ඔබ ලොතරැයි මිල දී ගෙන තිබෙනවා ද?  මම හිතන්නේ ඔවු…. ඇයි අපි ලොතරැයි මිල දී ගන්නේ… අපි කැමතියි එකවර විශාල මුදලක් ලැබෙනවාට…. විශාල ලාභයක් ලැබෙනවාට… ඔබ ලොතරැයි මිල දී ගත්තත් ඔබට කවදා හෝ ලොතරැයි දිනුම් ඇදීමක් ලැබිලා තියෙනවා ද? මම කියන්නේ රුපියල් ලක්ෂයක්… දස ලක්ෂයක්… කෝටියක් වගේ මුදලක්… මම හිතන්නේ අතේ ඇඟිලි ගණනින් වත් නැතිව ඇති එ් වගේ අය… ඔබ මේකත් හිතන්න. අපි හිතමු ලෝකයේ කෙනෙකුට රුපියල් බිලියන ගණනක ලොතරැයියක් ඇදුනා කියලා එක දිනුම් ඇදීමක දී… ඊ ළඟ දිනුම් ඇදීමෙදිත් එයාට එ් තෑග්ග ම ඇදෙයි ද? ඔබ කියයි එ්ක නම් වෙන්න ම බැරි දෙයක් කියලා…

ඔබ හිතන්නේ මිනිස් ලෝකයේ මිනිස්සුන් ද වැඩි? පේ‍්‍රත ලෝකවල අමනුස්ස ලෝකවල සත්වයන් ද? ධර්මයේ සඳහන් වෙන්නේ මනුෂ්‍ය ප‍්‍රජාවට වඩා ඉතා වැඩියි පේ‍්‍රතයන්, අමනුෂ්‍යයන් කියලා… එ් ගණන ගණනින් කියලා නිම කරන්න බෑ…

ඔබ ගිය ජීවිතයේ චුත වෙද්දී ඔබගේ විඤ්ඤාණය එ් වාගේ විශාල, ගණනින් නිම කරන්න බැරි පේ‍්‍රතයන් අමනුෂ්‍යයන් අතරට ගියේ නෑනේ…. මේක ඔබ හිතන්නේ සුළුපටු දෙයක් කියල ද?

ඔබ හිතන්නේ පේ‍්‍රත ලෝකවල අමනුස්ස ලෝකවල සත්වයන් ද වැඩි? තිරිසන් ලෝකයේ සත්වයන් ද?

ධර්මයේ සඳහන් වෙන්නේ තිරිසන් සතුන් වැඩි බවයි… ඔබ බලන්න මුහුද විතරක් අරගෙන. මුහුදේ හාල් මැස්සෝ විතරක් කීයක් නම් ඇද්ද…? සප්ත මහා සාගරයේ ඉස්සෝ, කූනිස්සෝ, නම දන්න මාළු, නො දන්න මාළු වර්ග, අනෙකුත් සත්ව වර්ග කොච්චර නම් ඇද්ද…? ගණනින් නිම කරන්න පුළුවන් ද මූදේ විතරක් ඉන්න සත්ව ප‍්‍රමාණය? කවදාවත් බෑ…

පොළවේ ඉන්න කඩි, කූඹි පුමාණය විතරක් කොච්චර ඇද්ද?  එතකොට අනෙක් සතුන්… අහසේ සැරිසරන සතුන්… මැස්සෝ කුරුමිණියෝ… මොන තරම් නම් සත්ව ප‍්‍රමාණයක් ඉන්නවා ද තිරිසන් යෝනියේ?

එ්ත් ඔබ ගිය ජීවිතේ චුත වෙද්දී ගණනින් නිම කරන්න බැරි මේ එක සතෙක් අතරට වත් ඔබේ විඤ්ඤාණය බැසගත්තේ නෑනේ. මේක සුළුපටු ලැබීමක් කියලා ද ඔබ හිතන්නේ…?

බුදුරජාණන් වහන්සේ වදාළා ලෝකයේ වැඩිපුර ම සත්ව ප‍්‍රජාවක් ඉන්නේ නිරයේ කියලා… එ් සා විසාල නිරි සතුන් අතරට ඔබගේ විඤ්ඤණය බැසගත්තේ නෑ නේ ද? මේක සුළුපටු දෙයක් කියලා නම් මොහොතකට වත් හිතන්න එපා….

සතර අපායේ සිටින, ගණනින් කිසිසේත් කියා නිම කළ නො හැකි සත්ව ප‍්‍රජාව අතරින් අපේ විඤ්ඤාණය බේරිලා ඇවිත් මිනිස් මවු කුසක පිළිසිඳ ගත්තා කියන්නේ මම අර ආරම්භයේදි සඳහන් කරපු ලෝකේ තියෙන ලොකුම ලොතරැුයි දිනුම් ඇදීම ලැබීම වගේ එකක් නම් නෙවෙයි… ඊට වඩා පරම දුර්ලභ එකක්…!

ඔබ හිතනවා ද මේ ජීවිතයේ දී ඔබ ස්ථිරව ම සතර අපායෙන් නොමිදී චුත වුණොත් අර පරම දුර්ලභ අවස්ථාව එක පිට දෙවතාවක් ඔබ කරා එයි කියලා…

අනික ඔබ මෙවර  මිනිස් ලොව උපදිද්දී, ඔබ දුර ඈත පළාතක ධර්මය නෑසෙන මානයක ඉපදුණේ නෑ… ධර්මය ජීවමානව තියෙන පළාතක ම, තියෙන යුගයක ම ඉපදුණා…

ඔබ මන්ද බුද්ධික වුණේ නෑ… නිසි නුවණ ඇතිව ඉපදුණා… දුෂ්ටක්ෂණ සියල්ලෙන් ම බේරුණා…

ඔබ හිතන්නේ ආයෙමත් මිනිස් ලොව උපන්නත් මේ අවස්ථාවත් ලැබෙයි කියල ද?

මේ ටික හොඳට නුවණින් විමසලා බලන්න… අද මේ අපිට ලැබිලා තියෙන පරම දුර්ලභ මහා ලාභය සුළුපටු එකක් නම් නෙවෙයි කියන එක. අපි ඇතැම් විට කල්ප ගාණක් කුසල් පුරන්න ඇති මේ තැනට එන්න… මේ විදියට උපදින්න… එ් ගත්ත මහන්සිය මෙතෙකැයි කියන්න බැරිව ඇති. එ්ත් අද අපිට මේ ටික තේරෙන්නෙ නෑ…

ඔබ හිතන්න කුඩා අත දරුවෙකු අතට දුර්ලභ නිල් මැණිකක් ලැබුුණා කියලා. එයාට එ්කේ වටිනාකමක් තේරෙනව ද? නෑ නේ… පාට ලස්සන නිසා අතේ තියාගෙන ඉඳියි…

අපි හිතමු කාට හරි මේක ගන්න  ඕනෙ වෙලා එ් ළමයාට ටොපියක් හරි චොකලට් එකක් හරි පෙන්නනවා. ‘‘බබා මේක හරි රසයි” කියනවා. අර දරුවා ටක් ගාලා මැණික අතහරිනවා නේ ද?

අන්න එ් වගේ තමයි අපිත්… අද බොහෝ දෙනෙක් අපිට මේ දුර්ලභ ව ලැබුණ ලාභයේ වටිනාකම හඳුනන්නෙ නෑ… ධර්මයේ කියවෙනවා බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් රත්නයක් නැහැ, ධර්මයට සමාන කරන්න පුළුවන් රත්නයක් නැහැ, ආර්ය සංඝරත්නයට සමාන කරන්න පුළුවන් රත්නයක් නැහැ කියලා…

මේක කිවුවා ම ඔබත් ‘‘ඇත්ත නේන්නම්” කියයි… එ්ත් ආයෙමත් පරණ දේ ම කරයි… එ්ක හරියට මේ වගේ. අර බබාට කියනවා ‘‘බබෝ මේ මැණික හරිම වටින එකක්.” කියලා. බබා ඔළුව හොල්ලයි… එ්ත් එ් කාරණය තේරුණ බව එ් බබාගේ ක‍්‍රියාව හා සම්බන්ධ වෙලා නෑ….

