අග්ගප්පසාද නම් සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ සියලූ සත්වයන් අතර අග‍්‍ර වන්නේ ශ්‍රේෂ්ඨ වන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවයි.

එනම් සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේ දෙවියන්, මරුන්, බඹුන් සහිත ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප‍්‍රජාවේ අග‍්‍ර වන සේක. එ් අග‍්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යමෙක් සිත පහදවා ගතහොත් අග‍්‍ර වූ විපාකයන් ලැබෙන්නේ ම ය. (අග්ගේ ඛෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති.) එ් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට පමණක් ම පිහිටන, ශ‍්‍රාවකයන්ට අසාධාරණ වූ සුවිශේෂී ඤාණ 6ක් ඛුද්දක නිකායට අයත් පටිසම්භිදා මග්ග නම් ග‍්‍රන්ථ රත්නයේ සඳහන්ව ඇත. අග‍්‍රශ‍්‍රාවක ධර්ම සේනාධිපති, ප‍්‍රඥවෙන් අගේ‍්‍රශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් නොමැති එම අසිරිමත් සම්බුද්ධ ඤණයන් මෙසේ ය.

01. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය

හෙවත් අන් අයගේ ශ‍්‍රද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥ යන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය දැකිය හැකි නුවණ.

තථාගතයන් වහන්සේ කෙලෙස් අඩු, කෙලෙස් වැඩි තියුණු වූ ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති, මෘදු වූ ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියන් ඇති, අයහපත් ස්වභාව ඇති, සුවසේ අවබෝධ කරවිය හැකි, ආයාසයෙන් අවබෝධ කරවිය හැකි, පරලොව භය දක්නා සුලූ වූ, පරලොව භය නො දකින සත්වයන් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤණයෙන් දකින සේක. හඳුනාගන්නා සේක.
(ඉධ තථාගතෝ සත්තේ පස්සති. අප්පරජක්ඛේ මහා රජක්ඛේ තික්ඛින්ද්‍රියේ සවාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤපයේ දුවිඤ්ඤපයේ අප්පේකච්චේ පරලෝක වජ්ජභයදස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභය දස්සාවිනෝ)

02. ආසයානුසය ඤාණය

තථාගතයන් වහන්සේ සත්වයන්ගේ චිත්තසන්තානය (ආසය) දැනගනී. සිතේ යටපත් වී ඇති කුසල් – අකුසල් (අනුසය) දැනගනී. පෙර කරන ලද කුසලාකුසල කර්මයන්ට අනුව එ් එ් පුද්ගලයාගේ චරිත ස්වභාවය දැනගනී. සත්වයන්ගේ හීන වූ හෝ උසස් වූ හෝ අදහස්වල ස්වභාවය (අධිමුක්තිය) දැනගනී. (ඉධ තථාගතෝ සත්තානං ආසයං ජානාති. අනුසයං ජානාති. චරිතං ජානාති. අධිමුත්තං ජානාති. සබ්බාහබ්බේ සත්තේ ජානාති.)

