හීන් වැස්සක් උදෑසන පටන් ම ඇද හැළෙමින් පවතී. හාත්පස පැතිරුණු ළා අඳුර මැද සුපුරුදු දෛනික කටයුතුවල නිරත වූ මා, ස්වල්ප විවේකයක් ලබාගනු පිණිස උණුසුම් තේ බඳුනක් ද රැගෙන අසුනකට බර වූයේ දින කිහිපයකට පළමු යෙදුනු ජන්ම දිනය වෙනුවෙන් කලණ මිතුරු කැළකගේ දිරිය ද රැුගෙන සිදු කළ මහඟු දානමය පිංකම පිළිබඳ ව යළිත් මෙනෙහි කරමිනි. එ් සිතන්නට සිතන්නට නැවුම් වෙවී සිතට දැනෙනුයේ අසීමිත, සන්සුන්, පී‍්‍රති සහගත බවකි. මෑත අතීතයට අයත් එකී සිතිවිල්ල හරහා, සිත ඈත අතීතයට ඇදී යන්නට වූයේ බුදුරජාණන් වහන්සේ වදාළ ලෙසින් ම තමන් දුර බැහැර ගමන් යන්නට කොතරම් සමතෙක් වේ ද කියා සුපුරුදු ලෙස පෙන්වා දෙමිනි. අහෝ! මේ සිතේ ස්වභාවයක හැටි පුදුම ය. සුළු නිමිත්තක් දුන් විට එ් ඔස්සේ එ් මේ අතට සැතපුම් දහස් ගණනක් දුර ඇවිද ගිය ද මේ සිත විඩාපත් නො වේ, තව තවත් දුවයන්නට ම සැරසේ.

කලබලකාරී සිතෙහි එකී අරුම හැඩතල හඳුනන නිසා ම, නවතින්නට සුදුසු යැයි හැඟුණ, මනෝ චාරිකාවෙහි එක් සංධිස්ථානයක දී මම නැවතුනෙමි, සිහි කළෙමි. වසර කිහිපයකට පෙර සිදු වූ එ් අපූරු සිදුවීම මා වෙතට ළං කර දුන් නිරාමිස සංතුෂ්ටියක සුවඳ යළිත් මනසින් වින්දෙමි. එදින මනස ග‍්‍රහණය කර ගත් එ් සුවඳ පොද පෙරටු කොටගෙන මේ වන විට මා පැමිණ ඇති ගමන් මඟ ද සැබෑ ම සුවඳවත් ය.

එ් දැනට පස් වසරකට පෙර එළැඹි ජන්ම දින දවසයි. නොතේරුම් ළදරු වියේ දී දෙමාපියන් හා සතුටු සාද අතරේ සැමරූ ජන්ම දින සැමරුම් කිහිපය හැර, යමක් වටහා ගත් වියෙහි පටන් ම එ් වෙනුවෙන් පී‍්‍රති ඝෝෂා පැවැත්වීමට කිසිදු ආශාවක් නූපන්නේ ය. එ් හැරුණු කොට එවර මා සිටියේ ද ළබැඳි දෙමාපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් තරමක් දුරස්ථ පෙදෙසක සිට යළි නිවසට පැමිණෙන ගමන් මෙඟහි අතරමඟ, බස් රියක ය. ගමන් මල්ලෙහි රැඳි පසුම්බියේ මහා විශාල මුදලක් ඉතිරිව නො තිබූ නමුදු එම දිනයේ උදෑසන පටන් ම කුමනාකාරයක හෝ සද්කි‍්‍රයාවක් මා දෑතින් ම සිදු කිරීමට දැඩි අවශ්‍යතාවයක් දැනෙමින් තිබුණි. නිවස වෙත ළඟා වන විට දිනය ගෙවී යාමට ආසන්න විය හැකි නිසාවෙන්, යමක් සැලසුම් කර පිළියෙළ කිරීමට තරම් අමතර වේලාවක් ද ඉතිරි නොවනු ඇත. ‘කුමක් කරම්දෝ…?’ යි සිත සිතා යන අතරෙහි හැල්මේ දිවූ බසය මඳකට නැවතිණි. එ් හෝරා කිහිපයක ගමනකින් වෙහෙසට පත්ව සිටින මගී පිරිසට රිසි අහරක්, පානයක් භුක්ති විඳිය හැකි කඩ පෙළක් ඉදිරිපිට ය. වහා වහා බස්රියෙන් බැස ගත් පිරිස විඩා නිවා ගනිමින් එ් මේ අත විසිරී ගියෝ ය.

