highlights of the week
Home » හරිත යාය » රස ගුණ සපිරි දස බෝග

රස ගුණ සපිරි දස බෝග

වෙළඳ පොළෙහි ඇති විෂ ආහාර වර්ග වෙනුවට භාවිත කළ හැකි පෝෂ්‍යජනක දේශීය ආහාර පිළිබඳව බොහෝ දෙන විපරම් කරන්නට පටන් ගෙන ඇත. දේශීය ආහාර රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයක් නොමැතිව වගා කළ හැකි වීම මෙහි තවත් ප‍්‍රයෝජනයකි. මේ සඳහා අපට දැනුමක් ලබා ගැනීමට ඇති හොඳ ම මාර්ගය නම් අපගේ මුතුන්මිත්තන්ගේ දැනුම විමසා බැලීම ය.

මුළු රටට ම ආහාර සැපයූ ප‍්‍රදේශ බවට ඉතිහාසයේ සඳහන්, එහෙත් පසුකාලීනව විදේශ ආක‍්‍රමණ නිසා විනාශ වී ගිය ඇතැම් ගම්මානවල එ් කෘෂිකාර්මික රටාවේ යම් යම් නෂ්ටාවශේෂ තාමත් ඉතිරි වී ඇත. මේ ප‍්‍රදේශවල පරිසර හිතකාමී ගොවිතැන් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වූ අතර, හේන ගෙදරට ආහාර සැපයූ පෝෂණාගාරයක් විය. මෙම හේන් වගාව හා සම්බන්ධ ‘දස බෝග’ ගැන අප මුතුන්මිත්තන් තුළ වූ අවබෝධය ඉමහත් ය. මිනිසාගේ කාය ශක්තියටත්, නිරෝගී භාවය රැකගැනීමටත් ඉතා ම උපකාර වූ ස්වයංපෝෂිත වූ වගා රටාවක් එකල විය.

දස බෝග ලෙස දේශීය දැනුමෙහි කුරක්කන්, ඉරිඟු (බඩඉරිඟු සහ ඉදල් ඉරිඟු), කුදර, තණහාල්, මුංඇට, ලීමා (ගස්ලීමා සහ ලීමා), ඇල් වී, අමු මෙනේරි, බූ මෑ, කොල්ලූ විශේෂ සඳහන් වී ඇත. මෙම බෝග රටාව ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සුළු වශයෙන් වෙනස් වී තිබේ.

සාම්ප‍්‍රදායික හේන් ගොවිතැනින් ජීවත් වූ අපේ රටේ ගොවියන්ගේ දෛනික ආහාර වේල සඳහා වෙළඳ පොළෙන් ලබා ගත්තේ දියලූණු පමණක් බව කීවොත් එය ඉතා නිවැරදි යැයි හැෙඟ්. ඔවුහු රසායනික පොහොර භාවිතයක් දැන නො සිටියහ. කාබනික පොහොර පමණක් අදාළ බෝග වගාවන් සඳහා උපයෝගී කර ගත්හ. කාබනික පොහොරවලින් වගාවන් සරු වනවා මෙන් ම එ්වා අනුභව කළ ගොවි පවුල ද නිදුක් නිරෝගී ජීවිත ගත කර දිගාසිරි වින්දනය කළහ. එදා අද වගේ දිනපතා බෙහෙත් පාවිච්චි කළ යුතු අසනීප රෝග පීඩාවලින් තොර ජීවිතයක් ගෙවීමේ වාසනාව ඔවුන් උදා කරගත්තේ කායිකව වෙහෙසී වැඩ කිරීමේ හැකියාවත්, ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙන පෝෂ්‍යජනක ආහාරවල බල මහිමයත් නිසා ය.

දස බෝග ගුණ වෙද ඇසින්

දස බෝග ගුණ පිළිබඳව දේශීය වෛද්‍ය දැනුම ඇසුරෙන් කරුණු කීපයක් පහත දක්වන අතර ආහාර වශයෙන් සකස් කර ගන්නා අන්දම ඉදිරි කලාපයකින් විස්තර කරමි.