ඔබත් බලන්න මේ වටිනා වූ දුර්ලභ වූ ලාභය දෝතට ම ලද ඔබ ඇහැට පෙනෙන සුන්දර රූපයක් හමුවේ මේ මැණික අත හරින්නේ නැද්ද? ධර්මය අවබෝධ කර ගන්න තියෙන සුළු කාලයෙන් මොන තරම් කොටසක් රූප බලන්න ම යොදවනවා ද?

කනට ඇහෙන මිහිරි ශබ්ද හමුවේ මේ මැණික අත හරින්නේ නැද්ද? නාසයෙන් දිවෙන් කයින් මනසින් විඳින විඳී්මක් හමුවේ මේ වටිනා මැණික අතහරින්නේ නැද්ද? ධර්මය අවබෝධ කර ගන්න තියෙන සුළු කාලයෙන් මොන තරම් කොටසක් මේව වෙනුවෙන් ම යොදවනවා ද?

මේ ලැබුණ අවස්ථාවේ දුර්ලභකම, වටිනාකම තේරෙන්නේ මේ සසර අනතුර හොඳාකාරව ම පේන බුදුරජාණන් වහන්සේලාට ම යි. බලන්න උන්වහන්සේ වදාළ උපමා… ‘‘සැතකින් පහර කාපු කෙනෙක් වගේ උත්සාහ කරන්න” කියලයි වදාළේ…. ආයුධයකින් පහර කාපු කෙනෙකුට වෙන දෙයක් හිත හිතා ඉන්න වෙලාවක් තියෙනවා ද? ”හිස ගිනිගත්ත කෙනෙක් වගේ උත්සාහ කරන්න” කියලයි වදාළේ… හිස ගිනිගත්ත කෙනෙකුට වෙන දේවලට හිත යයි ද?

ඉතින් අපි අපි දෙස ම ආපසු හැරී බලමු අපේ ජීවිත තුළ අපි ධර්මයට දීලා තියෙන තැන මොකක්ද කියලා… අපේ භාවිතාව තුළ ධර්මය කොතෙක් ගැළපිලා තියෙනව ද කියලා… භාග්‍යවතුන් වහන්සේ වදාළ ඔවදන් අපි කොතෙක් පිළිපදිනව ද කියලා…

භාග්‍යවතුන් වහන්සේ වදාළා කකචූපම සූත‍්‍රයේ දී කියතකින් දෙකට ඉරන්න හදනකොට පවා එ් දේ කරන අය කෙරෙහි වත් තරහ සිතක් ඇතිකර ගන්නවා නම් එයා මගේ ශ‍්‍රාවකයෙක් නෙවෙයි, අනුශාසනාව පිළිපදින කෙනෙක් නෙවෙයි කියලා… බලන්න. අපි තරහ ගන්නේ එ් වගේ දේවලට ද…? තරහ යෑම විතරක් නෙවෙයි ගැටලූව. බලන්න, අපි එ් තරහ කියන්නේ අකුසලයක් බව පිළිගෙන එ්ක දුරුකර ගන්න මහන්සි ගන්න ප‍්‍රමාණය කොතරම් ද කියලා…

අපි අපේ ජීවිත දෙස ආපසු හැරී බලමු. අප‍්‍රමාදී වෙමු.  මේ සත්‍යය තේරුම් ගනිමු. නැවත නැවත අලූතින් ම සිතමු. අපි අපිට ම දූපතක් හදා ගනිමු. ධර්මය ම පිළිසරණ කර ගනිමු. මේ ලැබුණ පරම දුර්ලභ මොහොත අපිටත් නො දැනී ම අතැඟිලි අතරින් ගිලිහී යන්නට ඉඩ නො හරිමු. ඔබ සියලූ දෙනාටම මේ දහම් කරුණු අප‍්‍රමාදීව සිහි නුවණ උපදවා ගැනීම පිණිස ම හේතු වේවා!

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