හැඬීමෙන් ලෙඩ රෝග සුව වන බව අප කවදාකවත් අසා නැහැ නේ ද? එහෙම එකේ කෙනෙකුගේ හැඬීම තව කෙනෙකුගේ සුවපත් භාවය ඇති කරලන බව විශ්වාස කිරීමත් අපට නම් අපහසුයි. එහෙත්, සැබැවින් ම එය ලෝකයේ සිදු වනවා.

රෙයිලාන් දියණිය උතුරු කැරොලිනාවේ දී උපත ලැබුවේ 23 හැවිරිදි වූ ෂෙලී කේව්ලිට මව් පදවිය උරුම කර දෙමින්. සිසේරියන් සැත්කමක් ඔස්සේ රෙයිලාන් මෙලොව එළිය දකින විට ඇයගේ මව සිටියේ නිර්වින්දනවල බලපෑම යටතේ සිහිසුන් ව. එනිසා රෙයිලාන් උපන් මොහොතේ ඇය ව දැක ගන්නට ෂෙලීට හැකි වුණේ නැහැ. සාමාන්‍යයෙන් නිර්වින්දන ඖෂධවල බලපෑම ඉවත් ව යා යුතු කාල සීමාව ගෙවී ගියත් ෂෙලී පියවි සිහියට පත් වූයේ නැහැ. ශල්‍යකර්මයෙන් පසු ඇය කෝමා තත්ත්වයකට හෙවත් දීර්ඝ නිද්‍රාවකට පත්ව සිටියා. ඇයගේ පෙනහලූ දියරවලින් පිරී ගියා. රුධිර පීඩනයත් අඩු මට්ටමකයි පැවතුණේ. එවැනි අවස්ථාවක කළ යුතු සියලූ ප‍්‍රතිකර්ම සිදු කළත් සතියක් පුරා ෂෙලීගේ කෝමා තත්ත්වය පහව ගියේ නැහැ.

වෛද්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ සියලූ ක‍්‍රමෝපායන් අවසන් ව කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නො හැකි අපේක්ෂා භංගත්වයකින් සිටිය දී හෙද කාර්ය මණ්ඩලයේ පිරිසකට අලූත් අදහසක් ඇති වුණා. ඔවුන්ගේ උපකල්පනය වූයේ අලූත උපන් කිරිකැටි දියණිය රෙයිලාන්ගේ හඬ ඇසීම ෂෙලීට පියවි සිහියට පත් වීමට උපකාරක වනු ඇති බවයි. ඔවුන් රෙයිලාන් ෂෙලී සමීපයට ගෙන්වා ඇය ව හැඬවූවා.

සිවිය ද සම ද මස් ද නහර ද ඇට ද සිඳ ඇටමිදුලූ තුළට ම පිවිසි දරු දුක ෂෙලී ව දීර්ඝ නිද්‍රාවෙන් මුදවා ගත්තා. රෙයිලාන්ගේ හැඬුම් හඬටයි ෂෙලී ප‍්‍රතිචාර දක්වන්නට පටන් ගත්තේ. අවසානයේ ලොව පිළිගත් සියලූ වෛද්‍ය ප‍්‍රතිකර්ම අබිබවා ළදැරියකගේ හැඬුම ඇයගේ මව ව මරණයෙන් මුදවා ගත් ඔසුව වගට පත් වුණා.

හැඬුම ගැන කථා කරද්දි අත් නොහැර ම කථාවට ලක් වන දෙය තමයි කඳුළු කියන්නේ. මේ පුවතේ හැඬුම බෙහෙතක් වූයේ යම් ආකාරයෙන් ද එයට වඩා පරිපූර්ණ වශයෙන් ම බෙහෙතක් වන, සියලූ ලෙඩ නසන ඔසුවක් බවට කඳුළ පත් වනවා. විශ්වාස කරන්නට ටිකක් අමාරුයි නේ ද? විශ්වාස කිරීම දුෂ්කර වුවත් පරම සත්‍යයක් වන එ් කාරණය මිළිදු රජතුමා හමුවේ හෙළිදරව් කළේ නාගසේන මහරහතන් වහන්සේ…

‘‘ස්වාමීනී, නාගසේනයන් වහන්ස, යමෙක් මව්ගේ මරණයෙන් හඬයි. තව කෙනෙක් ධර්මය ශ‍්‍රවණය කොට හෝ ධර්ම මනසිකාරයෙන් හෝ ප‍්‍රීතියෙන් හඬයි. හඬන්නා වූ ඔවුන් දෙදෙනාගෙන් කවරෙකුගේ කඳුළු බෙහෙතක් වෙනවා ද? කවරෙකුගේ කඳුළු බෙහෙතක් නො වේ ද?”

‘‘මහරජාණෙනි, රාග ද්වේෂ මෝහයෙන් යුතු වු කෙලෙස් මලින් යුතු වූ කෙනාගේ කඳුළු උණුසුම් ය. ධර්මය නිසා ප‍්‍රීති සොම්නසින් යුතුව කෙලෙස් මල රහිතව හඬන කෙනාගේ කඳුළු සිසිලස ය. මහරජාණෙනි, යමක් සිසිල් වේ ද එය බෙහෙතකි. යමක් උණුසුම් වේ ද එය බෙහෙතක් නො වේ.”
(මිළිඳුරාජ ප‍්‍රශ්නය – 1)

බලන්න, නිකෙලෙස් මුනිවරයෙකු ලෝකයට මෙසේ හෙළි කරන්නේ මොන තරම් ආශ්චර්යවත් කාරණයක් ද? දහමින් ලද සොම්නසින් නැගි කඳුළක් ම යි බෙහෙතක් වන්නේ… කෙලෙස් ලෙඩ හැම නසන එ් කඳුළු දරාගෙන අප සුවපත් වන්නේ කවදා ද…!