මේක අපි හැම වෙලේ ම කතා කරන වචන දෙකක්. එ්ත් කවදාවත් හිතේ හැටියට ඉෂ්ඨ නොවෙන දෙයක්. ඇයි එ්? අපි පටන් ගනිමුකො ගෙදරින් ම.

‘‘මම තමා පවුලේ වැඩිමලා. මට විශේෂයෙන් දෙන්න ම  ඕන.” එතකොට අනිත් අය කෑ ගහනවා. ‘‘එ්ක අසාධාරණයි, අපිත් දරුවොනෙ. ඔයා විතරක් කොහොම ද විශේෂ වෙන්නෙ?” අපි හිතමුකො හැමෝට ම යම් විදියකට තියෙන දෙයක් බෙදල දුන්නයි කියල. එ්ත් හැමෝගෙ ම හිතේ තියෙනව නේ ද ‘මට සාධාරණයක් වුණේ නැහැ’ කියල?

ඉගෙන ගන්න ගියා. ඔන්න එයාට හිතෙනවා ගුරුවරු උගන්වන්නේ වාසි කාසි ලැබෙන විදයට කියල. තෑගි බෝග ලැබෙන අයට විශේෂ සැලකිලි. මම දක්ෂයි. (නැත්නම් මගේ ළමය දක්ෂයි) පුද්ගලික හිතවත්කම්වලට තැන දෙනවා. හරි ම අසාධාරණයි.

රස්සාවකට ඉන්ටවීව් එකට යනවා. මට ඉහළ සුදුසුකම් තියෙනවා. එ්ත් දේශපාලන පිළිගැනීම්, පළිගැනීම් මත නුසුදුස්සෙකුට තැන දුන්නා. හරි ම අසාධාරණයි.

රස්සාවකට ගියා. මට මේ මේ විෂයන් සම්බන්ධයෙන් විශේෂ උපාධි පවා තියෙනවා. එ්ත් මට ප‍්‍රමෝෂන් දෙන්නෙ නැහැ. දොළ පිදේනි දෙන අයටයි, ඥතීන්ටයි තමයි ඉහළ තැන්. එතනත් අසාධාරණය.

දේශපාලනයට ගියා. මේ පක්ෂය පටන් ගත්දා ඉඳල පණ දීලා වැඩ කරපු අය. රැුකගත්ත අය. දැන් ඊයෙ පෙරේදා ආව උදවියට තමා තැන දෙන්නෙ. අපට කපනවා එතනත්.

බස් එකක යනවා. ‘මේ මොකද… කෝ ඉතුරු සල්ලි? හැම වෙලේ ම ඉතුරු සල්ලි නො දී මඟ අරිනවා. අපි තමා හැම පැත්තෙන් ම තැලෙන්නෙ. මේක හරි අසාධාරණයක්නෙ.’

කඬේ යනවා. ‘අම්මෝ… බඩු කොයි වෙලේ ගණන් යනව ද මන්ද. එ්කත් කිරන්නෙ හොරට. එ් මදිවට කෑමවලට දැන් වස විසත් කලවන් කරනව. මේ අහිංසක මිනිස්සුන්ට නැති ලෙඩ රෝග හදල මරනවා. කෝ මේවට නීති? අපට තමා හැම පැත්තෙන් ම වදින්නෙ.’

උසාවි යනවා. ‘පෙරකදෝරුවා දෙපැත්තෙන් ම සල්ලි අරගෙන නඩුව වැරැුද්දුවා. නඩුකාරයා වැරදි තීන්දුවක් දීල පගාව අරගෙන. මගේ ඉඩමෙන් වැඩිපුර අල්ලගෙන අර මිනිහ වැටත් ගහල මගේ අයිතිය උදුරගෙන. මගේ වැටේ තිබුණ කොස් ගහ එ් ගෑනිගෙ පැත්තට අරන් වැට ගහගෙන. කාට කියන්න ද මේ අවනඩු?’

‘මම රට ගිහින් දුක් විඳල සල්ලි එවපුවාම මගේ බාරි එ් ටිකත් එකතුකරගෙන වෙන මිනිහෙක් එක්කල ගිහින්.’

‘මම රට ගිහින් ගුටි කකා හැළි වළන් හෝදල දුක් විඳල සල්ලි එව්වා. අපේ මිනිහ එ්ව අරගෙන ගෑනුන්ට දීලා.’

ළමයි කියනවා ”අපි මෙහෙම ඉන්නෙ අපේ දෙමව්පියන්ගෙ වැඩ නිසා. මෙහෙම වැරදි ජීවිතයකට වැටුනේ පවුලේ ප‍්‍රශ්න නිසා. අසල්වාසීන් නිසා. යාළු මිත‍්‍රයන් නිසා.” හැමෝටම කියන්න දෙයක් තියෙනවා. අසාධාරණය ගැන.

