තුන්සිය හැටපස් දවසකට පස්සේ එන දවසේ’ කැවුම් කිරිබත් උයලා, අලූත් ඇඳුම් පැලඳුම්වලින් සැරසිලා, නෑගම් ගිහිල්ලා, කාලා බීලා සතුටු වෙලා, කායික මානසික වෙහෙසක් එක්ක ‘අලූත් අවුරුදු’ ගෙවන සංස්කෘතිය අපි දන්න කියන කාලේ ඉඳන් අපේ රටේ තිබෙනවා. හැම දවසක් ම එන්නේ තුන්සිය හැටපස් දවසකට පස්සෙ වුණාට මේ අපේ‍්‍රල් අවුරුද්ද තමයි උත්සවශ්‍රීයෙන් වැඩිපුර ම සමරන්නේ. අවුරුදු කියලා සැමරුවාට එදායින් පස්සෙත් ඉලක්කමකින් වත් වෙනස් නො වී පරණ අවුරුදු ම යි අපි ගෙවන්නේ.

අප නො දන්න කාලේ ඉඳන් ම අද දක්වා ම පැවත එන, ඉලක්කමෙනුත් වෙනස් වෙන, ගෙවී යන විට කායික මානසික ප‍්‍රමුදිත භාවය ශේෂ කරවන අලූත් අවුරුද්දකුත් අපට තිබෙනවා. අද වෙද්දි බොහෝ දෙනෙක් අලූත් අවුරුද්ද කියන වචන මාත‍්‍රයෙන්වත් හඳුන්වන්නේ නැති වුණාට සිංහල රාජවංශයේ අරුණෝදයේ පටන් ම මේ අවුරුද්ද තමයි අලූත් අවුරුද්ද වුණේ. සිංහල රජවරු තිසරණගත පංචසීලයේ පිහිටියේ යම් දිනක ද එදා පටන් ම බුද්ධ වර්ෂය යි සිංහලයේ රාජ්‍ය වර්ෂය බවට පත් වුණේ. එදා පටන් ම යි බුද්ධ වර්ෂය සිංහලයන්ගේ අලූත් අවුරුද්ද බවට පත් වුණේ. බුද්ධ වර්ෂ 238 වැන්නේ පටන් සිංහල රාජ්‍ය වංශයේ රජවරු අභිෂේක ලැබුවෙත් මේ අලූත් අවුරුදු දවසේ. බොදුනුවන්ගේ 2660 වන අලූත් අවුරුදු දිනයට යි එළඹෙන වෙසක් පුන් පොහෝ දිනයේ පුන්සඳ මඬල නැගෙන්නේ. මේ අලූත් අවුරුද්ද අපට අනාවරණය කළේ සම්බුදු ළය මඬලේ ඉපදුණ නිකෙලෙස් සිතැති මහරහතන් වහන්සේලා.

එ් බුද්ධ වර්ෂයේ ඉතිහාසය මෙහෙම කෙටියෙන් දක්වන්න පුළුවන්.  ඕනෑ ම කාලයක,  ඕනෑ ම ලෝකයක ‘දුක’ තිබෙනවා. ඉපදීම යම් තැනක හට ගන්නවා නම් එ් ප‍්‍රත්‍යයෙන් දුක් රැුස ම හට ගන්නවා. දුක හට ගන්නේ හේතු ඇතිව ම යි. එ් නිසා  ඕනෑ ම ලෝකයක,  ඕනෑ ම කාලයක දුකට හේතුවත් තිබෙනවා.  ඕනෑ ම කාලයක,  ඕනෑ ම ලෝකයක දකින්නට නො ලැබෙන්නේ, අසන්නට නො ලැබෙන්නේ දුකට හේතුව නැති කිරීමත්, එ් ප‍්‍රතිපදාවත් යන ආර්ය සත්‍යයන්. සියලූ හට ගැනීම් දුරු කරවන නිරුද්ධ වීම් ලෝකයට විවෘත වන්නේ සම්මා සම්බුදුවරයෙකුගේ පහළ වීමෙන් පමණයි. කල්ප සියයකට ම හත් වතාවක් පමණක් ලෝකයට විවෘත වූ එ් මාවතේ හත්වන ඍෂිවරයාණන් වහන්සේ බවට පත් වුණේ අපගේ ශාස්තෘන් වහන්සේ. ලෝකයට දහම් ඇස පහළ කරවූ එ් මහා කාරුණිකයාණන් වහන්සේගේ අභිනීල නේත‍්‍ර යුග්මය පියවී ගිය වෙසක් පුන් පොහෝ දිනයේ පටන් එළඹි සෑම වෙසක් පුන් පොහෝ දිනයක් ම බුද්ධ වර්ෂයක ආරම්භය වගට පත් වුණා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගත වෙලා එළඹුනු නිකිණි පුන් පොහෝ දිනයේ සප්තපර්ණී ගුහා පරිශ‍්‍රයේ වැඩ හිඳිමින් එ් පන්සියයක් වූ, සම්බුදු රූපකාය ද ජීවමාන ව දැක බලා ගැනීමේ වාසනාව ලද මහරහතන් වහන්සේලා ‘මීට තුන් මසකට පළමු සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම වූ සේක…!’ යනුවෙන් සජ්ඣායනා කිරීමෙන් ඇරඹුනු කාල ගණනය තමයි බුද්ධ වර්ෂ ගණනයේ සමාරම්භය වුණේ. එ් මුනිවරු තෘෂ්ණාව සිඳ බිඳ දැමූ, ඇලීම් ගැටීම්, මුළා වීම් ප‍්‍රහාණය කළ, සසරින් සදහට ම නිදහස් වුණු, නිවුනු සැනසුනු මුනිවරු. උන්වහන්සේලා විසින් පනවන ලද දෙයක්, උන්වහන්සේලාගේ පිය සටහන් ඔස්සේ සම්බුදුරජුන් සොයා යන මේ ගමනේ දී අනුගමනය කරන්නට ලැබීම ම වාසනාවක් නේ ද…!

