සිරි ගෞතම බුදු සමිඳු වඩින්නේ…

බක් පුන් පොහෝ දිනය ලක්වැසි බොදුනුවන් හට අමා දම් සිසිල ලබා දෙන ශාක්‍ය මුනීන්ද්‍ර මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කඳ මෙනෙහි වන උතුම් පොහෝ දිනයකි. මේ සුන්දර දිවයින දෙවන වරටත්, බුදු සිරිපා පහසින් පිවිතුරු වූයේත්, දම් රජාණන් වහන්සේගේ සවණක් ඝණ බුද්ධ රශ්මි මාලාවෙන් මුළු හෙළදිව ම ආලෝකවත් වූයේත්, දහම් අමා මිහිරෙන් නොයෙක් දනන් නිවී සැනසී ගියේත් අද වන් බක් පුන් පොහෝ දිනයක දී ය.

බුදු සමිඳුගේ නෙතින් ගලා කරුණා දහර…

භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධ දින චරියාව අරඹන්නේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදී, ලෝ සතට පිහිට වීමට සිත යොදමිනි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ කරුණා නෙත් ‘චූලෝදර – මහෝදර’ යන නා රජුන් දෙදෙනා කෙරෙහි යොමු වූයේ, මිණිපළඟට සටන් වැදීමට සූදානම් ව සිටිය දී ය. මහා කාරුණිකයන් වහන්සේ නාගයින්ට සෙත-සුව සදනු පිණිස බක් මස පුන් පොහෝ දා ඍද්ධියානුභාවයෙන් නාගදීපයට වැඩම කළ සේක.

නාග රජුන් සැහැසි ලෙසින් සටනට වන්නේ…

මහා බලසම්පන්න වූ මහෝදර නා රජු මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. නා රජුගේ නැගණිය වූ තිරවිකා නම් නාග කන්‍යාව කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත‍්‍රයා ‘චූලෝදර’ නම් විය. ගොඩබිම් වැසි නාගයෝත්, මුහුදු වැසි නාගයෝ මෙන් ම මහා බල සම්පන්නයෝ වූහ. චූලෝදර නාරජුගේ සීයා වන නාග ප‍්‍රධානියා කළුරිය කරන කල්හී, තමා සතුව තිබූ ඉතා අගනා මිණිපළඟ පුතාට නොදී, චූලෝදරගේ මව වන දියණියන් හට දුන්නේ ය. චූලෝදර – මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණිපළඟ යි.

දෙව් මිනිසුන්ගේ උත්තම ගුරු දෙවිඳුන් වන්නේ…

භාග්‍යවතුන් වහන්සේ නාගදීප ගමනට, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුකට අරක්ගෙන සිටි ‘සමිද්ධි සුමන’ නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙව්රද සිය භවන වූ කිරිපළු රුක උදුරා ඡුත‍්‍රයක් සේ ඔසවාගෙන, පෙර භවයේ තමා විසූ නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දෙවියන්, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුක අධිගෘහිත වන්නට පෙර භවයේ නාගදීපයේ මිනිසෙකු ව ඉපිද සිටියේ ය. එකල කිරිපළු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේබුදුවරුන් දැක, පාත‍්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුන්නේ ය. එ් පින් බෙලෙන් හෙතෙම දෙව්රම් වෙහෙර කිරිපළු රුකෙහි දෙවියෙකු ව උපන්නේ ය.

