව පිහිටා කථා කරනවා. පිළිගත හැකි දේ කථා කරනවා. බොරුවෙන් ලෝකයා ව රවටන්නේ නෑ. (මුසාවාදං පහාය, මුසාවාදා පටිවිරතෝ හෝති සච්චවාදී, සච්ච සන්ධෝ, ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස)

–    කේළාම් කීම අත්හැරලා, කේළාම් කීමෙන් වැළකී වාසය කරනවා. මෙතනින් අසා මේ අය බිඳවන්න අතන කියන්නේ නෑ. අතනින් අසා එ් උදවිය බිඳවන්න මෙතන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමඟි කරවනවා. සමඟි වූවන්ට අනුබල දෙනවා. සමඟි වූවන් හා වාසයට කැමතියි. සමඟි වූවන් හා එක්ව වසනවා. සමඟි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කථා කරනවා. (පිසුණං වාචං පහාය, පිසුණාය වාචාය පටිවිරතෝ හෝති. ඉතෝ සුත්වා න අමුත‍්‍ර අක්ඛාතා ඉමේසං භේදාය. අමුත‍්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසං භේදාය.  ඉති භින්නානංවා සන්ධාතා. සංහිතානං වා අනුප්පදාතා. සමග්ගාරාමෝ, සමග්ගරතෝ, සමග්ගතන්දිං. සමග්ගකරණිං වාචං භාසිතා හෝති.)

–    පරුෂ වචනය අත්හැරලා, පරුෂ වචනයෙන් වැළකී වාසය කරනවා. යම් වචනයක් ෙදාස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප‍්‍රියමනාප නම් එබඳු වූ වචන පවසනවා. (එරුසං වාචං පහාය, එරුසාය වාචාය පටිවිරතෝ හෝති. යාසා වාචා නේළා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හෝති)

–    තේරුමක් නැති කථාබහ අත්හැරලා, තේරුමක් නැති කථා කීමෙන් වැළකී ඉන්නවා. කල්යල් බලා කථා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කථා කරනවා. ධර්මය ම කථා කරනවා. විනය ම කථා කරනවා. සිත්හිලා දරාගැනීමට සුදුසු, වෙලාවට ගැළපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නො තබා, ප‍්‍රමාණවත් පරිදි දෙලොව යහපත පිණිස වූ දේ පවසනවා. (සම්ඵප්පලාපං පහාය, සම්ඵප්ලාපා පටිවිරතෝ හෝතී, කාලවාදී, භූතවාදී, අත්ථවාදී, ධම්මවාදී, විනයවාදී, නිධානවතිං වාචං භාසිතා හෝති කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසඤ්හිතං)

මෙම සම්බුද්ධ දේශනා අනුව, ඉතා හොඳින් පැහැදිලි වන්නේ, සම්මා වාචා මාර්ගාගංගය සම්පූර්ණ වන්නේ කථා නො කර සිටීමෙන් නොව කුසලයෙහි පිහිටා හික්මීමෙන් යුතුව වචන කථා කිරීමෙන් බවයි. බාහිය දාරුචිරිය හිමියන් මේ බුද්ධ ශාසනයේ වහා ධර්මය අවබෝධ කර ගත් ශ‍්‍රාවකයන් අතර අග‍්‍ර ශ‍්‍රාවකයා යි. එසේ සුළු මොහොතින් අරහත්වයට පත්වූයේ ප‍්‍රඥව ආදි ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියුණු බව නිසා මිස කතා නො කර සිටීම නිසා නො වේ.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටළුවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…