කල්පනාබර සිතින් ම බස් රියෙන් බිමට බට මාගේ අවට පරිසරය වෙත යොමු වූ දෙනෙත විසින් මා වෙත ගෙනහැර පෑවේ බොහෝ වේලාවක් පුරා සිතමින් සිටි පැනයට සරිලන විසඳුම යි. මාර්ගයෙහි මා සිටි පැත්තට විරුද්ධ දිශාවෙහි දිවෙන පදික වේදිකාවෙහි සිටියේ කිලිටි, වැරහැලි ඇඟලූමින් සැරසුනු, සුදු කෙසින් වැසී ගිය හිසින් ද කුණු දූලි වැකුණු රෙදි කඩකින් වෙළා දැමූ තුවාලයකින් ද යුක්ත කුදු වී ගිය මහලූ යාචකයෙකි. පුවත්පත් පිටුවක් බිම එළාගෙන එ් මත වකුටුව සිටි ඔහු ඉදිරියේ එමඟින් යන එන්නන්ගේ කරුණාව මත පිරී යාම හෝ හිස්ව තිබීම සිදුවන මළකඩ බැඳුනු බඳුනකි. යහපත් කි‍්‍රයාවක් කිරීමට ප‍්‍රමාද නො විය යුතු ය, සාක්ෂි නො විමසිය යුතු ය. වහ වහා ම කි‍්‍රයාත්මක වූ මා ආපනශාලාව වෙත ගොස් ඉඳි ආප්ප පැකට්ටුවක්, බිස්කට් පැකට්ටුවක් හා කෙසෙල් ගෙඩියකින් සමන්විත කුඩා ආහාර පාර්සලයක් ද,කිරි පැකට්ටුවක් ද මිල දී ගත්තේ එ් මොහොතෙහි මා වෙත තිබූ පමණින් ය. එ් සියල්ල ම රැුගෙන වයස්ගත යාචකයා වෙත ගොස් ඔහු වෙත එය පිරිනැමුවේ මෘදු සිනහවක් ද සමඟිනි. පළමුව මතුවූයේ වික්ෂිප්ත බවකි, දෙවනුව බැගෑපත් සිනාවකි.

‘‘ආ…මේ කෑම ටික ඔයාට අරගන්න…” වදන් පෙළ නිකුත්වත් ම දෝත පා එය භාර ගත් ඔහුගේ මුවින් පිටවූයේ ආසිරි වැස්සක් බඳු ස්තූතියකි. තෙත්ව ගිය හඬින් නැගුනේ දීර්ඝ පුණ්‍යානුමෝදනාවකි. ඔබට කිව හැකි නො වේ, එ් මොහොතෙහි මා හට දැනුන අහිංසක පී‍්‍රතියක තරම්…! සිතෙහි පිරී තිබූ බර සැහැල්ලූ වී මා විසල් අවකාශයේ පාව යනවා සේ ය මා හට දැනුනේ.

එලෙස සුළුවෙන් ඇරඹී ‘‘ජන්ම දින පිංකම් මාලාව” මේ වන විට පස් වසරක් පුරා නො නැවතී සිදුවෙමින් ඇත. අත්‍යන්ත චිත්ත පී‍්‍රතියක් හිමි වන එකී කි‍්‍රයාදාමයට මා හැර තවත් පිරිසක් ද එක්වී එ් සත්පුරුෂ කැළ ද එ් හරහා කුසල් සිත් වඩවා ගනිමින් මෙලොව – පරලොව සැප සාදා ගන්නට, නිවන් පුරයට වදිනු පිණිස පාරමිතාවන් පූරණය කරගෙන පියවරක් හෝ ඉදිරියට තැබීමට ඉඩහසර සාදා ගනිති. ඉතාම සුළු හදිසි කුසල චේතනාවක් මේ තරම් වපසරියකට ව්‍යාප්ත වීම ගැන සිතට ඇත්තේ සැහැල්ලූ පී‍්‍රතිමත් හැඟීමකි. එ් සමඟ ම උත්තම බුද්ධ භාෂිතයක් ද රැව් පිළිරැව් දෙමින් සිතට නැඟී එයි.