ඇවිළ ගිය සිත් සතන් නිවී සැනසී ගියා…

භාග්‍යවතුන් වහන්සේ බක් මස අවපසලොස්වක පොහෝ දා උදෑසන හෙළදිව නාගදීපයට වැඩමවා ආකාශයෙහි වැඩ හි`දිමින්, එහි යුධ වැදීමට සූදානම්ව සිටි දෙපසෙහි නාගයන් දමනය කරනු පිණිස මහත් ඝණ අ`දුරක් මැවූ සේක. එයින් නාගයින් බියපත් වූ විට, ඍද්ධිමත් ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ව ඔවුනට දකින්නට සැලැස්වූ සේක. එයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත් නාගයෝ සම්බුදු සිරිපා අබියස වැඳ වැටුනහ. ලෝකනාථයන් වහන්සේ දෙරජුන් ප‍්‍රමුඛ නාග සේනාවන් සමඟි කරවීම පිණිස ධර්මය දේශනා කළ සේක. කාකෝලූක, ඵන්දන, වට්ටක ආදී ජාතක දේශනාවන්ගෙන් වෛර කිරීමෙහි ඇති ආදීනවත්, සමඟියේ අනුහස් ද පෙන්වා දුන් සේක. සසරේ ආදීනව, ඊර්ෂ්‍යාව, එකටෙක කිරීමේ නපුර ඉස්මතු කරමින් දහම් අවවාද ලබා දුන් සේක. යුධ වැදීමට සිටි නා රජුන් දෙදෙනා ධර්ම ශ‍්‍රවණයෙන් අපමණ ප‍්‍රීතියට පත්ව, යුද්ධයට හේතු වූ මිණිපළඟ භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. අහසින් බිමට වැඩම කර එහි වැඩහුන් ලෝකනාථයන් වහන්සේ, නාගයන් විසින් පිළිගැන්වූ, දිව්‍යමය ආහාර පාන වළඳා, අසූ කෝටියක් නාගයින් තිසරණ පන්සිල්හි පිහිට වූ සේක.

පාරිභෝගික චෛත්‍යයක් ලෙස වන්දනාමාන කිරීමට කිරිපළු රුක සහ මිණිපළඟ නාගයින්ට පවරා දුන් සේක.

බුදු ගුණයට සිත අවනත වන්නේ…

මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නා රජතුමා කැලණිපුරයේ සිට බෑණාට සහය වීම පිණිස සටන් බිමට පැමිණ සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පළමුවර
මහියංගණයට වැඩි දා දහම් අසා සරණ සීලයෙහි පිහිටා සිටි මනිඅක්ඛික නා රජු තථාගතයන් වහන්සේට නැවත වරක දී තම වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළේ ය. භාග්‍යවතුන් වහන්සේ නා රජු කෙරෙහි කරුණාවෙන් එම ආරාධනය නිහඬ ව පිළිගත් සේක.

වැඩියා ගෞතම මුනි සැනසුම දෙන…

මෙබඳු උත්තම සිදුවීම් දාමයකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පුන් පොහොය හෙළ බොදුනුවන්ට මහත් වූ නිරාමිස ප‍්‍රීතිය ඇති කරවන දිනයකි. සිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ මහිමය මනසට සිහිපත්වන පූජනීය දිනයකි. තුන් ලෝ වාසීන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ සිරි ලක්දිව කෙරෙහි සුවිශේෂී අනුග‍්‍රහයන් කළ බව, ලක්වැසියන් කෙරෙහි විශේෂ ශාසනික බලාපොරොත්තුවකින් කටයුතු කළ බව ඉතා පැහැදිලි ය. ශාස්තෘන් වහන්සේ තැබූ ඒ විශ්වාසය අපේ මුතුන් මිත්තන් වූ හෙළ බොදුනුවන් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුතුව, ඒ අයුරින් ම සුරැකි බවට අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සාක්ෂි දරයි. එය තව දුරටත් සුරැකීම පිණිස අධිෂ්ඨානශීලී වන්නට බක් පුන් පොහෝ දිනය අතිශයින් ම උචිත දිනයකි.