හේන් ගොවිතැනේ දී පළමු වගාව වන්නේ බඩඉරිඟු ය. මේවා අමු කරල් සහ වියළි කරල් වශයෙන් ආහාරයට ගත හැකි ය. නො මේරු අමු කරල් තම්බා හෝ ගිනි අඟුරේ තබා පුළුස්සා ලූණු ස්වල්පයක් සමඟ ආහාරයට ගනී. එසේ ම අපේ පැරැුන්නෝ වියළි ඉරිඟු වංගෙඩියේ ලා කොටා කැබලි කර හාල් වශයෙන් සකස් කොට බත් වෙනුවට අනුභව කළහ. බඩඉරිඟු පිටි උණු වතුරට දමා හදාගත් තලපය දවසක් වුව ද බඩගිනි නො දැනී වැඩ කිරීමට වුවමනා ශක්තිය ලබා දෙන්නක් බව ඔවුහු දැන සිටියහ. ප්‍රෝටීන් බහුල අධික කැලරි ප‍්‍රමාණයක් ඇති බඩඉරිඟු ආහාරයට ගත් කල්හි කුස තුළ අග්නිය දැල්වී පහසුවෙන් දිරවා යාමත්, කයේ වෙහෙස දුරු කිරීමත් සිදු කරයි. තුන් දොස් සමනය වී යයි. එසේ ම මෙම තලප අනුභව කිරීම සඳහා සකසන ලද ව්‍යංජනය ද සුවිශේෂී එකකි.

එනම් අමු ලීමා ඇටවලට මාංශයක් එකතු කරගැනීමෙන් මාංශජනක ධාතු වැඩි කර ගනී. මෙය උකු පදමට පිස ගත් ව්‍යංජනයකි. නැත්නම් වට්ටක්කා දලූ හෝ තම්පලා වැනි දිරවීම පහසු කරන කෙඳි අඩංගු ව්‍යංජනයක් මේ සඳහා යොදා ගැනිණි. මේ තුළින් ඔවුහු නිරෝගී භාවය ලැබුවා සේ ම පී‍්‍රතිමත් ජීවිතයකට හිමිකම් ද ලබා ගත්හ.

හේන් ගොවිතැනෙහි දෙවැනි ප‍්‍රධාන බෝගය වන කුරක්කන්, බත්වලට වඩා කුසගිනි නිවාගෙන වැඩ කළ හැකි ශක්තිජනක ආහාරයකි. කුරක්කන් පිටිවලින් රොටී, තලප, කැඳ, වන්ඩු ලෙස නොයෙකුත් ආහාරයන් සකස් කරගෙන ආහාර වේලට එක් කරගත හැකි ය. කුරක්කන් දියවැඩියා රෝගය සඳහා විශේෂයෙන් ම ගුණදායක බව දේශීය වෙදකමෙහි දැක්වෙයි. මේ ධාන්‍ය විශේෂය විටමින් එ් හා බී අඩංගු ආහාරයකි. සෙම නසන ගුණය මෙහි ඇත.

කුරක්කන් තලප අනුභවය සඳහා සාදා ගනු ලබන ව්‍යාංජනය ද සුවිශේෂී එකකි. හේන් ගොවිතැනේ වගා කරනු ලබන බෝග වර්ගවල නො මේරූ ගෙඩි සහ කොළ භාවිත කර එය සාදා ගනු ලබයි. වට්ටක්කා කුඩා (බොරුමල්) ගැට, ගැට කරවිල, ලීමා ඇට, වට්ටක්කා දලූ, වැටකොලූ, පිපිඤ්ඤා ආදි සියලූ ගඩා ගෙඩි එකතු කර පිස ගත් ව්‍යාංජනය මේ තලප අනුභවය සඳහා යොදාගත්හ. විශේෂයෙන් ම බල වඩන, දිරවීම පහසු කරන, ශරීරයේ අග්නිය වඩවන, ශරීරයේ සෙම සමනය කරවන මේ සමබල ආහාර වේල තුළින් පැරැන්නෝ නිරෝගී දිවි පැවැත්මකට උරුමකම් කීහ. කුරක්කන් අනුභව කරන්නේ නම් කොලොස්ටරෝල් ද නැත.