‘‘මා‘ වමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ‘පි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං”

‘‘තමා කළ පින ඉතා සුළු ය. එනිසා එහි විපාකය තමා කරා නො එයි.’ යනුවෙන් සුළු කොට සිතීම නො යුතුය. දිය බිඳු එක්වීමෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් කළය පිරී යන්නේ, යම් සේ ද ක‍්‍රම ක‍්‍රමයෙන් එක්වන පින නිසා නුවණැත්තා පිනෙන් පිරේ…”
(ධම්ම පදය : පාප වග්ගය)

අද පින්වත් ඔබ කොතැනක හෝ එදින මා සිටි ව්‍යාකූල තත්ත්වයේ ම මානසික ව සිටිනවා විය හැකි ය. කොපමණ තදින් අවශ්‍යව තිබුණ ද එක් වර ම, ‘විශාල මුදලක්’ වැය කර, ‘විශාල පිරිසක්’ එක්රැුස් කර, ‘විශාල පින් කටයුත්තක්’ කර ගැනීමට ඔබට අපහසුව තිබෙනවා විය හැකි ය. එ් පිළිබඳ ව, පසුතැවීමක් ද, හැකියාව ඇත්තන් කෙරෙහි ඇතැම් විට නොරිස්සුම් සහගත සිතුවිලි ද පැන නැඟී ඔබ වේදනා විඳිනවා විය හැකි ය. ‘ ඕවා අපිට කවදා කරන්න පුළුවන් දේවල් ද…?’ යි සිතමින් අධෛර්යවත් ව පසුගාමී වනවා විය හැකි ය. එය කිසිසේත් ම නිවැරදි නො වේ. ඔබ අත දිගු කරන දුරින් එක්වර ම සුළු යැයි පෙනෙන මුත් ඵලය නම් සුළුපටු නොවන අවස්ථාවන් රාශියක් ඔබේ යහපත් චේතනාවන්ගේ උපකාරය ලැබෙන තෙක් නෙත් අයා සිටී. එම නිසා, මහා පරිමාණයේ කුසල් කි‍්‍රයා එක්විට ම කිරීමට නො හැකි වීමේ පශ්චත්තාපය දුරලා ඔබ අවට සමාජයට, සුරතල් සතෙකුට, කුරුලූ පැටවෙකුට වේවා, ඔබට මට අපරිමාණ සේවාවක් ඉටු කරන තුරු වදුලූ, ගහට කොළට,දොළ පහරකට වේවා සුළු හෝ යහපතක් ම වන උපකාරයක් සිදු කිරීම අරඹන්න. සම්‍යක් සිතුවිල්ලෙන් අරඹන එම හුදෙකලා චාරිකාව දිනක මහඟු පුණ්‍ය කි‍්‍රයාවන්ගෙන්, පිනෙන් සපිරුණු දිගු පින්වත් චාරිකාවක් වනු නොඅනුමාන ය. ඉදින්, පින්වත් ඔබත් අප‍්‍රමාදී වන්න. ඇති හැකි ආකාරයෙන් නිරන්තරව පිංකම්වල නිරත වීමට සිත නැඹුරු කර ගන්න. එලෙස කුසලයට නැඹුරු වූ සිත ඔබව මේ බියකරු සසර ගමනේ දී තනි නො කර, සසර මඟ ආලෝකවත් කරනු ඇත. පින්වත් ඔබ සැමට ම යහපත් සිතිවිලි කි‍්‍රයාවට නංවාලීමට ඇවැසි ශක්තිය, ධෛර්යය, දිරිබල නිරතුරු ව සකස් වේවා…!

සටහන
අංජානා විජේසිංහ