නාගදීප සෑ රදුන් පුදන්නේ…

නාගදීප සෑ රජාණන් වහන්සේ සොළොස් මහා පූජ්‍යස්ථාන අතරින් එක් පින්බිමකි. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද පහසින් පිවිතුරු බවට පත් නාගදීප නාමය අතීතයේ දී මුළු යාපනය අර්ධද්වීපය ම හැඳින්වීමට භාවිතා කර ඇත. දෙවැනි ශතවර්ෂයේදී යාපනයේ පැවති භාෂාව සිංහල බවත්, අනුරාධපුර රජුගේ ඇමතියෙකු විසින් යාපනය පාලකය කළ බවත්, බෞද්ධ වෙහෙර විහාර හා සිද්ධස්ථාන එහි ගොඩනගන ලද බවත්, වල්ලිපුරම් හී තිබී හමු වූ රන්පතින් පුරා විද්‍යාඥයන්ට හෙළිදරව් වී තිබේ. නාගදීපය නමින් හැ`දින්වෙන පුණ්‍ය භූමිය අතීතයේ දී හෙළ බොදුනුවන්ගේ වැදගත් ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයකි. මෙම ප‍්‍රදේශය යාපා පටුන නමින් හැඳින්වූයේත්, එහි ද්‍රවිඩ බලය වැඩි වූයේත්, පොලොන්නරු යුගයෙන් පසුව බව සැලකේ. එනමුත් පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපනය අර්ධද්වීපය ම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට කොතෙකුත් සාධක ඇත.

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි මිණිපළඟ නිදන් කොට තනවන ලද නාගදීප සෑ රදුන් හෙළ බොදුනුවන්ගේ මහත් සම්භාවනාවට පත් පූජනීය ස්ථානයකි. නාගදීපයේ අද දක්නට ලැබෙන්නේ පෞරාණික දාගැබ ම නොව අභිනවයෙන් සාදවන ලද දාගැබකි. අප බොදු බැතිමතුන් වෙහෙස මහන්සි නො බලා, දුර ගෙවා ගෙන, මහත් ආයාසයෙන් නමුත් නාගදීපය සෑ රදුන් වෙත ශ‍්‍රද්ධා භක්තියෙන් යුතුව පැමිණෙන්නේ, සම්බුදු පා පහසින් සුපූජණීයත්වයට පත්, නිර්මල බුද්ධ ශාසනය පැතිර ගිය උතුම් පුණ්‍ය භූමියක් නිසාවෙනි.

සතර පෙරනිමිති දැකීම…

විසිනම වයස් සපිරි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ, උයන් ක‍්‍රීඩාව සඳහා ගමන් කරද්දී, පළමුකොට ම මහල්ලෙක් දකින ලද්දේ බක් මස පුන් පොහෝ දිනයේ දී ය. එතැන් පටන් ලෙඩෙකු වෙසක් පුන් පොහෝ දිනත්, මරණයක් පොසොන් පුන් පොහෝ දිනත්, පැවිදි රුවක් ඇසළ පුන් පොහෝ දිනත් දැක තිබේ. පැවිදි රුව දුටු දා සසරින් එතෙර වීම පිණිස, ඇසළ පුන් පොහෝ දා රාත‍්‍රියෙහි අභිනිෂ්ක‍්‍රමණය කළ බව බෝසත් චරිතාපදානයෙහි සදහන් වේ.

කිඹුල්වත්පුර ගමන…

සුද්ධෝදන පිය රජතුමා ප‍්‍රමුඛ ශාක්‍ය ඥතීන් හට නිවන් සුව අත්කර දෙනු පිණිස, විසිදහසක් නිකෙලෙස් මහ රහතුන් පිරිවරාගෙන, මැදින් පුන් පොහෝ දා ගමන් ඇරඹූ බුදුරජාණන් වහන්සේ, රජගහනුවර වේළුවනාරාමයේ සිට පියවි ගමනින් යොදුන් තිහක ගමන් මාර්ගය ගෙවා අවසන් කළේ ද බක්මස පුර පසළොස්වක පුන් පොහෝ දිනයක දී ය.

අපගේ ශාස්තෘ වූ ගෞතම බුදු රජාණන් වහන්සේ, දෙවනවර ලක්දිවට වැඩම කල මේ උතුම් බක් පුන් පොහෝ දින අපත් ආමිස – ප‍්‍රතිපත්ති පූජාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ ව පුදමින්, ධර්මයේ හැසිරෙමින් එ් අමා නිවන් සුව ලබනු පිණිස ශ‍්‍රද්ධාදී සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු.

ඇසුර – පූජ්‍ය මාපලගම සිරි සෝමිස්සර හිමිපාණන්ගේ පොහොය වර්ණනාව ග‍්‍රන්ථය

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි