මාගේ දරුවනි, මේ සොඳුරු භූමිය සැබවින් ම අසිරිමත් යැ. එ් අසිරිමත් බව සුරැුකුමට අසිරිමත් දහමක් මා තුළ ස්ථාපිත වී ඇත්මැයි. එහි සොඳුරු පිළිසරණ, රැුකවරණය ලබන්නට ඔබ වාසනාවන්ත වූවාහු ම ය. මා සිත්හි මතකයට නැගෙනුයේ අතීත කල්හිදු මා තුළ අසිරිමත් දහම ස්ථාපිත වී තුබූ අයුරු ය. මෙහි මා වසන්නේ මහා භද්‍ර කල්පය නම් වූ සොඳුරු යුගයක ය. මෙයට සොඳුරු භද්‍ර යන නාමයන් භාවිත වූයේ අසිරිමත් දහම මතු කළ සම්බුදුරජාණන් වහන්සේලා සතරනමක් මේ යුගය තුළ පහළ වූ නිසාවෙන් ම ය. තවත් සම්බුදුවරයන් වහන්සේනමක් පහළ වන්නේ යැයි අසා ඇත්තෙමි.

මා පි‍්‍රය දරුවෙනි, මේ අසිරිමත් මහා භද්‍ර කල්පයෙහි දී මුල් භාගය තුළ මා අමතනු ලැබුවේ ‘‘ඕජ දීපය” හෙවත් ‘‘ඕජ මාතාව” නමිනි. මා මතකය පරිදි එකල්හි ජම්බුද්වීපයෙහි මගධ රට තිවර මිනිසුන් වාසය කරන සමයෙහි අසිරිමත් සම්බුදු කෙනෙකුන් කකුසඳ නමින් පහළ වී සිටි සේක්. විධුර, සංජීව නම් මහරහතුන් සමඟ සතලිස් දහසක් ශ‍්‍රාවක සඟ රුවන පිරිවරා ගත් සම්බුදුරජාණෝ මා දිවයින්හි රාක්ෂයන් නිසා හට ගත් රෝගාබාධයන්ගෙන් මා දරු කැළ බේරා ගනු පිණිසත්, සසුන් රුක රකින භූමිය මා බවත් දැන මා අස්වසනු පිණිස වැඩි සේක. එකල්හි දී අඹතල පව්ව ‘‘දේව කූට” නාමයෙන් ප‍්‍රකට වූවාහු ය. සම්බුදුරජාණෝ දේව කූට පව්වට වැඩ ඉර්ධියෙන් අධිෂ්ඨාන කොට මා දෙටු දරු වූ මල්වතු හොයෙන් පෙර දිග්හි අභය නුවර රජකම් කළ අභය රජු ඇතුළු පිරිස කැඳවා අමෘතාවහ සද්ධර්මයෙන් අභිෂේක කළ සේක් ඔවුන් හට දහම් ඔසු ලබා දුන් සේක.

ශ‍්‍රද්ධා භක්තියෙහි පිහිටියා වූ මා පුත් නරේන්ද්‍රයාණෝ ශ‍්‍රාවක කැළ පිරිවරා ගත් සම්බුදුරජාණෝ අකාල පුෂ්පයන්ගෙන් අලංකෘත වූ අද මහාමේඝ වනය නම්, එදා ‘‘මහා තීර්ථ” නම් උයන් බිමට වඩමවා සෙසු දරු කැළ සහිත මා පුත් මේ පුණ්‍ය තීර්ථය සම්බුදුරජාණන් හට පූජා කළ සේක් මම මහත් සතුටු සිතින් කම්පිත වී ගියෙමි. සම්බුදුරජාණෝ දහම් අමා ඔසු බෙදූ කල්හී සතලිස් දහසක් වූ මා දරුවන් මාර්ග ඵල ප‍්‍රාප්ත විය. දිවා විහරණයෙන් පසුව සම්බුදුරජාණෝ මහබෝ පිහිටන භූමියට වැඩ ඵල සමවත් සුවයෙන් වැඩ හිඳ ‘‘මා මහරි බෝධි රුක්ෂයෙහි දක්ෂිණ ශාඛා රැගෙන මා දියණී රූපනන්දාවෝ පන්සියයක් අරහත් මෙහෙණින් සමඟ අහස් ගමනින් මෙතැන්හි වඩිත්වා” යි ඉර්ධියෙන් අධිෂ්ඨාන කළ සේක. මහත් ඉර්ධි ඇති රූප නන්දා අරහත් මෙහෙණ දඹදිව් නරේන්ද්‍රයන් කැඳවා මහ බෝ මැඩ වැඩ රත් සිරියෙලින් රේඛා දෙවා රන් බඳනෙහි පිහිටියා වූ බෝධි වෘක්ෂය රැුගෙන පන්සියයක් මෙහෙණින් සමඟ අහස් ගමනින් වැඩියාහු ය. රන් බඳුන සහිත වූ මහ බෝ ශාඛාව සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී හස්තයෙහි තුබූ කල්හී මා පුත් අභය හට දුන් සේක් මා මහා තීර්ථ නම් උයන්හි බෝධි වෘක්ෂය රෝපණය වූ සේක. මම සතුටු සිතින් කම්පිත වී ගියෙමි.

ඉන් ඉක්බිති සම්බුදුරජාණෝ මහරි මළුවෙහි දහම් දෙසූ සේක් විසිදහසක් මා දරුවන් දහම් ඔසු පානය කොට සුවපත් වූවාහු ය. මෙකල්හී ථූපාරාම මහ සෑ රජාණෝ පිහිටි භූමියෙහි එදා වැඩි සම්බුදුරජාණෝ සමාධි සුවයෙන් වැඩ හිඳ දහම් දෙසා දහසක් මා දරුවන් ධර්මාවබෝධ කරවූ සේක. වන්දනාව පිණිස සම්බුදුරජුන්ගේ ඩබරාව දුන් සේක් ‘‘මහාදේව” නම් ශ‍්‍රාවකයාණන් ද භික්ෂූන් දහසක් ද රූපනන්දා රහත් මෙෙණින් ද මෙහි වඩා හිඳුවා ‘‘රුවන් මළුවෙන්” අහසින් ජම්බුද්වීපයට වැඩි සේක. තුටු කඳුළු වගුරුවමින් මා බලා සිටි කල්හී මා දරුවන් බොහෝ කලක් සම්බුදුරජුන්ගේ සොඳුරු ශාසන වෘක්ෂය මැනවින් ආරක්ෂා කොට මා දරුවන් දහමින් ආරක්ෂා කළාහු ය.

එ් සසුන් රුක කෙමෙන් කෙමෙන් අන්තර්දානව ගියේ ය.

මා ප‍්‍රිය දරුවෙනි, යළිදු වරක් දඹදිව්හී කෝණාගමන නම් වූ සම්බුදුරජාණෝ පහළ වූ සේක් මා ‘‘වර දීපය” නමින් ප‍්‍රකට විය. මහමෙව්නා උයන් බිම ‘‘මහානාම” නම් විය. දක්ෂිණ දිසායෙහි මා දෙටුපුත් ‘‘වඞ්ඩමාන” නුවර සමිද්ධ නමින් දැහැමින් සෙමින් මා දරුවන් රැකබලා ගත්හ. වර්ෂා හානියෙන් මා දරුවන් උවදුරට පත් වූ කල්හී සම්බුදුරජාණෝ මෙය දැක දිගුකලක් සසුන් රුක රකින භූමිය මා බව දැන සසුන් රුක ස්ථාපිත කිරීම පිණිස ම භීයෝස හා උත්තර නම් රහතුන් ද විසිදහසක් රහතුන් ද සමඟින් අහස් ගමනින් ‘‘සුමන” කූටයට වැඩිසේක. වර්ෂා හානිය බුද්ධානුභාවයෙන් ක්ෂය වී ගියේ ය. ශාසනාන්තර්ධානය දක්වා ම යහපත් වර්ෂාව ම විය. එ් මහා මුනීන්ද්‍රයාණෝ ‘‘වරදීපවාසී ජනයා මා දක්නට නිදුකින් පැමිණෙත්වා”යි ඉදුඅදිටන් කරන කල්හී මම තුටු සිතින් බලා සිටියෙමි.

