කසළ කියද්දි අපට මතක් වෙන්නේ අපි ඉවතලන ආහාරපාන, අපිරිසිදු වූ රෙදිපිළි, පත්තර කැබලි, ඉටිරෙදි ආදිය. අප බොහෝ දෙනෙකුට මතක් නො වුණත් මේ අපට මතක් වන කසළවලට වඩා භයානක අර්බුදයක් කරා ලෝකය ගෙන යා හැකි කසළ වර්ගයක් තිබෙනවා. එ් තමයි ඉලෙක්ට්‍රොනික කැළිකසළ. අපට සාමාන්‍යයෙන් මතක් වන කසළ නම් කාලයත් සමඟ දිරාපත් වෙලා පරිසරයට මුසු වෙනවා. එ්ත් මේ ඉලෙක්ට්‍රොනික කැළිකසළ දිරාපත් නො වී බොහෝ කාලයක් පරිසරයට නොයෙක් රසායනික ද්‍රව්‍ය නිකුත් කරමින් රැඳී සිටිනවා. විශේෂයෙන් ම ජංගම දුරකථන උපාංග නිතර නිතර පරිසරයට මුදා හැරීම නිසා එතරම් කලක් ගත නො වී ම අපටත් මේ අර්බුදයට දරුණු ලෙස ම මුහුණ දෙන්නට සිදු වන්නත් පුළුවන්.

ලෝකය ම පොදුවේ මුහුණ දෙන මේ ගැටලූවට සාර්ථක පිළියමක් සොයා ගත්ත මුස්තාෆා හම්දාන් ගැන වාර්තා වුණේ ඊජිප්තුවෙන්. ‘රිසයික්ලොබේකියා’ නමින් මැදපෙරදිග ක‍්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ඔහු විසිපස් හැවිරිදි වියේ පසුවන්නෙක්. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිණිස වූ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට ඔහු තීරණය කළේ විසි හැවිරිදි වියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු වශයෙන් සිටිය දී යි. ඔහුගේ විශ්වවිද්‍යාල සගයන් දහනව දෙනෙකු සමඟ නව නිපැයුම්  පිළිබඳ තරඟයක් වෙනුවෙනුයි ඔහු මේ සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ.

අරාබි වසන්තයෙන් ඇරඹි සමාජ දේශපාලනික කුණාටුව ඊජිප්තුවේ දේශපාලනික ව්‍යුහය උඩුයටිකුරු කිරීම නිසා වගේ ම වයස අවුරුදු 18 සහ 30 අතර කාලය තුළ දී ඊජිප්තුවේ තරුණයන් වසර එකේ සිට තුන දක්වා අතර කාලයක් මිලිටරි සේවයේ යෙදීම අනිවාර්ය වීම නිසාත් හම්දාන්ට සිය ව්‍යාපෘතිය අඛණ්ඩ ව ගොඩනැගීමට ඉඩ සැලසුනේ නැහැ. එසේ තිබියදීත් ඔහු මේ වන විට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක ආදායමක් තම ව්‍යාපාරය තුළින් ඉපැයීමට සමත් වෙලා. ලබන මූල්‍යමය ලාභය වගේ ම, අති විශාල පාරිසරික ව්‍යසනයකට මඟ කියන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කොට ලෝහ වර්ග නිස්සාරණය කිරීම තුළින් ඔහු සමස්ත සත්ව වර්ගයාට ම කරන මෙහෙවරත් අතිශයින් ම ඉහළයි. උත්සාහය, වීර්යය, අඛණ්ඩ කැපවීම තිබෙනවා නම් මහා හිසරදයක් වගේ පෙනෙන කසළ ගොඩ තුළත් රත්තරන් සොයා ගන්නට හැකි බව තමයි හම්දාන් තහවුරු කරන්නේ.

ඕලාරික ව දකින්නට ලැබෙන මේ කසළ නම් කසළ කියා දැකීමෙන් ම හඳුනාගන්නට පුළුවනි. එ්ත් කිසිසේත් ම පියවි ඇසින් හඳුනා ගන්නට නො හැකි බොහොම සියුම් කසළත් හැම තැන ම තියෙනවා. පෙනෙන කසළ කළමනාකරණයත් මෙතරම් ම දුෂ්කර එකේ නො පෙනෙන කසළ කොහොම නම් කළමනාකරණය කරන්න ද? හැබැයි එ් සියුම් කසළ අතරෙත් සැබෑ ම රත්තරන් හොයා ගන්නට බැරිකමක් නැහැ. එය කළ හැක්කේ පියවි ඇසින් දකිමින් නෙමෙයි; පියවි සිහියෙන් දකිමින්… අන්න එ් අතිශයින් සියුම් වූ කෙලෙස් කසළ සහමුලින් ම බැහැර කරලා වජ‍්‍රයක් සේ සුපිරිසිදු චිත්ත පරිසරයක් ගොඩනගන අයුර තමයි සම්මා සම්බුදුවරු ලෝකයට හෙළිදරව් කරන්නේ. කසළ දුරු කරමින් නිකසළ සිත් උපදවන මඟ තමයි සුගත මඟ වගට පත් වන්නේ… මේ සියුම් කසළ කළමනාකරණය ගැන අපට සිතිය හැකි සීමා තුළ පවා හම්දාන් කළ දුෂ්කර කර්තව්‍යයටත් වඩා ලක්ෂ කෝටි වාර ගණනකින් එය අති දුෂ්කර බව තමයි කිව හැක්කේ. උත්සාහයෙන්, වීර්යයෙන්, අඛණ්ඩ කැපවීමෙන් යුතු ව යම් කෙනෙක් මේ සියුම් කසළ බැහැර කර ගත්තොත් ඔහු ලබන සුපිරිසිදු ම, ප‍්‍රභාෂ්වර ම, ප‍්‍රණීත ම ස්වභාවය රත්තරන්වලින් විස්තර කිරීමක් ගැන සිතන්නටවත් නො හැකි තරමට මහානීය යි…! අනර්ඝයි…! සුවිශිෂ්ටයි…!