pirith-balaya

ස්වාමීන් වහන්සේනමක් වේයන්ගොඩ සිට කිරිඳිවැල දක්වා ධාවනය වන රජයේ බස් රථයකට ගොඩ වූයේ තනිව ම යි. පූජ්‍ය පක්ෂය සඳහා වෙන් කෙරුනු අසුනේ උන්වහන්සේ තැන්පත් වුණා. බස් රථයේ මගීන් පිරිලා සිටියා.

ටික දුරක් යන විට වාහනයේ වේගය වැඩි වුණා. කොන්දොස්තර මහතාත්, රියදුරු මහතාත් කලබල වුණා. සිදුවන්නේ කුමක් දැයි නොදැන සිටි මගීන් ‘‘මොකද මොකද? ප‍්‍රශ්නයක් ද?” කියා නොඉවසිල්ලෙන් විමසුවා. එක් වර ම කෑ ගැසූ රියදුරා එක දිගට කියා සිටියේ ‘‘පැනගන්න, පැනගන්න… බ්රේක් වදින්නේ නෑ… වාහනය නවත්වන්න බැහැ.. කොහෙන් කොහෙන් හරි පැනගන්න.” කියලයි.

සියලූ දෙනා දැන් කෑ ගසනවා. ළඟ සිටි කිහිප දෙනෙක් බිමට පනින්න ඇති සමහර විට. ඇතුළේ ඉන්න අය මහ හඬින් විලාප දුන්නා. තිරිංග ක‍්‍රියාත්මක වෙන්නෙ නැති බස් එක කොතැනක නවතියි ද? ළමයි කෑ ගහනවා. දැන් නම් ජනේලයකින් හරි කවුරු හරි පැන්නොත් මැරෙන්න වුණත් පුළුවන්. අතපය නම් අනිවාර්යයෙන් කැඩෙනවා ම යි….! දැන් මොකක්ද කරන්නේ.

මගීන්ගේ කලබලය දුටු ස්වාමීන් වහන්සේ එකවර ම නැගිට සියලූදෙනාට මෙහෙම කියා සිටියා. ‘‘බය වෙන්න එපා..! බය වෙන්න එපා..! කවුරුත් පනින්න එපා…! අපට තිසරණය ආරක්ෂාවට තියෙනවා… එ් තිසරණය සිහි කරන්න. දන්න දන්න විදියට බුදු ගුණ කියන්න.”

පුදුමය කියන්නේ බහුතරයක් ම එ් කතාවට සවන් දුන්නා. ස්වාමීන් වහන්සේ ද මහා හඬින් නමස්කාරය සජ්ඣායනා කළා. අයෙක් ‘‘ඉතිපිසෝ” ගාථාව කියනවා… අයෙක් කරණීයමෙත්ත සූත‍්‍රය කියනවා.. සමහරු රතන සූත‍්‍රය කියනවා. සමහරු පාඩම් පාඩම් ගාථා වරද්ද වරද්ද හරි කියනවා. එක ම දහම් ඝෝෂාව යි.

ආශ්චර්ය යි ! අද්භූත යි !!! පුදුම සහගත යි !!! ටික දුරක් ගිය වාහනය. වේගය අඩු වී අකුර ගැසූ සේ පාර මැද නැවතුනා. මගීන් සාදුකාර දෙනවා. හැම කෙනෙක් ම ඉක්මනට වාහනයෙන් බිමට බැහැලා ස්වාමීන් වහන්සේට අප‍්‍රමාණ පින් දීලා පාර මැද ම වන්දනා කළා. රියදුරු මහතාත්, කොන්දොස්තර මහතාත් හරි ම පුදුමයෙන් වගේ ම විශාල අනතුරක් ගැන තිබුණු තැතිගැනීමත්, ගැලවීම පිළිබඳ සතුටත් එකතුව ඔහේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඔවුන් අස්වැසුවා… ධර්මය අදටත් ජීවමාන බවත්, එහි ආනුභාවය ගැන විශ්වාසය ඇතිකර ගන්නා ලෙසත් කරුණු පැවසුවා. ඔවුන් ස්වාමීන් වහනසේට වන්දනා කරලා දුරකථන අංකයත් ලබා දුන්නේ ‘‘ස්වාමීනි ඔබ වහන්සේ කතා කරනවා නම් ආයේ අපි  ඕනේ උදව්වක් කරන්නම්…” කියලයි.

සම්බුදුරජාණන් වහන්සේ ලොවට යහපත කැමැත්තෙන් දේශනා කොට වදාළ එ් දහම එ්කාන්තයෙන් ම සත්‍යය යි. එ් සත්‍යානුභාවයෙන් සැමට සෙතක් ශාන්තියක් ම යි සැලසෙන්නේ.

‘‘ඔබත් ආයේ වාහනයකට ගොඩවෙන කොට දන්න බුදු බණ පදයක් සිහි කරන්න. තිසරණයේ බලය ගැන සිහි කරන්න.” කියා ස්වාමීන් වහන්සේ එදා එ් පිරිසට අවවාද කළා. එ් ධර්මානුභාවයෙන් ජීවිත කීයක් එදා විශාල කරදරයකින් බේරුනා ද…?

