මහානර්ඝ වටිනාකමින් යුතු දේවලට පමණක් නො ව අල්ප වූ වටිනාකමින් යුතු දෙයට ද උරුමකම් කියමින් විරසක ව හිඳීම ලෝකයට සුලබ දෙයකි. ස්ථිරව ම අහිමි වී යාමට නියමිත, සිත් පිත් නැති දෙය අත්පත් කර ගන්නට ලෝකය බෙදී සටන් වදින ආකාරය දකින විට මේ කවර විහිළුවක්දැයි සිහිනුවණින් සිතන්නෙකුට මෙනෙහි විය යුතු ය. එහෙත් ලෝකයේ අති මහත් බහුතරය එසේ සිහිනුවණින් නො සිතන නිසා ම බොහෝ තැන්හි මේ විරසක වීම් දැකිය හැකි ය.

බෙදී වෙන් වී අසමඟි ව කටයුතු කිරීම ලෝකයට විරල නො වූව ද එසේ දෙපසට වෙන්ව පසමිතුරු ව සටන් වදින පිරිස් සමඟි කරවන්නට ගන්නා උත්සාහයන් ලෝකයේ විරල ය. අසමඟියට මඟ කියන දහසක් වචන ද ක‍්‍රියා ද සිතුවිලි ද ක‍්‍රියාවේ යෙදෙද්දී සමඟිය ඇති කරවීමට හේතුපාදක කාරණා ක‍්‍රියාත්මක වන්නේ දහසින් එකක අනුපාතයට ය. එනිසා ලෝකය වැටමායිමේ පටන් මහද්වීප මායිම දක්වා ම සටන් වදිමින් සිටී.

එසේ දෙපිරිසක් සටනේ යෙදෙන්නට ඉතා සුළු මොහොතක් පමණක් ඉතිරිව තිබිය දී ක‍්‍රියාවෙන් වේවා, වචනයෙන් වේවා, සිතිවිල්ලෙන් වේවා එ් සටන්කාමී ආවේගයන් වෙනුවට සමඟි සම්පන්න සන්සිඳීම් ඇති කරවන්නට යම් කෙනෙකු සමත් වේ නම් එය ආශ්චර්යයක් ම නො වන්නේ ද? බක් පොහොය වනාහී එවැනි ආශ්චර්යවත් ගුණ ශෝභාවෙන් යුතු වූ අසිරිමත් මනුෂ්‍ය රත්නයක් නිසාවෙන් හෙළදිව සිදුවන්නට ගිය මහා යුද්ධයක් වැළකුනු පොහොය දිනයකි. මැණික් පුටුවක් අරබයා නාගයන් දෙපිරිසක් යුද වදින්නට සූදානමින් සිටිය දී එහි වැඩම කළා වූ පුරිසදම්ම සාරථී සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ යුද්ධය නවතාලූවා පමණක් නොව එ් මැණික් පුටුවෙන් ද පිදුම් ලද සේක. සමඟිය ආරක්ෂා කිරීමට අනුබල ලබා දීම මහානීය ගුණධර්මයක් බව මෙසේ පූර්වාදර්ශයෙන් ම පෙන්වා වදාළෝ අපගේ ශාස්තෘන් වහන්සේ ය.

ජාතිය, ආගම, භාෂාව, රට පදනම් කර ගනිමින්, පක්ෂ පාට මූලික කර ගනිමින් එකිනෙකා වෙත චෝදනා නගා ගන්නා වටපිටාවක අද අපි දිවි ගෙවන්නෙමු. දොස්, නුගුණ දකිමින් වාද විවාද කිරීම තුළ තව තවත් විරසක වීම් ඔඩු දිවීම මිස සමඟිය සුරක්ෂිත වීමක් සිදු නො වේ. ලෝකයේ ඇති වන අර්බුදයන් පිටුපස මෙසේ වාද විවාද කැමැත්තෙන්, වාද විවාද සහිත ව ම දිවි ගෙවීම විශාල කාර්යභාරයක් ඉටු කරන බව නොරහසකි. ලෝකය ගමන් කරන මේ අතට ම අපිදු ගමන් කළ යුතු ද? වාද විවාද බැහැර කොට සමඟි සම්පන්න ව දිවි ගෙවීම අනුදැන වදාළ, එසේ සමඟියෙන් දිවි ගෙවීම පිණිස උපකාර වන්නා වූ ධර්මයන් දේශනා කොට වදාළ සම්බුදුරජාණන් වහන්සේනමකගේ ශ‍්‍රාවකයන් වීත් අප අසමඟියට පාර කපන්නෝ නම් අප ලද මේ මහඟු ලාභයෙහි ඵලය කුමක් ද?

මහබෝසත් අවධියේ පවා වාද විවාද බිඳීම් ඇති වන්නට ඉඩ නො දී සමඟිය ඇති කරවන්නට සම්බුදුරජාණන් වහන්සේ කටයුතු කළ සේක. බොහෝකල් මුණනොගැසී හුන් පිරිස් මුණගස්වා සමඟි ව සතුටු වීමට ඉඩ සලසා දුන් සේක. මේ පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේ කෙමියක බහාලූ පරිද්දෙන් පිහිටි පුරුස නිමිත්තක් සහිත වීම යන මහා පුරිස ලක්ෂණය ලද අතර එ් ආනුභාවයෙන් උන්වහන්සේගේ ශ‍්‍රාවකයෝ වචනයට කීකරු ව සමඟි සම්පන්නව ම දිවි ගෙවූහ.

එවන් පුණ්‍යානුභාව ඇති, මහා බලයක් ම වන සමඟිය පිණිස මඟ හෙළි කරමින් සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ මෙබිම හිඳ අපිදු සමඟිය සුරක්ෂිත කරවමින් සිත කය වචනය මෙහෙයවන්නට අදිටන් කර ගනිමු.

– මහාමේඝ –