හේන් ගොවිතැනෙහි බෝග අතුරින් මුං ඇටවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මුං ඇට වර්ග 02ක් දක්නට ඇත. කුඩා බීජ සහිත කහපාට මුං ඇටවලට ‘වෙද මුං ඇට’ යැයි ව්‍යවහාර කරයි. අනෙක්වා කොළ පාට බීජ සහිත වර්ගයයි. මුං ඇට යනු මාශජනක ධාතු බෙහෙවින් අඩංගු රසවත් ආහාරයකි. මේවා ව්‍යාංජන ලෙස පිළියෙල කර ගැනීමත්, තම්බා හෝ පිටිවලින් කැවුම් පිළියෙල කර ගැනීමෙන් ආහාරයට එක්කර ගැනීමත් දුරාතීතයේ පටන් ම සිදු විය. මේ ධාන්‍ය විශේෂයේ ඇති බර බව සහ සීතල ගුණය එ්වා කබලේ බැද ආහාරයට ගැනීමෙන් පහව යයි. මුං ඇට කිරිබත් අපේ ආහාරයේ ප‍්‍රධාන තැනක් ගනී. මුං ඇටවල පෝෂ්‍ය ගුණය නිසා ශරීරයේ මාංශ පේෂී වර්ධනය කිරීමේ හැකියාව ඉහළ යයි. එයින් මලබද්ධය දුරු කරයි. ඇස් පෙනීම ද දියුණු කරයි. මුං ඇට ශරීරය පැහැපත් කරයි. සීත ගුණයෙන් යුක්ත නමුත් සෙම, පිත දෙක ම නැසීමට මුං ඇට උපකාර වෙයි. මුං ඇට තම්බාගත් වතුර, කිරි වෙනුවට ගත හැකි ආහාරමය පානයකි.

ඉදල් ඉරිඟු ද හේන් ගොවිතැනේ විශේෂ වගාවකි. මේවා කිනිති සහිත පුෂ්ප මංජරියක් ඇති විශාල පොකුරක් සේ වර්ධනය වන ඉදල් ඉරිඟු සහ කිනිති නො විහිදුන, උස නැති ශාක ලක්ෂණ ඇති යෝගම් යනුවෙන් හඳුන්වනු ලබන විශේෂ වශයෙන් දෙවර්ගයකි. මෙම බීජ පිටි කර, පිට්ටු ආදිය සාදා ආහාරයට ගැනීමත්, පොල් කිරි යොදා කිරිබත් ලෙස පිස ගැනීමත්, කැබලි කරගත් බීජ බතක් ලෙස පිස ගැනීමත් මඟින් ආහාර සකසා ගැනේ. මේවා බඩඉරිඟු මෙන් ම බොහෝ වේලාවක් කුසගිනි නො දැනෙන ගුණයෙන් යුතු බර ආහාරයකි. කය වෙහෙසා වැඩ කරන අයට අවශ්‍ය ශක්තිය ලබා දීමේ විශේෂ හැකියාවක් මෙම ධාන්‍ය වර්ගයට ඇත. තුන්දොස් සමනය කරවන, බල වඩන රසවත් ආහාරයන් පිළියෙල කර ගතහැකි ධාන්‍ය වර්ගයක් ලෙස ඉදල් ඉරිඟු හඳුන්වන්නට පිළිවන.

තව ද ධාන්‍ය ගණයට වැටෙන අමු, මෙනේරි, තණහාල් සහ සුදර (කුදර) යන බෝග ද හේන් ගොවිතැනේ ප‍්‍රධාන තැනක් ගත් ධාන්‍ය වර්ග වේ. මේ ධාන්‍ය වර්ගවල ඉතා කුඩා ඇට ඝනකම පොත්තකින් වට වී ඇත. ආහාර සඳහා පිළියෙල කරගැනීමේ හැකියාව ඇතත් වර්තමානයේ සොයා ගැනීම පවා දුෂ්කර ය. අමු ධාන්‍ය ආහාරය සඳහා බත් හෝ කිරිබත් වශයෙන් පිළියෙල කරගත හැකි ය. මේ ධාන්‍යවල ශරීරය වියළීමේ ගුණයක් ඇති නිසා මූත‍්‍ර රෝගීන්ගේ මුත‍්‍ර වැඩිපුර පිටවීම පාලනය කරගැනීමට උපකාරී වේ. අක්මාවේ රෝග ඇති අයට විශේෂයෙන් ම ගුණදායක ය.