සාධාරණ – අසාධාරණයට නැන්දම්මයි – ලේලියි කෙහෙවළු පටලව ගන්නව. ස්වාමියයි – බිරිඳයි පැටලෙනවා. ‘‘උදේ පාන්දර බස් එකේ – කෝච්චියේ තනි කකුලෙන් එල්ලිලා ගිහින් මම රස්සාව කරලා ගෙනත් දෙන්නෙ.” ‘‘ඇයි මම…? මමත් රස්සාවක් කරනවනෙ. ගෙදර වැඩයි, ළමයින්ගෙ වැඩයි ඔක්කොම මගෙ කරපිටනෙ. ඇයි මේවට උදව් නො වෙන්නෙ?”

ළමයි රණ්ඩු වෙනවා. ‘‘නංගිට තමා තාත්ත වැඩිපුර දෙන්නෙ. මම ඉල්ලන දෙයක් කවදාවත් ගෙනත් දෙන්නෙ නෑ.” ‘‘අයියට තමා අම්මගෙ ලීලෙ. මගෙ කිසි වැඩකට උදව් කරන්නෙ නෑ. අම්ම නංගිගෙ ළමයි මොන්ටිසෝරි අරන් යනවා. අපේ ළමයි ගෙනියන්න කෙනෙක් නැහැ. අම්මට ලොකු අයියයි, එයාගෙ ළමයිනුයි තමා අගේ. දාසි වගේ ගෙදර වැඩ කරනවා. අපේ බැරි අසනීපෙකටවත් කිසි උදව්වක් නෑ…”

රස්සාවල් කරන අය ‘‘පඩි මදි” කියල පිකටින් කරනවා. තාප්ප වැහෙන්න පති‍්‍රකා අලවනවා. උපවාස කරනවා. ගිරිය පුප්පාගෙන ගිනි අව්වෙ කෑගහගෙන ඇවිදිනවා. විශ්වවිද්‍යාල ළමයි අසාධාරණයන්ට විරුද්ධව පාරට බහිනවා. මහා කලබල ගොඩයි.

රටවල් – රටවල් යුද්ධ කරනවා. තර්ජනය කරනවා. සම්බාධක පනවනවා. ‘‘නුඹලා අසාධාරණයි” කියලා එකිනෙකාට චෝදනා කරනවා.

ඔය වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. මේ කියන සියලූ ප‍්‍රශ්න ටික කොහොම විසඳුවත් කවුරුවත් කියන්නෙ නෑ ‘‘මට සම්පූර්ණ සාධාරණය ඉෂ්ට වුණා.” කියලා. එ්කට හේතුව මේ සංසාරික හිත්වල පවතින අතෘප්තිකර මානසිකත්වය. ධර්මයෙන් පෝෂණයක් නො ලබන තාක් මේ  හිත්වලට හිතෙන්නෙ ම ‘නෑ. නෑ. මට මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතුයි.’ කියල ම යි. ‘මම සුවිශේෂී පුද්ගලයෙක්. මගේ මෙහෙම මෙහෙම දක්ෂතා තියෙනවා. මම මේ ස්ථානයට විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. මගේ කාලය, ධනය, ශ‍්‍රමය වැය කරල තියෙනවා. මට විශේෂ සැලකීමක් හැමෝගෙන් ම ලැබිය යුතුයි.’ කියල ම යි.

අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මයට අනුව නම් මේ ඉපදෙන – මැරෙන සසරේ සාධාරණයක් නැහැ. අපට වන අසාධාරණයන් මොන තරම් පුංචි ද කියලා හිතෙන තරමේ මහා අසාධාරණයකට මුහුණ දුන් කෙනෙක් තමයි සක්විති රජතුමා. දෙතිස් මහා පුරුෂ ලකුණු ඇතිව ඉපදීමට සසරේ කොපමණ පින් දහම් කළ යුතු ද? මහා පෘථිවියට ම අධිපතිභාවය ලැබුවත් රජකම් කරන්නේ ඉතා ධාර්මික ව. දඬු මුගුරු පවා ගැනීමකින් තොර ව. මනා කොට පංච සීලයෙන් යුතු ව. සකල සත්වයාට ම පි‍්‍රය මනාප ව. එසේ රජ කරන සක්විති රජතුමා ද මරණින් මතු දෙව්ලොව ඉපිද එ් ආයුෂ අවසන් වී නැවත සතර අපායට ම වැටුන අවස්ථා තිබෙනවා.

මම කියා හෝ මගේ කියා හෝ තම වසඟයේ පැවැත්විය හැකි දෙයක් හෝ තිබුණේ නම් අපට සාධාරණයක් ගැන කතා කළ හැකිව තිබුණා. එ්ත් හේතුන්ගෙන් හට ගන්නා හේතු නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යන අනිත්‍ය – දුක්ඛ – අනාත්ම ලක්ෂණයන්ට අයිති දේවල්වලින් කෙසේ නම් සාධාරණයක් බලාපොරොත්තු වන්න ද? කාට නම් විරුද්ධව පෙළපාලි යන්න ද? පෝස්ටර් ගහන්න ද? නඩු කියන්න ද? ගහ මරා ගන්න ද? කා සමඟ නම් ගිවිසුමක් අත්සන් කරන්න ද?