මා ප‍්‍රිය දරුවන් සම්බුදුරජාණෝ දකිනු පිණිස පැමිණි කල්හී මහා මුනිඳුන්ගේ දහම් අමෘතය පානය කොට සුවපත් වී වඞ්ඩමාන පුරයට වඩම්මා දන් පැනින් පුදා මහානාම උයන්බිම පූජා කළේ ය. තුටු සිතින් ඔදවැඞී ගිය මම කම්පිත වී ගියෙමි. සම්බුදුරජාණෝ දහම් අමා ඔසු බෙදූ කල්හී මා දරුවන් තිස් දහසක් මග ඵල සාක්ෂාත් කළාහු ය. මම තුටු කඳුළු වැගිරුවෙමි. දිවා විහරණයෙන් මත්තෙහි මහ බෝ පිහිටන භූමියට වැඩි සම්බුදුරජාණෝ සමාධි සුවයෙන් වැඩහිඳ මා දරුවන් හට සුව සැලසීම පිණිස ‘‘මාගේ උදුම්බර බෝධි වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛාවත්, පන්සියයක් භික්ෂුණීන් සමඟ කණකදත්තා නම් මෙහෙණ මෙහි වඩිත්වා”යි අදිටන් කළ සේක.

දඹදිව් නරේන්ද්‍රයාණන් කැඳවා එ් මෙහෙණි තොමෝ බෝ මැඩ සිට රත් සිරියෙලින් රේඛා හැඳ ඉර්ධියෙන් රන් බඳනෙහි පිහිටියා වූ බෝධි වෘක්ෂයත්, පන්සියයක් රහත් මෙහෙණින්නන් සමඟ අහස් ගමනින් වැඩියාහු ය. රන් බඳ සහිත බෝධි වෘක්ෂය සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී හස්තයෙහි තුබූ කල්හී මා පුත් සමිද්ධ නිරිඳුන්ගේ දෝතෙහි තබා රෝපණය කරන මෙන් සම්බුදුරජාණෝ වදාළ සේක. මා පුත් බෝධි වෘක්ෂය රෝපණය කරණ කල්හී තුටු කඳුළු වැගිරූ මම කම්පිත වී ගියෙමි. නාග මාලකයෙහි වැඩසිටි සම්බුදුරජාණෝ දහම් අමා ඔසු ලබා දුන් කල්හී මා දරුවන් විසිදහසක් කෙලෙසුන් සන්සිඳුවා සුවයට පත්වන අයුරු දැක මම තුටු සිතින් බලා සිටියෙමි. ඉන් ඉක්බිති සම්බුදුරජාණෝ මෙකල්හී ථූපාරාම සෑ මළුවෙහි සමවත් සුවයෙන් වැඩ හිඳ අමා ඔසු ලබා දී දහසක් මා දරුවන් සසරෙන් එතෙර කොට කණකදත්තා මෙහෙණින්නත් මහා සුම්ම නම් රහත් මුනිඳුන් සහිත දහසක් රහතුන් මෙහි වඩා හිඳුවා මා දරුවන් හට කාය බන්ධන ධාතුව වන්දනාව පිණිස ලබා දී රත්න මාලකයෙන් අහස් ගමනින් දඹදිව් වැඩි සේක.

මා ප‍්‍රිය දරුවෙනි, තෙපි සහෝදර පරපුර එ් සම්බුදුරජහුගේ සම්බුදු සසුන මැනවින් ආරක්ෂා කොට කෝටි සංඛ්‍යාත මාගේ දරුවන් සසරින් එතෙර කොට මා හඬා වැටෙද්දී සසරින් එතෙර කරවන, සුගති සැප ලබා දෙන සසුන් කෙත අන්තර්ධාන කළාහු ය.

යළිදු මේ මහා භද්‍ර කල්පයෙහි තෙවෙනි වර දඹදිව්හී කාශ්‍යප නමින් සම්බුදුරජාණෝ පහළ වූ සේක. එකල්හී මා ‘‘මණ්ඩ දීපය” හෙවත් මණ්ඩ මාතාවෝ නමින් ප‍්‍රකට විය. මා දෙටු පුත් ‘‘ජයන්ත” නම් නරේෂ්වර සමඟ ඔහු බාල සොහොයුරන් යුධ ප‍්‍රකාශ කොට සිටි කල්හී මහා කාරුණික සම්බුදුරජාණෝ තිස්ස හා භාරද්වාජ නම් රහතුන් ද විසිදහසක් රහතුන් ද සමඟින් අහස් ගමනින් ‘‘සුභ කූටය”ට වැඩි සේක. බටහිර දිශාවෙහි සිටි මා දෙටු පුත් ජයන්තයන් ද අනෙක් දරුවන් ද සම්බුදුන්ගේ ඉදු අදිටනින් කැඳවා දහම් අමා ඔසු ලබා දුන් සේක් ”මහා සාගර” උයනට වැඩ දන් පැනින් සතප්පවා මහා සාගර උයන සම්බුදුරජුනට පූජා කළහ. තුටු සිතින් ඔදවැඞී ගිය මම කඳුළු සලමින් කම්පිත වීමි. එතැන්හී දහම් අමා ඔසු ලබා දුන් සම්බුදුරජාණෝ මා දරුවන් විසිදහසක් සසර දුකෙන් මුදවා ගත්හ.