තවත් එක් බුද්ධ වර්ෂයක අවසානය තමයි මේ ගෙවී යන්නේ. මනුෂ්‍ය ලෝකයේ ආයුෂය නො ගෙවී තිබුණහොත් අලූත් බුද්ධ වර්ෂයේත් මේ මනුෂ්‍ය ලෝකයේ ම දිවි ගෙවන්නට අපට අවස්ථාව ලැබේවි. අපි එකිනෙකාගේ වයසට අනුරූප ව බුද්ධ වර්ෂ ප‍්‍රමාණයකුත් අප ගත කොට අවසන්. දැනුම් තේරුම් ඇති ව ගෙවී ගිය ජීවිත කාලයෙනුත් අවුරුදු දාසයකට දාහතකට  වඩා අපට දැනුම් තේරුම් ඇති ව, අවබෝධයෙන් යුතු ව, බුද්ධ ශ‍්‍රාවකයන් විදිහට කාය සුචරිතයේ, වචී සුචරිතයේ, මනෝ සුචරිතයේ හැසිරෙන්න ඉඩ ලැබුණේ නැහැ. ධර්මය මනා කොට ම විවෘත වුණ බුද්ධ වර්ෂ දාහතක පමණ කාලය පුරා ම හෝ එයින් යම් කාලයක් හෝ ධර්මය කෙරෙහි කැමැත්ත උපදවාගෙන, කල්‍යාණ මිත‍්‍රයාණන් වහන්සේලාගේ ඇසුර ප‍්‍රිය කරමින් වාසය කරන්න අපට අවස්ථාව ලැබුණා.

ඔව්… ලෝකයේ අති මහත් බහුතරයකට බුද්ධ ශාසනය අහිමි වෙද්දි අපිට බුද්ධ ශාසනය හිමි වුණා… ලෝකයේ අති මහත් බහුතරයකට නිර්මල ව ධර්මය කියා දෙන කල්‍යාණ මිත‍්‍ර සංඝයා වහන්සේලා ඇසුරට නො ලැබෙද්දි අපට එ් කල්‍යාණ මිත‍්‍ර සේවනය ලැබුණා… ලෝකයේ අති මහත් බහුතරයකට නිර්මල ධර්මය විවෘත කරල දහම් පොත පත, දේශනා දකින්නට නො ලැබෙද්දි අපට එ් උතුම් දහම් ග‍්‍රන්ථ, ධර්ම දේශනා පරිශීලනය කරන්නට ලැබුණා… ලෝකයේ අති මහත් බහුතරයකට ඉපදීම නැති කරන – සියලූ දුක් නසන මඟ අහිමි වෙද්දි අපට ඉපදීම නැති කරන – සියලූ දුක් නසන මඟ හිමි වුණා… ලෝකයේ අති මහත් බහුතරයකට සතර අපායෙන් සදහට ම මිදෙන උපාය මඟ හැරෙද්දි අපට සතර අපායෙන් සදහට ම මිදෙන උපාය මුණගැසුණා… සම්බුද්ධ ශාසනයේ ක්ෂණ සම්පත්තිය නො ලද, ලෝකයේ අති මහත් බහුතරය ඉපදීමෙන්, ජරා ව්‍යාධි මරණවලින්, සතර අපායෙන් නිදහස් වී නැහැ. සම්බුද්ධ ශාසනයේ ක්ෂණ සම්පත්තිය ලැබුව අපි…? ඉපදීමෙන්, ජරා ව්‍යාධි මරණයෙන් හෝ සතර අපායෙන් නිදහස් වෙලා ද…? ධර්මය මුණනොගැසුන ලෝකය සහ ධර්මය මුණගැසුන අප අතර මෙහිලා තිබෙන වෙනස මොකක්ද…?