03. යමක ප‍්‍රාතිහාර්යය ඤාණය

තථාගතයන් වහන්සේ ශ‍්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප‍්‍රාතිහාර්යය පවත්වයි. උඩුකයින් ගිනිජාලා විහිදුවයි. යටිකයින් දියදහරා විහිදුවයි. යටිකයින් ගිනිජාලා විහිදුවයි. උඩුකයින් දියදහරා විහිදුවයි. ඉදිරිපස කයින් ගිනිජාලා විහිදුවයි. පසුකයින් දියදහරා විහිදුවයි. පසුකයින් ගිනිජාලා විහිදුවයි. ඉදිරිපස කයින් දියදහරා විහිදුවයි. දකුණු ඇසින් ගිනිජාලා විහිදුවයි. වම් ඇසින් දියදහරා විහිදුවයි. වම් ඇසින් ගිනිජාලා විහිදුවයි. දකුණු ඇසින් ජල දහරා විහිදුවයි. දකුණු කන් සිදුරෙන් ගිනිජාලා විහිදුවයි. වම් කන් සිදුරෙන් ජලදහරා විහිදුවයි. දකුණු කන්සිලෙන් ගිනිජාලා විහිදුවයි. වම් කන්සිලෙන් ජල දහරා විහිදුවයි. වම් කන්සිලෙන් ගිනි ජාලා විහිදුවයි. දකුණු කන්සිලෙන් ජලදහරා විහිදුවයි. දකුණු නාස් සිදුරින් ගිනිජාලා විහිදුවයි. වම් නාස් සිදුරින් ජලදහරා විහදුවයි. වම් නාස් සිදුරින් ගිනිජාලා විහිදුවයි. දකුණු නාස් සිදුරින් ජලදහරා විහිදුවයි. දකුණු උරහිසෙන් ගිනිජාලා විහිදුවයි. වම් උරහිසෙන් ජලදහරා විහිදුවයි. වම් උරහිසෙන් ගිනිජාලා විහිදුවයි. දකුණු උරහිසෙන් ජලදහරා විහිදුවයි. දකුණතින් ගිනිජාලා විහිදුවයි. වම් අතින් ජල දහරා විහිදුවයි. වම් අතින් ගිනිජාලා විහිදුවයි. දකුණතින් ජලදහරා විහිදුවයි. දකුණතින් ගිනිජාලා විහිදුවයි. දකුණුපසින් ජලදහරා විහිදුවයි. වම්පසින් ගිනිජාලා විහිදුවයි. වම්පසින් ජලදහරා විහිදුවයි. දකුණුපසින් ගිනිජාලා විහිදුවයි. දකුණු පාදයෙන් ගිනිජාලා විහිදුවයි. වම් පාදයෙන් ජලදහරා විහිදුවයි. වම් පාදයෙන් ගිනිජාලා විහිදුවයි. දකුණු පාදයෙන් ජලදහරා විහිදුවයි. ඇඟිලිවලින් ගිනිජාලා විහිදුවයි. ඇඟිලි අතරින් ජලදහරා විහිදුවයි. ඇඟිලි අතරින් ගිනිජාලා විහිදුවයි. ඇඟිලිවලින් ජලදහරා විහිදුවයි. සමහර රෝමකූපවලින් ගිනිජාලි විහිදුවයි. සමහර රෝම කූපවලින් ජලදහරා විහිදුවයි. නීල, පීත, ලෝහිත,  ඕදාත, මාංජේෂ්ඨ, ප‍්‍රභාෂ්වර යන ෂඞ්වර්ණ රශ්මිධාරා පතුරුවයි.

නිර්මිත බුදුරුවක් මවා, බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සේක. නිර්මිත බුදුරුව සිටගෙන සිටින සේක. වාඩිවී සිටින සේක. සැතපී සිටින සේක. බුදුරජාණන් වහන්සේ සිටගෙන සිටිද්දී, නිර්මිත බුදුරුව සක්මන් කරන සේක. වාඩිවී සිටින සේක. සැතපී සිටින සේක. බුදුරජාණන් වහන්සේ සැතපී සිටිද්දී නිර්මිත බුදුරුව සක්මන් කරන සේක. සිටගෙන සිටින සේක. වාඩිවී සිටින සේක. නිර්මිත බුදුරුව සක්මන් කරද්දී බුදුරජාණන් වහන්සේ සිටගෙන සිටින සේක. වාඩිවී සිටින සේක. සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව සිටගෙන සිටිද්දී බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සේක. වාඩිවී සිටින සේක. සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව වාඩිවී සිටිත්දී බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සේක. සිටගෙන සිටින සේක. සැතපී සිටින සේක. නිර්මිත බුදුරුව සැතපී සිටිත්දී බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සේක. සිටගෙන සිටින සේක. වාඩිවී සිටින සේක. මේ තථාගතයන් වහන්සේගේ යමක ප‍්‍රාතිහාර්යය ඤණය යි. (ඉදං තථාගතස්ස යමකපාටිහාරේ ඤණං)