මෙනේරි ඉතා සැහැල්ලූ ආහාරයකි. ආහාර දිරවා ගත නො හැකි රෝගීන් සඳහා විශේෂයෙන් ම ගුණදායකයි. ලේ ගමන වැඩි රෝගීන් සඳහා ද සුදුසු ය. මහ මෙනේරි, කුඩා මෙනේරි යනුවෙන් වර්ග 02 කි. මෙනේරි කැඳ වශයෙන් ආහාරයට ගත හැකි ය. සැහැල්ලූ ආහාරයක් බැවින් රෝගීන් සඳහා ද ආහාර දිරවා ගැනීමට නො හැකිව හුස්ම ගැනීමට අපහසු අයට ද දිය හැකි ය.

දේශීය ආහාර බෝග අතර තණ හාල්වලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. තණ හාල්වලට මුං ඇට සහ පොල්කිරි එකතු කර කිරිබතක් ලෙසින් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් සකසා ගත හැකි ය. දිරවීමේ හැකියාව ඉහළ බැවින් රෝගීන් සඳහා දීමට පුළුවන. කැඳ පිළියෙල කර සර්ප විෂ රෝගීන් සුවපත් කර ගැනීමට ද යෙදිය හැක. එසේ ම ශරීරයේ වැටීම්, තැලීම් ආදියෙන් ඇතිවන ලේ කැටි ගැසීම් වළක්වා ගැනීමට ඖෂධ කැඳ පිළියෙල කරදිය හැකි ය. මව් කිරි නැති දරුවන්ට කැඳ සාදා දීමෙන් කිරි ඌණතාවය මඟහරවා ගත හැකි ය. වකුගඩු රෝග, මුත‍්‍ර රෝග, රුධිර පීඩනය, ග‍්‍රහනි රෝග ආදිය සඳහා යෝග්‍ය සැහැල්ලූ ආහාරයක් ලෙස තණ හාල්වලින් පිසූ ආහාර ඉතා වැදගත් වේ. ශරීරයේ අස්ථි වර්ධනය කිරීමටත්, බිඳුණු අස්ථි යා කිරීමටත් තණ හාල්වලට විශේෂ හැකියාවක් ඇත. තුන් දොස් සමනය කර නිරෝගී දිවියකට මඟ පාදන මෙම ධාන්‍යවල ගුණ මෙතෙකැයි කිව නො හැක.

ලීමා යනු වැල් බෝගයකි. කරලින් ඇට වෙන් කර තම්බා කෑමටත්, පියළි කර ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරගැනීමටත් හැකි ය. විශේෂයෙන් අමුවෙන් කරලින් වෙන්කරගත් ඇට රසවත් ව්‍යාංජනයක් ලෙසත් පිළියෙල කරගත හැකි ය. මේවා සතු ප්‍රෝටීන් අගය ඉතා ඉහළ ය. ශරීරය පෘෂ්ඨිමත් කරයි. සෙම/පිත නසයි. හෙළ වෙදකමේ දී තුවාල සුව කිරීමට ලීමා ඇට යොදා ගනී. ලීමා කොළ යුෂ විෂ නසයි.

