එකල මා පොඩි නමක් ව සිටියදී
අපේ ගුරු දෙවිඳුනේ
මට ඔබව පෙනුනේ
කෙසර විහිදා සිටින
මහා සිහරදෙකු මෙනි

තිස් වසර පුරාවට
ජාතිවාදී කොටින් සැහැසිව
නිරපරාදේ සිහල ජනයා
නසා වනසා දමන විටදී
අප භගවත් මුනිඳුගේ
නළල් දා පිහිටි
සේරුවිල මහ පින්බිම
තබා දිවි පරදුවට
සුරැක ගත්තෝ
ඔබ මිසක් වෙන කවරහුද?

දිඹුලාගල නාහිමි නැසූ ලෙසින්
ඔබව ද නසාලන්නට
ජාතිවාදී කොටින්
එකොළොස් වතාවක් ම
ඇටුවෝය උගුල්,
අසිරිමත් ය ඔබේ පින් තෙද
ඒ හැම උගුලෙනුත් බේරී ගිය
අපේ ගුරු දෙවිඳුනේ

පිළිකාව නමැති සතුරා
රහසේ ම ඔබ කයට රිංගා
ඔබට වින කටින තුරු
අපට දැනගත නොහැකි වූයේ
මන්ද අප ගුරු දෙවිඳුනේ?

ජාති භේදයක සේයාවක්
ඔබේ සෙවනැල්ලෙහිවත් වැටී නොතිබුනි
එක ම මිනිසත් පවුලක
අපි සියල්ලෝ මිනිසුන් ම වග
නිතර ඔබ හඬගා වදාළ අයුරු
තවම රැව් දේ මගේ සවනත

දිවියේ අනිස බව පසක් කරමින්
මේ නවාතැනින් සමුගෙන
අලුත් නවාතැනකට වඩිනා
අපේ ගුරු දෙවිඳුනේ

අප මුනිඳු නළල් දා පිහිටි
සේරුවිල මහාසෑ අනුහසින්
ඒ අලුත් නවාතැනදී සුවසේ
සිව්සස් දහම් දැකුමට
ඔබට සවිබල වේවා!

අපේ ගුරු දෙවිඳුනේ,
මේ ගොයුම් බුදු සසුනේ
පසක් වේවා අම නිවන් සුව!

ඔබේ සිසු දරුවන් වන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුලු මහමෙව්නාවේ සඟ පිරිස