මේ සුවිශේෂී අසිරිමත් ප‍්‍රාතිහාර්යය ජයශී‍්‍රමහ බෝධි මූලයේ දී දෙවියන්ගේ සැක දුරුකරලීම පිණිස ද කිඹුල්වත් නුවර අහසේ දී ශාක්‍යයන්ගේ මාන්නය දුරලීම පිණිස ද ගණ්ඩබ්බ රුක්ඛ මූලයේ දී තීර්ථකයන් දමනය පිණිස ද සිදු කළ සේක. එතැන්හිදී අපමණ දෙවි බඹුන් බුද්ධානුස්සතිය තුළින් ධර්මාවබෝධ කළහ. විශාල පිරිසක් ගෞතම සසුනේ පැවිදි බව ලබා නිවනින් සැනසුනහ. අපමණ සත්වයන් සිත පහදවාගෙන සුගතිගාමී විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ථූපාරාම සෑ මළුවේ දී අකුධාතූන් වහන්සේ ද ස්වර්ණමාලී සෑ රජුන්ගේ ධාතු නිධානෝත්සවයේ දී නිර්මිත බුදුරුවක් ද බුද්ධ අධිෂ්ඨාන පරිදි මේ විස්මිත පෙළහර පා ඇත.

04. මහා කරුණා සමාපත්ති ඤාණය

ලෝක සත්වයා රාග, ද්වේෂ, මෝහාදියෙන් පීඩාවට දුකට පත්වී ඇතැයි ද ලෙඩවීමෙන්, වයසට යාමෙන්, මරණයෙන් කායික මානසික දුකින් අසහනයට පත්වී ඇතැයි ද නොයෙකුත් දෘෂ්ටීන්වලට ග‍්‍රහණය වී දුක කරා ම යන්නේයැයි ද දක්නා භාග්‍යවතුන් වහන්සේට එම දුකින් ලෝක සත්වයා මිදවීම පිණිස මහා කරුණාව පහළ වේ. ධර්මාවබෝධයට පින් ඇති අය සොයාගෙන ගොස් දුකෙන් මුදවාගනී. මහා කරුණා සමාපත්ති ඤණය ගැන මෙසේ ද පෙන්වා වදාරා ඇත.

‘‘මම (තථාගතයන් වහන්සේ) සසර තරණය කළෙමි. නමුත් ලෝ වැසියන් සසර තරණය නො කළේ ය. මම සියලූ දුකින් මිදුනෙමි. නමුත් ලෝ වැසියන් දුකින් නො මිදුනේ ය. මම දමනය වුණෙමි. ලෝ වැසියන් දමනය නො වූයේ ය. මම සන්සිඳුනෙමි. නමුත් ලෝ වැසියන් නො සන්සිඳුනේ ය. මම අස්වැසුණෙමි. නමුත් ලෝ වැසියන් අස්වැසී නැත්තේ ය. මම පිරිනිවීමට පත්වුණෙමි. නමුත් ලෝ වැසියන් පිරිනිවීමට පත් නො වූයේ ය. සසරින් එතෙර වූ මම අන් අය එතෙර කරවන්නට සමර්ථ වෙමි. දුකින් මිදුන මම අන් අය දුකින් මුදවන්නට සමර්ථ වෙමි. දමනය වූ මම අන් අය දමනය කරවන්නට සමර්ථ වෙමි. සන්සිඳුණු මම අන් අය සන්සිඳවන්නට සමර්ථ වෙමි. අස්වැසුණු මම අන් අය අස්වසන්නට සමර්ථ වෙමි. පිරිනිවුණු මම අන් අය පිරිනිවාලන්නට සමර්ථ වෙමියි දක්නා වූ  භාග්‍යවතුන් වහන්සේට සත්වයන් කෙරෙහි මහා කරුණාව ඇති වේ.