දේශීය ආහාර රටාවෙහි විශේෂ වාසි

x අපේ පැරණි දේශීය ආහාර රටාව සකස් වී ඇත්තේ බෝග විවිධත්වය තුළින් ආහාර විවිධත්වය හා පෝෂණ විවිධත්වය පදනම් කරගෙන ය.
x ආහාරවලින් ලබා ගත යුතු ප‍්‍රතිශක්තීකරණය මෙමඟින් ලැබෙන නිසා රෝග මැඬලීමට ඇති හැකියාව ස්වභාවිකව ඉහළ දැමේ.
x ආහාර අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට උචිත ආකාරයෙන් ක‍්‍රියාත්මක වීමට පහසු කිරීම නිසා එම ඉන්ද්‍රීයන් වෙහෙසට පත් වීමේ ක‍්‍රියාදාමය අඩු වේ.
x ආහාර රුචිය වර්ධනය වේ.
x අතුරු ආබාධ වැළැක්වීම සඳහා ඇති අවකාශය ඉහළ ය. බොහෝ දේශීය ආහාර හා පලතුරු වර්ග තන්තුමය ආකාරයෙන් යුක්ත නිසා ආහාරයේ ඇති අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය, කොලොස්ට්‍රෝල් වැනි ද්‍රව්‍ය බැහැර කිරීම සිදු වේ. අද වනවිට මෙම තන්තුමය ආහාර නො ගැනීම නිසා ශරීරයෙන් බැහැර විය යුතු කැඞ්මියම් වැනි විෂ ද්‍රව්‍ය පෙරී බැහැර වීම අක‍්‍රීය වී ඇත.

නූතන කෘෂිකාර්මික ප‍්‍රවණතාවයන් තුළ ආහාර බෝග වැඩි දියුණු කිරීමෙන් අස්වැන්න වැඩි කරගැනීම හා එහි මෘදු බව ඇති කරගැනීම බලාපොරොත්තු වුවත් එයින් එම බෝගයේ ස්වභාවිකව පැවති ගුණය වෙනස් වී ශරීරයට වඩාත් ගුණදායක වූ තන්තුමය කොටස් අඩු වී ඇත. එම නිසා ආහාරවලින් ඇති කරදුන් ස්වයං රෝග පාලන කි‍්‍රයාකාරීත්වය හෙවත් ප‍්‍රතිශක්තීකරණය ඉහළ නැන්වීම නූතන ආහාරවලින් ඇති නො කරයි.
නූතන කෘෂිකර්මය තුළින් එ්ක බෝග වගාව නමින් වාණිජ වගාවක් සඳහා ගොවියා යොමු කොට මුදල් ඉපයීම පමණක් ඉටු කරගැනීම හඹා යන මිරිඟුවකට ගොවියා ව හසු කර ඇත. එහෙත් එවැනි වාණිජ පරමාර්ථ පෙරදැරි කරගැනීමක් දේශීය ගොවිතැනෙහි නැත.

අප නැවත සිතිය යුත්තේ ආහාරය තුළින් අපට ලැබෙන ආයු, වර්ණ, සැප, බල ආදිය අපේ අනාගත දරුවන්ට ලබා දීමට දේශීය ආහාර ක‍්‍රමවේදය සකස් කිරීමේ තාක්‍ෂණය වර්තමානයේ භාවිත තාක්‍ෂණයට ගළපමින් ඉදිරියට ගෙන යාමට ය. දේශීය කෘෂිකර්මය යළි ගොඩනැගීමට අප සතුව පැවති ගුණාත්මක බීජ, දේශීය දැනුම යොදාගත යුතු ය. එයින් වර්තමාන අර්බුදයන් වන ආහාර විෂ වීම, ජලය විෂ වීම, පස විෂ වීම, වාතය විෂ වීම සහ සමස්තයක් ලෙස මිනිසුන් විෂ වීම නිසැකයෙන් ම වෙනස් කළ හැකි ය.
(දේශීය වෛද්‍ය ග‍්‍රන්ථ ඇසුරු කරන ලදී)

 

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස්
අපට SMS කරන්න
071 555 66 66

හරිත සටහන
හැපීග‍්‍රීන්ස් සංවිධානය වෙනුවෙන්,
කේ. එ්. ජයසිංහ පෙරේරා

හැපි ග‍්‍රීන්ස් සංවිධානය
057 – 3570333
www.happygreens.lk
මහමෙව්නාව භාවනා අසපුව, කුඹල්වෙල, ඇල්ල.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

වගා නො කරන ලද ආහාර ගැන ඔබ දැනුවත් ද?

ඇතැම් විට නාගරික වෙළඳපළවලටද වගා නො කළ ආහාර පැමිණෙනු දක්නට ලැබේ.