දිවා විහරණයෙන් පසු සම්බුදුරජාණෝ මහබෝ පිහිටන භූමියට වැඩ සමවත් සුවයෙන් වැඩහිඳ මා දරුවන්ගේ සෙත සුව පිණිස න්‍යග්‍රෝධ බෝධි වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛාව රැගෙන ‘සුධර්මා’ මෙහෙණි තොමෝ පන්සියයක් රහත් මෙහෙණින්නන් පිරිවරා මෙහි වඩිත්වායි අදිටන් කළ සේක. මහා ඉදු ඇති මෙහෙණි තොමෝ මෙය දැන දඹදිව් නරනිඳු හට දන්වා බෝමැඩ වැඩ නුගබෝ රුක්හි දක්ෂිණ ශාඛා රත්සිරියෙලින් රේඛා දෙවා රන් බඳනෙහි පිහිටි කල්හී එය ද රැුගෙන අහස් ගමනින් පන්සියයක් රහත් මෙහෙණින්නන් ද කැටිව ආවාහු ය. සමුබුදුරජුන්ගේ ශ‍්‍රී හස්තයෙහි තුබූ රන් බඳ සහිත බෝධි වෘක්ෂය මා පුත් ජයන්තයන් හට දුන් සම්බුදුරජාණෝ‘‘මෙය මෙහි රෝපණය කරන්න”යි වදාළ සේක. මහබෝ පිහිටි කල්හී මම කම්පිත වී ගියෙමි. තුටු කඳුළු වැගිරුවෙමි.

අශෝකමාලකයෙහි වැඩහිඳ සම්බුදුරජාණෝ දහම් දෙසූ කල්හී මා ප‍්‍රිය දරුවන් සාරදහසක් අමා ඔසු පානය කොට සුවපත් වූ අයුරු දැනුදු මාහට සිහි වේ. උතුරුදෙස ථූපාරාම මළුවෙහි වැඩි සම්බුදුරජාණෝ සමාධි සුවයෙන් වැඩ හිඳ දහම් දෙසූ කල්හී දසදහසක් මා දරුවන් අමාසුව වින්දාහ. සුධර්මා භික්ෂුණිය ද ‘‘සබ්බනන්දී” භික්ෂුව ද සහිත දහසක් භික්ෂූන් මෙහි වඩා හිඳුවා වන්දනාව පිණිස ජලසාටිකා ධාතුව ද ලබා දී සම්බුදුරජාණෝ ‘‘සෝමනස්ස මාලකයෙන්” අහස්ග මනින් දඹදිව් වැඩි සේක.

මා ප‍්‍රියාදර දරුවන් සම්බුදුරජුන්ගේ සසුන් කෙත මැනවින් සුරැක අමා ඔසු පානය කොට බොහෝ කල් සසුන් රුක තුළ පිළිසරණ ලැබූහ. පසු කල්හි ආ මා දරුවන් සසුන් රුක අන්තර්දාන කරනා අයුරු දැක මා හද කම්පා වී ගියේ ය.