එ් මහා කරුණාව නිසා ම අව් වැසි නො බලා, කුසගිනි නො බලා, පාවහන් නොමැති පයින් පන්සාලිස් වසරක් පුරා දඹදිව් තලය සිසාරා වැඩම කොට අපමණ දනන් දුකින් මුදවා සසර කතරින් එතෙර කළ සේක. අප‍්‍රමාණ සත්වයන් සුගතිගාමී කළ සේක. දුගී පැල්පතටත්, රජ මැදුරටත් සම මෙතින් සම සිතින් ම වැඩම කළ සේක.

05. සර්වඥතා ඤණය සහ අනාවරණ ඤාණය

හේතු – ඵල දහමින් හටගත් සියල්ල (සංඛත) ගැන ද හේතු – ඵල දහමින් හටනොගත් සියල්ල (අසංඛත) ගැන ද පරිපූර්ණ වශයෙන් දන්නා නුවණ සර්වඥතා ඤණය යි. එය කිසිවකින්වත් ආවරණය වී නැති බව අනාවරණ ඤණය යි. (සබ්බං සංඛතමසංඛත අනවසේසං ජානාතීති සබ්බඤ්ඤුුත ඤණං, තත්ථ ආවරණං නත්ථිති අනාවරණඤණං) අතීතය පිළිබඳ ව සියල්ල දන්නා බව සර්වඥතා ඥනය යි. එය කිසිවකින්වත් ආවරණය වී නැති බව අනාවරණ ඤණය යි. (අතීතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුුත ඤණං, තත්ථ ආවරණං නත්ථිති අනාවරණ ඤණං) අනාගතය පිළිබඳ සියල්ල දන්නා බව සර්වඥතා ඤාණය යි. එය කිසිවකිනුත් ආවරණය වී නැති බව අනාවරණ ඤාණය යි. (අනාගතං සබ්බං ජනාතීති සබ්බඤ්ඤුුතඤණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණ ඤණං) වර්තමානය පිළිබඳ සියල්ල දන්නා බව සර්වඥතා ඤාණය යි. එය කිසිවකිනුත් ආවරණය වී නැති බව අනාවරණ ඤාණය යි. (පච්චුප්පන්නං සබ්බං ජානාතීතී සබ්බඤ්ඤුුතඤණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණ ඤණං). යම්තාක් මරුන් සහිත බඹුන් සහිත වූ සදේවක ලෝකයා විසින් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප‍්‍රජාව විසින් දක්නා ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැනගන්නා ලද යමක් ඇද්ද, සොයාගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද, එ් සියල්ල ම දන්නා බව සර්වඥතා ඤණය යි. එය කිසිවකිනුත් ආවරණය වී නැති බව අනාවරණ ඤාණය යි. (යාවතා සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ‍්‍රහ්මකස්ස සස්සමණ බ‍්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා, සබ්බං ජානාතීතී සබ්බඤ්ඤුුතඤණං. තත්ථ ආවරණං නත්ථීති අනාවරණ ඤණං)

තථාගතයන් වහන්සේ විසින් මේ තුන්ලෝකයෙහි වර්තමානයේ ප‍්‍රඥාවෙන් නො දුටු කිසිවක් නැත. එමෙන් ම අතීතය පිළිබඳ ව වූ නො දත් කිසිවක් නැත. දත යුතු වූ සියල්ල ම අවබෝධ කර ගත් සේක. එම නිසා තථාගතයන් වහන්සේ සියල්ල දක්නා වූ සමන්ත චක්ඛු වන සේක.

න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි
අථෝ අවිඤ්ඤතමජානිතබ්බං
සබ්බං අභිඤ්ඤංති යත්ත්ථි නෙය්‍ය
තථාගතෝ තේන සමන්තචක්ඛු

මෙවන් ආශ්චර්යවත් ඤණ සමුදායෙකින් හෙබි භාග්‍යවතුන් වහන්සේට අපි සිරස නමා වන්දනා කරමු. උතුම් පූජාවන් පවත්වමු. එ් සම්බුදු ගුණ මෙනෙහි කරමින් සාදරයෙන් සරණ යමු. ගෞතම බුදු සමිඳුන් වදහළ එ් උත්තම සද්ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ශාන්ත සුවයට පත්වෙමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.