මේ සත්වයා සසරේ කැමති වූවේ යමකට ද වැපුරුවේ යමක් ද එ් දෙය ම යි ලැබෙන්නේ. ඉතින් කෑ ගැසීමෙන් වැඩක් වේ ද? අප විසින් සසරේ කරන ලද කුසල් හෝ අකුසල් අප කරා ම නැවත එන විට බාහිර ලෝකයට ඇඟිල්ල දිගු කිරීම කොයි තරම් දුරට සාධාරණ ද?

නැවත නැවත ඉපදීමට සිදු වීම යි සත්වයෙකුට සිදුවන බලවත් ම අසාධාරණය. මම කියා කෙනෙක් නැති ලෝකයේ අවිද්‍යාවෙන් වැසුන, තණ්හාවෙන් බැඳුන සිතක පාලනයට නතුවීමෙන් කය, වචනය වරදා ගැනීමෙන් ඔබ – මම, අසරණ සත්වයා දුකෙන් දුකට ම  කබලෙන් ළිපට ම වැටීම ම යි දිගින් දිගට ම සිදු වූවේ. සිදු වන්නේ.

මේ හේතු – ඵල දහම මමත්වයෙන් තොරව දැකගෙන, විනිවිද දැකගෙන, පිරිසිඳ දැකගෙන හේතු නිරුද්ධ වීමේ වැඩපිළිවෙළට අවතීර්ණ වන්නට කෙනෙකුට හැකි වුවහොතින් එදාට ඔහුට හැකි වේවි මේ මහා අසාධාරණයෙන් නිදහස් වන්නට. සම්පූර්ණ සාධාරණත්වය උදාකර ගන්නට. එතෙක් අපි කෙතෙක් උගුර ලේ රහ වෙනතුරු කෑ ගැසුවත්, පොත් ගණන් ලීවත්, තාප්ප බිත්ති පති‍්‍රකා අලවා අපිරිසිදු කළත්, එකිනෙකාට චෝදනා, යෝජනා කළත් වැඩක් වෙන්නේ නැහැ. මන්ද, අසාධාරණය සකස් වන්නේ බාහිරව නො වෙයි; තමන් තුළ ම යි… හේතුව තමන් තුළ සකස් වන තාක් ඵලයට මුහුණදීමට සිදු වෙනවා. සකස් කරන අයෙකු සිටී නම් එ් පුද්ගලයා හමුවී හෝ සහනයක් ඉල්ලා සිටිය හැකියි. නමුදු එවැන්නෙකු ද නැහැ.

මම කියා කෙනෙක් නැහැ. මගේ කියා දෙයකුත් නැහැ. ආත්මයක් ද නැහැ. එ්ත් ආරම්භයක් නො දත් සසරක සැරිසරන, අන්ත දුක් විඳිනා, හඬා වැළපෙනා සත්වයෙක් ඉන්නවා. තමාට අයිති කිසිවක් ම නැතිව දුක ම රැුස්කරමින්, දුක ම ගොනු කරමින්, දුක ම පොදි බඳිමින්, දුක් පොට්ටනි කර ගසාගෙන හඬ හඬා සසර කතරේ යන සත්වයෝ තමයි අපි හැමෝ ම.

එ් නිසා හේතු විමස විමසා, හේතු සකස් වන ස්වභාවයෙන් පළමුවෙන් ම නිදහස් වූ සිතක් උපදවාගෙන සියලූ අසාධාරණයන් ජය ගත් අද්විතීය පුරුෂයාගේ, ආශ්චර්යවත් මහා ශාස්තෘවරයාගේ, එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණයේ පිහිටමු අපිත්. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ යළි යළි සරණ යමු අපිත්. සියලූ අසාධාරණයන් ජයගෙන පරිපූර්ණ සාධාරණය සත්වයාට උදාකර දෙන එ් උතුම් ශාස්තෘ ධර්මය ම සරණ යමු. යළි යළිත් සරණ යමු. සියලූ අසාධාරණ හේතු මුළුමනින් ම නිරුද්ධ වී ගොස් මනා කොට සාධාරණය තුළ නිවී සැනහී ගියා වූ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේගේ  ඕරස පුත‍්‍ර රත්නයන් වූ එ් මහා සඟරුවන සරණ යමු. යළි යළි සරණ යමු. ආර්යකාන්ත සීලයට පිවිසෙන්නට වෙර වඩමු.

හේතු – ඵල දහම නුවණින් විමසා – විමසා බලමු. අත්හැරීම පුරුදු කරමු. සිහි නුවණින් යුතුව සිතේ කුණු කෙලෙස් හට ගන්නා ආකාරය දකිමින් දුරු කරමු. සැනහී නිවී ගිය ජීවිතයට කැමති වෙමු. අප සැමට ම එක ම සරණ තෙරුවන්ගේ සරණ ම යි. වෙන සරණක් නැත්තේ ම යි.

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

– ශ‍්‍රාවිකාවක් –