මේ සිදුවීම ඔබටත් හොඳ පාඩමක්. වාහනයකට ගොඩවුණා ම ගාථාවක්, බුදු බණ පදයක්, පිරිත් ගාථාවන් සිහි කරන්න. ගමනක් යනකොට තෙරුවන් වන්දනා කරලා කරණීයමෙත්ත සූත‍්‍රය සිහි කරලා දෙවියන්ට පින් දෙනවා නම්, ආරක්ෂාව සිහි කරනවා නම් කොච්චර හොඳ ද? යකඩ ගොඩවල් ගැන විශ්වාස කරන්න එපා! කර්මය විපාක දෙන්න, අවස්ථාව එනකල් බලා ඉන්නේ. අපි සසරේ මොන මොන කර්ම කරලා තියෙනවා ද කියලා කවුද දන්නේ… අපි යන වාහනයේ ඉන්න අනෙක් අයගේ කර්ම ශක්ති අපි දන්නෙන් නැහැ. අපගේ වාහනයේ පරෙස්සමෙන් ගියත් ඉස්සරහින් එන වාහනය පරෙස්සමෙන් නාවොත් මොකද කරන්නේ… එ් නිසා මරණසතිය සිහි කරන එක හොඳ නැද්ද?

තුනුරුවන් සිහි කරලා ගමනක් යන එක සුළු කොට සලකන්න එපා! පිරිත් බලය නිසා වාහන අනතුරු වැළකුනු කථා ගොඩක් අපි පෞද්ගලික ව අසා තිබෙනවා. මේ එක සිද්ධියක් පමණයි. ඔබගේ මාන්නය හා හපන්කම, පුහුණුව ඔබව ආරක්ෂා කරනවාට වඩා ධර්මයේ ආරක්ෂාව ගැන විශ්වාසයක් තියාගන්න. බලවත් කර්ම දෝෂයකින් අනතුරක් වුණොත්, මැරෙන්න ම වුණොත් එ් වෙලාවෙත් මනස්ගාත හිත හිතා අනෙක් වාහනවලට බැණ බැණ ඉන්නවාට වඩා හොඳ නැද්ද ධර්මය සිහි කරන එක…

අද කාලේ වාහනවල දාලා තියෙන සින්දු, වීඩියෝ, කතා කර කර යන දේවල් එක්ක එකතු වෙලා ඉද්දි කරදරයක් වුණොත් එහෙම මොනවා වෙයි ද?

සමහර අය ස්වාමීන් වහන්සේලා බස් එකට ගොඩවෙනවාට කැමති නෑ. එදා එ් රියදුරා ස්වාමීන් වහන්සේ දාලා ගියා නම් මොකක් වෙයි ද? ශ‍්‍රමණයන්ගේ දර්ශනය සත්පුරුෂයන්ට නම් මංගල කාරණයක්.

එ් නිසා ඔබ පුරුද්දක් කර ගන්න වාහනයකට ගොඩවුණා ම බුදුරජාණන් වහන්සේට ජීවිතය පූජා කරන්න, තෙරුවන් වඳින ගාථා හරි සිහි කරන්න. පිරිත් සිහි කරන එක හොඳයි.

ආරක්ෂක ගාථා සිහි කරන එක හොඳයි. ඛන්ධ පිරිත, මෝර පිරිත අගෙයි. අඩුම තරමේ මේ විදිහේ සෙත් ගාථාවක් වත් සිහි කරන්න.

සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන
රක්ඛං බන්ධාමි සබ්බසෝ

උතුම් සම්බුදු බලයෙන් – පසේබුදු ගුණ බලයෙන්
රහතුන්ගේ ද තේජසින් – සියලූ රැකවරණ වේවා!

එ් බුද්ධානුභාවයත්, ශී‍්‍ර සද්ධර්මයේ ආනුභාවයත්, රහතුන්ගේ තේජසත් ඔබේ ජීවිතයේ අත්දකින්න. එ් සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා! ඔබට සියලූ රැුකවරණ වේවා!

1.    අරඤ්ඤේ රුක්ඛමූලේ වා
සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං
භයං තුම්හාක නෝ සියා

වනගත පෙදෙසක – හෝ රුක් සෙවණක
පාළු තැනක යන – පින්වත් මහණෙනි
සිහි කරව් සම්බුදුරජුන් – එවිට ඔබ හට කිසි විට
බිය ඇති නො වන්නේ ම ය.

2.     නෝ චේ බුද්ධං සරෙය්‍යාථ
ලෝකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ
නීය්‍යානිකං සුදේසිතං

ඉදින් තුන්ලොව අග රජ – නරෝත්තමයාණන් වූ
සම්බුදුරජුන් ගැන – සිහි නො වේ නම් ඔබ හට
නිවනට පමුණුවන – මැනැවින් දෙසන ලද
එ් උතුම් සිරි සදහම් – සිහියට නැගිය යුතු ම ය.

3.     නෝ චේ ධම්මං සරෙය්‍යාථ
නීය්‍යානිකං සුදේසිතං
අථ සංඝං සරෙය්‍යාථ
පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

නිවනට පමුණුවන – මැනැවින් දෙසන ලද
එ් උතුම් සිරි සදහම් – සිහි නො වේ නම් ඔබ හට
අනුත්තර වූ – ලොවට පින් කෙත වූ
උතුම් සඟ රුවන ගැන – සිහියට නැගිය යුතු ම ය

4.     එ්වං බුද්ධං සරන්තානං
ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡුම්භිතත්තං වා
ලෝමහංසෝ න හෙස්සතී’ති

මෙසේ පින්වත් මහණෙනි – සම්බුදුරජුන් හා
උතුම් සිරි සදහම් ද – ශ‍්‍රාවක සඟ රුවන ද
සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ
ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය.

සත්‍ය කථාවක් ඇසුරිනි. නම් ගම් මනඃකල්පිතයි.

සටහන
කලණ ගංගානාථ