මා අදරැති දරුවෙනි, එ් ශාසන අන්තර්දානයෙන් බොහෝ කලක් මේ දිවයින රකුසන්ගේත්, යක්ෂයින්ගේත් වාසභූමිය බවට පත් විය. බොහෝ කලකට පසු දඹදිව්හී ගෞතම නම් වූ සම්බුදුරජාණෝ පහළ වූ සේක. මා ‘‘සිංහලද්වීපය” හෙවත් ලක්මාතාවෝ සම්බුදුරජාණෝ ඉදුබලයෙන් බලන සේක් සම්බුදුවරුන්ගේ සසුන් කෙත කවුරුන් සුරකී දැයි, සම්බුදු නෙතට මාගේ සත් ක‍්‍රියාව මැනවින් පෙනී ගියේ ය. මා බොහෝ දුක සේ පෙර සම්බුදු සසුන් සුරැකි අයුරු දුටු සම්බුදුරජාණෝ අනාගතයෙහි මාගේ දරුවන් හට පිළිසරණ ලබාදෙනු පිණිස අදැහැමියන් මා වෙතින් පළවා හරිනු පිණිස සම්බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන්පොහෝ දා මියුගුණු මළුවට වැඩ අදැහැමියන් ගිරි දිවයිනට පළවා හැර සමනල පව්වෙහි හුන් මා පුත් සුමන සමන් හට දහම් අමා දී සුවපත් කොට වැඩි අයුරු සිහිපත් වන විට දැනුදු පවා මා නෙතු කඳුළින් පිරී යයි.

නැවතදු සම්බුදුරජහු බක් අමාවක දා නා දිවයිනට වැඩ නාගයින් දමනය කොට දහම් අමා ඔසු ලබා දී වැඩි සේක. තෙවන වර ද වෙසක් පුන් පොහෝ දා කල්‍යාණී දේශයට වැඩි සම්බුදුරජාණෝ කල්‍යාණී නදියෙහි සිරිපා සටහන පිහිටවූ සේක. සොළොසක් වූ පූජනීය ස්ථානයන්ට වැඩ සමවත් සුවයෙන් වැඩසිටි සම්බුදුහු මා තුටුකරවමින් පාරිශුද්ධ කළ අයුරු අද මෙන් මා මතකයෙහි පවතී. මාගේ් දරුවෙනි, මා මෙතෙක් මේ සසුන් කෙත සුරකින්නට වෙහෙසෙන්නේ මාගේ දරුවන් කෙරෙහි උපන් කරුණාබර බව නිසාවෙනි. මව් සෙනෙහස නිසාවෙනි. මෙය හඳුනා නො ගතහොත් මා ද මා සුරකින සසුන් රුක ද ඔබ විසින් නසනු ලබන්නේ ය.

මා ප‍්‍රිය දරුවෙනි, වෙසක් පුන්පොහෝ දිනෙක සියලූ ලෝ සතුන් හඬා වැළපෙද්දී සම්බුදුරජාණෝ පිරිනිවනට වැඩිසේක. පිරිනිවන් මංචකයෙහි වැඩ සිටි සම්බුදුරජාණන් නැවත ද මා සිහිපත් කරවූ සේක. සක් දෙවිඳු අමතා මෙසේ වදාළ සේක. ‘‘දේවේන්ද්‍රයෙනි, මාගේ සසුන් කෙත සුරකින්නේ ලක් මාතාවෝයි. ශාක්‍ය වංශය සුරකින්නේ ද ලක් මාතාවෝයි. ඔබ විසින් ලක් මාතාවෝත්, සම්බුදු සසුනත් සුරැුකිය යුත්තාහ.” එකල්හී සක් දෙවිඳුන්ගේ අණ ලද උපුල්වන් දෙවිඳුන් මා පුත් විජය එදින පැමිණි බව දැන මා පුත් සුරකිනු පිණිස පිරිත් පැන් ද පිරිත් නූල් ද සමඟින් තාපස වේශයෙන් පැමිණ පිරිත් පැන් ඉස පිරිත් නූල් ගැටගසා කෲර යකින්නන්ගෙන් බේරාගත් අයුරු අදදු සිහියට නැගේ.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ශාක්‍ය සංහාරයෙන් බේරි පැන ආ මෞර්ය රාජ වංශයක් දඹදිව ආරම්භ විය. ශාක්‍ය පරපුරෙහි හුන් චානක්‍ය නම් බමුණා ශාක්‍ය පරපුරෙහි චන්ද්‍රගුප්තයන් දඹදිව රජ කරවී ය. ඔහු පුත් බින්දුසාරයන්ගෙන් පසු ඔහුගේ පුත් ධර්මාශෝක නිරිඳුන් රජ විය. දේවානුභාව බුද්ධානුභාව බලයෙන් මා තුළ සසුන් රුක ස්ථාපිත කරනු වස් ධර්මාශෝක නිරිඳුන්ගේ පුත් මහා මහින්ද නම් වූ අනුබුදු මාහිමියන් මා දරු කැළ කෙරෙහි කරුණාවෙන් මෙහි වැඩියාහු ය. අඹතල පව්වට වැඩ මා පුත් දෙවියන්ට ප‍්‍රිය පුත් හට දහම් දෙසා මහමෙව්නා උයනට වැඩියාහු ය. මා දරු පරම්පරාවට අමෘතාවහ දහම් ඔසු ලබා දී මාගේ දරු කැල සසරින් එතෙර කරවී ය. මම තුටු කඳුළු සලමින් බලා හුනිමි. හේ ස්ථවිර නැගණී තොමෝ සඟමිත් නම් වූවාහු ය. ඈ ද අරහත් මෙහෙණින් වහන්සේනමකි. ඇසතු බෝධි වෘක්ෂයෙහි දක්ෂිණ ශාඛා මා දරු කැල වෙනුවෙන් වැඩමවීමේ ප‍්‍රණාමය පුදකරමින් මම සිදු වූ සියල්ල බලා හුන්නෙමි. මාගේ දරුවන් බෝධි වෘක්ෂය රෝපණය කරනු දැක මම කම්පා වීමි. ධාතූන් වහන්සේලා තැන්පත්කොට මහ සෑ තනවද්දී මම තුටු සිතින් කම්පා වීමි.

