scan0005

කරුණාවෙන් දැනුම්දීම යි.

අප විසින් ඉතාමත් ම ශ‍්‍රද්ධාවෙන් යුතුව සිව්වණක් පිරිසේ ඒකාත්මික සහයෝගයෙන් උතුම් අනුරාධපුරවරයෙහි සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප‍්‍රාසාදය නමින් අසදෘශ මහා විහාර මන්දිරයක් ඉදිකිරීමට සැලසුම් කළෙමු. ඒ සඳහා විශාල මුදලක් වියදම් කොට සුදුසු භූමි භාගයක් ද මිලට ගතිමු. ගරු ජනාධිපතිතුමාගේ උද්යෝගයෙන් එම ස්ථානයට යන්නට මාවතක් ද පිළියෙල වෙමින් පවතී. මෙම වෙසක් පුන් පොහෝ දින උදෑසන ගරු ජනාධිපතිතුමන්ගේ හා ගරු බුද්ධ ශාසන ඇමතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් එහි මුල්ගල තැබීමේ පුණ්‍යෝත්සවය ද සැලසුම් කොට සිටියෙමු. නමුත් අටමස්ථානාධිපතිව වැඩවසන ගරු පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමිපාදයන් වහන්සේ විසින් අප හට පූජා නගර සීමා ආසන්නයේ එම විහාරය ඉදිකිරීමෙන් වළකින ලෙස ලිඛිතව දැනුම් දී තිබේ. උන්වහන්සේ ගිලන්ව වැඩවසන හෙයින් උන්වහන්සේට නිදුක් නීරෝග සුව ප‍්‍රාර්ථනා කරමින් උන්වහන්සේ කෙරෙහි මහත් ආදර භක්තියෙන් යුතුව උන්වහන්සේගේ එම ඉල්ලීම ඉටුකිරීමට තීරණය කළෙමු. ඒ අනුව යථෝක්ත භූමිය තුළ සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප‍්‍රාසාදය ඉදි නොවන හෙයින් මුල්ගල් තැබීමේ උත්සවය ද නොපැවැත්වෙන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමු.

එම භූමිභාගයෙහි මනා සෙවණින් යුතු ගස්වැල් සිටුවා සැදැහැවත් උවසුඋවැසියන් හට ඉතා සුවසේ බණ භාවනා කළහැකි රමණීය භූමියක් සිරි වාසව භාවනා උද්‍යානය නමින් පිළියෙල කරන්නට අදහස් කළෙමු. එනිසා මෙතෙක් ලැබුණු ආධාර උපකාර ඒ සඳහා යොමු කිරීමට කැමැත්තෙමු. එනිසා මෙම දැන්වීම කියවන ඔබ සියලූ දෙනා අපගේ නායක හාමුදුරුවන් වහන්සේ කෙරෙහි මෙන්ම සියලු සත්වයන් කෙරෙහි ද මෛත‍්‍රී සිතින් යුක්ත වෙත්වා! අමනාප සිතක් ඇති නොකර ගනිත්වා! සියලූ පින් අනුමෝදන් වෙත්වා! උන්වහන්සේ අපට සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප‍්‍රාසාදය ඉදිකිරීම පිණිස වෙනත් භූමි භාගයක් ලබා දෙන්නටත් ඒ සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ ස්වර්ණමාලී මහාසෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්නටත් ඉතා සතුටු වන සේක. අටමස්ථානාධිපති අපගේ නායක මාහිමිපාණන් වහන්සේ මෙන්ම අටමස්ථානයන්හි වැඩවසන ගරු විහාරාධිපතීන් වහන්සේලා ද මේ සඳහා මුළු සිතින් ම අපට සෙත් පතන සේක. සංඝයාගේ දයාවෙන් කරුණාවෙන් යුක්තව සමගියෙන් යුක්තව කරන පින්කමකට සියල්ලෝ සහභාගී වී දුර්ලභ බුදු සසුනෙහි උතුම් පින් රැස්කරගනිත්වා! යථෝක්ත භූමියෙහි ඉදිවන සිරි වාසව භාවනා උද්‍යානයෙහි සුවසේ බවුන් වඩත්වා!

– මහමෙව්නාව භාවනා අසපුව –