‘‘යථා’පි රුචිරං පුප්ඵං –
        වණ්ණවන්තං අගන්ධකං
එ්වං සුභාසිතා වාචා –
        අඵලා හෝති අකුබ්බතෝ”

   ‘‘ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. එ් වුණාට කිසි සුවඳක් නෑ. අන්න එ් වගේ ම යි, බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නො කරන කෙනෙකුට වැඩක් නෑ.”
(පුප්ඵ වර්ගය – ධම්ම පදය)

අති මහත් ලෝකයට අහිමි වීත් අපට හිමි වුණ මේ සද්ධර්ම ලාභය ගැන අපට අපමණ ව සතුටු වන්නට පුළුවනි. එහෙත් අපට එයින් සෑහීමකට පත් වන්නට බැහැ. මීට පෙරත්, ඉතා කලාතුරකින් වුණත් සම්බුදුරජාණන් වහන්සේලාත්, බුද්ධ ශාසනත් අපට මුණගැසෙන්නට ඇති. එ් කාලවලත් ලද ලාභය ගැන සතුටු වීම හැර එ් ලාභයෙන් අග‍්‍ර ඵල නෙළීමක් ගැන අප කටයුතු කොට නැහැ. එසේ කටයුතු කළා නම් මෙතෙක් අප සසරේ ඇවිද එන්නේ නැහැ…

ආමිෂ දෙවැනි කොට පිළිවෙතින් තමන් වහන්සේ ව පුද දීමයි සම්බුදුරජුන් වර්ණනා කළේ. අපි සම්බුදුරජාණන් වහන්සේ ව ඇසුරු කරනවා කියන්නේ උන්වහන්සේගේ අවවාදය පිළිගන්නවා කියන එකයි. එ් අවවාදයේ හික්මෙනවා කියන එකයි. මේ අලූත් බුද්ධ වර්ෂයට පියවර තබන කොට එ් සම්බුදුරජුන් ව ආදර ගෞරවයෙන් ඇසුරු කරන සැබෑ බුද්ධ ශ‍්‍රාවකයන් වගට අප පත් වුණොත්, එය ම යි ශාස්තෘන් වහන්සේට කළ හැකි අග‍්‍රතම උපහාරය…

   ‘‘කාලය වේගයෙන් ගෙවිලා යනවා. රැය පහන් වෙන්නෙ ජීවිතය ගෙවාගෙනයි. ජීවත් වෙන්න තියෙන කාලය ටිකෙන් ටික අහිමි වෙනවා. මරණය අබියස තියෙන ඔය බිය දකින කෙනා, එ් අමා නිවන් සුව ලබන්න කැමැත්තෙන් ලෝකාමිසය අත්හරින්න  ඕන.”
(ගෞතම බුදුරජාණන් වහන්සේ – අච්චෙන්ති සූත‍්‍රය, සං. නි. 1)

මේ වර්ෂයෙන් වර්ෂය, මාසයෙන් මාසය, දවසින් දවස, මොහොතින් මොහොත ගෙවී යන්නේ ජීවත් වන්නට තිබෙන කාලය යි. අති මහත් බහුතරයකට අහිමි වීත් මේ ජීවිත කාලය තුළ අපට හිමි වුණ එ් අග‍්‍රතම ලාභයෙන් නො පමා ව ඵල නෙළමු. තිසරණය රැුකගත්, සුගතිය තහවුරු කර ගත්, නිවන් මෙඟ් ආරම්භයට සපැමිණි උතුම් බුද්ධ ශ‍්‍රාවකයන් ව මේ බුද්ධ වර්ෂයට අපිදු පිළිවෙතින් පෙළගැසෙමු.

නිවන් මඟින් බැහැර නො වී, අමා නිවනට ම යොමු වුණු සිත් ඇති ව, සුපිරිසිදු සිල් ඇති ව, ඍජු දෘෂ්ටි ඇති ව අලූත් බුද්ධ වර්ෂය වෙත පියනගන්නට අප තුළත් සේඛ බල දියුණු වේවා!!!

සටහන
උදුලා පද්මාවතී