යළිත් ලැබූ මේ අසිරිමත් යුගය දැක දෙවිදේවතාවෝ මා දරුවන් ද සම්බුදු සසුන ද සුරකිනු පිණිස මා කරා පැමිණියාහු ය. කෝටි සංඛ්‍යාත මාගේ දරුවන් සසුනෙහි පිළිසරණ ලැබ සසරින් එතෙරට වැඩියාහු ය. මාගේ දරුවන් දහමින් පෝෂණය වී වැඩෙද්දී දඹදිව දකුණු දෙසින් පැමිණි ‘‘කාලිංග මාඝ” නම් බිහිසුණු අසුරයෙකු විසිහතර දහසක් යෝධ සේනාවක් සමඟ පැමිණ මාගේ දරුවන්ගේ අත් පා සිඳ කන් නාස් කපා දස වද දී මා ද මාගේ දරුවන් ද විනාශ කළේ ය. එදා පටන් මා සිටිනුයේ කඳුළු පිරුණු මුහුණින් ය.
මා අදරැති දරුවනේ, එ් බිහිසුණු අපරාධයෙන් පසුව මා දරුවන්ගේ සොඳුරු සංස්කෘතිය, ගුණදහම් කෙමෙන් කෙමෙන් අතුරුදහන් ව ගියේ ය. මා හට කරන්නට කිසිවක් ඉතිරි වූයේ නැත. මාගේ දරුවන් හට ද මේ සුන්දර අතීතය අමතක ව ගියේ ය. මා දරුවන් එ් සොඳුරු ධර්මය යැයි අධර්මය ම වැළඳ ගත්හ. මා දරුවන් මෙසේ අභාග්‍ය සම්පන්නව වී සිටිය දී බටහිරින් පැමිණි නපුරු මිනිසුන් මා දරුවන්ගේ සොඳුරු ගුණ දහම් තව තවත් විනාශයට ම රැගෙන ගියේ ය. දහමින් පිළිසරණ ලැබූ දරුවන් බටහිර ගැති මිනිසුන් වන්නට විය. විනාශ මුඛයට යන මාගේ දරුවන් දැක දැක මම සෙනෙහස හදෙහි රඳවාගෙන කඳුළු මුසු මුහුණින් බලා සිටිමි.

මාගේ දරුවෙනි, මා පැවසූ දෙය මනා කොට තේරුම් ගෙන සම්බුදු සසුනෙහි ම පිළිසරණ ලබව්. සසුන් රුකෙහි ම සෙවණ ලබව්. මව්ගෙන් නුඹට ලැබෙන රැකවරණයත් පිළිසරණත් මෙය ම වන්නේ ය. මාගේ දරුවන් හට තුනුරුවනේ රැකවරණය ම ලැබේවා!

මෙයට,

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සදාදර මෑණී,
ලංකා මාතාවෝ